Translate

Tuesday, January 31, 2017

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත නැමති බාලදක්ෂයා

රුපියලක් ඉපයීමට තේ වතුවල කුලී කරන තම දුප්පත් දෙමාපියන් කොපමණ වෙහෙසෙන්නේ දැයි රතිඤ්ඤා කරලට, නිලාකූරට ලොබ බදින වයසේදීම ඔහු හැදින සිටියේය. අවුරුදු කාලයේ තාත්තා කැටුව කොටුවේ කඩයට ගිය විට අතුරා ඇති රතිඤ්ඤා යායෙන් ඈත්වී සිටින්නැයි හැමවිටම තාත්තා ඔහුට නියෝග කළේ, මුදල් දී ගන්නට බැරි දෙය සගවා ගන්නට ඔහුට සිතේදෝයි තාත්තා තුළ ඇති වූ සැකයෙනි.


එයින් වසර තිහ හතළිහකට පසුව වුව තාත්තා කියාදුන් මේ පාඩම ඔහුට අමතක වූයේ නැත. ධනය ද බලයද ඉතා පහසුවෙන් ම අත්පත් කොට ගත හැකි මාර්ග ඔහු ආසන්නයෙන්ම වැටී තිබියදීත් ඒවායේ නොගැලී ඒ අයථා මුදල් ඉපයීම්වලට එරෙහිව අරගල කරන්නට ඔහුට හයියක් තිබුණේය.


පෝද්දල ජයන්ත යන නමින් කා අතරත් ජනපි‍්‍රය පත්තරකාරයකු සහ මාධ්‍ය වෘත්තීය සමිති නායකයකු වූ ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කීකරු නොවීමේ වරදට ආණ්ඩුවේ දැඩි උදහසට ලක්විය. ආණ්ඩුවේ මැරයෝ ඔහුගේ ඇගිලි තලා, පොලූ පහර දී දෙකකුල් කඩා, ඔහු සදාකාලික ආබාධිතයකුගේ තත්ත්වයට පත්කොට නොමරා ඉතිරි කළහ.


2011 වසරේදී ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් 2009 සහ 2010 වසරවලට අදාළව පිරිනැමූ ඨසදඉකැ ෂබඑැරටරසඑහ සම්මානය පෝද්දලට පිරිනැමූ අතර, එය රටවල් එකසිය අසූ දෙකකින් ඉදිරිපත් වූ නාමයෝජනා අතරින් තෝරා ගැනීම විශේෂයකි. දකුණු ආසියාවේ එතෙක් සිදුවූ ලොකුම මූල්‍ය වංචාව ලෙස සැලකෙන කෝටි 1300 ක් වූ වැට් බදු වංචාව, රාජ්‍ය ආයතනයක සේවය කරමින් හෙළිදරව් කිරීම මෙම සම්මානයට හේතු පාඨ විය. වසර පහකට වැඩි කාලයක් ඇමරිකානු රජයේ රැකවරණ ලබමින් සිටි පෝද්දල ජනවාරි 08 වනදා රටේ සිදුවූ වෙනසින් පසු තම මව්පියන් දකින්නට පැමිණි කෙටි සංචාරයේදී අප හා සංවාදයකට එක්විය.


සමාජ සාධාරණය වෙනුවෙන් අරගල කිරීම ඔබේ ජීවිතයේ කොයිතරම් ඈතක සිට එන දෙයක්ද?


අපිට යන්තම් තේරෙන කාලෙදීම ඇයි අපිට මේ හිගපාඩු වෙන්නේ කියන ප‍්‍රශ්නය එනවනේ. අපි ඒකට උත්තර හොයන කොට අපිට පෙනෙන ඇහෙන දේවල් තියෙනවා.


මට මතකයි ඉස්කෝලේ නවයෙ, දහයෙ වගේ පන්තිවල ඉදිද්දි ඉස්කෝලේ සියවස වෙනුවෙන් ලොකු උත්සවයකට සූදානම් වුණා. එතකොට ඉස්කෝලේ තිබුණු පරණ ගොඩනැගිලි කඩා ඉවත් කරලා, අලූත් ගොඩනැගිලි හැදුවා. ඔය ඉදිකිරීම් වැඩවල කොන්ත‍්‍රාත් ගත්තෙත් ඉස්කෝලෙම ගුරුවරු. ඔවුන් ගොඩනැගිල්ල කඩලා ඒකේ පාවිච්චි කරන්න පුළුවන් ගඩොල් උළුවහු ළමයි ලව්ව අද්දවනවා.


ගුරුවරයෙක් කිව්ව නම් හැමෝම කිසිම ප‍්‍රශ්න කිරීමක් නැතුව ගඩොල් ඇද්ද. මට තේරුණා කොන්ත‍්‍රාත් ගත්ත ගුරුවරු අපේ ශ‍්‍රමයත් පැරණි ගොඩනැගිලි ද්‍රව්‍යත් පාවිච්චි කරන බව. ඒ වගේ කොන්ත‍්‍රාත් වැඩ කරපු ගුරුවරු අනෙක් ගුරුවරුන්ට වඩා අතමිට සරුවට ජීවත් වුණ බව මම දැක්කා. මේ විදියට මට තේරුණා අපේ නැති බැරිකම පූරුවෙ කරුමයක් නෙවෙයි කියලා. මගේ අම්මා තාත්තා තේ වතුවල කුලියට වැඩ කරපු මිනිස්සු. ඔවුන් රුපියලක් හම්බ කළේ හරියට මහන්සි වෙලා. හතර පෝයට සිල් ගත්ත බෞද්ධයෝ නොවුණාට ඒ මිනිස්සු හරිම සාධාරණ විදියට ජීවත් වුණේ.
පුංචි කාලේ කඩෙන් බඩු ගේන්න ගියාම ඉතිරි සල්ලි දෙනකොට ශත විසි පහක්, පනහක් වැඩිපුර ලැබුණොත් අපි ඒක කඩචෝරු කන්න තියා ගන්න හිතුවට තාත්තා එහෙම කරන්න දුන්නේ නැහැ. ඔහු ඒ වැඩියෙන් දීපු කීිය හරි ආයේ අපි අතේම කඬේට යැව්වා. ඔවුන් ඉතා වෙහෙස මහන්සි වෙලා සාධාරණ විදියට උපයන මිනිස්සු වුණත් හැමදාම කරදර වි`දිමින් තමයි ජීවත් වුණේ.


මේ ප‍්‍රශ්න කිරීමටද ඔබ මාධ්‍යයට සම්බන්ධ වෙන්නෙ?


මම ඒ වෙද්දී ජනාධිපති පදක්කම්ලාභි බාල දක්ෂයෙක්. ඒත් ඒ දක්වා යනතුරුත් මට බාලදක්ෂ යුනිෆෝම් එකක් තිබුණෙ නෑ. මම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් ජනාධිපති බාලදක්ෂ පදක්කම ගන්න ගියෙත් යාළුවෙකුගෙන් ඉල්ලගත්ත යුනිෆෝම් එකක් ඇඳගෙන. උසස් පෙළ විභාගෙට ලියද්දිම ගෙදර ආර්ථීක ප‍්‍රශ්න නිසා මම හිටියේ මොනම හරි රස්සාවක් සොයා ගන්න උවමනාවෙන්. ඒ අතරේ ලංකාදීපේ වාහන හදන ගරාජ් එකක වැඩ කරපු මිත‍්‍රයෙක් මට රංජිත් විජේවර්ධන මහත්තයා ගැන කියලා ඔහුගේ ලිපිනය දුන්නා.

මම මගේ විස්තර ඔක්කොම කියලා රැකියාවක් ඉල්ලලා ලියුමක් දැම්මා. ඒ ලියුමට උත්තර ලැබුණා. ඒ අනුව මම උසස්පෙළ විභාගය අවසාන වුණු දවසේ හවසම ගිහිල්ලා රංජීත් විජේවර්ධන මහත්තයා හම්බ වුණා. මට මුලින්ම ලැබුණේ ලංකාදීපයේ සිකියුරිටි ජොබ් එකක්. මම එතන වැඩ කරන ගමන් මට දැනෙන පොඩි පොඩි දේවල් ලියන්න ගත්තා. ඒවා මොනවත් පත්තරවල පළ වුණේ නැහැ. අවුරුදු දෙකකට පස්සේ ලංකාදීපයේ පරිගණක අංශයට යන්න ලැබුණා.


එතකොට පත්තරේට එන සියලූ ලිපි මට කියවන්න ලැබුණා. එයින් ලියන්න සෑහෙන්න උනන්දුවක් ඇති වුණා. මමත් ලිපි ලිය ලියා කර්තෘ අංශයට යැව්වා. පළවුණේ නැහැ. ඒ ගැන මම හිටියේ සෑහෙන කනස්සල්ලෙන්. ඔය කාලේ ලංකාදීපයේ සෝදුපත් බලන්න හිටිය වික්ටර් අයිවන් මහත්තයාගේ ඥාති සම්බන්ධයක් තියෙන ඩග්ලස් කියලා මහත්මයෙක්. ඔහු තමයි මම ලියන දේවල් දැකලා මාව රාවයට එක්ක ගෙන ගියේ. රාවයට යද්දිත් මගේ ළග තිබුණා වෙලෝනා ඇගලූම් ආයතනයේ සේවිකාවන් මුහුණු දී හිටපු සේවා ගැටලූ ගැන මම ලියපු ලියවිල්ලක්. අතුල අයියා (වික්ටර් අයිවන් මහත්තයා) මේක බලලා ඒකේ තිබුණු පොඩි පොඩි අඩුපාඩු පෙන්නවලා දීලා ආයේ හොඳට පොලිෂ් කරලා ලියාගෙන එන්න කිව්වා. ඒ ලිපිය වෙලෝනා සේවක අෙදා්නාව නමින් රාවයේ පළවුණා. එතන ඉදලා මම ලංකාදීපයේ ටයිප් සෙටින් රස්සාව කරන ගමන් රාවයට ලිව්වා


ලියන්න විශේෂ පුහුණුවක් අවශ්‍ය වුණේ නැද්ද?


රාවය තමයි මාව පුහුණු කළේ. මට තිබුණේ අහන දකින දේවල් ගැන තිබුණු වාවන්න බැරි විරෝධය පමණයි. මේවා මෙහෙම වෙන්න දෙන්න බෑ කියන හැගීම විතරයි. මම ඒ තොරතුරු ලියාගෙන ආවම රාවයේ ඒ කාලේ හිටපු විශේෂාංග කර්තෘ ගුණසිංහ හෙට්ටිආරච්චි මහත්තය තමයි මට ලියන්න වඩාම හොද විධි අත්හදා බලන්න කියලා දුන්නේ. ඔහු කියනවා වඩාම සංවේදී තැනින් පටන් ගන්න මල්ලි කියලා. මේ දේවල් තව උඩට ගන්න මතු කරලා පෙන්නන්න කියනවා. මුල් කාලේ ඔහු මගේ ලිපි මුළුමනින්ම නැවත ලියලා මට කියනවා. මම පොඩි වෙනස්කම් වගයක් කළා පොඞ්ඩක් බලන්න ඒ විදිය හොදද කියලා. මමත් හැමවිටම ලියූ මුල් ලිපියක් සංස්කරණයෙන් පසු ආ ලිපියත් සංසන්දනය කරලා ඉගෙන ගත්තා. පස්සේ කාලෙක මම සිළුමිණේ වැඩ කරද්දී තේරුණා, ජනමාධ්‍යයට පවුල් පසුබිමෙන්ම උරුමකං කියන, ජනමාධ්‍ය උපාධි පශ්චාත් උපාධි තිබුණු බොහෝ දෙනෙක්ට රාවයෙන් මට ලැබුණු ඒ ”අධ්‍යාපනය” ලැබිලා තිබුණේ නැති බව.


අතුල අයියා අපි සම්මුඛ සාකච්ඡාවට ගිහිල්ලා ආවම අහනවා ඇයි මේ උත්තරේ අහගෙන ඉදල ආවේ ඇයි? මේ විදිහට නැවත නොඇහුවේ කියලා. සමහර වෙලාවට ඒ ප‍්‍රශ්නවලට උත්තර අහන්න ආයේ යන වෙලාවල් තියෙනවා.


මොනවාහරි ප‍්‍රවෘත්තියක් ගේනවා නම් ඒකේ හැම කෑල්ලක්ම සනාථ කරන්න ඩොකියුමන්ට් එකක් තියෙන්න ඕනෑ කියලා අතුල අයියා උගන්වලා තියෙනවා. ප‍්‍රවෘත්තිවලදි ප‍්‍රශ්න කිරීමකින් තොරව කිසිවකු කියන දෙයක් බාර ගන්න එපා කියලා ඔහු කියනවා. හැමවිටම අතුරු ප‍්‍රශ්න අහන්න අපි පොළඹවනවා.


94 ඡන්දය එනකොට රාවය බොහොම ජනප‍්‍රිය පත්තරක් වුණා. ඡන්දය වෙනුවෙන් ටැබ්ලොයිඞ් රාවය විශාල වැඩ කොටසක් කළා. ඒ වෙද්දී රාවයේ මැද පිටුව අල්ල ගන්න අපි හැමෝම අතරේ තිබුණේ ලොකු තරගයක්. ලංකාදීපයේ රෑ වැඩ කරන ගමන්ම මම මාසෙට මැද පිටු දෙකක්වත් කළා. ඒක සෑහෙන ජයග‍්‍රහණයක්.


94 න් පස්සෙ ඔබ ලේක්හවුස් එකට සම්බන්ධ වෙනවා.


ඔව් ඒ වෙද්දී මම විවාහ වෙලා. අලූත් ජීවිතේ පවත්වාගෙන යන්න දුව දුව දෙපොළකින් උපයන මේ ආර්ථිකය ප‍්‍රමාණවත් නැති නිසා. මාව සිළුමිණට යොමු කළේත් අතුල අයියමයි. අලූත් රජය ඇවිත් ලේක්හවුස් පත්තරවලත් ලොකු වෙනසක් වෙයි කියලා ඒ වෙද්දි අපි හැමෝම බලාපොරොත්තු වුණා. සිළුමිණට මම එන්නෙත් රාවයෙන් ලැබූ පන්නරය සහ ඒ ජීව ගුණය ඇතිව නිසා සිළුමිණෙන් හොද ඉඩක් සහ පිළිගැනීමක් ලැබුණා. කරුණාදාස සූරිආරච්චි සිඑමිණ කර්තෘ වනතුරුම යම් යම් සීමාවන් සහිතව වුවත් මගේ ලිපිවලට සිඑමිණේ ඉඩ ලැබුණා. දකුණු ආසියාවේ මෙතෙක් සිදුවූ ලොකුම මූල්‍ය වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව මා හෙළිදරව් කළේ රජයේ පුවත්පත වූ සිඑමිණ මුල්පිටුවෙන්මයි.


ඔබ වෘත්තීය සමිති කි‍්‍රයාකාරිකයෙක් වෙන්නේ ලේක්හවුස් අත්දැකීම්වලින්ද?


ඔව්. මම සිළුමිණෙන් අලූතින් පටන් ගත්ත වැඩ එක්ක සමහර සතිවල කඩලා බලන්න බැරි තරමට ලියුම් එන්න ගත්තා. ඔය අතරේ තමයි රැකියා විරහිත දරුවන්ගේ දුප්පත් රුපියල් සීයට, දෙසීයට තට්ටු කරන මහා පරිමාණ ජාවාරම් ගැන තොරතුරු මට ලැබුණේ. සිළුමිණෙන්ම දාන කුඩා ව්‍යාජ පුවත්පත් දැන්වීමක් මගින් ගුරුවරුන්, බැංකු ලිපිකරුවන් ආදී විවිධ රැකියා සදහා ඉල්ලූම්පත‍්‍ර ගෙන්වා ගැනීමට යයි පවසමින් රුපියල් පනහේ සීයේ ඉදලා රුපියල් දෙදහස් පන්සියය දක්වා මුදල් ඇණවුම් ගෙන්වා ගැනීමේ ජාවාරම, සිද්ධි ගණනාවක් හරහා මම රටට හෙළිදරව් කළා. ටෙක් ශී‍්‍ර ලංකා වැනි දැවැන්ත ආයතනවල ඉඳන් ලියුම් කවර අලවන, බිම්මල් වගා කරන බවට ඉතා කුඩා දැන්වීම් පළකරන පුද්ගලයන් දක්වා ඉතා විශාල පරාසයක මේ ජාවාරම කි‍්‍රයාත්මක වුණා. අදටත් වෙනවා. මෙසේ සති අන්ත පත්තරයක පළකරන දැන්වීමකින් රුපියල් සියයක්, දෙසීයක් හෝ පන්සීයක් බැගින් ඉතා විශාල පිරිසකගේ මුදල් මේ ජාවාරම්කරුවන් ගෙන්වා ගත්තා. මේවා හෙළිදරව් කිරීමෙන් පමණක් ඒවා නැවැත්විය හැකිවුණේ නැහැ. ඒවාට විරුද්ධව පැමිණිලි කරන්න තහනම් නියෝග ගන්නත් මට සිදුවුණා. මේ ජාවාරම්කාරයන්ගෙන් මට එල්ලවූ තර්ජනවලදී ලේක්හවුස් සභාපතිවරයා ඇතුළු ආයතනය ගත්තේ ජාවාරම්කාරයන්ගේ පැත්ත. ඔවුන් කිව්වේ මම මාධ්‍යකාරයාගේ සීමාව ඉක්මවලා යනවා කියලා. නමුත් මාධ්‍යකාරයගේ කාර්යය ඉටු කළාට පස්සේ එතැන ඉඳන් ඒ වගකීම භාරගන්න අපේ රටවල රාජ්‍ය ව්‍යුහය දියුණු වෙලා තිබුණේ නැහැ. අදටත් නැහැ. එදා දේශීය ආදායම් දෙපාර්තමේන්තු වැට් බදු වංචාව කෝටි 50 දී හෙළිදරව් කරද්දී අපේ රාජ්‍ය යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වුණාද? එහෙම නම් කොච්චර ජාතික ධනයක් රැකගන්න තිබුණද?


එදා ඒ ජාවාරම්කාරයෝ මට මරණ තර්ජන එල්ල කරද්දී මගේ දරුව පැහැර ගන්න බවට තර්ජනය කරද්දී මගේ රැකවරණයට මාධ්‍ය සංවිධානවත්, ලේක්හවුස් ආයතනයවත් ඉස්සරහට ආවේ නෑ. ඒත් රාවයේ මගේ සගයන් ඇතුඑ පිරිසක් මං වෙනුවෙන් ලේක්හවුස් එක ඉදිරිපිටට ඇවිත් උද්ඝෝෂණයක් කළා. මම වැඩකරපු සිළුමිණේ කර්තෘ මණ්ඩලයෙන් පවා ඒකට ආවේ මෙන්දක, දෙනගම සහ ප‍්‍රසන්න ෆොන්සේකා විතරයි. අනෙක් සියලූදෙනා ආයතනයේ සභාපතිට බයේ අර දැල්වල එල්ලිලා බලාගෙන හිටියා. එවක හිටිය සභාපතිවරයා කිව්වා, මම ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරලා ආයතනයට අගෞරව කරපු නිසා මාව සේවයෙන් පහ කරන්න ඕනෑ කියලා. මාධ්‍ය වෘත්තීය සමිතියේ බලය අපි අතට ගන්න අපි තීරණ කළේ මේ සිද්ධිත් එක්ක. අපි වෘත්තීය සමිතියෙ තිබුණු වාර්ෂික නිලවරණෙට ඉදිරිරිපත් වෙලා, වසර ගණනාවක් බලය අල්ලා ගෙන හිටිය පිරිස පරදවලා වාර්තාගත ජයග‍්‍රහණයක් අත්කර ගත්තා.


ඔබේ වෘත්තිය සමිති කි‍්‍රයාකාරීත්වය වෘත්තීය සුරක්ෂිතතාවයෙන් එහා සැහෙන දුරක් ගියා.


යුද්ධය පටන් ගැනීමත් එක්ක පාලකයන්ට මාධ්‍යවල කි‍්‍රයාකාරීත්වය පාලනය කරන්න අවශ්‍ය වුණා. මාධ්‍ය කරුවන් කිව්වාට බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන් ම යුද්ධයට සුබ පතන ගැටුමේ කොටස් කාරයන් වෙලා තිබුණේ. එසේ නොවුණ පිරිස මර්දනය කරන්න දැවැන්ත විදිහට ආණ්ඩුව උත්සාහ කළා. යුද්ධය උත්සන්න වෙද්දී නිරන්තරයෙන්ම මාධ්‍යකරුවන්ට තර්ජන කිරීම්, බැණ වැදීම් ආයතන ගිනිබත් කිරීම්, පැහැරගෙන යෑම් සහ ඝාතනය කිරීම් දක්වා ආණ්ඩුව ගමන් කළා.


ඒ වෙද්දී අපි සියලූ මාධ්‍ය සංවිධාන එකාබද්ධ වෙලා එකතැනකට ඇවිත් තිබුණු නිසා අපිත් ශක්තිමත් තැනක හිටියේ. මේ හැම සිද්ධියකදීම අපි ආණ්ඩුවට විරෝධය පළ කරලා ප‍්‍රසිද්ධියේ කතා කළා. සමහර සතිවලදි පිටකොටුවේ උද්ඝෝෂණ දෙකක් කරන්න සිද්ධ වුණා. මේ උද්ඝෝෂණ සහ පෙළපාලිවලදී රටේ ජනතාවට යම් අපහසුවක් වූ බවත් අපි දැක්කා. ඒත් එහෙම නොකළා නම් ආණ්ඩුවෙ උන්මත්තක කි‍්‍රයාවන්ට කිිසිදු ප‍්‍රතික‍්‍රියාවක් දක්වන්න බැරි තත්ත්වයට අපේ සමාජය ගල්ගැහෙනවා. ලසන්ත ඝාතනයට සහ සිරසට ගිනි තැබීමත් මේ රාජ්‍ය මර්දනය උපරිමයට පැමිණි අවස්ථාවක්. මීට සමාන්තරව අපිත් විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සමග එකාබද්ධ වෙලා හිටියා. මේකට නායකත්වය දුන්නේ මාධ්‍ය සංවිධාන හැටියට අපියි. ඒ නිසා රාජපක්ෂ ආණ්ඩුවේ පරම හතුරන් බවට මාධ්‍ය වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන් පත්වෙලා තිබුණා.


රජයේ මාධ්‍ය පාච්ච්වි කරමින් රජය ඉතා නින්දිත ලෙස අපි කොටින්ගේ සල්ලිවලින් යැපෙන පිරිසක් බවට ප‍්‍රචාරය කළා. අපි කොටින්ගෙන් සල්ලි අරගත්තු කතාව විචාරශීීලීව නොසිතන ජනතාව විශ්වාස කරන්න ඇති. මගේ දරුවගේ පාසලේ ගුරුවරු මගේ දරුවගෙන් මේ ගැන අහන්න ගත්තම දරුවා ඉස්කෝලෙ යෑම අත්හරින්න තීන්දු කළා. අපිට ගෙදර ඉන්න බැරි විදහට ආණ්ඩුව විවිධ ක‍්‍රමවලින් තර්ජනය කළා. අපිට ගෙවල් දාලා ආරක්ෂක නිවාසයකට යන්න උණා. දෙනගම සිරිවර්ධන සහෘදයා දරුවගේ ඉස්කෝලේට ගිහිල්ලා විදුහල්පතිනියට සහ ගුරුවරුන්ට කතා කරලා නැවත දරුවට පාසල් යන්න පුළුවන් වාතාවරණය හදලා දුන්නා. අපිත් හැකි හැම උත්සාහයක්ම දරමින් මර්දනයට මුහුණ දෙමින් කෙළින් ඉන්න උත්සාහ කළා.


නමුත් සියල්ල පුපුරා ගියා.


ඔව්. වරක් ආරක්ෂක ලේකම් ගෝඨාභය මටත් සනත් බාලසූරියටත් එන්න කියලා පණිවුඩයක් එවලා තිබුණා. ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර ඔහුගේ වාහනයෙන් ම අපි ඒ සාකච්ඡාවට එක්ක ගෙන යන ගමන් කිව්වේ කියන දෙයක් අහගෙන ඉන්න. කතා කරන්න යන්න එපා කියලා. ඒත් සාකච්ජාවට එන්න කිව්වාට ගෝඨාභය අපිට වාඩිවෙන්නවත් කිව්වේ නෑ. ඔහු කිසිම චාරෙකට නැති විදිහට අභූත චෝදනාවලින් අපිට දමලා ගැහුවා. පළමු චෝදනාව වුණේ ඉක්බාල් අතාස් වෙනුවෙන් අපි උද්ඝෝෂණය කළත් ඔහුගේ යුද තොරතුරු වාර්තා නිසා යුද්ධය පරදිනවා කියන එක. දෙවැන්න අපේ උද්ඝෝෂණ නිසා අධිකරණය පරමේෂ්වරී නිදහස් කළාය කියන එක. අපි මේ චෝදනා ප‍්‍රතික්ෂේප කළා. ඉදිරි යුද සැලසුම් සකස් කරන මේසයේ අතාස් නැත්නම්, ඔහුට තොරතුරු යන මාර්ගය වසා ගැනීම විනා, නොලියන ලෙසට ඔහුට තර්ජනය කිරීම විහිළුවක් බව අපි කිව්වා.


අධිකරණය පරමේෂ්වරී නිදහස් කළේ ඇයට විරුද්ධව කිසිදු විධිමත් චෝදනාවක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවට බැරිවුණ නිසා මිස අපේ උද්ඝෝෂණ නිසා නොවෙයි. එහෙම නම් අපි තව තවත් අධිකරණයට ඉදිරිපිට උද්ඝෝෂණ කරන්නම් තව කොච්චර රිමාන්ඞ් එකේ ඉන්නවාද කියලා අපි කිව්වා. ගෝඨාභයට හොදටම තරහා ගියා. ඔහු කිව්වේ අපි මොන අප්පලාට ජාතක වෙලාද දන්නෑ කියලා.


අපේ අම්මා තාත්තා දුප්පත් මිනිස්සු උණාට ඒගොල්ලෝ මැදමුලනේ වළං හෝදන්න ආවේ නෑ කියලා මම කිව්වා. සාකච්ඡාවට කිව්වාට ඒ බැණ වැදිල්ල අහන්න අපි සූදානම් නැති බව කියලා අපි නැගිටලා ආවා. ඒ වෙලාවේ ඔහු කිව්වා එහෙනම් වෙන දේ බලා ගමු කියලා. අපි ඇහුවා ඔබද අපිට කරන්නේ කියලා. ඔහු කිව්වා අපි කරන්න ඕනෑ නෑ. අපි ජනතාවට කියන්නම් ජනතාව බලා ගනියි කියලා. රටේ ජනතාව ඔහු ළඟ දණින් වැටෙද්දී අපි ඔහුට අවනත නොවීම ඔහුට උහුලන්න බැරිවුණා.


ඔබට කළ දරුණු පහර දීම ඒ කේන්තියේ ප‍්‍රතිඵලයක්ද?


ඔහු කිව්වා වගේම දිගින් දිගටම ඔහු අයි.ටී.එන් එකේ ප‍්‍රවෘත්ති විමසුම, විපරම වාගේ ඒවායින් අපිට අභූත චෝදනා කළා. මගේ අහිංසක තාත්තා කාලයක් යනකම් කඬේට හන්දියට නොගිහින් හිටියා, මේ අයිටීඑන් එකේ කියන දේවල් අහලා මිනිස්සු ඒ ගැන කතා කරනව අහගෙන ඉන්න බැරිව. ඒ වගේම මාව පැහැර ගත්ත වෙලාවේ මාගේ බිරිද පැමිණිල්ල දාන්න මිරිහාන පොලිසියට ගියාම, පොලීසිය පැහැර ගත්ත කෙනාව සොයන්න යවනවා වෙනුවට මා පැහැර ගත් පුවත සැපයූ කෙනා සොයන්න තමයි ජීප් එක යවලා තිබුණේ.


මම පැහැර ගත් තැන ඉදලා අත් ඇරලා දාලා තිබුණු තැනට යන්න තියෙන මාර්ගය වැටිලා තියෙන්නේ අධි ආරක්ෂිත කලාපය හරහා. ඒ කාලේ සියලූ වාහන පරීක්ෂා කරනවා. ආරක්ෂක ලේකම්ගේ, පොලිසියේ දැනුවත් බවකින් තොරව ඒ පැහැරගෙන යාම ඒ තරම් හොදින් කළ හැකි බව මම හිතන්නේ නෑ. ඒ සමස්ත සිද්ධියේදීම පොලිසිය, ආණ්ඩුවේ මාධ්‍ය ඒ සියලූ දෙනා වැඩ කළ විදියෙන් මගේ අනුමානය, සැකය තහවුරු වෙනවා. අනෙක මේ වෙනුවෙන් පැවති උසාවි කි‍්‍රයාමාර්ගයේදී මගේ පාර්ශ්වයට උසාවියේ පෙනී සිටින්න කිසිම අවස්ථාවක් දුන්නේ නෑ. මං වෙනුවෙන් කිසිම සාක්ෂියක් කැදවීමක් කළේ නෑ.


දැන් ඔබ ඇමෙරිකානු පුරවැසියෙක්ද?


පොලූවලින් ගහලා මිනිහෙකුගේ කකුල් කඩලා මම ලියන්න පාවිච්චි කළ ඇඟිලි තලලා සදාකාලික ආබාධිතයෙක් කරලයි රාජපක්ෂ ආණ්ඩුව මගෙන් පළිගත්තේ. මම දවස් 29 ක් තිස්සේ රෝහලේ වැසිකිළියට එක්ක ගියේ වාඩි කළේ සේදුවේ මගේ බිරිද. මේ සිද්ධියෙන් පස්සේ අපිට කවුරුත් කුලියට ගෙයක් දුන්නේ නෑ. ගෙවල් ගන්න ගිහින් අත්තිකාරම් දීපුවා ආයේ රිටර්න් කළා, ගෙදරට එන්නේ මම බව දැනගත්තම. මම ඒ තරම් නරක මිනිහෙක්ද? මම දේශද්‍රෝහියෙක්ද?


අනු ගණන්වල ඉදලාම මම ලියපු දේවල් මට පෙන්වන්න පුළුවන්, මේ රටේ මිනිස්සුන්ගේ ප‍්‍රශ්න කොච්චර මම ලිව්වාද? රාජ්‍ය ආයතනවල දූෂණ වංචා ගැන ලිව්වාද? ඒ මිනිහා කොහොමද දේශද්‍රෝහියෙක් වෙන්නේ.


ජේ.සී. වැලිඅමුණ මහතාගේ මැදිහත්වීමෙන් තමයි මට රැකවරණය පතා ඇමරිකාවට යන්න කටයුතු යෙදුණේ. ඇමෙරිකාව ලෝක බලවතෙක් විදියට රටවල් හූරාකෑවා කියලා කියනවා වෙන්න ඇති. ඒත් ඇමෙරිකාවේ ඉන්න කිසිම මිනිහෙකුට ඒ රට මෙහෙම කරන්නේ නෑ. දැන් අවුරුදු පහක් මම එහේ ජීවත් වුණා. කිසිම දවසක ඒ රට අපිට වෙනස් කොට සලකලා නෑ. අපි ආසියාතිකයෝ නිසා අපිට මොකුත් නොදී ඉදලා නෑ. මම වැඩ කරන තැන මිනිස්සු, මගේ ආයතන ප‍්‍රධානියා ඒ හැමෝම මගේ ප‍්‍රශ්නේ දැනගත්තම පුදුම වෙනවා. ලෝකෙ එහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලා. පැහැරගෙන යාම ඇමරිකාව වගේ රටවල සැලකෙන්නේ ඉතාම බරපතළ වරදක් හැටියට. පැහැරගෙන යෑමෙන්, උන් මට කළ දරුණු වදදීම්වලින් මම අදටත් තැති ගන්නවා. නිව්යෝක්වල ඉදගෙනත් පොඩි සද්දයක් ඇහුණම මම බලන්නේ ජනෙල් තිරේට අස්සෙන්. නිව්යෝක්වලදීත් පාරේ සුදුවෑන් එකක් දැක්හම මම පේමන්ට් එකෙනුත් එහාට පනිනවා. මගේ කකුල්වලට දාපු යකඩ පතුරුවල වේදනාව හැම ශීත කාලේදීම දරුණුවටම විදිනවා. ඒ නිසා ඒ අපරාධය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ අපරාධකාරයන්ට දඬුවම් දෙන්න තියන උවමනාව මම අත්හරින්නෙත් නෑ.

විශේෂ ස්තූතිය
ravaya.lkට

Wednesday, January 25, 2017

9වැනි ජාතික බාලදක්‌ෂ ජම්බෝරිය

9වැනි ජාතික බාලදක්‌ෂ ජම්බෝරියේ උපුටා ගැනීම

ජාතීන් අතර සමගිය ගොඩනැඟීමට බාලදක්‌ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්‌ රට ගොඩනැඟීමට සියලු ජනතාව එකට එක්‌වී කටයුතු කළ යුතුයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂයා


රටක්‌ ගොඩනඟන්න නම් ඒ රටේ සියලු ජනතාව එකට එකතුවී කටයුතු කළයුතු වෙනවා. රටක්‌ එකතු කරනවා කියන්නේ ඒ රටේ ජනතාවගේ සිත් සතන් එකතු කරනවා කියන එකයි. රටේ ජනතාව එකතු කරන කාර්යයේදී මුලින් කළ යුත්තේ රටේ සිටින දරුවන් එකතු කිරීමයි. බාලදක්‌ෂ ව්‍යාපාරය ඊට හොඳම මානවවාදී ව්‍යාපාරය යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

යාපනයේ පැවැති 9 වැනි බාලදක්‌ෂ ජම්බෝරිය අමතමින් මේ බව කියා සිටි ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

ජාත්‍යන්තර බාලදක්‌ෂ දිනය මුල් කරගෙන පවත්වනු ලබන ජාතික බාලදක්‌ෂ ජම්බෝරිය පවත්වන අවස්‌ථාවේ ඔබ සමඟ එක්‌වන්නට ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. මේ වැදගත් අවස්‌ථාවට මා වෙත ආරාධනා කිරීම පිළිබඳව ප්‍රධාන බාලදක්‌ෂ කොමසාරිස්‌තුමා ඇතුළු ශ්‍රී ලංකා බාලදක්‌ෂ සංගමයට මගේ ස්‌තුතිය පුද කරනවා. මේ බාලදක්‌ෂ ජම්බෝරිය යාපනය ප්‍රදේශයේ පැවැත්වීම පිළිබඳව ද බාලදක්‌ෂ සංගමයට මගේ විශේෂ ස්‌තුතියක්‌ පුද කරන්න කැමතියි.

මමත් පාසල් කාලයේදී බාලදක්‌ෂ ව්‍යාපාරයෙහි කටයුතුවල නිරතවී සිටි අයුරු මේ මොහොතේ මගේ මතකයට නැඟෙනවා. මම බාලදක්‌ෂයෙකු ලෙස කටයුතු කළේ මීට අවුරුදු 48 ට පෙර පොළොන්නරුව මහා විද්‍යාලයෙහි අධ්‍යාපනය ලබන කාලයේදීයි. බාලදක්‌ෂ ව්‍යපාරය යහපත් මිනිසුන් බිහි කරන යහපත් සමාජයක්‌ ගොඩනඟන ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨ ව්‍යාපාරයක්‌. බාලදක්‌ෂ ව්‍යාපාරය අද දවස වගේම හෙට දවසේත් අප රටට අත්‍යවශ්‍ය වූ මානවවාදී ව්‍යාපාරයක්‌.

ඔබ සෑම කෙනෙක්‌ම එකතු වී සිටින්නේ ඉතා වැදගත් ජාත්‍යන්තර ව්‍යාපාරයකට. බාලදක්‌ෂ ව්‍යාපාරයෙහි තිබෙන්නේ මනුස්‌සකම, යහපත්කම සහ ගුණවත්කමයි. බාලදක්‌ෂ ව්‍යාපාරය තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය සහ වෛරය නැහැ. අපේ රටේ සියලු ජාතීන් අතර සමගිය ගොඩනඟන්න බාලදක්‌ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්‌. බාලදක්‌ෂ ව්‍යාපාරය ආගමක්‌, ජාතියක්‌, භාෂාවක්‌, කුලයක්‌ ලෙස වෙන්කොට නැහැ. ලෝකයේ අද මේ වන විට මිලියන 42 ක්‌ බාලදක්‌ෂ ව්‍යාපාරයට එකතුවී සිටිනවා. බාලදක්‌ෂ ව්‍යාපාරය තුළින් දරුවන්ට කියා දෙන්නේ අන්අයට පිහිට වීම, උදව් වීම වැනි මානුෂීය ඔවදනුයි. බාලදක්‌ෂ ව්‍යාපාරය තුළ අන් අයගේ දුකට පිහිට වෙන්න කියා උගන්වනවා. ඒ නිසා බාලදක්‌ෂ ව්‍යාපාරයෙහි වටිනාකම අදත්, හෙටත් අඩු වෙන්නේ නැහැ. බෞද්ධ දර්ශනය සහ හින්දු දර්ශනය බාලදක්‌ෂ ව්‍යාපාරයෙහි ඉගැන්වීම්වලට එකතුවී තිබෙනවා. එහෙයින් බාලදක්‌ෂ ව්‍යපාරයේ වටිනාකම ඉතාම ඉහළයි.

අද මේ ස්‌ථානයේදී උතුරේ සහ දකුණේ දරුවන් එකතු වී සිටිනවා. මා විශ්වාස කරනවා මේ රටේ ජාතික සංහිඳියාව ශක්‌තිමත් කරන්න බාලදක්‌ෂ ව්‍යාපාරය මගින් විශාල ශක්‌තියක්‌ සහ බලයක්‌ ලැබෙන බව. රටක්‌ ගොඩනඟන්න ඒ රටේ සියලු ජනතාව එකට එකතුවී කටයුතු කළ යුතුවෙනවා. රටක්‌ එකතු කරනවා කියා කියන්නේ ඒ රටේ ජනතාව සිත් සතන් එකතු කරනවා කියන එකයි. රටේ ජනතාව එකතු කරන කාර්යයේදී මුලින් කළ යුත්තේ රටේ සිටිනා දරුවන් එකතු කිරීමයි. මේ බාලදක්‌ෂ ව්‍යාපාරය තුළ සිංහල, දමිළ, මුස්‌ලිම් දරුවෝ එකට එකතුවී සිටිනවා. මෙහි සිටින දරුවන් අතරේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. මේ හැම දරුවෙක්‌ අතරම තියෙන්නේ මනුෂ්‍යත්වය. මේ දරුවන් කවුරුත් අතරේ වෛරය, ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය නැහැ.

බාලදක්‌ෂ ව්‍යාපාරයෙහි සාමාජික සෑම දරුවෙකුටම හොඳ අනාගතයක්‌ තිබෙනවා. ඔබ සෑම කෙනාම එක්‌ව තිබෙන්නේ ලෝකයේ ශේ්‍රෂ්ඨ මානවවාදී ව්‍යාපාරයකට. මේ ජම්බෝරිය මෙවර යාපනයෙහි පවත්වන බව දැනගත් දකුණේ දරුවන් විශාල සතුටකිනුයි මේ ප්‍රදේශයට ආවේ. ඒ වගේම දකුණේ දරුවන් ජම්බෝරියට පැමිණෙන බව දැනගත් උතුරේ දරුවන් කොයිතරම් සතුටු වුණාද. හැම දරුවෙකුගේම තිබෙන්නේ එකම ලේ බව මෙම සිදුවීමෙනුත් අපට පසක්‌ කර දෙනවා නේද.


පාසල්වල බාලදක්‌ෂ ව්‍යාපාරය සඳහා දරුවන් පුහුණු කරන ගුරුවරුන් මහා කැපවීමක්‌ කරනවා. ඒ ගුරුවරුන් පාසලෙහි උගන්වන විෂයන්ට අමතරව මේ බාලදක්‌ෂයින් පුහුණු කිරීමට විශේෂ කැපවීමක්‌ කරනවා. ඒ ගුරුවරුන්ගේ කැපවීමක්‌ නැත්නම් මේ වගේ රත්තරන් දරුවෝ එකට එකතු කරන්න පුළුවන්කමක්‌ නැහැ. අපේ රජයේ ගෞරවය ඒ සියලු ගුරුවරුන්ට මා පිරිනමනු ලබනවා. බාලදක්‌ෂ ව්‍යාපාරය ලෝකයේ කිසිම රටක අය විවේචනය කර නැහැ. බාලදක්‌ෂ ව්‍යාපාරයෙහි වැඩ කරන අය හොරු, වංචාකාරයෝ, මිනීමරුවෝ කියා චෝදනා එල්ල වී නැහැ. ඒ නිසා මම කියන්න කැමතියි බාලදක්‌ෂ ව්‍යාපාරය කියන්නේ අධ්‍යාත්මික දර්ශනයක්‌ කියා.

ලංකාවේ බාලදක්‌ෂ ව්‍යාපාරය ගොඩනඟන්න සම්පූර්ණ සහය අපි ලබා දෙනවා. බාලදක්‌ෂ ව්‍යාපාරය ශක්‌තිමත් කරන්න රජයෙන් ඉල්ලන ඕනෑම ඉල්ලීමක්‌ අපි ඉෂ්ට කරනවා කියා මම මේ අවස්‌ථාවේ දී කියන්නට ඕන.

අධ්‍යාපන ඇමැති අකිල විරා- කාරියවසම් මහතා සහ සියලු මැති ඇමැතිවරුන් ද උතුරේ මහ ඇමති විග්නේෂ්වරම් මහතා ද මේ වැඩ කටයුතු සඳහා සහයෝගය ලබා දෙනවා කියා මම දන්නවා. ඒ වගේම මේ ජම්බෝරිය සාර්ථක කරන්න පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව විශාල සහයෝගයක්‌ ලබා දුන් බව මා දන්නවා. ඒ සියලු දෙනාටම ස්‌තුතිවන්ත වෙනවා. මේ සඳහා විවිධාකාරයෙන් සහයෝගය දැක්‌වූ සෑම කෙනෙක්‌ටමත් මම මගේ ස්‌තුතිය පුද කරනවා.

මේ උත්සවය සඳහා සහභාගි වූ සෑම කෙනෙක්‌ටම මගේ ආශීර්වාදය පුද කරනවා. බාලදක්‌ෂ ව්‍යාපාරය ශක්‌තිමත් කිරීමට අපි සියලු දෙනා එකතු වී වැඩ කරමු. ඒ තුළින් මේ රටේ ජනතාව ඒකරාශී කරමින් මනුෂ්‍යත්වය වර්ධනය කරමු කියා ඔබ සියලු දෙනාට මම ආරාධනා කරනවා.

විශේෂ ස්තූතිය
දිවයින අතිරේකය 2016/02/24
-------------------------

President opens 9th National Scout Jamboree in Jaffna

President Maithripala Sirisena who ceremonially declared open the 9th National Scout Jamboree in Jaffna yesterday in seen posing for a selfie with one of the girl scouts participating in the jamboree. This  is the first time a National Jamboree is being held in the Northern  Province. The event also coincides with 100 years of scouting in Jaffna. The theme of the Jamboree is “Friendship & Understanding”. Around 8,000 scouts along with their Scout Masters from all the districts of Sri Lanka are participating. Around  200 foreign scouts and leaders from Nepal, India,  Malaysia and Bangladesh too are taking part. The Jamboree will be held until February 26. Northern Province Chief  Minister C.V. Wigneshwaran and newly appointed  Governor Reginald Cooray too were among those who attended.

http://dailynews.lk/2016/02/23

----------------------

Ninth National Scout Jamboree to be held in Jaffna

The ninth National Scout Jamboree organised by the Sri Lanka Scout Association will commence in Jaffna on Sunday.

This is the first time a National Jamboree is being held in Northern Province, and will be held until the 25th. The setting up of camps commenced on Saturday.Approximately, 9125 Scouts from eleven countries are expected to take part in the Jamboree. The Scout Jamboree will be declared opened by President Maithripala Sirisena on Monday evening. 

Minister of Sports and Youth Affairs of Nepal, Narayan Swami who will also take part in the Jamboree , arrived in the country on Saturday morning. Chief Commissioner of Sri Lanka Scouts Association, Prof. Nimal De Silva stated that the theme of the event is Friendship and Understanding, in line with current day activities. And it will be significant to Sri Lanka because around 10,000 scouts will take part in this endeavour and will be the largest educational co-ordination event.

http://newsfirst.lk 
----------------



Mr. RanjithEdirisinghe – Special Events Manager, Coca-Cola Beverages Sri Lanka Limited commemorates thesponsorshipwith Prof. Nimal De Silva – Jamboree ChiefCommissioner and Mr. C. Batuwangala – President Sri Lanka Scouts Association. Alsopictured are other senior officials of the Sri Lanka Scouts Association 

Coca-Cola Beverages Sri Lanka Limited, wasproud to bethe official beverage sponsor of the recently concluded 9th National Scout Jamboree andrefresh over 10,000 scouts and leaders from over 30 countries participating in the Jamboree. The eventdrewcrowds of over 25,000 visitors over sixdays and washosted in Jaffna to coincidewith the Jaffna District Centenary. The week long Jamboree washeldunder the patronage of HisExcellency the President of Sri Lanka as Chief Scout, with the coorporation of the PresidentialSecretariat, The ChiefMinister of the Northern Province and the Nothern Provincial Council. 
The outdooractivitiesat thisyears Jamboreewereconducted by professionalsfrom the Sri Lanka Army, Navy, Airforce and Scout Leaders and volunteerswho are experts in theirfieds for over 1500 participants.
 

Monday, January 23, 2017

බුද්ධික පතිරණ නැමති බාලදක්ෂයා

මාතරින් බිහි වූ තරුණ දේශපාලන මාධ්‍යවේදියා

සිංහල ගුරුවරයෙකු, ජාතික අධ්‍යාපන ආයතනයේ සහ ගුරු විද්‍යාලවල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යරවයෙකු සහ පසුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කොට දැනට විශ්‍රාමික එම්. එස්. ඩී. පතිරණ සහ ගුරුවරියක හා ගුරු උපදේශකවරියක ලෙස කටයුතු කල ජේ. කේ. ගුණවර්ධන මහත්මියට දාව 1974 මාර්තු 17 වෙනිදා මාතර මහ රෝහලේ දී උපත ලැබූ බුද්ධික පතිරණ මහතා ශ්‍රී ලංකා‍වේ වත්මන් දේශපාලනයේ නියැලීම සඳහා අත්‍යවශ්‍යම සාධකයක් වී තිබුණු දේශපාලනික පවුල් පසුබිමක් හෝ ඉසුරුමත් හෝ ධනවත් පවුල් පසුබිමකින් පැමිණි අයෙකු නොවීය.

කැපිටල් රේඩියෝ පුහුණු ආයතයෙන් (1989) සහ කුමාරසිංහ රේඩියෝ සහ ඉලෙක්ට්‍රොනික් පුහුණු ආයතනයෙන් (1990) රේඩියෝ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හදාරනු ලැබූ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුතුහර ළමා සමාජ ව්‍යාපෘතියට අනුබද්ධ මුතුහර ළමා සමාජ මාතර නගර ශාඛාව පිහිටුවීමට මූලික වූ අතර 13 හැවිරිදි වියේදී (1987 – 1990) එහි ආරම්භක සභාපති හා මාතර මුතුහර ළමා සමාජයේ උපදේශක මණ්ඩලයේ සභාපති (1990 සිට මේ දක්වා) විය.

ඔහු මාතර රාහුල විද්‍යාලයේ (1980 – 1993) ආදි සිසුවෙකි.. රාහුල විද්‍යාලයෙ ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායමේ ද ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායයෙකු මෙන්ම “3 වැනි මාතර රාහුල” බාලදක්ෂ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කල අතර ශ්‍රී ලංකාවේ බාලදක්ෂයෙකුට දිනාගත හැකි ‍ඉහළම සම්මානය වන ජනාධිපති බාලදක්ෂ පදක්කම 17 හැවිරිදි වියේදී (1991) හිමි කර ගන්නා ලද්දේය. ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ මූලස්ථානයේ සහකාර මූලස්ථාන බාලදක්ෂ කොමසාරිස් ලෙස (2001 – 2004) කටයුතු කලේය. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ඔහු කළ සේවාව ඇගයීමක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා වූ ජනාධිපතිතුමා විසින් The Thanks Badge සම්මානය 2009 වසරේදී පිරිනමන ලද්දේය.


මාතර දිස්ත්‍රික් කණිෂ්ඨ රතු කුරුස ව්‍යාපෘතිය ස්ථාපිත කිරීම සඳහා පුරෝගාමී වූ අතර 16 හැවිරිදි වියේදී එහි ප්‍රථම දිස්ත්‍රික් ලේකම් (1990 – 1991) විය.  යොවුන් රතු කුරුස සමාජ ගොඩ නගන ලද අවස්ථාවේදී මාතර දිස්ත්‍රික් යොවුන් රතු කුරුස සමාජයේ ප්‍රථම දිස්ත්‍රික් ලේකම් (1991 – 1992) රාහුල විද්‍යාලයට කනිෂ්ඨ රතු කුරුස සමාජය හඳුන්වා දීමට මූලික වූ අතර විදුහලේ කණිෂ්ඨ රතු කුරුස සමාජයේ ප්‍රථම පාසල් ලේකම් විය.

මාතර බිනර මහ පෙරහැරේ ප්‍රධාන බස්නායක නිලමේවරයා ලෙස 2007 වසරේ සිට මේ දක්වා කටයුතු කරන අතර 17 හැවිරිදි වියේදී මාතර, මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයේ බැදිගම ශ්‍රී රතනපාල දහම් පාසලේ විදුහල්පති ධූරයට පත්ව ශ්‍රී ලංකාවේ ලාබාලතම දහම් පාසල් ප්‍රධානාචාර්යවරයා (1991 – 1998) ලෙස වාර්තා තැබීය. ජාතික සාරධර්ම අධ්‍යාපන පදනමේ ජාතික සංවිධායක, මාතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ (1996 – 2000) දහම්පාසල් අනුකමිටු ලේකම්, මාතර දිස්ත්‍රික් දහම්පාසල් ගුරු සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ (1993 – 2003), ආදි තනතුරු ගණනාවක්ම හැදෑරූ ඒ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පෙර සීමාවාසික (1998 – 2003) පුහුණු වෛද්‍යවරයෙකි. විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් ඉදිරිපත් කරන සරසවි ශිෂ්‍යයෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය අගයමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලද “මාගේ දේශය අවදි කරනු මැන” කලා උළෙලේදී “සරසවි ප්‍රඥාකුරයෙක්” ලෙස සම්මානයට පාත්‍ර විය.

සහකාර ප්‍රවෘත්ති සම්බන්ධීකාරවරයෙකු ලෙස ටෙල්ෂාන් නෙට්වර්ක් ආයතනයට (TNL) සම්බන්ධ වූ අතර පසුව ප්‍රවෘත්ති සම්බන්ධීකාරක සහ නියෝජ්‍ය ප්‍රවෘත්ති සංස්කාරක ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට එක්වන අතර ටී. එන්. එල්. රූපවාහිනියේ “ජනහඬ” දේශපාලන කාලීන සිදුවීම් වැඩසටහන, සිරස රූපවාහිනියේ විධායක වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස ද එම්.ටි.වී. චැනල් පුද්ගලික සමාගමට අයත් සිරස රූපවාහිනියේ වඩාත්ම ජනප්‍රිය දේශපාලන හා කාලීන සිදුවීම් වැඩසටහන වූ “සමීප දසුන” මෙහෙයවීම, ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය,  සිරස රූපවාහිනිය ඔස්සේ සතිපතා ප්‍රචාරය වූ දේශපාලන හා කාලීන සිදුවීම් පිළිබඳ වැඩසටහන් වූ “විසම්මුතිය”, “ජනතා ප්‍රශ්න”, “සැබෑ විසඳුම්” වැඩසටහන් මෙහෙයවීම, ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය හා වෘත්තිය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙක් ද වේ.



ඉතාලියේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ දුවණිය වූ මිහිරි වර්ණකුලසූරිය මෙනවිය හා අතිනත ගන්නා තරුණ දේශපාලඥයා ලිබරල් තරුණ සංසදයන්හි ජාතික සභාපති, ෆෙඩ්රික් නවුමාන් පදනම (FNSt) යටතේ දකුණු පළාතේ ලිබරල් තරුණ සමාජ භාරව කටයුතු කරන ලදී. “Save Lanka Kids and Community Concern” ආයතනය විසින්, 2008 ඔක්තෝබර් 19 – 21 දක්වා කොළඹදී පවත්වන ලද HIV “REACH 2008” පුහුණු වැඩසටහන සඳහා සක්‍රිය දායකත්වය ලබා දී ඇත. ලිබරල් ප්‍රතිපත්ති, නිදහස් වෙළඳ ආර්ථිකය සහ නූතන ආර්ථික විද්‍යාව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වැඩමුළුවක් සඳහා ජර්මනියේ ෆෙඩ්රික් නවුමාන් පදනමේ (FNSt), නායකත්වය සඳහා වූ ජාත්‍යන්තර ඇකඩමියෙන් 2000 වසරේදී ශිෂ්‍යත්වයක් ද දිනාගත්තේය. 2007 නොවැම්බර් 26 දින ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවති ආසියානු තරුණ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමයේ (YLDA) වාර්ෂික මහා සම්මේලනයේදී එහි විධායක සභාවට තේරී පත්වීම ද 2008 වසරේදී නැවතත් සමස්ත ආසියානු කලාපයෙන්ම වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගනිමින් එම සංගමයේ උත්තරීතර විධායක සභාවට තේරී පත්වීම. එහිදී දකුණු ආසියානු කලාපය සදහා වූ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ද ඔහු තේරී පත්විය. ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම යොවුන් දේශපාලනඥයා ලෙස, 2006 වසරේදී “TOYP සම්මානයෙන්” පිදුම් ලැබීය. 2009 ඔක්තෝබර් 10 පැවති පළාත් සභා මැතිවරණයට තරඟ වදිමින් දකුණු පළාත් සභාවට තේරී පත් විය. මනාප ඡන්ද 57,802 ලබාගනිමින් මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා විය. දකුණු පළාතේ ප්‍රධාන පක්ෂයන්හි අපේක්ෂකයෙකු වාර්තා කළ වැඩිම ඡන්ද ප්‍රතිශතයටද ඔහු හිමිකම් කියන ලදී. ශ්‍රී ලංකාවේ පළාත් සභාවකට පත් වූ ලාබාලතම විපක්ෂ නායකවරයා ලෙස වාර්තාවක් පිහිටුවීම ද සුවිශේෂී සිද්ධියකි.

මාතර දිස්ත්‍රික්කයේ ආර්ථික දුෂ්කරතා ඇති පාසල් සිසුන්ට උපකාර කිරීම සඳහා “ශිෂ්‍ය ප්‍රබෝධය” ව්‍යාපෘතිය ආරම්භ කිරීම තමා අධ්‍යාපනය ලැබූ පාසැල වු මාතර රාහුල විද්‍යාලයෙන් වෛද්‍ය පීඨ සඳහා ඇතුලත් වීමට සුදුසුකම් ලබන ආර්ථික අපහසුකම්වලින් පෙළෙන සිසුන් සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ආදී බොහෝ සද්ක්‍රියාවන්හි නියුක්ත වේ.

තරඟ කළ මුල්ම පාර්ලිමේන්තු මැතිවරණය වූ 2010 අප්‍රියෙල් 08 පැවති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. එහිදී මනාප ඡන්ද 62,499 ක් ලබාගනිමින් මාතර දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් 7 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 60 දෙනා අතරින් සමස්ත ශ්‍රී ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට වැඩිම මනාප ප්‍රතිශතය ලබා ගන්නා ලද්දේය.  

ආසියා පැසිපික් කලාපයේ විශිෂ්ටතම බාලදක්ෂයෝ

‘2009 වසරේ ආසියා පැසිපික් කලාපයේ විශිෂ්ටතම බාලදක්ෂයා’ සම්මානය චතුර මාතර ආරච්චි විසින් දිනාගත් වගයි.

පළමු වැනි මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ දහනව හැවිරිදි චතුර දේශප්‍රිය මාතර ආරච්චි බාල දක්ෂයා ආසියා පැසිපික් කලාපයේ ‘’විශිෂ්ටතම බාලදක්ෂයා’’ සම්මානය ප්‍රථම වතාවට දිනා ගැනීමෙන් ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරයේ නව වාර්තාවක් පිහිටුවා ඇත.

අනූ අට වසරක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරයේ මෙන්ම 97 වසරක ඉතිහාසයකට උරුමකම් කියන පළමු වැනි මහනුවර ධර්මරාජ බාල දක්ෂ සමූහයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතමයා ලෙසට ආසියා පැසිපික් කලාපයේ බාල දක්ෂ කමිටුවේ සභාපති එරික් ක්හු මහතා අතින් ඔහු එම අද්විතීය සම්මානය , එනම් ‘ආසියා පැසිපික් කලාපයේ විශිෂ්ටතම බාල දක්ෂයා’ සම්මානය පසුගියදා මැලේසියාවේ, ක්වාලාලාම්පූර් නුවර පැවැති 23වැනි ආසියා පැසිපික් බාල දක්ෂ සම්මේලනයේ දී ලබා ගත්තේ ය. 

ආසියානු කලාපයේ රටවල් 28ක තරගකරුවන්ගෙන් අවසාන වටයේ දී , ඕස්ට්‍රේලියාව , ජපානය , මැලේසියාව හා බංග්ලාදේශය නියෝජන කළ බාල දක්ෂයින් පරදවා චතුර දේශප්‍රිය මේ ජයග්‍රහණය ලබා ගත්තේ තමන්ගේ සහජ හැකියාවන් ඔස්සේ බාල දක්ෂ ක්‍රියාකාරකම් ඔප මට්ටම් කරගත් බැව් ලොවට කියා පාමින්ය. එහි දී ඔහු හයවැනි ආසියා පැසිපික් තරුණ වැඩමුළුවටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවිය.

මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් සරත් මාතර ආරච්චි මහතාගේ සහ මල්ලිකා මාතර ආරච්චි මහත්මියගේ පුත්‍රයා ද වන චතුර දේශප්‍රිය, 1991 වසරේ අපේ‍්‍රල් මස 25 දින උපන් චතුර 1996 වසරේ දී ධර්මරාජයට ඇතුල් වී 1998 වසරේදී පෝතක බාලදක්ෂයෙකු ලෙසට බාලදක්ෂ සමූහයේ සාමාජිකත්වය ලබා 2000 වසරේදී පෝතකයෙකුට ලැබිය හැකි ඉහළම පදක්කම වන ‘රන්තරුව‘ ලැබීමෙන් අනතුරුව ධර්මරාජයේ විශිෂ්ටතම කනිෂ්ඨ බාලදක්ෂයා සම්මානයද දිනා ගත්තේ ය. 2004 වසරේ දී විශිෂ්ටතම පෝතක බාලදක්ෂයා සම්මානය ද දිනාගත් චතුර කණ්ඩායම් නායකයෙකු ලෙසට ද සේවය කරන ලදී.

බාල දක්ෂයකුට ලබා ගත හැකි ඉහළම සම්මානය වන ‘ජනාධිපති ප්‍රදානය’ 2007 වසරේ දී දිනාගත් චතුර සමුනයේ මෙන්ම කාණ්ඩ නායක සමුළුවේදී ලේකම්ධූරයට තේරී පත් විණි. 2008 වසරේ දී විශිෂ්ටතම ජ්‍යෙෂ්ඨ බාල දක්ෂයා සම්මානයෙන් පිදුම් ලැබීය.

2006 වසරේ දී තායිලන්තයේ පැවැති ආසියා පැසිපික් කලාප බාල දක්ෂ ජැම්බරියට සහභාගි වූ චතුර එංගලන්තයේ පැවැති (2007 දී) ලෝක බාල දක්ෂ ව්‍යාපාරයේ සියවස් සමරු ජැම්බරියද ශ්‍රී ලංකාව නියෝජනය කෙළේ ය. දක්ෂ සංවිධායක වරයෙකු වන මොහුු මහනුවර දිස්ත්‍රික් කාණ්ඩ නායක සභාවේ සභාපති ලෙසද කටයුතු කරමින් පළවැනි මහනුවර ජබෝරිය 2007 ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කෙළේ ය. එමෙන්ම ‘මහනුවර බාලදක්ෂයා’ පුවත්පතේ කතෘ මණ්ඩලයේ ද කාර්යයන්ද කරන මොහු දිස්ත්‍රික්කයේ බාලදක්ෂ සංගමයේ සියලු සංවිධාන කටයුතු වලටද දායකත්වය ලබා දී තිබේ.

වයස අවුරුදු 12 , 14 ක් හා 17 න් පහල විද්‍යාලයීය බැඩ්මින්ටන් කණ්ඩායම් නියෝජනය කළ චතුර මලල ක්‍රීඩකයෙකු ලෙසද දක්ෂතා දක්වා ඇත. ප්‍රාථමික අංශයේ තූර්යවාදක කණ්ඩායමේ නායකයාද වු මොහු වයස 13 , 14 , හා 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයෙක් විය.

2008 දී දකුණු ආසියා ආරාධිත උසස් පාසල් වැඩසටහන ජපානයේ පැවැති අවස්ථාවේ දී ඊට ද සහභාගි වී අගනා අත්දැකීම් රාශියක් ලබා ගත්තේ ය. විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයෙකු වූ මොහු 2004 වසරේ කණිෂ්ඨ අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ද වූ අතර 2008 – 2009 වසරවල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයාද විය.


විශේෂ ස්තූතිය
http://archives.dinamina.lk/2009/12/12/

Tuesday, January 10, 2017

සමන්ත රාජපක්ෂ නැමති බාලදක්ෂයා

අපේ ආයතනයේ ‘සර්’ ලා නැහැ. මට නම කියලා කතා කරන්න පුළුවන් නම් ඊට පහළ තනතුරුවල අයටත් එසේ විය යුතුයි. යටත් විජිත යුගයේ වගේ, යටත් මානසිකත්වයක් ආයතනයක් තුළ තිබිය යුතු නැහැ AMW කියන්නෙ ශ්‍රී ලාංකිකයකුට අයිති දේශීය සමාගමක් - සමන්ත රාජපක්ෂ Managing Director - AMW

Samantha Aruna Bandara Rajapaksa MBA, FCA, FCMA, MCIM
Managing Director and Director, Associated Motorways (Private) Limited
තවදුරටත් එය එසේ නෙවෙයි. ඩුබායි හි Al - Kuttaim Group කියන ජාත්‍යන්තර සමාගමටයි එහි සියයට සියයක අයිතිය. අද සභාපති බ්‍රිතාන්‍ය ජාතික ලෙන් හන්ට් මහත්මයා. දැන් AMW කියන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතියකින් පාලනය වන ජාත්‍යන්තර සමාගමකට අනුබද්ධ ආයතනයක්. ඕනෑම වාහන වෙළෙඳපාළකට AMW ඇතුළු වෙනවා කියන්නේ එතැන ඉතාම අභියෝගශීලි වාතාවරණයක් ගොඩනැ‍ඟෙනවා කියන එකයි.

කොහොමද AMW තුළ දැන් ශ්‍රී ලාංකේය සංස්කෘතියක් රඳවා ගන්නේ...
අධ්‍යක්ෂ මණ්ඩලයේ හැර මට පහළ පාලනාධිකාරියේ කිසිවෙක් නැහැ, ශ්‍රී ලාංකිකයෙක් නොවන. ජාත්‍යන්තර තලයේ ගුණාංග සමාගමට එකතු වුණාට, දේශීයත්වය, මනුෂ්‍යත්වය අපේ සංස්කෘතිය වගේ සදාචාරාත්මක ගති ලක්ෂණ සියල්ල AMW තුළ සුරැකෙනවා.

මනුෂ්‍යයෙක් හැටියට ඔබ කොහොම හිතන කෙනෙක් ද...
මං මුල අමතක නොකරන කෙනෙක්. රාජකාරිමය වශයෙනුත් මං වෙනස් විදියට හිතන කෙනෙක්. මේ ආයතනයේ ඕනෑ ම සේවකයකුට පුළුවන් ‘සමන්ත’ කියන මගේ මුල් නමින් මට කතා කරන්න. මේ ආයතනයේ ‘සර්’ ලා නැහැ. මට නම කියලා කතා කරන්න පුළුවන් නම් ඊට පහළ තනතුරුවල අයටත් එසේ විය යුතුයි. යටත් විජිත යුගයේ වගේ, යටත් මානසිකත්වයක් ආයතනයක් තුළ තිබිය යුතු නැහැ කියලයි මං හිතන්නේ.

තමන්ගේ ප්‍රධානියාට එහෙම කතා කිරීමෙන්, ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් පැන නඟිනවා නේද...
කොහොමද එහෙම වෙන්නේ, හැමෝ ම ඉන්න ඕනෙ තමන්ගෙ සීමාවල. නමින් කතා කිරීමයි, රාජකාරියේ යෙදීමයි දෙකක්. තමන්ගෙ රාජකාරිය හරියට ඉටු නොකොළොත් ඒක තමන්ගෙ ජීවිතය තීරණාත්මක මොහොතකට ඇද දමන සාධකයක්. මම කැමැති හැමෝම සතුටින් සහ කැමැත්තෙන් අවබෝධයෙන් වැඩ කරනවට. තමන්ගෙ ‍ලොක්කට බයේ හෝ තව කාටවත් පේන්න වැඩකරන සංස්කෘතියක් මෙහි නැහැ.

AMW මේ රටේ කොහොම තැනෙක තිබෙන ව්‍යාපාරයක්ද...
ලැයිස්තුගත සමාගමක් නොවුණට මේ රටේ අවුරුදු 66ක ඉතිහාසයක් තිබෙන ප්‍රමුඛ පෙළේ වාහන ගෙන්වන ආයතනයක්. අපේ සියයට අසූවකට වඩා වෙළෙඳපොළ අලෙවියක් තිබෙන්නේ එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන සඳහා. ගිය අවුරුද්දේ සුසුකිවලින් පමණක් අපි ඒ අලෙවිය රඳවා ගත්තා. මේ අවුරුද්දේ රෙනෝ සහ ඩැට්සන් වාහන වර්ග දෙකත් ඊට එකතු වෙලා තිබෙනවා.

මොකක්ද ඔබ මේ ආයතනයට කළ හොඳම වෙනස...
පවුලේ ව්‍යාපාරයක්, ජාත්‍යන්තර තත්වයට පාලනය වන සමාගමක් බවට හැරවීම. අවුරුදු 66ක් පවුල් පසුබිමකින් පාලනය වූ සංස්කෘතියක් එහෙම වෙනස් කිරීම පහසු වුණේ නැහැ. නමුත් ගෙවුණු අවුරුදු පහේදි AMW තුළ විශාල වෙනස්කම් රැසක් ඇති කළා.

මොනවද ඒ...
සෑම සේවකයකුට ම හැකියාවෙන් ඉහළට යා හැකි සංස්කෘතියක් ඇති කළා. ඒ කියන්නේ කාර්ය ඵලදායිතාව මැනීමේ KPI System එක ක්‍රියාත්මක කළා. මේ ක්‍රමයෙන් වැඩකරන කෙනාටයි නො කරන කෙනාටයි එකම වැටුප් වර්ධකයක් හෝ එකම බෝනස් එකක් ලැබෙන්නෙ නැහැ. ඒ වගේ ම මුහුණ බලලා තනතුරු දෙන්නෙත් නැහැ. වැඩ පෙන්වලා ඕනෙ ඉහළට යන්න. ඒ වගේ ම අධ්‍යක්ෂ මණ්ඩලය මටත්, මම ඩුබායි හි සිටින මගේ සභාපතිවරයාටත් AMW හරහා AMW පෙන්විය යුතුයි. මම MD කියලා මේ ක්‍රමවේදයෙන් බැහැර වෙන්න බැහැ. මේ ක්‍රමය තුළ මාත් සේවකයෙක්. අනික තමයි, හැම වෙලාවෙ ම ඉහළට එන්න අවස්ථාව දෙන්නෙ ආයතනයේ ම සේවකයන්ටයි. පිටින් ගෙනැත් ඉහළ තනතුරු පුරවන් නෑ. අස්වෙලා ගිය කෙනෙක් මොන ම හේතුවක් නිසාවත් නැවත ආයතනයට ගන්නෙත් නැහැ. එහෙම කරන්නෙ යට ඉන්න අයට උඩට එන්න අවස්ථාව දිය යුතු නිසා.

මොකක්ද ඔබේ Management Style එක...
AMW කියන්නෙ කණ්ඩායමක් නම් මම එහි නායකයා තමයි. හැබැයි මං නායකත්වය දෙන්නේ ඒ කණ්ඩායමේ ම කෙනෙක් හැටියට පූර්ණ සහභාගීත්වයෙන්. ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යන වාතාවරණය ශීඝ්‍ර ලෙස වෙනස් වීමට මේ ක්‍රමය දැඩි ලෙස බලපානවා. ඒ වගේ ම, එය ඉතා සාර්ථක ක්‍රමවේදයක්. මං කොහොමටත් Boss කියන සංකල්පයට කැමැති නැහැ. මං, සේවකයන් සමඟ සිටින වැඩකරන leader කෙනෙක්.

කවුද ඔබේ ජීවිතයට පූර්වාදර්ශ වූ ව්‍යාපාරික නායකයන්...
M.T.L ෆර්නැන්ඩු, ‍ෙජ්ම්ස් මේතර්, දේවසිරි රුද්‍රිගෝ, චන්ද්‍රා විජේනායක කියන, ක්ෂේත්‍රයේ දැවැන්තයෝ සහ ගෘහනිර්මාණ ශිල්පී සුරත් වික්‍රමසිංහ, දොස්තර ගාමිණි වික්‍රමසිංහ සහ ජයන්ත වික්‍රමසිංහ මගේ මාමලා තුන්දෙනා. අදටත් මට මොන විදියෙ උපදේශනයක් අවශ්‍ය වුණත් මේ කවුරු හරි කෙනෙක් මගේ ළඟ ඉන්නවා.

මේ හැමෝගෙන්ම ඔබේ ජීවිතයට ගත් පොදු දෙයක් කියන්න...
ඔබ හොඳින් හිතලා හරියි කියලා යම් දෙයක් තීරණය කළා නම්, කිසිදු පැකිළීමකින් තොරව ඒ තීරණය ගන්න. තීරණ ගනිද්දි වැනෙන්න එපා. ඒ වගේ ම, ඔබ ඉදිරි අවුරුදුවල සිටිය යුතු තැන පිළිබඳ දැක්මක් ඇති කරගන්න.

ආයතනික ඉලක්ක සහ අරමුණු කරා යෑමේදී මනුස්සකම් අමතක කරන්න වෙනවා... එකඟද මේ කතාවට.
නැහැ. අපි ඉලක්ක පිහිටුවන්නේ සාමුහිකව. ඉලක්ක කරා යන්නෙත් කණ්ඩායමක් හැටියට. එහෙම යෑමේදි කණ්ඩායමේ නායකයා හැටියට පහසු තීරණ වගේ ම දුෂ්කර තීරණත් ගන්න වෙනවා. නායකත්වයේ සාර්ථක බව තියෙන්නේ එවැනි අමාරු සහ දැඩි තීරණ ගැනීම තුළයි. අත්දැකීම්. ස්ථානෝචිත ප්‍රඥාව, බැලන්ස් කිරීම... ඔය වගේ දේවල් ජීවිතයේ තිබුණොත් මේ තත්වය එතරම් අමාරු නැහැ. අද පවතින මේ ආර්ථිකය තුළ ව්‍යාපාරයක් සමාගමක් ඉදිරියට යන්න බැහැ මේ දේවල් ව්‍යාපාරික නායකයෙක් තුළ නැත්නම්.

ඇයි රටේ පවතින්නේ ව්‍යාපාරිකයන්ට යහපත් කාලයක් නෙවෙයිද...
අද පවතින තත්ත්වය තුළ තමන්ගේ ආයතනය ඉදිරියේ තියෙන්න ඕනේ තැන පිළිබඳ අවුරුද්දක් මාස හයක් නෙවෙයි, මාස තුනක්වත් ඉදිරියට plan කරන්න බැහැ. ඒ තරම් බදු ක්‍රමය වෙනස් වෙනවා. පහුගිය මාස දොළහට තුන් පාරක් බදු වෙනස් වුණා. මේක ලංකාවට ම ආවේණික ලක්ෂණයක් විතරයි. ජාත්‍යන්තරයේ තියෙන්නෙ මීට සපුරා වෙනස් තත්ත්වයක්.

මේ තත්වයෙන් ගොඩ එන්න AMW ත් විකල්ප ව්‍යාපාරවලට ගියා ද...
2500 ක සේවක පිරිස බලාගන්නෙ කොහොමද සහ අපේ ආයෝජකයන් බලා ගන්නෙ කොහොමද කියන දෙපැත්තක ප්‍රශ්න වලට අපි මැදි වෙනවා. ආයෝජකයො කැමැති නැහැ එක රැයකින් වහන්න වෙන බිස්නස්වලට සල්ලි දාන්න.ෆැක්ටරිය, වර්ක් ෂොප් සහ අමතර කොටස් කියන බදු අඩු අංශවල ව්‍යාපාර දියුණු කරන්න අපි වෙහෙසුණා. පොඩිකා‍ර්, මෝටර් සයිකල්, ලොරි වගේ වාහන වැඩිපුර වැඩිපුර විකුණන්න වුණා. ‘Balance your Trade and Balance your Business risk….’ කියන තැනට එන්න වුණා. නමුත් රටකට මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. මෙහෙම ගියොත් පෞද්ගලික අංශයට බැරිව යනවා මේ රටට රස්සා හදන්න.

ඔබ තුළ තිබෙන ඔබට ම ආවේණික දක්ෂතාවක් කියන්න...
මං ක්‍රීඩාවේ දක්ෂයෙක්. වයලීන් වාදනයටත් කැමැතියි. ඒ සියල්ලට වඩා වෘත්තීය ජීවිතයේ මං ගොඩනඟාගත්තු විශේෂතා වලටයි මං කැමැතියි.

මොනවද ඒ ඔබට සාර්ථක වූ ව්‍යාපාරික විශේෂතා...
අද මං හුඟක් කැමැති සහ මගේ දක්ෂතාව තිබෙන්නේ, ‘Change Management’ සංකල්පයට. AMW වැනි පවුල් පාලනයක් තිබූ ව්‍යාපාරයක් ජාත්‍යන්තර මට්ටමට ගෙනැල්ලා, එහි කළමනාකරණ සංස්කෘතිය, මෙහෙයුම් ක්‍රියාවලිය, සමස්ත ව්‍යාපාර... ආදි සියල්ල ඉතා විශිෂ්ටත්වයට පත් කිරීම මං කළේ මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන්.

ඔබ ජීවිතයේ හැම දෙයක් ම සැලසුම් කරන කෙනෙක් ද...
අවුරුදු දහ අටේදී මං මගේ මාමා ගාමිණි වික්‍රමසිංහ සමඟ එක මේසෙක වාඩිවෙලා මගේ ජීවිතේ අවුරුදු විසි අටට වෙනකල් සැලසුම් කළා. අවුරුදු විසි පහ වෙන‍කොට මං සම්පූර්ණ කළ යුතු විභාග, ලබා සිටිය යුතු වෘත්තීය අත්දැකීම් ලියුවා. ඒ plan එකෙන් පිට යන්න වුණොත්, මම ඒ බව දන්නවා. ඒකෙ තිබෙන වාසිය තමයි, එවිට මම ඒ දෙයට සූදානම් වෙනවා.

ඒ අවුරුදු දහය එලෙසම සාර්ථක වුණාද...
ඔළුවට ගත්තා මිස එදායින් පස්සෙ කවදාවත් මං ඒ කොළේ ආයේ බැලුවෙ නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද මං සියල්ල සපුරා ගත්තා. නමුත් ඒ plan එකේ තිබුණෙ නැහැ මං අවුරුදු 28 දි MD කෙනෙක් වෙනවා කියලා. ඉක්මනින් සුදුසුකම් සපුරා ගත්තා වගේ ම මං වැඩත් කළා. අත්දැකීම් හදාගත්තා. මොකද, වයසට යනකල්ම විභාග කර කර ඉන්න මං ආසා වුණේ නැහැ.

හරිම වෙලාවෙදි යමක් වෙනුවෙන් වෙහෙසීමත්, හරි ම වෙලාවෙදි යමක් අත්හැරීමත් ඉතා වැදගත්... මේ කතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න...
Central Finance ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් සහ CF Venture Fund සමාගමේ MD, තනතුරු දෙකම දරද්දියි මට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගන්න ඕනෙ වුණේ. හැමෝම එපා කියද්දි මං මේ තනතුරු දෙකම අත්හැරියා. ඇමරිකා ගියා. ඇමරිකන් සමාගමකට වැඩකළා. ආපහු ඇවිත් මට අවශ්‍ය තැනින් වැඩ පටන් ගත්තා.

පෞද්ගලික අංශයේ ඉහළට යන්න වැදගත් වෙන්නේ අධ්‍යාපනයද, අත්දැකීම් ද...
ඔය දෙක ම. වයස 48දි මට අවුරුදු 29ක වාත්තීය අත්දැකීම් ලබන්න පුළුවන් වුණේ අවුරුදු 19දිම වැඩ කරන්න ගත්තු නිසා. FCMA, MCIM, FCA සහ MBA වගේ අධ්‍යාපනික සුදුසුකම් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ වැඩකරන ගමන් ඉගෙන ගත්තු නිසා.

ඔබ සීත කාමරේකට වෙලා සියල්ල මෙහෙයවන MD කෙනෙක් ද...
රට පුරා විහිදුණු ශාඛා වෙත යෑම, කළුතර ටයර් නිෂ්පදන කර්මාන්තශාලාව, work shops, Market Visits…. මගේ රස්සාව හා බැඳුණු දේ. මං නිතර ඒ තැන්වලට යනවා. ඒවායේ ප්‍රශ්න ගැටලු සහ සැබෑ ස්වභාව පිළිබඳ අවබෝධය ගන්නවා. මේ වගේ දැවැන්ත සමාගමක් මෙහෙයවන්න හොඳම ක්‍රමය, ප්‍රායෝගික මනුෂ්‍යයෙක් වීම. සීත කාමරේකට කොටු වෙලා ඒක කරන්න බැහැ.

ව්‍යාපාර ක්ෂේත්‍රයෙත් එක තැනක ඉන්නවට වඩා ඔබ විවිධ අංශ සොයා යනවා. ඇයි මේ....
මං කවදාවත් හිතන්නෑ මං හැම දේම දන්නවා කියලා. ගණකාධිකරණ ක්ෂේත්‍රයෙන් IT වලටත් එතැනින් ආයෝජන ක්ෂේත්‍රයටත් ආයෝජන වලින් ව්‍යාපෘති කළමනාකරණයටත් එතැනින් ව්‍යාපාර සංවර්ධන අංශයටත්... වගේ පුළුල් ක්ෂේත්‍ර ගණනාවකට ගියේ මං තුළ තිබූ ඉගෙනීමේ ආශාව සහ කුතුහලය නිසා. මේ හැම තැනෙකම පොඩි ම සේවකයාගෙන් පවා ටෙක්නිෂියන්ගෙන් පවා මං ප්‍රශ්න අහනවා. ඕනෑම දෙයකින් ඉගෙන ගන්න යමක් තිබෙනවා. ඕනෑම කෙනෙකුගෙනුත් ඉගෙන ගන්න දෙයක් තිබෙනවා.

පාසල් කාලේ ඔබ දක්ෂ වුණේ මොනවටද...
මං ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව නියෝජනය කරපු ජනාධිපති බාලදක්ෂයෙක්. ඉංග්‍රීසි හා සිංහල විවාද කණ්ඩායමේ කථිකයෙක්. මලල ක්‍රීඩාවේ සහ ටෙනිස්, ස්කොෂ් ක්‍රීඩාවේ නියැළුණු ක්‍රීඩකයෙක්. O/L කරනකල් මං දැනගෙන හිටියෙ නැහැ අධ්‍යාපනයෙන් මං ඉන්න තැනවත්. මගේ ඔළුවෙ තිබුණෙ ම බාහිර ක්‍රියාකාරකම්.

ඒත් ඔබ සාමාන්‍ය‍ පෙළ පටන් හැම විභාගයකටම හොඳින් මුහුණ දෙනවා....
O/L පන්තියේ හැම වාරෙකම මං තිස් හතර හෝ තිස් පස්වැනියා. නමුත් මගේ ප්‍රතිඵල ඩී - හතයි, සී - එකයි. ආනන්දෙ අපේ පන්තියේ ඩී අට ගත්තු 32ක් හිටියා. මගේ දක්ෂතාව මම ම හඳුනා ගත්තා. තාත්තා දොස්තර නිසා මමත් බයෝ සයන්ස් කළා. හුඟක් බාහිර දේ කළාට මහන්සියෙන් පාඩම් කරලා විශ්ව විද්‍යාලෙටත් තේරුණා. හැබැයි ජේ.වී.පී. කලබල. කැම්පස් වහලා. මං කළේ ගණකාධිකාරි වෘත්තිය හදාරන්න ‘අර්නස්ට් ඇන්ඩ් යං’ සමාගමට බැඳුණු එක. මාසෙට රුපියල් දෙසීයකුත් ලැබුණා. අවුරුදු හතරකට පස්සෙ සුදුසුකම් හදාගත්තට, ඒ ඒකාකාරි රස්සාවට මං කැමැති වුණේ නැහැ.

ඒකද ඔබේ පළමු රස්සාව...
එතැන මං වැඩ කළේ ඉගෙන ගනිමින්. Informatics ආයතනයේ ‘කළමනාකරු - විශේෂ ව්‍යාපෘති’ හැටියටයි මං වෘත්තීය ජීවිතේ ඇරැඹුවේ. තිබෙන ව්‍යාපාර දියුණු කිරීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම, හඳුනා ගැනීම... වගේ විවිධ ක්ෂේත්‍රවල වැඩ කළා. මං Marketing ක්ෂේත්‍රයට අදාළ විභාග කළා. විශ්වවිද්‍යාල ඇරියට පස්සෙ බයෝ සයන්ස් ඉඳලා බී - කොම්වලට මාරුවක් හදා ගත්තා. අඩු වයසින් ක්ෂේත්‍ර කිහිපයක සුදුසුකම් හදා ගැනීමයි, මගේ ගමන ඉක්මන් කළේ.

ජීවිතයේ දුක් අමාරුකම් කවදාවත් දැනිලා තියෙනවද...
මගේ තාත්තා වෛද්‍යවරයෙක්. මට වයස හතේදි තාත්තා මිය ගියා. ඊට පස්සෙ මාමලා අපිට හුඟක් උදව් කළා. තාත්තා නැති දරුවෝ කියන දුක දැනෙන්නෙ දුන්නෙ නැහැ. අම්මා, අයියාවත් අක්කවත් මාවත් ඇගේ ගු‍රු පඩියෙන් ජීවත් කරවන්න ලොකු වෙහෙසක් ගන්නා බව පුංචි වුණාට අපි අව‍බෝධ කරගත්තා. ඒ නිසා අපි අම්මගෙන් යමක් ඉල්ලුවාද ඒ අත්‍යාවශ්‍ය ම දෙයක් පමණයි. මට මතකයි මලල ක්‍රීඩා කරපු මුල් කාලෙ උස පැනීම කරන්න මීටර් 400 දුවන්න ස්පයික්ස් සපත්තු දෙකක් මට තිබුණෙ නැහැ. ඒ වෙලාවට මං දැම්මෙ යාළුවෙකුගෙ සපත්තු දෙකක්. පස්සෙ කාලෙක මට ඒවා ලැබුණත් යමක් ‍නොලැබී ගත කරන ජීවිතේ අපහසුතාවත් අමාරුවත් අත්දැකීමත් මං හොඳින් දන්නවා.

කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා...
තවම ඉන්නවා. අදත් මං දුනු ඊතල ක්‍රීඩකයෙක්. ජාතික ශූරයෙක්. පුහුණුකරුවෙක්. පහුගිය දකුණු ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකාවේ දුනු විදීමේ කණ්ඩායමේ නායකත්වය දැරුවෙ මං. ඇත්තට ම මං ස්කොෂ් ක්‍රීඩාවට ගියේ ඉස්කෝල ජීවිතෙන් පස්සෙ. දුනු ඊතල ක්‍රීඩාව පටන් ගත්තෙ අවුරුදු 31 දි ඇමරිකාවට ගිය ගමනෙදි. ඒ ඇවිත් මං ලංකාවේ ජාතික සූරයා වෙනකොට වයස 38 යි. ක්‍රීඩාවට තිබෙන කැමැත්ත මගේ ජීවිතයට හරි සැහැල්ලුවක්.

ආගමත් එක්ක තිබෙන්නෙ කොහොම බැඳීමක්ද...
හැමදාම මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා වැඩට ආවට, මං පන්සල් බෞද්ධයෙක් නෙවෙයි. මගේ බෞද්ධකම තියෙන්නෙ මගේ ජීවත් වීම තුළ පමණයි. මම ජ්‍යෙතිෂ්‍ය හෝ හඳහන් පස්සෙ හඹා යන්නෙත් නැහැ. ‍‍

සාර්ථක පියෙක් ය කියන සතුට ඔබ විඳිනවද...
ඔව්. මගේ ලොකු පුතාට වයස 22 යි. එයා අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. ලොකු දුවට වයස 18 යි, එංගලන්තේ උපාධියක් හදාරනවා. බාලම දූට වයස 13 යි. ඒ තුන්දෙනා ම මට හුඟක් ළං වෙච්චි දරුවෝ.
උපුටා ගැනීමකි...අපි හැමෝම අපේ ජිවිතකතා අපේ අද්දැකිම් මෙහි හුවමාරු කරමු...


උපුටා ගැනීම හා විශේෂ ස්තූතිය
සුපුන් සෙනෙවිරත්න
https://mangomark.com

නාලක හෙට්ටිආරච්චි නැමති බාලදක්ෂයා

අවිස්සාවේල්‍ලේ ඉපිද කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිම කළ නාලක හෙට්ටිආරච්චි දිල්ලි විශ්ව විද්‍යාලයෙන් ජීව විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලැබුවේ 1996 දීය. අනතුරුව වරලත් වෙළෙඳකරණය (CIM) පිළිබඳ ඩිප්ලෝමාව හැදෑරූ ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් වෙළෙඳකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් (MBA) ලැබූ අතර දකුණු අප්‍රිකාවේ ස්ටෙලොන්වෝශ් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවද හැදෑරුවේය.

පලතුරු බිම සමාගමක අලෙවි නියෝජිතයකු ලෙස මුල්ම රැකියාව ඇරඹූ නාලක හෙට්ටිආරච්චි මහතා අනතුරුව ස්මාර්ට් වෙළෙඳ සමීක්ෂණ ආයතනයේ ක්ෂේත්‍ර සමීක්ෂක, සිලෝන් බෘෘවරි සමාගමේ අලෙවි විධායක, යුනිලීවර් සමාගමේ ප්‍රාදේශීය කළමනාකාර, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ භාණ්ඩ කළමනාකාර රැකියාවන්හි නිරතවී 2005 වසරේ කොකාකෝලා සමාගමේ වෙළෙඳ සන්නාම කළමනාකරු ලෙස පත්විය. අනතුරුව වෙළෙඳ‍පොළ කළමනාකරුවකු වූ නාලක හෙට්ටිආරච්චි මහතා 2007 වසරේ එම සමාගමේ ප්‍රාදේශීය කළමනාකාර තනතුරකට පත්විය.

2010 වසරේ කොකාකෝලා සමාගමේ ඉතියෝපියාවේ වෙළෙඳ සහ අලෙවි කළමනාකාර තනතුරට පත්වූ ඔහු 2013 වසරේ කොකාකෝලා සමාගමේ ටැන්සානියාවේ වෙළෙඳ සහ අලෙවි කළමනාකාර තනතුරට පත්විය.

උප්පැන්න සහතිකයෙන් ඔබට ලැබුණු නම? නාලක හෙට්ටිආරච්චි

උපන්න ගම්පළාත? අවිස්සාවේල්ල, උක්වත්ත

උපන් දිනය කවදාද? 1970 මැයි 10

පවු‍ලේ කීවැනියා විදිහටද උපන්නේ?බාලයා. මගේ අයියා නීල් හෙට්ටිආරච්චි. අක්කා තමරා හෙට්ටිආරච්චි.

අම්මා, තාත්තා කවුද කියමුද? අම්මා එස්.එච්. විජේසිංහ, තාත්තා ඩේවිඩ් හෙට්ටිආරච්චි.

ඒ කා‍ලේ ඔවුන්ගේ රැකියාව වුණේ?අම්මයි, තාත්තයි දෙන්නාම ගුරුවරු. අද අම්මා විශ්‍රාමිකයි. තාත්තා ජීවතුන් අතර නෑ.

කොහොමද ළමා කා‍ලේ?අද ජීවිතේට ඕන හුඟක් දේවල් ඉගෙන ගත්තේ පුංචි කා‍ලේ. ඉගෙනීමේ වටිනාකම, උත්සාහවන්තකම, ස්වාධීනත්වය, පෞරුෂය වගේ දේවල් අම්මා අපේ හිත්වලට දුන්නා.

කොහොමද එහෙම දුන්නේ?පුංචි කා‍ලේ අපි අපේ වැඩ කරගන්න ඕන. උදේ නැගිටලා ඇඳ හදන තැන ඉඳලා නාගන්න, රෙදි හෝදාගන්න ඒවත් කළා. විශේෂයෙන් අපි කෑම කාපු පිඟාන අපිම හෝදාගන්න ඕන. මේ තුළින් ළමා මනසට අම්මා දුන්නේ මට ඕන දෙයක් තනියම කරන්න පුළුවන් කියන පෞරුෂය. අපේ අම්මා ඉස්කෝ‍ලේ ඉගැන්වීම විතරක් නෙවේ කළේ. ගෙදර එළවළු, මල් වගා කළා. ඇගේ උත්සාහයෙන් අමතර ආදායමක් එන හැටි අපි දැක්කා. ඉගෙන ගත්තොත් තමයි හැමදේම කරන්න පුළුවන් කියන එක හැමවිටම කිව්වා. අම්මා කෑම කවද්දී හැමදාමත් උපදේශාත්මක කතන්දරයක් කිව්වා.

ඔබ ඉගෙන ගන්නේ?හෝමාගම, පුවක්පිටිය උතුර මහා විද්‍යාලය, හෝමාගම ජනාධිපති විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය.

කොහොමද ඉස්කෝ‍ලේ කා‍ලේ?පහේ ශිෂ්‍යත්වෙ පාස් වෙනකල් ගමේ ඉස්කෝල දෙකට ගියේ. අම්මත් එක්ක පයින්ම කිලෝමීටර් දෙකක් විතර දුර ඉස්කෝලෙට ගියා. පයින් යනකොට වටපිට මග දකින්න, බලන්න ගොඩක් දේවල් තිබුණා. ඒ තුළින් ජීවිතේටත් ගොඩක් දේ ඉගෙන ගත්තා. කථික තරගවලින් දිනලා තියෙනවා. මලල ක්‍රීඩාවලින් දුවලා ගොඩක් සහතික ගත්තා. පන්තියේ නායකයා වුණෙත් මමයි.

ඔහොම වැඩ කරද්දී ඉගෙනීම?මමයි හැමදාම පන්තියේ පළමුවැනියා. ශිෂ්‍යත්ව විභාගෙයි රාජකීය විද්‍යා‍ලේ ඇතුළත් වීමේ විභාගෙයි දෙකම එක කා‍ලේ ලිව්වේ. විභාග දෙකම පාස්වුණා. මම ගමේ ඉඳලා කොළඹ ඇවිත් රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාරේ නැවතුණා. රාජකීය විද්‍යාලයට පැමිණීම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඒක ඉස්කෝලයක් නෙවේ විශ්ව විද්‍යාලයක්. විවිධ ජාතීන් වගේම විවිධ දක්ෂතා තිබුණ සිසුන් මිශ්‍ර වුණු විද්‍යාලයක්.

කොහොමද ඒ ඉස්කෝ‍ලේ හිටපු කා‍ලේ?මට ලොකුම ප්‍රශ්නය වුණේ ඉංග්‍රීසි. මං රාජකීය විද්‍යාලෙට එනකොට ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්න බෑ. උනන්දුවෙන් ඉංග්‍රීසි ඉගෙනගත්තා. ඉස්කෝ‍ලේ යාළුවොත් මට ඉංග්‍රීසි කියලා දුන්නා. යාළුවන්ගේ දෙමාපියොත් මට උදව් කළා. අපේ අම්මා මට කිව්වෙත් කොහොම හරි ඉංග්‍රීසි ඉගෙන ගනින් පුතේ කියලා. මට ඉංග්‍රීසිවලට තිබුණේ ලකුණු 30ක් වගේ විතර. ඉංග්‍රීසි පුළුවන්කම තිබුණා නම් මම රාජකීය විද්‍යාලෙත් පළමුවැනියා වෙනවා.

ඉතින් ඔහොම කා‍ලේ ගවෛද්දී?ඕලෙවල් විභාගෙට මාස පහක් තියෙද්දී තාත්තා නැතිවුණා හදිසියේ ආව හෘදයාබාධයකින්. ඒක ජීවිතේ හැම පැත්තටම බලපාපු සිද්ධියක් වුණා. තාත්තා තමයි නායකයෙක් විදිහට ගෙදර ගොඩක් දේවල් කළේ. මගේ ලෝකේ වීරයා වෙලා හිටියේ තාත්තා. ඒ අතරේ ආර්ථික ප්‍රශ්නත් ආවා. තාත්තා නැති වෙන කා‍ලේ ගුරු වෘත්තියෙන් අයින්වෙලා ව්‍යාපාර කළේ. ඒවා කරන්න කෙනෙක් නැතිවුණාම අම්මගේ කරට බර ආවා.

කොහොමද ඔය තත්ත්වය විසඳුණේ? අයියා ඒ වෙනකොට ආනන්ද විද්‍යාලයේ ඒලෙවල් පන්තියේ හිටියේ. අයියා තාත්තාගේ ව්‍යාපාර භාරගන්න කල් ඔය ආර්ථික දුෂ්කරතා වගේම මානසික පීඩාවත් මට තිබුණා. ගුරුවරු පවා සමහර අවස්ථාවල මට උදව් කළා. ගණිතය උගන්වපු කරුණාරත්න සර් මාව සතිඅන්තේ ගෙදර ගෙනිහින් තියාගෙනත් ඉගැන්නුවා.

ඔබ මේ පාස‍ලේදී විෂය බාහිර කටයුතු කළේ නෑ? මම පිහිනුම්, මලල, හොකී ක්‍රීඩා කළා. කණ්ඩායම්වලටත් හිටියා. නමුත් ඊට පස්සේ හොකී ප්‍රධාන ක්‍රීඩාව කරගෙන අනිත්වා අතෑරියා. රාජකීය විද්‍යා‍ලේ හොකී කණ්ඩායමේ උප නායකයා වුණා. කොළඹ දිස්ත්‍රික් පාසල් කණ්ඩායමටත් සෙල්ලම් කළා. මට හොකී ක්‍රීඩාවට පාසල් වර්ණත් ලැබුණා.

බාහිර වැඩ එපමණද කළේ? මම පාස‍ලේ වගේම නේවාසිකාගාරෙත් ක්‍රීඩා කළා. බාලදක්ෂයෙක් වෙලා හිටියා. විහාර මහා දේවි පාක් එකේ කඳවුරු බැදල තියෙනවා ඇති තරම්. ඒ වගේම ශිෂ්‍ය නායකයෙක්, සිංහල සාහිත්‍ය සංගමේ හිටියා. අපි හොස්ටල් එකේ කලා සංගමයෙන් හුඟක් නාට්‍ය කළා අපි.

ඔය බාහිර වැඩත් එක්ක ඉගෙනීම? අටේ පන්තියේදී විතර ඉගෙනීම ටිකක් පහතට වැටුණා. ඒත් තාත්තා නැතිවුණාට පස්සේ අරමුණක් ආවා ඉගෙනගන්න. මං ඕලෙවල්වලට හොඳට මහන්සි වුණා. ඕලෙවල් පාස්වෙලා ජීව විද්‍යා අංශයෙන් ඒලෙවල් කළා. මට ආසාවක් තිබුණා වෛද්‍යවරයෙක් වෙන්න. ඒක ‍පොඩි කා‍ලේ ඉඳලා ආව ආසාවක්.

ඔබ උසස් පෙළ පාස්වෙන්නේ?1989දී. මාව තේරුණේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයට. විශ්ව විද්‍යාලයට තේරුණාට මට යන්න වුණේ නෑ. ඒ කා‍ලේ රටේ පැවැති වාතාවරණය නිසා විශ්ව විද්‍යාලයට බඳවා ගැනීමේ අවුරුදු දෙක තුනක පමාවක් තිබුණා. මම විභාගේ පාස්වුණ ගමන් රස්සාවක් හොයාගත්තා බොහොම ‍පොඩි පඩියකට පලතුරු බිම බෙදාහරින නියෝජිතයකු ළඟ අලෙවි නියෝජිතයකු විදිහට.

කීයද ඒ මුල් වැටුප?රුපියල් 1800යි. අලුත් රස්සාව තමයි මගේ ජීවිතේ ලොකුම අත්දැකීම සහ මං ලබපු උපාධිය. පලතුරු බිම අරගෙන කඩෙන් කඩේට ගිහිල්ලා බෝතල් අරන්, බෝතල් දාලා, ප්‍රදර්ශන පුවරු ගහලා අවුරුදු තුනහමාරක් තිස්සේ කරපු රැකියාවෙන් ඉගෙන ගත්ත දේ බොහෝමයි. ඩ්‍රයිවර් නැති දාට වාහනේ එළෙව්වා. ගෝලයෙක් නැතිදාට බඩු පැටෙව්වා, බෑවා. පුංචිම තැන මොකද වෙන්නේ කියන එක අදටත් මං දන්නවා. ඒ අත්දැකීම්වල වටිනාකම ඒකයි.

ඉගෙනීම අතෑරලමද රැකියාව කළේ?ඉගෙනීමේ අරමුණ තිබ්බා. අපිව විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම කල් යන නිසා රැකියාව කරන ගමන් පිටරට විශ්ව විද්‍යාලවලට ඉල්ලුම් කළා. රාජකීය විද්‍යා‍ලේ හිටපු මගේ යාළුවෝ පිටරට විශ්ව විද්‍යාලවලට ගියා මේ කා‍ලේ. ඒ ලංකාවෙන් ගියේ හොඳ මොළ. මගේ යාළුවෝ යද්දී ඇයි මම නොයන්නේ කියලා හිතිලයි ඉල්ලුවේ. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකිනුත්, දිල්ලි විශ්ව විද්‍යාලෙනුත් තෝරාගෙන තිබුණා. නමුත් මම ඇමෙරිකානු විශ්ව විද්‍යාලය අතෑරියා. ඒ සඳහා තිබුණු මුදල් ගෙවන්න මට හැකියාවක් තිබ්බේ නෑ. දිල්ලි විශ්ව විද්‍යා‍ලේ ගාස්තු ඒ තරම් ලොකු වුණේ නෑ. ඒ නිසා මම දිල්ලි විශ්ව විද්‍යාලයට ගියා.

කොහොමද ඉතින් මේ ගමන? දිල්ලි විශ්ව විද්‍යාලයෙත් හොඳම විද්‍යාලය වුණ ‘හින්දු විද්‍යාලයට’ තමයි තේරුණේ. මම ජීව විද්‍යා අංශයෙන් විශේෂ උපාධියක් මම හැදෑරුවා. අවුරුදු තුනක්. අයියා තමයි මගේ සියලු වියහියදම් දැරුවේ. ඒ ජීවිතෙත් මගේ ජීවිතේට ලොකු අත්දැකීමක් වුණා. නේවාසිකාගාරය ලැබෙනතුරු පළමු අවුරුද්ද පිට කාමරයක හිටියේ. උයන්න, රෙදි හෝදන්න, කාලය කළමනාකරණය කරගන්න මට හුරුවුණේ ඒ ජීවිතෙන්. මම කළේ හරිම අමාරු උපාධි පාඨමාලාවක්. සිංහලෙන් ඉගෙන ගෙන ඉංග්‍රීසියෙන් දේශන ලියන්න ගොඩක් අමාරු වුණා. මාස තුනකින් විතර මම ඉංග්‍රීසි හොඳට දියුණු කරගත්තා. ඒක විශාල රටක්. නිවාඩු දවස්වල ඇවිද්දා. හොකී සෙල්ලම් කළා. යෝග කළා.

අවුරුදු තුන අවසානේ? ජීව විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලැබුණා පළමු පන්තියේ පහළ සාමාර්ථයක්. 1996දී මං ලංකාවට ආවා. මට අවශ්‍යතාව තිබුණේ මොකක් හරි රස්සාවක් කරන්න. ඒත් ඒ රස්සාව මට තෝරගැනීමක් කරන්න වුණා. සල්ලි හම්බ කරන්න රස්සාවකට යනවද ඉගෙන ගන්න පුළුවන් රස්සාවකට යනවද කියලා. ඉගෙන ගන්න පුළුවන් රස්සාවක්. අයිතිකරු ආචාර්ය හර්ෂ ද සිල්වා, ජානකී කුරුප්පු, ජිනේන්ද්‍ර කොතලාවල සහ තක්ෂිලා වීරසේකර කියන සිව්දෙනකු විසින් පිහිටුවාගෙන තිබූ ස්මාර්ට් වෙළෙඳ සමීක්ෂණ ආයතනයට සම්බන්ධ වුණා ක්ෂේත්‍ර සමීක්ෂකවරයෙක් විදිහට.

මොකක්ද මේ රාජකාරියේ ස්වභාවය? වෙළෙඳ සමීක්ෂණ පවත්වලා රටේ තියෙන විශාල වෙළෙඳ ආයතනවලට විශේෂඥ දැනුම ලබා දීම. මේ කා‍ලේ මම වරලත් වෙළෙඳකරණය (CIM) පිළිබඳ එංගලන්ත ඩිප්ලෝමාව කළා. ඒ අතරේ අවුරුදු දෙකහමාරක් විතර යද්දී මේ ආයතනය ජාත්‍යන්තර ‘නීල්සන්’ ආයතනය මගින් මිලදී ගැනුණා. ඔවුන් වෙළෙඳ‍පොළ අධීක්ෂණය කරන සහ විකිණුම් කොටස් මැන බලන (R.S.A.) ලංකාවට හඳුන්වා දුන් අලුත්ම වෙළෙඳ සමීක්ෂණයට ලංකාව පැත්තෙන් සම්බන්ධ වුණේ මමයි.

ඔබ සම්බන්ධ වෙලා මොකද කළේ? මේ වෙළෙඳ සමීක්ෂණය ලංකාවට ගැළපෙන විදිහට පරිවර්තනය කළේ මමයි. ඒ අවස්ථාවේ පුද්ගලයින් 200ක් විතර මම පුහුණු කළා. අවුරුදු දෙකහමාරක් විතර. න්‍යායාත්මකව වෙළෙඳ‍පොළ හැසිරීම පිළිබඳ හොඳ අවබෝධයක් ආවා. ඉතින් මට හිතුණා මම ම ඒක කරලා බලන්න. මම රැකියා කීපයකට ඉල්ලුම් කළා. ඒ අනුව ලැබුණ සිලෝන් බෘෘවරි සමාගමට සම්බන්ධ වුණා අලෙවි විධායක තනතුරකට.

රාජකාරිය අරඹන්න තිබුණේ?රත්නපුරය ප්‍රදේශය භාරව. මම කඩෙන් කඩේට ගිහිල්ලා බෘෘවරි නිෂ්පාදනවල වෙළෙඳ‍පොළ අධීක්ෂණය කළා. සියයට 49කට තිබුණු වෙළෙඳ‍පොළ මාස අටක් ඇතුළත සියයට 90ක් දක්වා වැඩි කළා. මම අවුරුදු දෙකයි මෙතැන හිටියේ. යුනිලීවර් සමාගමේ රැකියා අවස්ථාවකට ඉල්ලුම් කරලා ගියා.
වෝල්ස් අයිස්ක්‍රීම් අංශයේ ප්‍රාදේශීය කළමනාකරු හැටියට. නුවර අම්පාර, බදුල්ල, බණ්ඩාරවෙල සහ නුවරඑළිය රාජකාරි කරන්න තිබුණේ. මං අවුරුදු එකහමාරයි මේ රැකියාවෙත් හිටියේ. ඒ වෙනකොට මට වෙළෙඳ අංශයේ දැනුමක් ලබා ගන්න ඕන වුණා. සිංගර් ශ්‍රී ලංකා සමාගමට එකතු වුණා භාණ්ඩ කළමනාකරුවකු විදිහට. නිෂ්පාදනවල වෙළෙඳ නාමය ප්‍රචලිත කිරිම. මං සිසිල් කියන වෙළෙඳ නාමය හොඳටම ප්‍රචලිත කළා.

ඊට පස්සේ?මේ කා‍ලේ මම වෙළෙඳකරණ පශ්චාත් උපාධියක් (M.B.A.) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ පශ්චාත් උපාධි ආයතනයෙන් කළා. අවුරුදු හතරක් යනකොට මට කොකාකෝලා සමාගමෙන් ඇරයුම් කළා වෙළෙඳ සන්නාම කළමනාකරුවෙක් විදිහට ඔවුන් හා එක්වෙන්න. 2005 අවුරුද්දේ. මම ඒ ආරාධනයට අනුව කොකාකෝලා සමාගමට එක් වුණා. කෙටි කාලෙකින් මාව වෙළෙඳ‍පොළ සංවර්ධන කළමනාකාර තනතුරට පත් කෙරුණා. 2007 දී වෙළෙඳ අංශයෙන් අලෙවි අංශයට මාරු වුණා. ප්‍රාදේශීය වෙළෙඳ කළමනාකරුවෙක් හැටියට. රටෙන් භාගයකට වෙළෙඳ‍පොළ බැලුවා. 2009 අවසන් කාලය වනතුරු මම මේ තනතුරේ හිටියා. මගේ කළමනාකාර අධ්‍යක්ෂ පැට්රික් පීච් මහතා මට කිව්වා ඉතියෝපියාවේ වෙළෙඳ සහ අලෙවි කළමනාකාර තනතුරකට ඉල්ලන්න අවස්ථාවක් තියෙනවා කියලා. මම ඉල්ලුම් කළා. සම්මුඛ පරීක්ෂණය තිබුණෙත් ඉතියෝපියාවේ. රටවල් හයකින් අයැදුම්කරුවන් ඇවිත් හිටියා.

ඉතින් මොකද වුණේ? මට ඒ තනතුර ලැබුණා. ඉතියෝපියාවට ගියා. මේක කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක්. රටවල් පහකින් අධ්‍යක්ෂ මණ්ඩලයේ හය දෙනෙක් හිටියා. වෙළෙඳ හා අලෙවි ප්‍රවර්ධනය කරන්න තිබුණේ. වෙළෙඳ නියෝජිතයන් 350කට අධික පිරිසකුත් 250කට වැඩි අලෙවි කණ්ඩායමකුත් මට හිටියා. 15ක වෙළෙඳ කණ්ඩායමකුත් හිටියා. අවුරුදු තුනක් යනකොට සියයට 44ට තිබුණ වෙළෙඳ කොටස සියයට 55 දක්වා වැඩි කළා. මගේ තනතුරෙන් පහළ හිටපු සියලු දෙනාටම ඉහළට එන්න මම පාර කියලා දුන්නා. මේ කා‍ලේ මම ආයතනය මගින් දකුණු අප්‍රිකාවේ ස්ටෙලෙන්බෝශ් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ පශ්චාත් උපාධියකුත් හැදෑරුවා. 2013 දී මට අවස්ථාවක් ලැබුණා ටැන්සානියාවට යන්න. ටැන්සානියාවේ කොකාකෝලා සමාගමේ වෙළෙඳ අලෙවි සහ අලෙවි මාර්ග (ආර්.ටී.එම්.) අංශවල මුළු රටේම ප්‍රධානී තනතුර සඳහා. ටැන්සානියාවේ කොකාකෝලා සමාගමේ අධ්‍යක්ෂ බැසිල් ගැට්සියෝස් මට කතා කළා එහාට එන්න කියලා.

ඒ වගේ ඇරයුමක් භාර ගන්න බයක් හිතුණේ නැද්ද? මම දැනගෙන හිටියා ඒක ලොකු වෙළෙඳ‍පොළක් කියලා. ඕන දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම බාලදක්ෂයෙක් ලෙස මට ‍පොඩි කා‍ලේ ඉඳලා තිබුණානේ. ඒ නිසා මං අභියෝග භාර ගන්න කැමතියි. අපි අට දෙනෙක් ඉන්නවා ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, උගන්ඩාව සහ ටැන්සානියාව කියන රටවල් පහෙන්.

එතකොට රාජකාරි කටයුතු? 300ක විතර වෙළෙඳ අංශයකුත්, 250ක විතර අලෙවි නියෝජිතයිනුත් පාලනය කරගෙන මේ වගේ රටක වැඩ කරන එකත් අසීරුයි. නොයෙකුත් ආගම්, විශ්වාස තියන සංස්කෘතික වශයෙන් අපට වඩා හාත්පසින්ම වෙනස් රටක් මේ. භාෂාව, වගේම හරිම සංවේදී සිද්ධි එක්කත් ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. අප්‍රිකානු රටක ජීවත් වෙලා ඒ රටේ වැඩ කරන එක හරි අමාරු දෙයක්.

ඔබ අභියෝග භාර ගන්න කැමැතියි කිව්වා? හිතුවොත් කරන්න බැරි දෙයක් නෑනේ. ඉංග්‍රීසි වචනයක්වත් බැරුවයි මං කොළඹ ආවේ. අද ලෝකේ ප්‍රධාන වෙළෙඳ සම්මන්ත්‍රණත් මං ඉංග්‍රීසියෙන් අමතනවා. මීට මාස දෙකකට කලින් මෙහෙ සමාගමේ මූල්‍ය කළමනාකරු මට අභියෝගයක් කළා. අභියෝගය ජය ගත්තොත් මාව කරේ තියාගෙන යනවා කියලා. සියයට 25කින් වෙළෙඳාම වර්ධනය කරලා පෙන්නන්න කියලා. මං ඒ දේ මාසයක් ඇතුළත මගේ කණ්ඩායමත් එක්ක කරලා පෙන්නුවා. මූල්‍ය කළමනාකරුගේ ‍පොරොන්දු වූ විදිහටම ඔහු මාව කරේ තියාගෙන ආයතනය වටේ ඇවිදගෙන ගියා.

ඉතින් ඔහොම කාලය ගතවෙද්දී? ටැන්සානියාවේ ඩාඑස්සලාම් විශ්ව විද්‍යාලයේ වෙළෙඳ අංශයේ ඉගෙන ගන්න ළමයින්ට මං නොමි‍ලේ මාසෙකට එක දේශනයක් හරි දෙනවා වෙලාව තියෙන හැටියට.

ඔබ ඒ වගේ දෙයක් කරන්නේ?ඒ අයගේම ඇරයුමක් මත. වෙලාව තිබුණා නම් ඊට වඩා හරි මම උදව් කරනවා. අපි ඕනම දෙයක් කරද්දී අවංක වෙන්න ඕන. මගේ ජීවිතේ පරම සත්‍යය අවංකකමයි.

ඔබ විවාහ වෙන්නෙ? 1999 මාර්තු 18. ඇය ශෂිකලා රත්නායක. ඇය මට හමු වුණේ දිල්ලි විශ්ව විද්‍යාලයේදී. පරිසර විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය දක්වා ඇය හදාරලා ඉන්නේ. ඒ රටේ මට උදව් කරගෙන දරුවන් බලාගෙන ඉන්නවා.

ඔබේ දූ දරුවන්?ලොකු දුව ගවීෂා හෙට්ටිආරච්චි. ‍පොඩි දුව සවීෂා හෙට්ටිආරච්චි. ඒ දෙන්නා ටැන්සානියාවේ පාසල් අධ්‍යාපනය ලබනවා. මට ඒ කා‍ලේ ඉංග්‍රීසි භාෂාවේ තිබ්බ ගැටලුව මං මගේ දරුවන්ට ඇති වෙන්න තිබ්බේ නෑ. පුංචි කා‍ලේ ඉඳලා මං මගේ දරුවන්ට හොඳට ඉංග්‍රීසි ඉගැන්නුවා. නමුත් අපි කවදාවත් ගෙදරදී ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්නේ නෑ.

ගෙවා නිම කළ කාලය ගැන හිතෙන්නෙ? මම ස්වෝත්සාහයෙන් ආව ගමනක් මේ. මම ඈත ගමක ඉපදිලා අද ජාත්‍යන්තර තලයේ රැකියාවක් කරනවා. මගේ මුල්ම රැකියාව පළාත් බිම අලෙවි නියෝජිත තනතුරක්. අපිට බාධක නෑ. හිතුවොත් ඕන දෙයක් කරන්න පුළුවන්. 00255789333900 වයිබර් අංකයෙන් කතා කරන්නත් nalaka70@gmail.com ඊමේල් ලිපිනයට ලියන්නත් පුළුවන්.

විශේෂ ස්තූතිය
බියන්කා නානායක්කාර / http://www.rivira.lk/

වසර 88 ට පෙර

රට රටවල සංචාරය යෙදෙමින් වීර වික්‍රමවල යෙදෙන ටින්ටින් චරිතය නිර්මාණය කරනු ලැබුවේ බෙල්ජියම් කාටූන් ශිල්පී ජෝර්ජ් රෙමී විසිනි. ඔහු ටින්ටින් කතා නිර්මාණය කළේ 'හර්ජ්' යන අනුවර්ථ නාමයෙනි. පළමු වරට ටින්ටින් වික්‍රමයක් එළිදැක්වූයේ 1930 දීය. හර්ජ් බාලදක්ෂයෙකි. මේ නිසාවෙන් ටින් ටින් ද බාලදක්ෂයෙක් විය.


වසර 88 ට පෙර අද වැනි දවසක The Adventures of Tintin හෙවත් " ටින් ටින්ගේ වීරක්‍රියා " මුල්වරට මුද්‍රිත ප්‍රකාශනයක් ලෙස කල එළි දුටුවේය. බෙල්ජියානු පුවත්වපතක් වන Le Petit Vingtième (The Little Twentieth) හි ළමා අතිරේකය වන Le Vingtième Siècle (The Twentieth Century)හි මුල්වරට ප්‍රංශ බසින් පලවන්නේ ටින් ටින් තම කීකරු සුරතලා ස්නෝවි සමග ක්‍රෙම්ලිනය වටා ඇවිද යන ආකාරය ය. මේ සියල්ලම පසුපස සිටින්නේ එවකට 22 හැවිරිදි වූ බෙල්ජියානු සිත්තරා "හර්ජේ" ය. ඔහුගේ සැබෑ නම වන්නේ Georges Prosper Rem ය.


එදා සිට ඇරඹෙන "ටින් ටින් ගේ වීරක්‍රියා " ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වන්නේ විසිවන සියවසේ වඩාත්ම ජනාදරයට පාත්‍ර වූ එක් කාටුන් කතාංගයක් ලෙසින් ද ඉතිහාසයට එක් වේ. එහි සිටින්නේ ටෙරියර් වර්ගයට අයත් දඟකාර සුනඛයෙක් සහ හැඟීම් විරහිත මුහුණක් ඇති ගැටවරයෙකි. නුමුදු ඒ වටා රොක් වන බාල මහළු රසික පිරිස් අද දක්වාම වෙනස් වන්නේ නැත. 1940 වසර වන විට ටින් ටින් ට සමුදීමට කාලය එළඹී ඇතැයි "හර්ජේ" තීරණය කළ නුමුදු 1983 වසරේ දී මෙලොවින් සමුගන්නා තෙක්ම තම තීරණය ක්‍රියාත්මක කිරීමට ඔහු අපොහොසත් විය. ඔහු පසු වූයේ මහත් පීඩනයකින් සහ කණස්සලකිනි. තමා , තම සාර්ථකත්වයේම වහලකු වී ඇතැයි සිතූ "හර්ජේ" මානසික අවපීඩනයකින් පෙළුණු බව ද සඳහන් වේ. නමුත් මේ කිසිවක් නොදන්න ටින් ටින් සහ ස්නෝවි නිමක් නොමැතිව සොරුන් පසුපස දුවන්නට වූහ.

හර්ජේ ගේ පින්සලෙන් පණ ලැබූ ටින් ටින් පා නොතැබූ රටක් නැති තරම් ය. ඇමරිකාව , කොන්ගෝව, ටිබෙටය , ජපානය වැනි රටවල් වල වීරක්‍රියා පානා ටින් ටින් විටෙක ශ්‍රී ලංකාව සහ කොළඹ පිළිබඳව ද සඳහන් කර ඇත. නමුත් හර්ජේ ඒ වනතුරු මේ කිසිම රටකට සංචාරය කර තිබුණේ නැත. පසුකාලීනව ඔහු තම බිරිඳ සමග ඇමරිකාව සහ තායිවානයට පමණක් සංචාරය කිරීමට කටයුතු කළේය.

මේ ඇසූ පිරූ තැන් මදකම නිසා දෝ ටින් ටින් හරහා හර්ජේ ට සිදු වූ අත්වැරදීම් බොහෝ ය. Tintin in the Congo හේතුවෙන් ඔහු වර්ණභේද වාදියෙකු ලෙස හංවඩු ගැසුණු අතර මෑතක් වන තුරුම කොංගෝවේ කළු ජාතික උගතුන් එම පොතට එරෙහිව නීති උපදෙස් ඉල්ලා සිටින්නට වූහ. යුරෝපියානු රටවල එම කෘතිය ළමා කියවීම් වලින් ඉවත් කරන්නට තීරණය කරන මට්ටමට එම අරගලය ප්‍රබල විය. කොන්ගෝවට යන ටින් ටින් සුදු ජාතිකයෙකු වීම නිසාම කළු ජාතික ස්වදේශිකයන්ගේ ගරු බුහුමනට ලක් වන බව හර්ජේ ගේ කතාව තුළින් මැනවින් චිත්‍රණය වේ. " සුදු මිනිසුන් ශ්‍රේෂ්ඨයි..." යනුවෙන් ටින් ටින් ට ආචාර කරන ස්වදේශික කාන්තාව පවසන "White man very great. White mister is big juju man". වැකිය හරහා මේ සමස්ත විරෝධතාවට හේතුභූත කරුණු ගැබ්ව තිබිණ.

The Black Island හිදී ටින් ටින් යනු ගැටවරයෙක් බවත් ඔහු වීරයෙකු වී ඇත්තේ ළමා ලෝකයේ බවත් අමතක කරන හර්ජේ ඔහු අතට තුවක්කුවක් දී " එක අඩියක් තිබ්බොත් උඹලා මරුම් කනවා " ( One more step and your'e dead) යැයි ටින් ටින් ලවා මැරයින්ට තර්ජනය කරවයි. නමුත් ඔහුගේ කෘතීන්වල ඉංග්‍රීසි පරිවර්තකයින් එම වදන් සහ එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා ළමා මනසට අයෝග්‍ය බැව් පැහැදිලි කර දෙති. වහාම ඊ ළඟ මුද්‍රණයේ සිට එය සංශෝධනයට ලක් වී ටින් ටින් නිර්භීත නමුත් උපක්‍රමශීලි ගැටවරයෙක් බවට පත් වෙයි. " අනෙක් පැත්තට හැරිලා අත් උස්ස ගන්නවා " (Get back and put your hands up !) යනුවෙන් පවසන ටින් ටින් ළමා ලෝකයට ගැලපෙන හික්මීමකින් යුතු වීරයෙක් ලෙස හැඩ ගැසේ.

සිය නිර්මාණ දිවිය පුරාම ටින්ටින් නිසා සිදුවන වැරදීම් වලින් හෙම්බත් නොවන හර්ජේ ට ඊ ළඟ අභියෝගය එල්ල වන්නේ The Blue Lotus අඳින්නට යාමේදී ය. ඒ සඳහා චීනය පිළිබඳ හර්ජේ සමග උපදෙස් සහ අදහස් හුවමාරු කරගන්නා චීන මිතුරෙක් විය. හර්ජේටත් නොදැනී එම මිතුරාගේ පුද්ගලික කියැවීම් සහ දේශපාලනික දර්ශනය මේ ජනකාන්ත ළමා කාටූන් නිර්මාණය සමග මිශ්‍ර වී තිබිණ. ටින් ටින් දෙරටක් අතර දෝලනය වන දේශපාලනික ප්‍රකාශනයකට හසු වූ බව වටහාගනිද්දී හානිය සිදු වි හමාරය. චීන මිතුරාගේ ජපන් විරෝධී බව "හර්ජේ" ඇඳි ජනාකීර්ණ චීන නගර වලින් පිළිබිඹු වේ. එම නගරවල "ජපන් බඩු වර්ජනය කරනු" සහ "අධිරාජ්‍යවාදයට නැවතීම " යනාදී විරෝධතා සහිත පෝස්ටර් දක්නට තිබූ අතර ඊ ළඟ සංස්කරණයේ දී ඒවා ද ඉවත් කරගන්නට හර්ජේ ට සිදු විය.

වැරදීම් රැසක් මැද අභියෝග වලට මුහුණ දෙන ටින් ටින් දසක අටක් අභිබවා නොනැවතී ඉදිරියට යන්නේය. ලොව දස දෙස පැතිරුණු සෑම වයස් තරාතිරකම මිනිස් හදවත් දිනා ගැනීමම සුළුපටු කටයුත්තක් නොවේ. පළමුව ටින් ටින්ව අඳින හර්ජේ ඔහුගේ තනියට විශ්වසනීය සගයා වූ ස්නෝවි නම් වූ බලු පෝතකයෙකු ද ඇඳ දෙන්නේය. එදා බලු පෝතකයෙකු වෙනුවට ටින් ටින් ට තවත් මිනිස් සගයෙකු ඇඳ නොදීමට ගත් තීරණය හර්ජේ තම ජීවිත කාලයටම ගත් හොඳම තීරණය විය හැකිය. එසේ වූවානම් අද වනවිට සමරන්නට දෙයක් ඉතුරු නොවන බැවිනි. මිත්‍රවරුනි , මෙය මිනිස් සිතුවමක් පවා විශ්වාස කළ නොහැකි යුගයකි.

උපුටා ගැනීම
සහන් කසීර වික්‍රමසිංහ

Monday, January 9, 2017

අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2016

2016 - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ ගණිත අංශයේ විශිෂ්ට ජය ලැබූ බාලදක්ෂිකාව

දිවයිනේ ප්‍රථම ස්ථානය


බාලදක්ෂිකාවක ලෙස මා ලැබූ පන්නරය හේතුවෙන්
දිවයිනේ විශිෂ්ඨයන් අතර අතිවිශිෂ්ඨයෙකු කිරීමට හැකි වුණා –  මලියදේව බාලිකා විද්‍යාලයේ (ඉංග්‍රීසි - ගණිත අංශය) මිණිකිරණි අමායා ධර්මසිරි 

අමායා ධර්මසිරි පළමු ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වාම මලියදේව බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර 2007 වසරේ පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්  ලකුණු 190 ගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගැනීමට සමත්වී තිබීම විශේෂත්වයකි. 2013 වසරේ අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් A9ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා සහ ලංකාවෙන් 5 වන ස්ථානයට පැමිණි කේ.ඩී.මිනිකිරණි අමායා දර්මසිරි ශිෂ්‍යයාව මෙවර උසස් පෙළ විභාගයෙන් සුවිශේෂී සංධිස්ථානයක් සටහන් කර තිබෙනවා. එක් විෂයකට අමතර පන්ති 3 බැගින් පන්ති 9කට ගියත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගය කළ නිසා ඉංග්‍රීසි සිංහල පන්ති දෙවර්ගයට ම යෑමට සිදු වූ බවත් පැවසූ ඇය ගණිත අංශයෙන් අ.පො.ස උ/පෙළ ලංකාවෙන් ප්‍රථම ස්ථානය දිනාගත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට නැවත වරක් කීර්තිය රැගෙන එනු ලැබුවා. .

" මට ලංකාවේ පළමුවැනියා කෙසේ වෙතත් දෙවැනියා වේ යෑයි කියා විශ්වාසයක්‌ තිබුණා. විෂය දැනුමක්‌ තිබෙන දක්‍ෂ හොඳ ගුරුවරයකු තෝරාගෙන තමන් තීරණය කරන විෂයයන් අවබෝධයෙන් අධ්‍යයනය කළොත් බලාපොරොත්තු වන ඉලක්‌කය සපුරා ගතහැකියි." 

හතරේ පන්තියේ ඉඳලා සාමාන්‍ය පෙළට එනකල් බාලදක්ෂ කළා. 2016 ජනාධිපති බාලදක්ෂිකා සම්මාන ලාභීණියක්. කුරුණෑගල පැවැත්වෙන දිවයිනේ දැවැන්තම ගවේෂණ තරගාවලි රැසකම කැපීපෙන දක්ෂතා රැසක් දක්වමින් සිය පාසලෙහි කීර්තිය දසත පැතිර වූ බාලදක්ෂිකාවක්. පාසල් වැඩසටහන්වල සංගීත අධ්‍යක්ෂණය කිරීම වගේම රොබෝ තාක්ෂණය ඉගෙන ගැනීමටත් වැඩි කැමැත්තක් ඇත්තියක්. එසේම ඇය මලියදේව බාලිකාවේ ශිෂ්‍ය නායිකාවක්, පාසලේ මාධ්‍ය ඒකකයේද සාමාජිකාවක්, පාසල් විවාද කන්ඩායමේ සාමාජිකාවක් මෙන් ම පාසලේ ඉංග්‍රීසි මාධ්‍ය නියෝජනය කරමින් පාසල් නට්‍ය කන්ඩායමේ කැපීපෙනෙන දස්කම් දක්වන්නියක්. ඇය අමායා ධර්මසිරි 2016 ඔලිම්පියාඩ් තරගාවලියේදී භෞතික විද්‍යා අංශයෙන් රන් පදක්කමක් දිනාගැනීමටද සමත් වූ සිසුවියක්. අමායා හින්දුස්ථාන් සංගීතය හැදෑරීමෙන් අනතුරුව විශාරද විභාගයද අවසන් කර තිබේ. මේ වනවිට ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයේ බාලදක්ෂ මානවිකාවක ලෙස ද කටයුතු කරනු ලබනවා. ඉංජිනේරු අංශයෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඉංජිනේරු ගවේෂණ අංශයෙන් ඉදිරියට යැම තමාගේ එකම බලාපොරොත්තුව වන බව ද අමායා කීවාය.

ඇගේ මව ගීතා දර්මසිරි. ඇය වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරිය. පියා, ආනන්ද ධර්මසිරි. රයිගම් ආයතන සහකාර සාමාන්‍යාධිකාරී ලෙස සේවය කරනවා. එකම සොයුරිය ජ.පුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් ද වෙනවා. 


 ------------------
Amaya Darmasiri from Maliyadeva Girls’ College in Kurunegalahas topped the island rankings at the Physical Science stream of the 2016 G.C.E Advanced Level examination. Now She is an active Rover Scout from Kurunegala District and she President Girl Guides from Maliyadeva Girls’ College in Kurunegala.

The GCE Advance level examination Examination was held from the 02 -27 of August 2016 with 315605 candidates are eligible to sit the examinations which will be held till 27th this month at 2204 examination centers.






2016 A/L Best Results:
Physical Science
1. Amaya Dharmasiri - Maliyadeva Girls’ College, Kurunegala
2. Chathura Jayasanka – Richmond College, Galle
3. Sawindu Dimal Thanuka – Royal College, Colombo

Biology
1. R.A. Nisal Punsara - Rahula College, Matara
2. Roshane Akthar - Kinniya Madya Maha Vidyalaya
3. Klerin Dilujan - Carmel Fatima College, Kalmunai
Commerce
1. Akalanka Rajapaksa - Ananda College, Colombo
2. Vindula Perera – St. Joseph’s College, Colombo
3. Nipuni Rupasinghe – Ananda Balika Vidyalaya, Hingurakgoda
Arts
1. Indeevari Gawarammana - Girls’ High School, Kandy
2. P. Kurupareshan – Hindu College, Manipai
3. Amanda Paramee - Viharamahadevi Balika Vidyalaya, Kiribathgoda
Engineering Technology
1. J. Kanakasundaram - Skandavarodaya College, Chunnakam
2. Nisal Kobbekaduwa – Govt. Science College, Matale
3. A. Ranatunga – Ratnawali Balika Vidyalaya, Gampaha
Bio Systems Technology
1. Malithi Dilrangi - Swarnajayanthi Maha Vidyalaya, Kegalle
2. M. Thatharani – Devi Balika Vidyalaya, Colombo
3. Ilyas Pathima - Fathima Balika Maha Vidyalaya, Oddamavadi
Other
1. T. Ekanayake - Musaeus College, Colombo
2. D. Karunaratne – private candidate
3. Lahiru Sasanka – private candidate
We wish you all the best and good success for the future...!

Special Tanks for
Mudith Madusanka
Rover Scout Woodland Rover CREW