Translate

Wednesday, December 28, 2016

හිංසනය පිටු දකිමු

කාන්තා හිංසනයට එරෙහිව ලෝක බාලදක්ෂයෝ පෙරමණට එති

‘හිංසනය පිටු දකිමු’, ‘කතුන්ට ආචාරශීලීව සලකමු’ ‘මගේ මවට හා සොහොයුරියට සේම සමාජයේ සෙසු කතුනටත් කරුණාව දයාව දක්වමු’ යනාදී තේමාවන් සහිත පුවරු ඔසොවාගත් ලක්ෂ සංඛ්‍යාත බාලදක්ෂ බාලදක්ෂිකාවෝ මේ සාමකාමී පෙළපාළියට එක්ව සිටියෝ ය.
 
කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි හිංසනය පිටු දැකීමට දැන් මුළු ලෝකයම එක්ව පෙළ ගැසෙන හැටි පෙනෙන්නට තිබේ‍. හිංසනය පිටු දැකීම යහපත් සමාජයක් ගොඩ නැගීමෙහිලා මහෝපකාරී වන මූලික පියවරක් ලෙස පිළිගෙන තිබීම මීට හේතුවයි‍. මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි කාන්තා හිංසන විරෝධී වැඩසටහන යටතේ ලොව පුරා රටවල් 146 ක බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් එක්ව හිංසනයට එරෙහිව පෙළ ගැසෙති.
 
පසුගිය නොවැම්බර් 25 වැනි දාට යෙදුණු ලෝක කාන්තා හිංසනය පිටුදැකීමේ දිනය සමරමින් ලෝක බාල දක්ෂ සංගමය එහි සියලු ම ශාඛා සංවිධාන සම්බන්ධ කරගනිමින් දැවැන්ත අන්තර්ජාතික වැඩසටහනක් දියත් කර තිබේ. ගැහැනු ළමයින්ට සහ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙලොවින් තුරන් කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම මේ වැඩ සටහනේ අරමුණ වේ. කුඩා කල සිට ම පිරිමි දරුවන් සිය මවට, සහෝදරියනට හා මිතුරියනට ගෞරවයෙන් ආචාරශීලීව සලකන්නට පෙලඹවීම මඟින් සමස්ත කාන්තා සංහතියටම ආචාරශීලීව හා හිංසනයෙන් තොරව සැලකීමට හුරු කිරීම මෙමඟින් අරමුණු කෙරේ.
 
යුරෝපය, ඇමෙරිකාව, ආසියානු, අරාබි හා මැද පෙරදිග ඇතුළු සියලු කලාපවල රටවල බාලදක්ෂ ව්‍යාපාර හරහා මේ අරමුණ ව්‍යාප්ත කෙරේ. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් අරඹන ලද දින 16 ක වැඩසටහනකි. ලෝක බාලදක්ෂ සංගමය හා බාලදක්ෂිකා සංගමය (WAGGGS) නියෝජනය කරමින් මිලියන දහයකට අධික බාල දක්ෂයන් සංඛ්‍යාවක් සිය පාසල් හා අධ්‍යාපන ආයතන තුළ මේ වැඩසටහන ක්‍රියාවට නංවති.

ලෝකයේ බොහෝ රටවල මිශ්‍ර පාසල්වල මෙන් ම පාසලෙන් පිටතදී ද දිනපතා ම පාහේ ගැහැනු ළමයි පිරිමි ළමයින් මෙන් ම වැඩිහිටි පිරිමින් අතින් ද හිංසනයට හා පීඩාවට පත් වෙති. ඇනුම්, බැණුම්, උසුළු විසුළු, ගුටි බැට මෙන් ම, දූෂණය දක්වා වූ විවිධ මානසික හා ශාරීරික පීඩාවන්ට ගොදුරු වන දැරියන් මෙන් ම කාන්තාවන් ද අපමණ වෙති. කුඩා කාලයේ පටන් ම පිරිමි ළමයින්ට එහි ඇති වරද වටහා දෙමින් කාන්තාවන් හට ගෞරවනීයව හා සමානව සලකන්නට හුරු කිරීම මේ වැඩසටහන් මඟින් අපේක්ෂා කෙරේ.

අන්තර්ජාලය හා පරිගණක වෙබ් අඩවි ඔස්සේ කතුන්ට සිදුවන අවමන් - අපහාස, අසභ්‍ය යෝජනා , චෝදනා, බලහත්කාරකම් හා තර්ජන ගර්ජන ද ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. මේ අකටයුතුකම් පිළිබඳ කාන්තාවන් මෙන් ම පිරිමින් ද දැනුවත්කර, ඒවා නතර කිරීම ද, ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම ද මේ වැඩසටහනෙහි එක අංගයක් වේ.
  • ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය හා බාලදක්ෂිකා ව්‍යාපාරය ද මේ වැඩසටහනට ක්‍රියාකාරී දායකත්වයක් සපයන අතර සියලු පාසල් මඟින් මේ පණිවිඩය ජනතාව අතරට ගෙන යන්නට පියවර ගෙන තිබේ.
  • රුවන්ඩාවේ සියලු පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ව හිංසන - විරෝධී සංගම් අරඹා, ඒ මඟින් සිය සහෝදර සිසුන් හා පිරිමි ඥාතීන් මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.
  • ඉතාලියේ බාලදක්ෂයන් හා බාල දක්ෂිකාවන් එක්ව සිය පාසල් සගයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවා තිබේ.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් පසුගිය නොවැම්බර් මස 25 වැනි දා ඇරැඹුණු මේ ලෝක ව්‍යාප්ත වැඩසටහන දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන මානව හිමිකම් දින‍ය දක්වා පැවැත්වේ.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන පරිදි ලොව පුරා සෑම රටකම කාන්තාවෝ සිය අධ්‍යාපන ‍මට්ටම හෝ ආර්ථික මට්ටම කවරක් වෙතත් ශාරීරිකව, මානසිකව සහ ආර්ථික වශයෙන් හිංසනයට ලක් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත අනුව ලෝකයේ වෙසෙන සමස්ත කාන්තා ජනගහනයෙන් තුනෙන් එකක් ම කවරාකාරයෙන් හෝ හිංසනයට බඳුන් වෙති. මොවුන් ගෙන් සහනය පතා යොමු වන්නේ 40% ක් පමණකි. එලෙස හිංසනයට බඳුන්වන කතුන්ගෙන් පොලිසියේ සහනය පතන්නේ 10% ක් පමණි. රටවල් 60 ක යෞවන යෞවනියන් 2000 ක් සම්බන්ධව කෙරුණු ඡන්ද සමීක්ෂණයකින් හෙළි වූයේ ඒ රටවල පාසල් සිසුවියන් ගෙන් හරි අඩක් ම හිංසන, බලහත්කාරකම් හා තර්ජන හේතුවෙන් සිය අධ්‍යාපන කටයුතුවලට බාධා කිරීම්වලට ලක් වන ‍බවයි. පිරිමි ළමයින්ගේ බලකිරීම් මත තමන් අකැමැති ක්‍රියාවලීන්ට නතුවීමට සිදුවන සිසුවියන්ගේ සංඛ්‍යාව ද ඉහළ බව මෙයින් හෙළි වී තිබේ. බොහෝ විට මොවුන් නරකට පොලඹවන්නේ සම වියැති සගයන් හෝ ගුරුවරුන් බව ද මෙහිදී හෙළි වී තිබේ.

එංගලන්තයේ සියලු පාසල්වල සිදුවන ලිංගික හිංසන හා අපරාධ පිළිබඳ සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස එරට මන්ත්‍රීවරුන් පොලිසියට උපදෙස් දී තිබේ. පසුගිය වසර 3 ඇතුළත එක්සත් රාජධානියේ පාසල් තුළ නීති විරෝධී ලිංගික අපරාධ 5,500 කට වඩා සිදුවී ඇතැයි එරට පොලිස් වාර්තා පෙන්වා දෙයි. එංගලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය ඇතුළු මහා බ්‍රිතාන්‍යය පුරා ක්‍රියාත්මක වන පරිදි එක්සත් රාජධානියේ බාලදක්ෂ ව්‍යාපාරය දීපව්‍යාප්තව සහ සැඟව තිබෙන මෙවැනි ලිංගික හිංසන පිටු දැකීමට වන හදිසි මෙහෙයුමක් දියත් කිරීම සඳහා රජයට බල කෙරෙන පෙත්සමක් ද ඉදිරිපත් කර තිබේ.

මේ වැඩසටහන දියත් කිරීමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි හිටපු සභාපති බෑන් කී මූන් මහතා කියා සිටියේ “කාන්තාවන්ට හා දැරියන්ට ‍එරෙහි හිංසනය ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්” බවයි. එය රටක මහජන සෞඛ්‍යයට හා රටෙහි යහපැවැත්ම එරෙහිව බලපාන, රටෙහි තිරසාර සංවර්ධනය සඳහා එල්ල වන ප්‍රධාන බාධකයක් වන බවත් එයින් පවුලට, ජන සමාජයට මෙන් ම රටේ ආර්ථිකයට ද එල්ල වන බලපෑම අතිවිශාල බවත්, මෙයින් සිදු වන පාඩුවට වන්දි ගෙවීම ලෝකයට එතරම් පහසු කටයුත්තක් නොවනු ඇති බවත් හෙතෙම කියා සිටී.

විශේෂ ස්තූතිය

No comments:

Post a Comment