Translate

Monday, January 9, 2017

අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2015 (අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ)

2015 අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ට ජය ලැබූ බාලදක්ෂයා

දිවයිනේ දෙවැනි ස්ථානය

මට ලොකු බලා‍පොරොත්තුවක් තිබුණා ‘ඒ’ 9ක් ගන්න පුළුවන් කියලා 
–  නාලන්දා විද්‍යාලයේ සමල් පුන්සර

විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වෙමින් එදා කළ පාඩම් වැඩ එදාම පාඩම් කරමින් තමයි මම විභාගයට මුහුණ දුන්නේ යැයි අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන් දෙවැනි ස්ථානය ලබාගත් කොළඹ නාලන්දා විද්‍යාලයේ සමල් පුන්සර ශිෂ්‍යයාත් බාලදක්ෂයෙක්. පසුගිය වසරේ එනම් 2014 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ප‍්‍රථම ස්ථානය හිමි කර ගත් කොළඔ නාලන්දා විද්‍යාලයේ තරිදු නිර්මාල් වික‍්‍රමසිංහ බාලදක්‍ෂයා තබපු විජයග්‍රහණය මෙවර ඉදිරියට රැගෙන ගියෙ සමල් පුන්සර.

මට ලොකු බලා‍පොරොත්තුවක් තිබුණා ‘ඒ’ නවයක් ගන්න පුළුවන් වේවි කියලා. ප්‍රතිඵල ආපු දවසේ රෑ ප්‍රවෘත්තිවලින් තමයි මම දැනගත්තේ මම ලංකාවෙන්ම දෙවැනියා කියලා. මට ලොකු සතුටක් දැනුණා යැයිද සමල් පුන්සර සිසුවා තම සතුට අප සමග බෙදා ගනිමින් සඳහන් කළේය. ඒ වගේම මට තවත් සතුටුයි මගේ නිවුන් සහෝදරයා සෙනාල් පුන්සරත් ‘ඒ’ නවයක් ගත්තා. ඔහුත් මගේ පන්තියේමයි. 11-එම් පන්තිය. මම තමයි පන්තියේ පළමුවැනියා වෙන්නේ. දෙවැනියා වෙන්නේ රනිඳු අරුනජ හේරත්. එයා තමයි ලංකාවෙන්ම සිව්වැනියා වුණේ. පන්තියේ තෙවැනියා වුණේ මගේ නිවුන් සහෝදරයා.

මම නාලන්දා විදයාලයීය බාලදක්ෂ සමූහයේ ක්‍රියාකාරී බාලදක්ෂයෙක්. බාලදක්ෂ කඳවුරු වගේම පුහුණු වැඩසටහන්, ගිනිමැල ආදී බොහොමයක් කටයුතුවලට සහභාගිවෙලා තියෙනවා. තව මම කථික හා විවාද සංගමයේ, තාරකා විද්‍යා සංගමයේ, දැනුම මිනුම සංගමයේ ඉන්නවා. එම සංගම්වල වැඩත් එක්ක තමයි මම පාඩම් කටයුතු කළමනාකරණය කරගෙන කළේ. 

මම පළමු වසරේ ඉඳන් නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. මගේ තාත්තගේ නම කේ.කේ.එන්. ප්‍රියන්ත. ඔහුත් ආදි නාලන්දියෙක්. ඔහු මහජන බැංකුවේ විමර්ශන සහ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයෙක්. අම්මා ඒ.එච්.එල්.ඩී. සමන්මලී. ඇය කොළඹ ජාතික රෝහ‍ලේ අභ්‍යන්තර බෙහෙත් ගබඩාවේ ඖෂධවේදිනියක්. මම උපකාරක පන්තිවලටත් සහභාගි වුණා. ඒ වගේම තමයි පාස‍ලේ විදුහල්පති රංජිත් ජයසුන්දර ගුරු පියාණන් සහ පන්ති භාර ගුරුතුමිය වන සමන්මලී රාජපක්ෂ ගුරු මහත්මියත් මට මේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වුණා.


මම උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී සිට විශ්ව විද්‍යාලයට ගොස් ඉංජිනේරුවරයෙක් වෙන්න තමයි බලා‍පොරොත්තුවක් තියෙන්නේ යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ සමල් පුන්සර ශිෂ්‍යයා සඳහන් කළේය. දිවයිනෙන් සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනියා සහ සිව්වැනියා බිහි කළ කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති රංජිත් ජයසුන්දර මහතා පැවසුවේ දිවයිනෙන් දෙවැනියා වූ සමල් පුන්සර සිසුවා සහ දිවයිනෙන් සිව්වැනියා වූ රනිඳු අරුනජ හේරත් සිසුවා විෂය ක්‍රියාකාරකම්වලට සේම විෂය පරිබාහිර ක්‍රියාකාරකම්වල නිරත වූ සිසුන් දෙදෙනකු බවය. පාසලටද කීර්තියක් ලබාදෙමින් අනෙකුත් සිසුන්ටද ආදර්ශයක් ලබාදුන් මෙම සිසුන් දෙදෙනාගේ ප්‍රතිඵල ගැන ගුරු මණ්ඩලයද අවධානයෙන් සිටි බවද ඔවුන් විශිෂ්ට ජයක් ලබන බවට පෙරනිමිති තිබූ බවද විදුහල්පතිවරයා පැවසුවා.

දිවයිනේ අටවැනි ස්ථානය

අධිෂ්ඨානයෙන් වැඩ කළ නිසා ජයග්‍රහණය පහසු වුණා
– ගාල්ල සවුත්ලන්ඞ් විද්‍යාලයේ අමායා නානායක්කාර

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා කියලා දැන ගත්තා. දන්නා හඳුනන මිස් කෙනෙක් ඇවිත් කිව්වා දුව ඔයා ලංකාවෙන්ම අට වෙනියා කියලා. මට ඒක විශ්වාස කරන්න බැරිවුණා. නමුත් මම ලංකාවෙන් අටවෙනියා කියලා දැන ගත්තාම මට විශාල සතුටක් ඇති වුණා. හැමදාම අධිෂ්ඨානයෙන් කැපවීමෙන් වැඩ කළ නිසා මට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. පාසලේ දෙන එදිනෙදා වැඩ කටයුතු එදිනෙදාම කළා. ඒවා නිවසේදී අධ්‍යයනය කළා. විෂය කරුණු එදිනෙදා පාඩම් කළා. ඒ නිසා තමයි මට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ යැයි ඉතුත් වසරේ (2015) පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 9 සඳහාම විශිෂ්ට සම්මාන සාමාර්ථ ලබා ගෙන සමස්ත ලංකා 8 වැනි ස්ථානය හිමි කර ගත් ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයේ ශාරුනි අමායා නානායක්කාර මෙසේ පැවසුවාය.

බද්දේගම, ඉඳිගස්කැටිය, ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචි ඇගේ මගේ මව සහ පියා ගුරුවරුන් මගේ පියා සමන් නානායක්කාර (50) විද්‍යා ගුරුවරයෙක්. දැනට මීපාවල අමරසූරිය විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස කටයුතු කරනවා. මගේ මව ඉසන්තා විතානාච්චි (47) බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ උසස් පෙළ රසායන විද්‍යා ගුරුවරියක් ලෙස මේ වන විට සේවය කරනවා. මට නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්නවා. නංගි අමාෂා නානායක්කාර සවුත්ලන්ඞ් විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. මල්ලි සොනාල් අංජන නානායක්කාර බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවෙනියා වුණා. එම විභාගයේ දී මට ලකුණු 188 ක් තිබුණා. එම ප්‍රතිඵල වලින් ගාල්ල සවුත්ලන්ඞ් විද්‍යාලයට ඇතුළත් වුණා. හය ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ විභාගය දක්වා මම සවුත්ලන්ඞ් විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.

මගේ ප්‍රියතම විෂයයන් බවට පත් වුණේ විද්‍යාව සහ ගණිතය. මම අතිරේක පංතිවලටත් සහභාගි වුණා. විශේෂයෙන්ම මගේ පියාගේ හිත මිතුරන් බොහෝදෙනෙක් ගුරුවරුන්. මට මගේ පියාගේ සහ මවගේ හිත මිත්‍ර ගුරුවරුන්ගෙන් උසස් ලෙස විභාගය සමත්වෙන්න විශාල දායකත්වයක් ලැබුණා. 

මම ජනාධිපති බාලදක්ෂිකාවක්, පාසලේ විෂය සමගාමී කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතුවලත් නිරත වෙන්න හැකි වුණා. ඒ වගේම බටහිර තුර්ය වාදන කණ්ඩායමේ හා විද්‍යාලීය සමූහ ගායන කණ්ඩායමේ ද සාමාජිකාවක් වුණා. පාසල් විෂය කටයුතුවලට මුල් තැන දෙමින් කටයුතු කළා සේම විෂය බාහිර කටයුතු සමබරව කරගෙන යන්න මට පුළුවන් වුණා.

පොත් කියවීමෙන් ලද දැනුම මේ ගමනේදී මට විශාල දායකත්වයක් ලැබුණා. ඒක මගේ විනෝදාංශයක්. රූපවාහිනියත් බලන්න මා අමතක කළේ නෑ. මල්පැළ වගා කිරීමත් මගේ විනෝදාංශයක්. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සැලසුම් කර තිබෙනවා. අනාගතයේ දී වෛද්‍යවරියක් වීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ සඳහා මීටත් වඩා කැපවීමක් කරන්න වෙනවා කියලා මම දන්නවා. ඒ කැපවීම උපරිමයෙන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ මව සහ පියා ඒවගේම නංගී සහ මල්ලී මට මේ ගමනේදී විශාල සහායක් ලබා දුන්නා. හැමදාම පාන්දර මා අවදිකරලා අධ්‍යාපන කටයුතුවලට සහාය ලබා දුන්න පවුලේ හැම දෙනාටම ස්තුති කරනවා.

The Ordinary Level Examination was held from the 8th December to 17th of December 2015 with 134, 347 candidates students sitting the exam. The results can be obtained via www.doenets.lk. List of the first ten ‘high flyers’ at G.C.E Ordinary Level Examination 2015 can be seen below.
  
1 - Sathsarani Hettiarachchi of Visaka Vidyalaya, Colombo
* 2 - Samal Punsara of Nalanda College, Colombo
3 - Maleena Ratnayaka of Devi Balika Vidyalaya, Colombo
3 - Indiwari Ratnayaka of Mahamaya Girls College, Kandy
4 - Ranidu Arunaja Herath of Nalanda College, Colombo
5 - Neville Amarajith Walpita of Ananda College, Colombo
6 - Irusha Nethsara of Bandaranayake College, Gampaha
7 - Tharusha Anjalika of Sri Sumangala Balika Vidyalaya, Kalutara
7 - Dineth Sanjula Jayakody of Maristella College, Negombo
8 - Chathuranga Wijeysinghe of Ananda College, Colombo
* 8 - Amaya Nanayakkara of Southlands College, Galle
8 - W.S. Dias Wellappuli of Rahula College, Matara

No comments:

Post a Comment