Translate

Tuesday, January 10, 2017

නාලක හෙට්ටිආරච්චි නැමති බාලදක්ෂයා

අවිස්සාවේල්‍ලේ ඉපිද කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිම කළ නාලක හෙට්ටිආරච්චි දිල්ලි විශ්ව විද්‍යාලයෙන් ජීව විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලැබුවේ 1996 දීය. අනතුරුව වරලත් වෙළෙඳකරණය (CIM) පිළිබඳ ඩිප්ලෝමාව හැදෑරූ ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් වෙළෙඳකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් (MBA) ලැබූ අතර දකුණු අප්‍රිකාවේ ස්ටෙලොන්වෝශ් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවද හැදෑරුවේය.

පලතුරු බිම සමාගමක අලෙවි නියෝජිතයකු ලෙස මුල්ම රැකියාව ඇරඹූ නාලක හෙට්ටිආරච්චි මහතා අනතුරුව ස්මාර්ට් වෙළෙඳ සමීක්ෂණ ආයතනයේ ක්ෂේත්‍ර සමීක්ෂක, සිලෝන් බෘෘවරි සමාගමේ අලෙවි විධායක, යුනිලීවර් සමාගමේ ප්‍රාදේශීය කළමනාකාර, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ භාණ්ඩ කළමනාකාර රැකියාවන්හි නිරතවී 2005 වසරේ කොකාකෝලා සමාගමේ වෙළෙඳ සන්නාම කළමනාකරු ලෙස පත්විය. අනතුරුව වෙළෙඳ‍පොළ කළමනාකරුවකු වූ නාලක හෙට්ටිආරච්චි මහතා 2007 වසරේ එම සමාගමේ ප්‍රාදේශීය කළමනාකාර තනතුරකට පත්විය.

2010 වසරේ කොකාකෝලා සමාගමේ ඉතියෝපියාවේ වෙළෙඳ සහ අලෙවි කළමනාකාර තනතුරට පත්වූ ඔහු 2013 වසරේ කොකාකෝලා සමාගමේ ටැන්සානියාවේ වෙළෙඳ සහ අලෙවි කළමනාකාර තනතුරට පත්විය.

උප්පැන්න සහතිකයෙන් ඔබට ලැබුණු නම? නාලක හෙට්ටිආරච්චි

උපන්න ගම්පළාත? අවිස්සාවේල්ල, උක්වත්ත

උපන් දිනය කවදාද? 1970 මැයි 10

පවු‍ලේ කීවැනියා විදිහටද උපන්නේ?බාලයා. මගේ අයියා නීල් හෙට්ටිආරච්චි. අක්කා තමරා හෙට්ටිආරච්චි.

අම්මා, තාත්තා කවුද කියමුද? අම්මා එස්.එච්. විජේසිංහ, තාත්තා ඩේවිඩ් හෙට්ටිආරච්චි.

ඒ කා‍ලේ ඔවුන්ගේ රැකියාව වුණේ?අම්මයි, තාත්තයි දෙන්නාම ගුරුවරු. අද අම්මා විශ්‍රාමිකයි. තාත්තා ජීවතුන් අතර නෑ.

කොහොමද ළමා කා‍ලේ?අද ජීවිතේට ඕන හුඟක් දේවල් ඉගෙන ගත්තේ පුංචි කා‍ලේ. ඉගෙනීමේ වටිනාකම, උත්සාහවන්තකම, ස්වාධීනත්වය, පෞරුෂය වගේ දේවල් අම්මා අපේ හිත්වලට දුන්නා.

කොහොමද එහෙම දුන්නේ?පුංචි කා‍ලේ අපි අපේ වැඩ කරගන්න ඕන. උදේ නැගිටලා ඇඳ හදන තැන ඉඳලා නාගන්න, රෙදි හෝදාගන්න ඒවත් කළා. විශේෂයෙන් අපි කෑම කාපු පිඟාන අපිම හෝදාගන්න ඕන. මේ තුළින් ළමා මනසට අම්මා දුන්නේ මට ඕන දෙයක් තනියම කරන්න පුළුවන් කියන පෞරුෂය. අපේ අම්මා ඉස්කෝ‍ලේ ඉගැන්වීම විතරක් නෙවේ කළේ. ගෙදර එළවළු, මල් වගා කළා. ඇගේ උත්සාහයෙන් අමතර ආදායමක් එන හැටි අපි දැක්කා. ඉගෙන ගත්තොත් තමයි හැමදේම කරන්න පුළුවන් කියන එක හැමවිටම කිව්වා. අම්මා කෑම කවද්දී හැමදාමත් උපදේශාත්මක කතන්දරයක් කිව්වා.

ඔබ ඉගෙන ගන්නේ?හෝමාගම, පුවක්පිටිය උතුර මහා විද්‍යාලය, හෝමාගම ජනාධිපති විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය.

කොහොමද ඉස්කෝ‍ලේ කා‍ලේ?පහේ ශිෂ්‍යත්වෙ පාස් වෙනකල් ගමේ ඉස්කෝල දෙකට ගියේ. අම්මත් එක්ක පයින්ම කිලෝමීටර් දෙකක් විතර දුර ඉස්කෝලෙට ගියා. පයින් යනකොට වටපිට මග දකින්න, බලන්න ගොඩක් දේවල් තිබුණා. ඒ තුළින් ජීවිතේටත් ගොඩක් දේ ඉගෙන ගත්තා. කථික තරගවලින් දිනලා තියෙනවා. මලල ක්‍රීඩාවලින් දුවලා ගොඩක් සහතික ගත්තා. පන්තියේ නායකයා වුණෙත් මමයි.

ඔහොම වැඩ කරද්දී ඉගෙනීම?මමයි හැමදාම පන්තියේ පළමුවැනියා. ශිෂ්‍යත්ව විභාගෙයි රාජකීය විද්‍යා‍ලේ ඇතුළත් වීමේ විභාගෙයි දෙකම එක කා‍ලේ ලිව්වේ. විභාග දෙකම පාස්වුණා. මම ගමේ ඉඳලා කොළඹ ඇවිත් රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාරේ නැවතුණා. රාජකීය විද්‍යාලයට පැමිණීම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඒක ඉස්කෝලයක් නෙවේ විශ්ව විද්‍යාලයක්. විවිධ ජාතීන් වගේම විවිධ දක්ෂතා තිබුණ සිසුන් මිශ්‍ර වුණු විද්‍යාලයක්.

කොහොමද ඒ ඉස්කෝ‍ලේ හිටපු කා‍ලේ?මට ලොකුම ප්‍රශ්නය වුණේ ඉංග්‍රීසි. මං රාජකීය විද්‍යාලෙට එනකොට ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්න බෑ. උනන්දුවෙන් ඉංග්‍රීසි ඉගෙනගත්තා. ඉස්කෝ‍ලේ යාළුවොත් මට ඉංග්‍රීසි කියලා දුන්නා. යාළුවන්ගේ දෙමාපියොත් මට උදව් කළා. අපේ අම්මා මට කිව්වෙත් කොහොම හරි ඉංග්‍රීසි ඉගෙන ගනින් පුතේ කියලා. මට ඉංග්‍රීසිවලට තිබුණේ ලකුණු 30ක් වගේ විතර. ඉංග්‍රීසි පුළුවන්කම තිබුණා නම් මම රාජකීය විද්‍යාලෙත් පළමුවැනියා වෙනවා.

ඉතින් ඔහොම කා‍ලේ ගවෛද්දී?ඕලෙවල් විභාගෙට මාස පහක් තියෙද්දී තාත්තා නැතිවුණා හදිසියේ ආව හෘදයාබාධයකින්. ඒක ජීවිතේ හැම පැත්තටම බලපාපු සිද්ධියක් වුණා. තාත්තා තමයි නායකයෙක් විදිහට ගෙදර ගොඩක් දේවල් කළේ. මගේ ලෝකේ වීරයා වෙලා හිටියේ තාත්තා. ඒ අතරේ ආර්ථික ප්‍රශ්නත් ආවා. තාත්තා නැති වෙන කා‍ලේ ගුරු වෘත්තියෙන් අයින්වෙලා ව්‍යාපාර කළේ. ඒවා කරන්න කෙනෙක් නැතිවුණාම අම්මගේ කරට බර ආවා.

කොහොමද ඔය තත්ත්වය විසඳුණේ? අයියා ඒ වෙනකොට ආනන්ද විද්‍යාලයේ ඒලෙවල් පන්තියේ හිටියේ. අයියා තාත්තාගේ ව්‍යාපාර භාරගන්න කල් ඔය ආර්ථික දුෂ්කරතා වගේම මානසික පීඩාවත් මට තිබුණා. ගුරුවරු පවා සමහර අවස්ථාවල මට උදව් කළා. ගණිතය උගන්වපු කරුණාරත්න සර් මාව සතිඅන්තේ ගෙදර ගෙනිහින් තියාගෙනත් ඉගැන්නුවා.

ඔබ මේ පාස‍ලේදී විෂය බාහිර කටයුතු කළේ නෑ? මම පිහිනුම්, මලල, හොකී ක්‍රීඩා කළා. කණ්ඩායම්වලටත් හිටියා. නමුත් ඊට පස්සේ හොකී ප්‍රධාන ක්‍රීඩාව කරගෙන අනිත්වා අතෑරියා. රාජකීය විද්‍යා‍ලේ හොකී කණ්ඩායමේ උප නායකයා වුණා. කොළඹ දිස්ත්‍රික් පාසල් කණ්ඩායමටත් සෙල්ලම් කළා. මට හොකී ක්‍රීඩාවට පාසල් වර්ණත් ලැබුණා.

බාහිර වැඩ එපමණද කළේ? මම පාස‍ලේ වගේම නේවාසිකාගාරෙත් ක්‍රීඩා කළා. බාලදක්ෂයෙක් වෙලා හිටියා. විහාර මහා දේවි පාක් එකේ කඳවුරු බැදල තියෙනවා ඇති තරම්. ඒ වගේම ශිෂ්‍ය නායකයෙක්, සිංහල සාහිත්‍ය සංගමේ හිටියා. අපි හොස්ටල් එකේ කලා සංගමයෙන් හුඟක් නාට්‍ය කළා අපි.

ඔය බාහිර වැඩත් එක්ක ඉගෙනීම? අටේ පන්තියේදී විතර ඉගෙනීම ටිකක් පහතට වැටුණා. ඒත් තාත්තා නැතිවුණාට පස්සේ අරමුණක් ආවා ඉගෙනගන්න. මං ඕලෙවල්වලට හොඳට මහන්සි වුණා. ඕලෙවල් පාස්වෙලා ජීව විද්‍යා අංශයෙන් ඒලෙවල් කළා. මට ආසාවක් තිබුණා වෛද්‍යවරයෙක් වෙන්න. ඒක ‍පොඩි කා‍ලේ ඉඳලා ආව ආසාවක්.

ඔබ උසස් පෙළ පාස්වෙන්නේ?1989දී. මාව තේරුණේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයට. විශ්ව විද්‍යාලයට තේරුණාට මට යන්න වුණේ නෑ. ඒ කා‍ලේ රටේ පැවැති වාතාවරණය නිසා විශ්ව විද්‍යාලයට බඳවා ගැනීමේ අවුරුදු දෙක තුනක පමාවක් තිබුණා. මම විභාගේ පාස්වුණ ගමන් රස්සාවක් හොයාගත්තා බොහොම ‍පොඩි පඩියකට පලතුරු බිම බෙදාහරින නියෝජිතයකු ළඟ අලෙවි නියෝජිතයකු විදිහට.

කීයද ඒ මුල් වැටුප?රුපියල් 1800යි. අලුත් රස්සාව තමයි මගේ ජීවිතේ ලොකුම අත්දැකීම සහ මං ලබපු උපාධිය. පලතුරු බිම අරගෙන කඩෙන් කඩේට ගිහිල්ලා බෝතල් අරන්, බෝතල් දාලා, ප්‍රදර්ශන පුවරු ගහලා අවුරුදු තුනහමාරක් තිස්සේ කරපු රැකියාවෙන් ඉගෙන ගත්ත දේ බොහෝමයි. ඩ්‍රයිවර් නැති දාට වාහනේ එළෙව්වා. ගෝලයෙක් නැතිදාට බඩු පැටෙව්වා, බෑවා. පුංචිම තැන මොකද වෙන්නේ කියන එක අදටත් මං දන්නවා. ඒ අත්දැකීම්වල වටිනාකම ඒකයි.

ඉගෙනීම අතෑරලමද රැකියාව කළේ?ඉගෙනීමේ අරමුණ තිබ්බා. අපිව විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම කල් යන නිසා රැකියාව කරන ගමන් පිටරට විශ්ව විද්‍යාලවලට ඉල්ලුම් කළා. රාජකීය විද්‍යා‍ලේ හිටපු මගේ යාළුවෝ පිටරට විශ්ව විද්‍යාලවලට ගියා මේ කා‍ලේ. ඒ ලංකාවෙන් ගියේ හොඳ මොළ. මගේ යාළුවෝ යද්දී ඇයි මම නොයන්නේ කියලා හිතිලයි ඉල්ලුවේ. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකිනුත්, දිල්ලි විශ්ව විද්‍යාලෙනුත් තෝරාගෙන තිබුණා. නමුත් මම ඇමෙරිකානු විශ්ව විද්‍යාලය අතෑරියා. ඒ සඳහා තිබුණු මුදල් ගෙවන්න මට හැකියාවක් තිබ්බේ නෑ. දිල්ලි විශ්ව විද්‍යා‍ලේ ගාස්තු ඒ තරම් ලොකු වුණේ නෑ. ඒ නිසා මම දිල්ලි විශ්ව විද්‍යාලයට ගියා.

කොහොමද ඉතින් මේ ගමන? දිල්ලි විශ්ව විද්‍යාලයෙත් හොඳම විද්‍යාලය වුණ ‘හින්දු විද්‍යාලයට’ තමයි තේරුණේ. මම ජීව විද්‍යා අංශයෙන් විශේෂ උපාධියක් මම හැදෑරුවා. අවුරුදු තුනක්. අයියා තමයි මගේ සියලු වියහියදම් දැරුවේ. ඒ ජීවිතෙත් මගේ ජීවිතේට ලොකු අත්දැකීමක් වුණා. නේවාසිකාගාරය ලැබෙනතුරු පළමු අවුරුද්ද පිට කාමරයක හිටියේ. උයන්න, රෙදි හෝදන්න, කාලය කළමනාකරණය කරගන්න මට හුරුවුණේ ඒ ජීවිතෙන්. මම කළේ හරිම අමාරු උපාධි පාඨමාලාවක්. සිංහලෙන් ඉගෙන ගෙන ඉංග්‍රීසියෙන් දේශන ලියන්න ගොඩක් අමාරු වුණා. මාස තුනකින් විතර මම ඉංග්‍රීසි හොඳට දියුණු කරගත්තා. ඒක විශාල රටක්. නිවාඩු දවස්වල ඇවිද්දා. හොකී සෙල්ලම් කළා. යෝග කළා.

අවුරුදු තුන අවසානේ? ජීව විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලැබුණා පළමු පන්තියේ පහළ සාමාර්ථයක්. 1996දී මං ලංකාවට ආවා. මට අවශ්‍යතාව තිබුණේ මොකක් හරි රස්සාවක් කරන්න. ඒත් ඒ රස්සාව මට තෝරගැනීමක් කරන්න වුණා. සල්ලි හම්බ කරන්න රස්සාවකට යනවද ඉගෙන ගන්න පුළුවන් රස්සාවකට යනවද කියලා. ඉගෙන ගන්න පුළුවන් රස්සාවක්. අයිතිකරු ආචාර්ය හර්ෂ ද සිල්වා, ජානකී කුරුප්පු, ජිනේන්ද්‍ර කොතලාවල සහ තක්ෂිලා වීරසේකර කියන සිව්දෙනකු විසින් පිහිටුවාගෙන තිබූ ස්මාර්ට් වෙළෙඳ සමීක්ෂණ ආයතනයට සම්බන්ධ වුණා ක්ෂේත්‍ර සමීක්ෂකවරයෙක් විදිහට.

මොකක්ද මේ රාජකාරියේ ස්වභාවය? වෙළෙඳ සමීක්ෂණ පවත්වලා රටේ තියෙන විශාල වෙළෙඳ ආයතනවලට විශේෂඥ දැනුම ලබා දීම. මේ කා‍ලේ මම වරලත් වෙළෙඳකරණය (CIM) පිළිබඳ එංගලන්ත ඩිප්ලෝමාව කළා. ඒ අතරේ අවුරුදු දෙකහමාරක් විතර යද්දී මේ ආයතනය ජාත්‍යන්තර ‘නීල්සන්’ ආයතනය මගින් මිලදී ගැනුණා. ඔවුන් වෙළෙඳ‍පොළ අධීක්ෂණය කරන සහ විකිණුම් කොටස් මැන බලන (R.S.A.) ලංකාවට හඳුන්වා දුන් අලුත්ම වෙළෙඳ සමීක්ෂණයට ලංකාව පැත්තෙන් සම්බන්ධ වුණේ මමයි.

ඔබ සම්බන්ධ වෙලා මොකද කළේ? මේ වෙළෙඳ සමීක්ෂණය ලංකාවට ගැළපෙන විදිහට පරිවර්තනය කළේ මමයි. ඒ අවස්ථාවේ පුද්ගලයින් 200ක් විතර මම පුහුණු කළා. අවුරුදු දෙකහමාරක් විතර. න්‍යායාත්මකව වෙළෙඳ‍පොළ හැසිරීම පිළිබඳ හොඳ අවබෝධයක් ආවා. ඉතින් මට හිතුණා මම ම ඒක කරලා බලන්න. මම රැකියා කීපයකට ඉල්ලුම් කළා. ඒ අනුව ලැබුණ සිලෝන් බෘෘවරි සමාගමට සම්බන්ධ වුණා අලෙවි විධායක තනතුරකට.

රාජකාරිය අරඹන්න තිබුණේ?රත්නපුරය ප්‍රදේශය භාරව. මම කඩෙන් කඩේට ගිහිල්ලා බෘෘවරි නිෂ්පාදනවල වෙළෙඳ‍පොළ අධීක්ෂණය කළා. සියයට 49කට තිබුණු වෙළෙඳ‍පොළ මාස අටක් ඇතුළත සියයට 90ක් දක්වා වැඩි කළා. මම අවුරුදු දෙකයි මෙතැන හිටියේ. යුනිලීවර් සමාගමේ රැකියා අවස්ථාවකට ඉල්ලුම් කරලා ගියා.
වෝල්ස් අයිස්ක්‍රීම් අංශයේ ප්‍රාදේශීය කළමනාකරු හැටියට. නුවර අම්පාර, බදුල්ල, බණ්ඩාරවෙල සහ නුවරඑළිය රාජකාරි කරන්න තිබුණේ. මං අවුරුදු එකහමාරයි මේ රැකියාවෙත් හිටියේ. ඒ වෙනකොට මට වෙළෙඳ අංශයේ දැනුමක් ලබා ගන්න ඕන වුණා. සිංගර් ශ්‍රී ලංකා සමාගමට එකතු වුණා භාණ්ඩ කළමනාකරුවකු විදිහට. නිෂ්පාදනවල වෙළෙඳ නාමය ප්‍රචලිත කිරිම. මං සිසිල් කියන වෙළෙඳ නාමය හොඳටම ප්‍රචලිත කළා.

ඊට පස්සේ?මේ කා‍ලේ මම වෙළෙඳකරණ පශ්චාත් උපාධියක් (M.B.A.) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ පශ්චාත් උපාධි ආයතනයෙන් කළා. අවුරුදු හතරක් යනකොට මට කොකාකෝලා සමාගමෙන් ඇරයුම් කළා වෙළෙඳ සන්නාම කළමනාකරුවෙක් විදිහට ඔවුන් හා එක්වෙන්න. 2005 අවුරුද්දේ. මම ඒ ආරාධනයට අනුව කොකාකෝලා සමාගමට එක් වුණා. කෙටි කාලෙකින් මාව වෙළෙඳ‍පොළ සංවර්ධන කළමනාකාර තනතුරට පත් කෙරුණා. 2007 දී වෙළෙඳ අංශයෙන් අලෙවි අංශයට මාරු වුණා. ප්‍රාදේශීය වෙළෙඳ කළමනාකරුවෙක් හැටියට. රටෙන් භාගයකට වෙළෙඳ‍පොළ බැලුවා. 2009 අවසන් කාලය වනතුරු මම මේ තනතුරේ හිටියා. මගේ කළමනාකාර අධ්‍යක්ෂ පැට්රික් පීච් මහතා මට කිව්වා ඉතියෝපියාවේ වෙළෙඳ සහ අලෙවි කළමනාකාර තනතුරකට ඉල්ලන්න අවස්ථාවක් තියෙනවා කියලා. මම ඉල්ලුම් කළා. සම්මුඛ පරීක්ෂණය තිබුණෙත් ඉතියෝපියාවේ. රටවල් හයකින් අයැදුම්කරුවන් ඇවිත් හිටියා.

ඉතින් මොකද වුණේ? මට ඒ තනතුර ලැබුණා. ඉතියෝපියාවට ගියා. මේක කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක්. රටවල් පහකින් අධ්‍යක්ෂ මණ්ඩලයේ හය දෙනෙක් හිටියා. වෙළෙඳ හා අලෙවි ප්‍රවර්ධනය කරන්න තිබුණේ. වෙළෙඳ නියෝජිතයන් 350කට අධික පිරිසකුත් 250කට වැඩි අලෙවි කණ්ඩායමකුත් මට හිටියා. 15ක වෙළෙඳ කණ්ඩායමකුත් හිටියා. අවුරුදු තුනක් යනකොට සියයට 44ට තිබුණ වෙළෙඳ කොටස සියයට 55 දක්වා වැඩි කළා. මගේ තනතුරෙන් පහළ හිටපු සියලු දෙනාටම ඉහළට එන්න මම පාර කියලා දුන්නා. මේ කා‍ලේ මම ආයතනය මගින් දකුණු අප්‍රිකාවේ ස්ටෙලෙන්බෝශ් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ පශ්චාත් උපාධියකුත් හැදෑරුවා. 2013 දී මට අවස්ථාවක් ලැබුණා ටැන්සානියාවට යන්න. ටැන්සානියාවේ කොකාකෝලා සමාගමේ වෙළෙඳ අලෙවි සහ අලෙවි මාර්ග (ආර්.ටී.එම්.) අංශවල මුළු රටේම ප්‍රධානී තනතුර සඳහා. ටැන්සානියාවේ කොකාකෝලා සමාගමේ අධ්‍යක්ෂ බැසිල් ගැට්සියෝස් මට කතා කළා එහාට එන්න කියලා.

ඒ වගේ ඇරයුමක් භාර ගන්න බයක් හිතුණේ නැද්ද? මම දැනගෙන හිටියා ඒක ලොකු වෙළෙඳ‍පොළක් කියලා. ඕන දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම බාලදක්ෂයෙක් ලෙස මට ‍පොඩි කා‍ලේ ඉඳලා තිබුණානේ. ඒ නිසා මං අභියෝග භාර ගන්න කැමතියි. අපි අට දෙනෙක් ඉන්නවා ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, උගන්ඩාව සහ ටැන්සානියාව කියන රටවල් පහෙන්.

එතකොට රාජකාරි කටයුතු? 300ක විතර වෙළෙඳ අංශයකුත්, 250ක විතර අලෙවි නියෝජිතයිනුත් පාලනය කරගෙන මේ වගේ රටක වැඩ කරන එකත් අසීරුයි. නොයෙකුත් ආගම්, විශ්වාස තියන සංස්කෘතික වශයෙන් අපට වඩා හාත්පසින්ම වෙනස් රටක් මේ. භාෂාව, වගේම හරිම සංවේදී සිද්ධි එක්කත් ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. අප්‍රිකානු රටක ජීවත් වෙලා ඒ රටේ වැඩ කරන එක හරි අමාරු දෙයක්.

ඔබ අභියෝග භාර ගන්න කැමැතියි කිව්වා? හිතුවොත් කරන්න බැරි දෙයක් නෑනේ. ඉංග්‍රීසි වචනයක්වත් බැරුවයි මං කොළඹ ආවේ. අද ලෝකේ ප්‍රධාන වෙළෙඳ සම්මන්ත්‍රණත් මං ඉංග්‍රීසියෙන් අමතනවා. මීට මාස දෙකකට කලින් මෙහෙ සමාගමේ මූල්‍ය කළමනාකරු මට අභියෝගයක් කළා. අභියෝගය ජය ගත්තොත් මාව කරේ තියාගෙන යනවා කියලා. සියයට 25කින් වෙළෙඳාම වර්ධනය කරලා පෙන්නන්න කියලා. මං ඒ දේ මාසයක් ඇතුළත මගේ කණ්ඩායමත් එක්ක කරලා පෙන්නුවා. මූල්‍ය කළමනාකරුගේ ‍පොරොන්දු වූ විදිහටම ඔහු මාව කරේ තියාගෙන ආයතනය වටේ ඇවිදගෙන ගියා.

ඉතින් ඔහොම කාලය ගතවෙද්දී? ටැන්සානියාවේ ඩාඑස්සලාම් විශ්ව විද්‍යාලයේ වෙළෙඳ අංශයේ ඉගෙන ගන්න ළමයින්ට මං නොමි‍ලේ මාසෙකට එක දේශනයක් හරි දෙනවා වෙලාව තියෙන හැටියට.

ඔබ ඒ වගේ දෙයක් කරන්නේ?ඒ අයගේම ඇරයුමක් මත. වෙලාව තිබුණා නම් ඊට වඩා හරි මම උදව් කරනවා. අපි ඕනම දෙයක් කරද්දී අවංක වෙන්න ඕන. මගේ ජීවිතේ පරම සත්‍යය අවංකකමයි.

ඔබ විවාහ වෙන්නෙ? 1999 මාර්තු 18. ඇය ශෂිකලා රත්නායක. ඇය මට හමු වුණේ දිල්ලි විශ්ව විද්‍යාලයේදී. පරිසර විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය දක්වා ඇය හදාරලා ඉන්නේ. ඒ රටේ මට උදව් කරගෙන දරුවන් බලාගෙන ඉන්නවා.

ඔබේ දූ දරුවන්?ලොකු දුව ගවීෂා හෙට්ටිආරච්චි. ‍පොඩි දුව සවීෂා හෙට්ටිආරච්චි. ඒ දෙන්නා ටැන්සානියාවේ පාසල් අධ්‍යාපනය ලබනවා. මට ඒ කා‍ලේ ඉංග්‍රීසි භාෂාවේ තිබ්බ ගැටලුව මං මගේ දරුවන්ට ඇති වෙන්න තිබ්බේ නෑ. පුංචි කා‍ලේ ඉඳලා මං මගේ දරුවන්ට හොඳට ඉංග්‍රීසි ඉගැන්නුවා. නමුත් අපි කවදාවත් ගෙදරදී ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්නේ නෑ.

ගෙවා නිම කළ කාලය ගැන හිතෙන්නෙ? මම ස්වෝත්සාහයෙන් ආව ගමනක් මේ. මම ඈත ගමක ඉපදිලා අද ජාත්‍යන්තර තලයේ රැකියාවක් කරනවා. මගේ මුල්ම රැකියාව පළාත් බිම අලෙවි නියෝජිත තනතුරක්. අපිට බාධක නෑ. හිතුවොත් ඕන දෙයක් කරන්න පුළුවන්. 00255789333900 වයිබර් අංකයෙන් කතා කරන්නත් nalaka70@gmail.com ඊමේල් ලිපිනයට ලියන්නත් පුළුවන්.

විශේෂ ස්තූතිය
බියන්කා නානායක්කාර / http://www.rivira.lk/

No comments:

Post a Comment