Translate

Thursday, February 28, 2019

සැබෑ බාලදක්ෂයෙක්

වැලිකන්ද ඉසෙඩ් ඩී. ප්‍ර‍ධාන ඇලට වැටුණු වල් අලි ගැනයි නිතර කියවෙන්නේ. මාදුරුඔය ජලාශයේ සිට තෙත් බිම් කරා දියවර රැගෙන යන ප‍්‍රධාන වාරි ඇල වන ඉසෙඩ් ඩී ඇල නිර්න්තරයෙන් මාරක අනතුරු ගෙනෙන ස්ථානයකි. 

1970 දි  එවකට පැවති රජය මගින්  සැළසුම් කර  වසර 1977දී ආරම්භ කළ  මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ  මාදුරු ඔය  හෙක්ටයාර 5,8849.9ක්  හෙවත් අක්කර14,724.5 ක් සහිතව මාදුරු ඔය ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන ලද්දේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. මහවැලි සංවර්ධන ව්‍යාපාරයට අයත්  මහා නිර්මාණයක් වන මාදුරුඔය  ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය  වන්නේ මෙම මාදුරු ඔය ජාතික වනෝද්‍යානයයි. මාදුරු ඔය ජාතික උද්‍යානයේ විශාල භූමි ප්‍රමාණයෙන්  මාදුරු ඔය  ජලාශයටත් හා උල් හිටිය ජලාශයටත් වෙන්වී ඇත. ඒ අනුව මාදුරුඔය ජලාශයට  ඝන මීටර් මිලියන 596.6 ක  ජල ධාරිතාවක්ද, උල්හිටිය ජලාශයට ඝන මීටර් මිලියන 145.3 ක්ද අයත් වෙයි. ජාතික වනෝද්‍යානයේ  පරිපාලනය පහසුවීම සඳහා   උල්හිටිය,ඉද්දපොළ හා වෙහෙර ගල යන පරිපාලන  අඩවි තුනකට බෙදා ඇත. උද්‍යානයට අයත් ප්‍රධාන නගරය පොළොන්නරුව වන අතර මහියංගනය ගිරාඳුරු කෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය සහ අරලගංවිල අනෙක් ආසන්න නගර වෙයි.

සසිඳු ලක්ෂාන්ගේ වීර ක්‍රියාව

අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේදී ඉසෙඩ් ඩී ඇලට වැටුණු ත්‍රිරෝද රථයක සිරවී සිටි තම නැගණිය, සොහොයුරා සහ පියා බේරාගැනීමට එම පවුලේම කුඩා පිරිමි දරුවෙක් සමත්ව තිබෙනවා. ඔහු පාසල නිමවී සිය පියා සහ මාස පහක පමණ වූ තම නැගණිය සහ සොහොයුරා සමඟ අලුත්වැව සිට මැදගම දක්වා ගමන්කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.එහිදී එක්වරම ත්‍රිරෝද රථයේ හැඬලය කැපී යාමෙන් මෙම අනතුර සිදුවූ බවයි අනතුරට ලක්වූ රථය පැදවූ පියා ප්‍රකාශ කරන්නේ. එහිදී එක්වරම සැඩ පහරට පැන සියල්ලන්ගේ ජීවිත බේරාගැනීමට සමත්වූ මෙම පුංචි වීරයා සසිඳු ලක්ෂාන් ජයකොඩි නමැති වයස අවුරුදු 10 පාසල් සිසුවෙක් බවයි වාර්තා වන්නේ.

ජීවිතයක් බේරාගැනීම

ජීවිතයක් බේරාගැනීම පිළිබඳ බාලදක්ෂ විද්‍යාවේ හදිසි අනතුරු සඳහා බාලදක්ෂයා සූදානම්ව සිටිය යුතු බව දක්වා තිබේ. සෑම බාලදක්ෂයෙකුට ම කවර හෝ දිනයක හදිසි අවස්ථාවකට මුහුණ දීමට සිදුවන බවත් එම අවස්ථාවේ මුහුණ දීමට ඔහු සූදානම් වී සිටීමෙන් තම සගයෙකුගේ ජීවිතය ගලවා ගැනීමට හැකිවනු ඇති බවත් බී.පී.තුමා අවධාරණය කර තිබේ. දියේ ගිලෙන අය බේරා ගැනීම, ගිනි අනතුරු වලින් ජීවිත බේරා ගැනීම, විවිධාකාරයේ හදිසි අනතුරු, අස්ථාන කැළඹීම් හේතුවෙන් සිදුවන තෙරපීම්, ආදී ඕනඋම අවස්ථාවකට මුහුණ දිය යුතු ආකාරය මෙසේ සටහන්ව තිබේ. 393-412 පිටු බලන්න. මෙසේ ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් බාලදක්ෂ හෝ බාලදක්ෂිකා ව්‍යාපාරයේදී ලබාදෙන 'රිදී කුරුසය' හා 'ලෝකඩ කුරුසය' අතිශයින් දුර්ලභ සම්මාන අතරින් එකක්. මෙතෙක් එම සම්මානයෙන් පුද ලැබූ බාලදක්ෂයන් ගණන සීමිතයි. (වැඩි තොරතුරු මෙතනින්
ඔබේ යුතුකම කරන්න. අනෙක් අය නොසලකා හැරියත් කම් නැත. නිර්භීතව ඉදිරියට ගොස් කලයුතු යුතුකම ගැන පමණක් අවධානය යොමුකරන්න. ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. එකම බාලදක්ෂයෙකු හෝ එහි සිටියානම් යන්න අන් අය මුමුණනු ඇත. එවැනි අත්‍යවශ්‍ය අවස්ථාවකට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් පුහුණුවක් ලබා තිබීම බාලදක්ෂයෙකු ලෙස ඔබ සතුව තිබිය යුතුම බව සිහිතබා ගන්න. මහා හපන්කම කළ ඒ කුඩා දරුවා විසින්උ සිදුකල කැපවීම වෙනුවෙන් උපහාර පිණිස Scouting සඟරාවේ අපි, ඔහුගේ කාරිය අගයමින් මෙසේ සටහන් කර තබන්න‍ෙමු.

ඡායා උපුටා ගැනීම හිරු ගොසිප්
 
 

බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක නැමැති බාලදක්ෂයා

ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සස් ස්මිත් බේඩන් පවල් ස්වාමිවරයා ගැන නොදන්නා කිසිවකු මේ ලෝකයේ නොමැති තරම්ය. ඒ 1907 වසරේදී ලොවට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වාදෙමින් ලොව පුරා වැඩිම ළමා, තරුණ හා වැඩිහිටි පිරිසක් එකට එක්කල එකම ව්‍යාපාරයේ නිර්මාතෘවරයා එතුමා නිසාය. 1907 වසරේ එංගලන්තයේ ඉංග්‍රීසි ඒඩයේ බ්‍රවුන්ස් දූපතේ දී දරුවන් 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකින් ඇරඹි මෙම ව්‍යාපාරය අද වනවිට රටවල් දෙසිය හෑත්තෑවකටත් වැඩි සංඛ්‍යාවක ප්‍රචලිතව ඇත.

බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වී කෙටි කාලයක් ඇතුළතදී ශ්‍රී ලංකාවද එම ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගෙන මේ වන විට වසර 113 කට ආසන්න වෙමින් තිබේ. බී. පී ගේ මිතුරෙකු වන ප්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේන්තුවේ සේවය කළ ප්‍රැන්සිස් ජෝන් ස්ටීවන්ස් මහතා විසින් අපේ රටට මෙම ව්‍යාපාරය හඳුන්වා දෙනු ලැබිණි. ඒ අනුව මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් ආරම්භ වුණ මෙරට බාලදක්ෂ ව්‍යාපාරය අද වන විට මුළු රට පුරාම විහිදී ගොස් ඇත.

සිය ආගමට, රටට යුතුකම් ඉටු කරමින්, සෑම කල්හිම අන් අයට උපකාර කරමින්, බාලදක්ෂ නීතියට කීකරු වෙමින් දරුවකු බාලදක්ෂයකු ලෙස ගොඩනැංවීම මෙහි අරමුණ වී තිබේ. එලෙස ගමන් කරමින් තිබෙන බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ වත්මන් කොමාසරිස්වරයා වන්නේ ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතාය. නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා එම විද්‍යාලයේ බාලදක්ෂ අංහයේ සාමාජිකයකු ලෙස සේවයේ යෙදී තිබේ.

පසු කාලීනව අධ්‍යාපනයට වැඩි නැඹුරක් දෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ විවිධ තනතුරු රැසක් හොබවා තිබේ. එලෙස තනතුරුවල නියැළී සිටියද කුඩා කාලයේ ලබාගත් අද්දැකීම් අමතක නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරිල් ගුණතිලක මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමාසරිස්වරයා බවට පත්විය.
බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතා
“මම අධ්‍යාපනය ලබන්නේ කොළම නාලන්දා විද්‍යාලයේ. එහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්න මට පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒ කියල විද්‍යාලය හැරදාලා වෙනත් විද්‍යාලයකට ගියේ නැහැ. මොකද මගේ ජීවිතයේ ජයග්‍රහණ රැසක් හිමිකරගන්න තෝතැන්නක් වුණේ නාලන්දාවයි. අද වන විට වෘත්තිකයෙක් විදියට බොහෝ තනුතුරු දරලා තිබෙනවා. නමුත් මම කොයි තරම් තනතුරු තාන්න මාන්න ලැබුවත් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමට එක්වෙලා සමාජික පදක්කම දිනාගත්ත දවසේ ඇති වුන ප්‍රීතිය අර කිසිම දවසක ඇති වෙලා නැහැ. එය මම ඕනෑම තැනකදි ආඩම්බරයෙන් කියනවා. ඒ වගේම තවත් සුවිශේසී සිදුවීමක් මට මතක් වෙනවා. ඒ තමයි එම වකවානුවේ පැවැති කොළඹ බාලදක්ෂ කැම්පෝරිය. එවකට විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස හිටියේ ජේ. ආර් ජයවර්ධන මැතිතුමා කැප්පෝරියට පැමිණියා. එතකොට මම තනිව තමයි කඳවුරු භූමියේ හිටියේ. එතැනට පැමිණි එතුමා ආචාර කරලා කෙටි වේලාවක් කතාබහේ යේදිලා තමයි පිටව ගියේ‘ කොමසාරිස්වරයා පවසයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම අවශ්‍ය පාඩම් කටයුතුවල නියැළීමට අවශ්‍ය නිසා කෙටි කාලයක් බාලදක්ස කටයුතුවලින් ඈත්ව සිටීමට මෙරිල් ගුණතිලක ශිෂ්‍යයාට සිදුවුයේය. එහෙත් බාලදක්ෂ මතකයන් හෝ අද්දැකීම් ඔහුගෙන් ඈත්ව නොගියේය.

“මම උසස් පෙල සමත් වෙලා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරුවරයෙක් ලෙස උපාධිය දිනා ගත්තා. ඉන් පස්සේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයකු ලෙස සේවයට එක්වුණා. එහෙම ඉන්න අතරතුර තමයි යළිත් බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ. ඒ අනුව මාව මූලස්ථාන කොමසාරිස්වරයකු වශයෙන් එවකට හිටපු ප්‍රධාන කොමසාරිස්වරයා විසින් පත්කරනු ලැබුවා.

තනතුරට පත් වුණද වෘත්තියේ තිබූ කාර්ය බහුලත්වය නිසා යළිත් බාලදක්ෂ ව්‍යාපාරයෙන් යම් දුරස්තභාවයක් ඇති වෙද්දි ඔහුගේ දක්ෂතා තේරුම් ගත් බාලදක්ෂ සංගමය එම සංගමයේ උප සභාපතිවරයකු ලෙස ඔහු පත්කරනු ලැබීය. එලෙස කටයුතු කරන අතර ජනාධිපති, අගමැති ඇතුළු සියලු දෙනාගේම ආශිර්වාදයෙන් ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත්විය.

“දරුවකු කුඩා කාල සීමාවකට හරි බාලදක්ෂ ව්‍යාපාරයට එක්කර ගතහොත් ඒ දරුවා වැරදි දෙයක් කිරීමේ සම්භාවිතාව අඩුයි. අනෙක් කාරණය තමයි මෙම ව්‍යාපාරයට එක්වන දරුවාගේ මනස යොමු කරනවා යහපත් ක්‍රියාවල නිරත වීමට සහ පරිසරය සමඟ වැඩ කරන්න. එහෙම කළාම දරුවකු වැරදි දෙයක් කරන්නේ නැහැ. අද යම් ක්ෂේත්‍රයකින් ඉදිරියට ආව කෙනෙක්ගේ ඉතිහාසය දිහා බලන්න. ඒ කෙනා සුළු කාලයක් හරි බාලදක්ෂයකු ලෙස කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපිට පොරොන්දුවක්, නීති දහයක් තිබෙනවා. ඒ හා බැඳුණු විෂය මාලාවක් තිබෙනවා. එය න්‍යායාත්මකව වගේම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා දරුවන්ට කියා දෙනවා. මම අද මේ තැන ඉන්නෙත් බාලදක්ෂයෙක් ලෙස කටයුතු කරපු නිසයි.

එයින් අදහස්වන්නේ ඔහු සතුව විශාල අද්දැකීම් සමුදායක් තිබෙන බවයි. එම නිසා මෙම ව්‍යාපාරය දියුණු කිරීමට විශාල වැඩ පිළිවළක්ද ඔහු සතුය. “ මම මුලින් අපේ ව්‍යාපාරයේ සෑම අංශයක් සමඟම සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලිඛිතව ලබා දෙන්න කිව්වා. ඒ සියලු දේ ගැන අවධානය යොමු කරලා අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම අවශ්‍ය උපදෙස් ගන්න මෙරට සිටින කීර්තිමත් පුද්ගලයන් කිහිප දෙනෙක් පත්කර ගත්තා. දිස්ත්‍රික් කොමසාරිස්වරුන් කියන්නේ ප්‍රධාන කොමසාරිස්වරයාගේ නියෝජිතයෝ. ඒ අය තමයි දිස්ත්‍රික්කයට පණිවුඩය අරන් යන්නේ. වෙනා ඒ අය හමුවෙලා තියෙන්නේ වසරකට එක සැරයයි. නමුත් මම පත්වෙලා ආවට පස්සේ ඒ අයව අඩුම තරමින් වසරකට තුන් සැරයක් හෝ හමුවෙලා සාකච්ඡා කරන්න සැලසුම් සකස් කළා. මම ඉදිරියේදී කුමන තීරණය ගත්තත් සියලුම දෙනා සමඟ සාකච්ඡා කර මිසක් තනිව ගන්නේ නැහැ.

“ මට මතක හැටියට එක්දහස් නවසිය ගණන්වල අපේ රටේ බාලදක්ෂයන් පනස් දහසක් පමණ හිටියා. එහෙම බලද්දි මේ වෙන කොට ලක්ෂය ඉක්මවලා ඉන්න ඕන. නමුත් එතරම් සංඛ්‍යාවක් නැහැ. ඒ නිසා අපි 2020 වන විට බාලදක්ෂයන් ලක්සයක් ඉක්මවා ලීමේ වැඩසටහන් සකස් කරමින් යනවා. සියලුම දිස්ත්‍රික් කොමාසරිස්වරුන්ට ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව බාලදක්ෂයන් වර්ධනය කරගන්න උපදෙස් ලබා දී තිබෙනවා. ලංකාවේ ප්‍රථම වරට විශ්වවිද්‍යාල සම්බන්ධ කරගනිමින් මානවක බාලදක්ෂ අංශ ආරම්භ කළා. සිඟි, පෝතක, බාලදක්ෂ හා මානවක බාලදක්ෂ අංශ වර්ධනය කිරීම වගේම ආචාර්යවරුන් වර්ධනය කිරීමේ වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ජනාධිපති බාලදක්ෂයෝ දහසක් පමණ බිහි වෙලා තියෙනවා.

ඒ අයට පදක්කම් පැලඳවීමේ උත්සවයක් ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් පවත්වන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ජාත්‍යන්තර ජම්බෝරිය පැවැත්වීමටත්, බාලදක්ෂ ව්‍යාපාරයේ නියැළී සිටින උතුරු නැගෙනහිර පිරිස්වලට පුහුණු වීම සඳහා මධ්‍යස්ථානයක් ඇති කිරීම, පරිසර වැඩසටහන් ඇති කිරීම වැනි විශාල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන්න තීරණය කර තිබෙනවා. බාලදක්ෂ වැනි බාහිර ක්‍රියාකාරකම් සමග දරුවන් සම්බන්ධ වූ විට ඔවුන්ගේ අධ්‍යාපනය බිඳ වැටෙන බවට ඇතැමුන් අතර මතයක් තිබේ. ඉංජිනේරුවරයකු ලෙස අද්දැකීම් රැසක් ලබා සිටින ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ඒ ගැන දන්නේ මෙවැනි මතයකි.

“ඒ ප්‍රශ්නයට හොඳම උදාහරණය මම. මම විශ්වවිද්‍යාල කිහිපයක ඉගෙන ගත්තත් මේ තරම් දුර එන්න බාලදක්ෂ ව්‍යාපාරය තුළින් ඉගෙන ගත්ත දේ පන්නරක් වුණා. බාලදක්සයන්ට බොහෝ දේ උගන්වනවා. තමන් තුළින් සමාජයට, රටට, පවුලේ අයට විය යුතුකම් හා වගකීම් මොනවද කියලා. මේ රටේ යම් විභාගයකින් ඉහළ ජයග්‍රහණ ගත්ත බොහෝ දෙනෙක් බාලදක්ෂයෙක් වෙලා ඉදලා තිබෙනවා. මේ රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය ඉහළ පුද්ගලයන් දිහා බලන්න.ඒ අය ඒ තැන්වලට එන්න මේ ව්‍යාපාරයෙන් විශාල මෙහෙවරක් ලැබී තිබෙනවා. මම අද මෙතන ඉන්නෙත් බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබූ පන්නරය නිසයි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට එක්වන්න යැයි මම දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දරුවන් බාලදක්ෂ ව්‍යාපාරයට එක්කරන්න කියලා දෙමවුපියන්ගෙනුත් ඉල්ලා සිටිනවා. එහෙම වුණොත් දරුවා යහපත් යහපත් පුරවැසියෙක් බවට පත්වේවි.

මෙහිදි තවත් එක් කාරණයක් කිව යුතුයි. පසුගියදා බාලදක්ෂ ජනාධිපති සම්මාන උලෙළට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යෝජනාවක් කළා. ඒ තමයි මෙම ව්‍යාපාරය මූලික අංගයන් රැක ගනිමින් නවීකරණය කරන්න කටයුතු කරන්න කියළා. ඇත්තටම එතුමා කිව්ව දේ ඉතා වැදගත්. අද දවසේ දරුවා ජීවත් වෙන්නේ අන්තර්ඡාලයත් එක්ක. අපේ බාලදක්ෂ දරුවනුත් ඒ ලෝකය සමඟ සම්බන්ධ කරන්න වැඩසටහන් රැසක් සිදුකරමින් සිටිනවා. මෙහිදී විශේෂයෙන් ස්තූතිය හා ගෞරවය පුදකර සිටින්න ඕන ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, අධ්‍යාපන ඇමැතිතුමාට, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට, බාලදක්ෂ ක්ෂේත්‍රයේ නියැලෙන සියලුම දෙනාට. ඒ අයගේ සහයෝගය නැත්නම් අපිට මේ තරම් දුර ගමනක් යන්න පහසු වෙන්නේ නැහැ.

විශේෂ ස්තූතිය නුවන් කොඩිකාර
dinamina.lk/2019/01/21/විශේෂාංග

Sunday, February 17, 2019

පිළිකාවට එරෙහි බාලදක්ෂයෝ වැඩසටහන

දුරුතු පෝදා පිළිකා රෝගීන්ට වරලස දන්දුන් බාලදක්ෂ බාලිකාවෝ...

පසුගිය ඳුරුතු පොහෝ දා බලංගොඩ නගරයේ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයට පැමිණි දහසකට අධික මව්වරු හා දියණිවරුන් කියාපෑවේ එම මානව දායාවේ පොහොසත්කමයි. ඔවුන් පැමිණ සිටියේ පිළිකා රෝගයෙන් කෙස් කළඹ අහිමි වූ තමන් වැනිම තවත් මවකගේ, දියණියකගේ මානසික සුවය උදෙසා සිය වරලස දන් දීමටය. නැතහොත්, කාන්තාවකසතු පංචකල්‍යාණයෙන් එක් කොටසක් දන් දීමටය. සිය රුව සම්පත්තියෙන් කොටසක් දන් දුන් මේ මනුස්ස දියණිවරු තම අවස්ථාව එළඹෙනතුරු සමහරවිට හෝරා කිහිපයක් ඒ වෙනුවෙන් කැප කලහ. දෙපතුල් සිඹින සිය නිරෝගී දිගු වරලස පරිත්‍යාගකල ඇග්නස් බාලිකාවේම ඉංග්‍රීසි ගුරුවරිය වූ අනෝමා රත්නායක මහත්මිය පැවසූයේ “තමා වසය අවුරුදු 09 සිට බෙහෙවින් සත්කාරකර වැවූ කෙස්කළඹ මෙලෙස දන් දුන් බවයි”.

ලොව අන් කිසිදු රටක අප රටේ තරම් ලේ දන්දීමට ඉදිරිපත්වීමක් දක්නට නැත. එසේම තවත් අයෙකුගේ ජීවිතය උදෙසා වකුගඩු දෙකෙන් එකක් දන් දී දාන පාරමිතාව පුරණ උතුම් මිනිසුන් ද මෙහි තුල දුර්ලභ නැත. ලොව විශාලතම ඇස් සංචිතය හිමි ඇස් බැංකුව ඇති පුංචි රට ශ්‍රී ලංකාවය. ලෝකය ඉදිරියේ කවර පසුබෑම් තිබුණද දානයට, පරිත්‍යාගයට යොමුවන මානව දයාව පිරුණු හදවතින් ශ්‍රී ලාංකිකයන් පොහොසත්ය.

සිය දියණියන් තිදෙනා සමඟ පැමිණි තවත් මවක සඳහන් කලේ පිළිකා රෝගයෙන් මියගිය සිය සොහොයුරිය සිහි කරමින් දියණියන් තිදෙනා සහ තමා කොන්ඩය දන් දුන් බවයි.“මගේ සොහොයුරිය පිළිකා රෝගයෙන් මිය ගිය ඇයට කොන්ඩ අහිමි වූ අවස්ථාවේ දී මාගේ කොන්ඩය දෙන්න හැකිනම් කියා මට හිතුනා නමුත් මට ඒක කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ, අද මගේ සොහොයුරිය කොහේ හරි ඉදගෙන මේ පින් අනුමෝදන් වේවි”යැයි ද ඇය කීවාය.

ඔවුන් මෙලෙස සිය කෙස් වැටිය පරිත්‍යාග කලේ පිළිකා රෝගය නිසා සිදුකරනු ලබන විකිරණ ප්‍රතිකාර හේතුවෙන් මුළුමණින්ම සිය කොන්ඩය අහිමි වූ කාන්තාවන් වෙනුවෙන් ස්වාභාවික හිසකෙසින් කෙස්කළඹ සකසා පරිත්‍යාග කරනු වස් ඉන්දිරා පිළිකා භාරය ක්‍රියාත්මක කරන පුණ්‍ය ව්‍යාපෘතිය සඳහාය.

ඉන්දිරා පිළිකා භාරය මෙම ව්‍යාපෘතිය ආරම්භ කලේ මින් වසර 02 කට පෙරය. මේ වනවිට දහස් ගණනක් කාන්තාවන් එම ව්‍යාපෘතිය වෙනුවෙන් සිය කෙස් කළඹ පරිත්‍යාග කර ඇත. නමුත්, බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලීය බාලදක්ෂිකාවන් විසින් සිය පාසල් භූමිය තුල සංවිධානය කල වැඩ සටහන මෙම ව්‍යාපෘතිය ඉදිරියට තැබූ යෝධ පියවරකි.
 
  
පාසලක් මේ සඳහා දායක වූයේ ප්‍රථමවරටය. බලංගොඩ ඇග්නස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්.එල්.වයි.ටී.ප්‍රනාන්දු පැවිදි සොහොයුරියගේ මෙහෙයවීමෙන් ඉන්දිරා පිළිකා භාරය සමඟ එක්ව මෙම ව්‍යාපෘති සඳහා තමා යටතේ පුහුණුවන බාලදක්ෂිකාවන්ට මඟ පෙන්වා තිබුණේ බාලදක්ෂ පුහුණු භාර ආචර්‍යනී ඒ.පී. ඔගස්ටා මහත්මියයි.

සංවිධාන කටයුතු වලට උරදීම හැරුනු කොට ඇග්නස් බාලිකාවියන් සිය කෙස්වැටිය දන්දීම සඳහා විශාල උනන්දුවක් දැක්වූහ. දන් දීමට සුදුසු කෙස් කළඹ අවම වශයෙන් අඟල් 17 ඉක්මවා තිබිය යුතු වූ හෙයින්, එයට ඉදිරිපත් වුවද සිය කෙස්වැටියේ දිග ප්‍රමාණවත් නොවන බව දැනගත් ඇතැම් සිසුවියන් ඉවත්ව ගියේ කඳුළුපිරි දෙනෙතෙනි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ විදුහල්පතිනිය ඩබ්.එල්.වයි.ටී ප්‍රනාන්දු පැවිදි සොහොයුරිය “රෝගීන් වෙනුවෙන් අනුකම්පාව, දායව, ආදරය දැක්වීම සෑම ආගමකම ප්‍රකාශ කර තිබෙන උතුම් ගුණයක්. මේ ව්‍යාපෘතිය පිළිබඳ යෝජනාව බාලදක්ෂ අංශයභාර ආචාරිනිය ඉදිරිපත් කල මොහොතේ අපේ ගුරු මණ්ඩලයේ සෑම කෙනෙක්ම ඒ සඳහා පූර්ණ සහය ලබා දුන්නා.

මාගේ පාසලේ දරුවන් නිසා විශාල පිරිසකට මහා පුන්‍ය කර්මයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. සොබාදහම අපට කවදාහරි මේ දේවල් අහිමි කරනවා, කෙස්වැටිය කවදාහරි වැටිල යනවා, හැබැයි, මේ කරපු පින අපට සැමදාම ඉතිරි වෙනවා, කියන හැඟිම අපට තිබෙනවා”


ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සමුහයක් විසින් පළමු වරට ඉටුකරන ලද වරලස දන්දීමේ මෙම ව්‍යාපෘතිය සඳහා විද්‍යාලයීය බාලදක්ෂ බාලිකාවෝ රැසක් සහභාගී වූහ. රමනී ෆර්නෑන්ඩෝ සැලෝන්ස් විසින් ක්‍රියාත්මක කරන ලද ඉන්දිරා පිළිකා භාරය යටතේ, හිසකෙස් දන්දීමේ මහා පුණ්‍ය කටයුත්තක් බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයේදී 2019.01.20 දින දෙවන වරටත් ඉතා සාර්ථකව පවත්වනු ලැබිණ. රත්නපුර බාලදක්ෂ දිසාවේ බලංගොඩ ඇග්නස් විද්‍යාලයේ 8‍9 වෙනි සංවත්සරය නිමිති කොට "පිළිකාවට එරෙහි බාලදක්ෂයෝ" ව්‍යාපෘතියේ යටතේ වරලස දන්දීම, ලේ දන්දීම, ශරීර අවයව දන්දීමේ වැඩසටහන ආදී අංග කීපයක් යටතේ ක්‍රියාත්මක වූ මෙම පුණ්‍ය මෙහෙයුම සඳහා බොහෝ දෙනාගේ දායකත්වය නොමසුරුව දැක්වීම අගය කළයුත්තකි. පිලිකා රෝගයන් පෙලෙන රෝගීන් වෙනුවෙන් බොරු කොන්ඩා සැකසීම සඳහා අවශ්‍ය හිස කෙස් පරිත්‍යාග කිරීමට බාලදක්ෂෙ බාලිකාවන් තුළ වූ උනන්දුව පැසසිය යුතු ම වේ. මීට සමගාමී ව අැස් දන්දීමේ පොරොන්දු පත්‍රිකා පිරවීමක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි.

බාලදක්ෂ අංශභාර ආචර්‍යනී එච්.පී.ඔගස්ටා මහත්මිය.

“අපේ බාලදක්ෂිකාවන්ට නියම වෙලා තිබෙන වැඩ ව්‍යාපෘතියට මේ වගේ දෙයක් සංවිධානය කිරීමට ලැබීමෙන් අපි මෙතෙක් කාලයකට නොකල අන්දමේ විශේෂ ව්‍යාපෘතියක් කලා කියන සතුට අපට තිබෙනවා, මේතරම් පිරිසක් මෙයට දායක වෙන්න එයි කියලා අපි විශ්වාස කලේ නැහැ, අපේ දරුවන්ගේ උත්සහය නිසා තවත් කෙනෙකුට ජිවිතේ ගැන අළුත් බලාපොරොත්තු උපදිනවා, රෝගී තත්වයට මුහුණ දෙන්න මානසික ශක්තිය ලැබෙනවා, කාන්තාවකට නිරෝගී කොන්ඩය වටිනා ස්වභාවික ආභරණයක් වුනත් තව කෙනෙකුගේ සතුට, සහනය වෙනුවෙන් එය පරිත්‍යාග කරන්න ඉදිරිපත් වුන සියළුම මව්වරුන්ට, දියණිවරුන්ට ආචාරය පුද කරනවා”යැයිද ඇය පැවසුවාය.

ඉන්දිරා පිළිකා භාරය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය ලංකා ජයසුරිය දිසානායක මහත්මිය.

“මෙම ව්‍යපෘතිය සඳහා දන්දෙන හැම කෙස්ගසක් පිළිබදවම අපට තිබෙන්නේ මහත් ගෞරවයක්. එය පූජනීය දෙයක්, ඒ නිසාම ඒ හැම කෙස් ගසක්ම ඉතා පරිස්සමින් කෘතිමව නිශ්පාදනය කරන කෙස්කළඹක් එහෙම නැතිනම් විග් එකක් හදන්න අපි යොදවනවා. කෙස් ලැබුණත් විග් එකක් හදන්න විශාල පිරිවැයක් දරන්න අවශ්‍යයි. ඉන්දිරා පිළිකා භාරය ඒ පිරිවැය දරනවා”.

මේ තුලින් රෝගී තත්වය හේතුවෙන් කෙස් කළඹ අහිමිවුන කාන්තාවනට හා එම පවුලේ සාමාජිකයන්ට ලැබෙන සහනය මොන තරම් ද කියා වචනයෙන් විස්තර කරන්න අමාරුයි. එවැනි අතිශයින් සංවේදී අවස්ථා රැසක් අප ගෙවී ගිය වසර 02 ක කාලය තුල අත්දුටුවා.

ඇත්තටම අපි ඔවුන්ට පෙර තිබූ කොන්ඩය ආකාරයෙන්ම සකස් කල විග් එකක් තමයි ලබා දෙන්නේ , කවුරු හරි අපෙන් විග් එකක් ඉල්ලුම් කලාම ඒ අයගේ කොන්ඩය තිබුණු කාලයේ ඡයා රූපයක් ඉල්ලාගෙන ඒ ආකාරයෙන්ම විග් එක හදලා දෙන්න අපි කටයුතු කරනවා, ඒ නිසා සති 02 ක් 3 ගත වෙන්න පුළුවන් උනත්, මෙය මුළුමනින්ම නොමිලේ ලබා දීමට අප කටයුතු කරනවා.

ඒ වගේම, මේ වෙනුවෙන් හිසකෙස් දන් දෙන අයට ඒ බව තහවුරු කරමින් අප සහතික පතක් පිරිනමනවා,මේ සහතිකය දකින හැම මොහෙතකම මම මහත් පිනකට දායක වුනා කියන සිතුවිල්ල ඇති වන බවට සැකයක් නැහැ.

විශේෂයෙන්ම ඉතාම වගකීමෙන් යුතුව අපේ මව්වරු, දියණිවරු පිරිනමන කොන්ඩය ඉවත් කරගත් පසු ඔවුන්ගේ මුහුණට ගැලපෙන කෙටි කොන්ඩා මෝස්තරයක් කැමැත්ත අනූව සකසා දීම ඔවුන්ට ඉටුකරන සාධාරණයක් ඒ නිසාම මෙලෙස කොන්ඩය කපාගැනීමත්, කපාගත්පසුව ඉතිරි කොන්ඩය මනාව සකසා දීමත් සඳහා අප සමඟ සම්බන්දව කටයුතු කරන්නේ ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේම රූපලාවන්‍ය ක්ෂේත්‍රය පිළිබඳව විශිෂ්ඨ නමක් දිනාගත් රමනී ප්‍රනාන්දු සැලෝන් ආයතනයයි.

ඇයගේ ශාඛා ජාලයේ විශාල පිරිසක් මේ වෙනුවෙන් ක්‍රියාත්කම වෙනවා, එතුමිය ඇතුළු කණ්ඩායම මේ වෙනුවෙන් කැපවන්නේ ස්චේච්ඡාවෙන්මයි.

විශේෂයෙන්ම මේ සඳහා කොන්ඩය පරිත්‍යාග කාන්තාවන්ගේ මුළු කොන්ඩයම ශීල්පියාට අවශ්‍ය දිගින් කපා ගැනිමක් සිදු නොවන බව අවධාරණය කල යුතුයි. කොපමණ දිග කොන්ඩයක් වුවත් අඟල් 17 ක කොටසක් පමණක් උවත් දන් දිමට හැකිනම් කොන්ඩය කපන ශිල්පියා කපා ඉවත් කර ගන්නේ එම කොටස පමණයි.

පිළිකා රෝගයට උස් පහත් භේදයක් නැහැ, අප කිසිවෙක් මෙම අවධානමෙන් මිදී නැහැ, වර්ථමාන ලෝකය පූරාවට එය තර්ජනාත්මකව හිස ඔසවනවා.

අපේ රටේ යම් කෙනෙකුට මෙම රෝගය වැළඳුනු බව දැනගත් විට රෝගියා පමණක් නොවෙයි ඔහු‍ගේ පවුලම විශාල කම්පනයට පත් වෙනවා, ඔවුන්ට කල යුක්තේ කුමක්දැයි සිහි එළවා ගන්න අමාරුයි.

මෙහිදී ඉන්දිරා පිළිකා භාරය ඔවුන්හට පිහිට වෙන්න මඟ පෙන්වන්න වගේම උපකාර කරන්නත් සූදානම්, අප දියත් කරන මෙවැනි උපකාරක සේවාවන් 25 අතුරින් එකක් තමයි මෙම කෙස් කළඹ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය, අපට සමාජයට දෙන්න අවශ්‍ය පණිවුඩය තමයි පිළිකා රෝගයේ දී “ඔබ තනි නැහැ ඔබේ සහයට ඉන්දිරා පිළිකා භාරය සිටිනවා” කියනඑක, 0112363211 දුරකථනයෙන් දවසේ පැය 24 පුරාම ඉන්දිරා පිළිකා භාරය ඇමතිය හැකියි.





ඒ වගේම, රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක් අපගේ ව්‍යාපෘති වලට විවිධ ආකාරයෙන් සහය ලබා දෙනවා,ස්වේච්ඡාවෙන් මෙම ව්‍යාපෘති සමඟ එක්වන්න කැමති මානව දයාවෙන් පිරි අයවළුන්ට අප ආරාධනා කරන බවද වෛද්‍ය ලංකා ජයසුරිය මහත්මිය කීවාය.

රජයේ ලියාපදිංචි පුන්‍ය ආයතනයක් වන ඉන්දිරා පිළිකා භාරයේ මූලස්ථානය මහරගම අපේක්ෂා රෝහල ඉදිරිපිට අංක 63 යන ස්ථානයේ පිහිටා ඇති අතර, 2016 වර්ෂයේදී එය ආරම්භ කරන ලද්දේ වර්තමාන කථානායක කරු ජයසුරිය මහතාගේ කණිටු දියණිය වූ පිළිකා රෝගයෙන් මියගිය ඉන්දිරා ජයසුරිය මහත්මිය සිහිවීම පිණිසය. විශේෂ ස්තූතිය - lankacnews හි  චමින්ද ගමගේ /


Tuesday, February 12, 2019

ගෙයින් ගෙට යන වැඩසති බාලදක්ෂයෝ 2019

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතියට දීර්ඝ ඉතිහාසයක් තිබේ. දින හතක් පුරා පැවති එම 'රැපියලේ වැඩ සතිය' ප්‍රධාන කොමසාරිස් සී.පී.ජයවර්ධන මහතාගේ යුගයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. ලෝක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර හයකින් පසු ප්‍රසිද්ද වැඩ දිනයක් පවත්වා අරමුදල් එකතු කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අවසරය ලැබිණ.

Related image

මුදල් එකතු කළ පළමු අවස්ථාව

එවකට Scouting For Boys කෘතියේ ප්‍රකාශකයා වූයේ ආතර් පියර්සන් මහතා ජීවිතයේ අග භාගයේදී ඇස් නොපෙනී අන්ධ භාවයට පත්විය. ඔහු ලොව පුරා අන්ධ ජනතාව වෙනුවෙන් සුවිසල් සේවාවක් කළේය. ඒ සඳහා අවැසි අරමුදලක් ගොඩනගාදීමට ලෝක බාලදක්ෂයින්ගේ අවධානය යොමුවිය. එකල ලෝක බාලදක්ෂ සඟරාවේ කර්තෘ හේඩ්න් ඩිමොක් මහතාගේ යෝජනාවක් පරිදි බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අවසරය ඇතිව මෙම වැඩ දිනය නම් කර බාලදක්ෂයින් ඒ වෙනුවෙන් මහන්සි වී වැඩකර මුදල් රුස් කිරීමට යෝජනා කෙරිණ. අන්ධ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් අරමුදලක් ගොඩනැගීම උදෙසා බාලදක්ෂයින් තම ශ්‍රමය කැප කළේය. වර්ෂ 1914 මැයි මස 2 වෙනි දින සිදුකළ එම අරමුදල් එකතු කිරීමේ වැඩසටහන අතිශය සාර්ථකත්වයට පත්වූයේ බාලදක්ෂ ඉතිහාසයට එක් විය. ලෝක බාලදක්ෂ ව්‍යාපාරය තුළ පළමුවතාවට බාලදක්ෂයින් විසින් මුදල් උපයන ලද්දේ එ් ආකාරයෙනි.

මුදල් එකතු කළ දෙවැනි අවස්ථාව

ප්‍රථමවර මුදල් එකතු කිරීමෙන් පසු වසර 30 කට පසු 1944 මැයි මස 20 වෙනි Bob a job යන නමින් දිනයක් හදුන්වා දෙනු ලැබීය. දෙවෙනි ලෝක යුද්ධයෙන් අසරණ වූ අහිංසක මිනිසුන් උදෙසා සහන සේවා සැපයීම එහි අරමුණ විය. එම අරමුදල සරණ සේවා අරමුදල ලෙස නම් කළේය. එකල එංගලන්තයේ ව්‍යවහාරික මුදල් ඒකකය BOB විය. එම නිසාම එක් බාලදක්ෂයකු අවම වශයෙන් බොබ් එකක් හෝ රුස්කළ යුතු විය. බොබ් එකක වටිනාකම ශ්‍රී ලංකාවේ භාවිත කළ ව්‍යවහාරික මුදලින්  සිලිම්කි.

මුදල් එකතු කළ තෙවැනි අවස්ථාව

Bob a job week සංකල්පය බාලදක්ෂයින් තුළ වඩාත් ආකර්ශනීය වැඩසටහනක් විය. ලෝකයේ සියලුම බාලදක්ෂයෝ සතියක් තම ශ්‍රමය පරිත්‍යාග කරමින් අරමුදල් සම්පාදනය කළහ. ඒ සඳහා වසරකට සතියක කාලයක් තෝරා ගනු ලැබීය. 1949 අප්‍රේල් 18 වෙනි දින සිට Bob a job week ආරම්භ විය. බාලදක්ෂයකු විසින් උපයන ලද පළමු සිලිම ලෝක සරණ සේවා අරමුදලට පරිත්‍යාග විය. ඉතිරි මුදල් අදාළ රටවල ජාතික බාලදක්ෂ සංගමය, දිසා බාලදක්ෂ සංගමය හා බාලදක්ෂ කණ්ඩායම් වෙතට බැර විය. මෙහි තිබූ විශේෂත්වය වූයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සිට ඉන් පහළට සිටින පෝතක බාලදක්ෂයා දක්වා තරාතිරමකම බාලදක්ෂයින් මේ සඳහා සක්‍රීයව දායක වීම අනිවාර්ය වීමය. එහෙත් ලංකාවේ බාලදක්ෂයෝ එම වැඩසටහනට දායකත්වය ලබා දීමෙන් වැළකුණහ.

වැඩ සතිය ලංකාවට හඳුන්වාදීම

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බාලදක්ෂ වැඩ සතියක් පවත්වන ලද්දේ 1950 වර්ෂයේ දීය. එවකට ප්‍රධාන කොමසාරිස් සී. පී. ජයවර්ධන මහතාගේ අදහසකට අනුව මෙම වැඩසටහන රැපියලේ වැඩ සතිය ලෙස නම් කළේය.  එම වකවානුවේදී සෑම බාලදක්ෂයකු විසින්ම රැපියලක්වත් එකතු කර අරමුදලට දායකත්වය ලබා දිය යුතුව තිබුණි.


ජාතික වැඩ සතියේ නම වෙනස් කිරිම

ජාතික වැඩසතිය ලෙසින් හැඳින්වූ අරමුදල් රුස් කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන කොමසාරිස් සී.බටුවන්ගල මහතාගේ වකවානුව තුළදී ජාතික සේවා හා මහජන සම්බන්ධතා සතිය ලෙස වෙනස් කරන ලදී. සතියකට සීමා නොකළ දින දහයක් ක්‍රියාත්මක කළ ජාතික සේවා සතිය මේ දක්වාත් ක්‍රියාත්මක වේ.

සේවා සතියේ අරමුණු

කාණ්ඩ වශයෙන් සංවිධාන වී කිසියම් කාර්යයක් සාර්ථකව නිමාකර දී ඒ සඳහා අභිමානයෙන් යුතුව මුදලක් උපයා ගන්නා ක්‍රමවේදයක් වන අතර මුදල් ලබා ගැනීමට පෙර කිසියම් කාර්යයක් සාර්ථකව නිමා කරදීම අනිවාර්ය වේ. සම්පූර්ණ නිල ඇඳුමින් යුතුව ජාතික සේවා සතියට සහභාගි විය යුතුය. බාලදක්ෂ හැඳුනුම්පත මගින් අනන්‍යතාව තහවුරැ කළ යුතුය. එමෙන්ම අවම වශයෙන් හතර දෙනෙකුගෙන් යුත් කාණ්ඩයක්, උප කාණ්ඩයක්, පර්ෂදයක්, හයක් වශයෙන් කාර්යයන්හි නිරතවිය යුතු අතර සෑම කුඩා ඒකකයකටම ජාතික බාලදක්ෂ මූලස්ථානය නිකුත් කළ කාර්ය කාඩ් පතක් තිබීම අනිවාර්ය කොට ඇත. පත්‍රිකා පොත්වලට මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇත.

 

ප්‍රදේශීය සීමා

බාලදක්ෂයන් තම දිස්ත්‍රික් සීමාවේ රුඳී සිටිය යුතුය. බාලදක්ෂයින් තම දිස්ත්‍රික්කයට අයත් බල ප්‍රදේශයේ පමණක් කාර්යයන්හි නිරත විය යුතුය. අදාළ දිසා කොමසාරිස්වරයාගේ නිසි අවසරයක් නොමැතිව වෙනත් පිට දිස්ත්‍රික්කවල කාර්යයන්හි නියැළී මුදල් එකතු කිරීම තහනම් කොට ඇත.

බාලදක්ෂයාට හිමිවනුයේ තෘප්තිය පමණි

විවිධ වයස් පරාසයන්ගේ ශිෂ්‍යන්ගේ හැසිරීම්, සිතුවිලි, පුහුණුව, චාරිකා කිරීම, සමාජය හදුනා ගැනීම, ශරීර සුවතාව, සමාජානුයෝජන ආදී නොයෙකුත් ප්‍රායෝගික පුහුණුව ලැබීමට ජාතික සේවා හා මහජන සම්බන්ධතා සතියෙන් ලැබෙන ප්‍රතිලාභයට අමතරව බාලදක්ෂ කණ්ඩායමට හා දිසාවටත් ජාතික මූලස්ථානය හා පුහුණු කඳවුරු නඩත්තුව සඳහාත් මෙම අරමුදල් නිකුත් තෙකරෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය ජනතාව තුළට කාවද්දමින් වාර්ෂිකව සමාජ සහ සම්බන්දය පවත්වමින් තානාපති සම්බන්ධතාවය හා සන්නාම කළමණාකරුවන් ලෙස බාලදක්ෂයන් සිදුකරන මෙහෙවර කිසි දිනෙකත් අගයනු දැක නෑ. ජනාධිපති සම්මානය දිනාගන්නා තුරු අවම වශයෙන් බාලදක්ෂයෙන් ජාතික සේවා හා මහජන සම්බන්ධතා සති 04-05 සහභාගීවීම සිදු වෙනවා. බාලදක්ෂයා තුළ විනයක් හා ශීක්ෂණය පවත්වා ගැනීමටත් නිර්මාණශීලී හැකියාවත්, තම  නායකයාට අනුව කාණ්ඩ තුළ ක්‍රියාත්මකවීමටත් ලැබෙන තෘප්තිය හැරෙන්නට බාලදක්ෂ සතිය තුළින් බාලදක්ෂයාට හිමිවනුයේ තෘප්තිය පමණි. 

වැඩසතිය වර්ජනය

නව යොවුන් විය ඉක්මවන බාලදක්ෂන් ගෙයින් ගෙට ගොස් සිදුකරන මෙවැනි සේවා සම්බන්දයෙන් සමාජයේ විවිධ මත දක්නට ලැබේ. ඇතැම් ජනප්‍රිය පාසල්වල බාලදක්ෂයන්, දෙමාපියන් ඒ සඳහා විවිධ විරෝධතා දැක්වීම හා දෝශාරෝපණ එල්ල කිරීමද වාර්සිකව දක්නට තිබේ. ඇතැම් බාලදක්ෂ කණ්ඩායම් ප්‍රතිපත්තියක් ලෙස බාලදක්ෂ සතියට සමබ්නධ නොවේ. නමුත් දිවයින් පුරා ව්‍යාප්තවී සිටින් සමස්ථ බාලදක්සයන්ගේ දහදිය මහන්සියෙන් උපදින අග්‍රඵලය සැමදෙනා අතර බෙදී යන බැවින් සහෝදරත්වයේ නාමයෙන් සැවොම එහි ඵල භුක්ති විඳති. මුදල් අර්බුදයක් නොමැති බාලදක්ෂ කණ්ඩයම්වලට අසීරුවකින් තොරව පුහුණු කඳවුරුවල සැප පහසුව භුක්තිවිඳිය හැකි මුත් දිළිඳු අඟහිඟ කම්වලින් අවම පහසුකම් සහිතව පුහුණු කටයුතු සිදුකරන කණ්ඩායම් වලට දැරිය හැක්කේ සීමිත පහසුකම් බව බොහෝ දෙනා දන්නා නොදන්නා කරුණකි. අතිදුෂ්කර පළාත වල ගෙයින් ගෙට ගොස් රැස්කරන රුපියල් සියයේ නෝට්ටුව නගරයේ බාලදක්ෂයන්ට අරුමයක් නොවේ. කෙසේ හෝ මෙලෙස දහදියෙන් හෝ පහසුවෙන් එක් රැස්වෙන අරමුදල අවසානයේ ජාතික මූලස්ථානයේ ඒකාබද්ධ අරමුදලට එක් වේ.

අපහාස උපහාස විදදරාගනිමින් තමා ඇදි නිලඇදුමේ ගරුත්වය රකිමින් නිහඩව තම ඉලක්කය සපුරාගැනීම වෙනුවෙන් අසීරු කටයුත්තක් සිදුකරන ජාතික සේවා හා මහජන සම්බන්ධතා සතියට සහභාගීවන බාලදක්ෂයන් ලබා ගන්නා වූ මානසික පන්නරය ඊට සහභාගී නොවී විවේචනය කරන්නා වූ බාලදක්ෂයන්ට ගත නොහැකියි. තම සමවයසේ යහළුවන්ගේ නිවෙස් වලට පවා ගොස් සේවාවන් සිදුකරණ නව යොවුන් බාලදක්ෂයන් තුළ අභ්‍යන්තරිකව පන්නරය වන බාලදක්ෂ ජීවය කැපවීමෙන් තොරව පදක්කම් පසුපස ගොස් හුදෙක් ජනාධිපති සම්මානය ම අරමුණු කරගත් වැඩසතිය වර්ජනය කරන බාලදක්ෂයන්ට අභියෝගයක් බව තිව යුතුමයි.  

පාසල් වයසේදිම මෙවැනි මානසික පුහුණුවක් නොදැනුවත්වම ලබන බාලදක්ෂයා නැමැති පුද්ගලයා හට උපහාස යනු ඔහුගේ ගමන් මගේ සුළගක් තරම්වත් නොදැනෙන දෙයක් බව වටහාගත යුතුය…

නියාමනයට ඔබගේ සහයෝගය අත්‍යවශ්‍යයි

ජාතික සේවා සතියේ ජාතික සංවිධායක ලෙස සහාය ප්‍රධාන කොමසාරිස් ශ්‍රීලත් ද සිල්වා මහතා පත්කර ඇත. ජාතික සේවා සතිය පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට දැනගැනීමට අවශ්‍ය නම් කාර්යාල වේලාවන් හිදී 0112433131 දුරකථන අංකයෙන් ජාතික බාලදක්ෂ මූලස්ථානය ඇමතිය හැකිය.
-----------------------------------

මෙවර ජාතික සේවා හා මහජන සම්බන්ධතා සතිය 2019 සැප්තැම්බර් 22 සිට 29 දක්වා පැවැත්වේ.