Translate

Friday, December 12, 2014

18 වැනි බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස්තුමා

18 වැනි බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස්  
මහාචාර්ය ටී.කේ. නිමල් ද සිල්වා
වෙඩි තියන්න ගත වූයේ නිමේෂයකි. හාත්පස කළඹා ගියේය. කුරුලු සමූහයා මහ හඬ නඟමින් පියඹා ගියහ. හේෂාරාවය නංවමින් ඌ බිම ඇඳ වැටිණි. දැන් ඒ, ආඩම්බරකාර පා සතරටම වාරු නැත. එහෙත්, යන්තම් සෙලවීමක් පෙන්නුම් කළේය.
තවත් මොහොතකින් එය ද නිසල විය
පුංචි කඳුළු බිඳුවක් දෑසේ රුවා ගනිමින් ඌ සඳහටම දෙනෙත් පියා ගත්තේය.
අපරාදේ. අපරාදේ ඌට වෙඩි තිබ්බේ.
ඌට එච්චර අමාරුවකුත් පේන්න නම් නෑ.
ලස්සනම එකා.
එතැන හිටපු උන්ගෙන් ලස්සනම එකා.
අනේ ! ඇයි ඉතින් එහෙම උන්ට වෙඩි තියන්නේ?
මට මහත් ප්‍රහේළිකාවකි.
අනේ මාමේ, උන්ට එහෙම වෙඩි තියන්න එපා. අපි ඌව හදා ගන්නම්, ඌ අපට දෙන්න බැරිද?
මට එහෙම කියන්න දහස්වර හිතුණා.

මවුපියන් සමඟ කුඩා අවදියේ දී...
මොකක්දෝ මහා දුකක් වගේ දෙයක් මගේ හිතේ ලැඟුම් ගත්තා.
මගේ හිත ඇදී ගියේ උන් ටික ඉස් ඉස්සර වෙලාම ගාල්ලට ගොඩ බැස්ස හැටියි.
කොළඹ කොටුව සිට ගාල්ල බලා පැමිණි මන්දගාමී දුම්රිය තව මොහොතකින් දෙවැනි වේදිකාවේ නතර වනු ඇත.
මා සිටියේ හතරවැනි වේදිකාවේයි.
යුහුසුළු වූ මඟීහු තම බඩු භාහිරාදිය ද රැගෙන බසිනා හැටි එළඹෙන තුරු මා එදෙස බලා සිටියෙමි.
පුදුමයකි.
මඟීන් එහි නැත.
එහෙත්,
නැත්තේම නොවේ.
කිසියම් අමුත්තක් එහි ඇත.
වෙනස්ම කෝච්චියකි. වෙනස්ම දොරටුවකි.

බිරිය අයිරංගනී සමඟින්...
ඉන් පිට වූයේ අශ්වයෙකි.
ජව සම්පන්න, ආඩම්බරකාර, ලස්සන එකෙකි.
මේ නම් සිහිනයකැයි මට සිතුණි.
එහෙත් සත්‍යයකි.
අශ්වයන් එකෙක් නොවේ.
ගණනාවකි.
මම දෑස් දල්වා මුව අයා එදෙස බලා උන්නෙමි.
එකිනෙකාට නොදෙවැනි ජවසම්පන්න, තේජසැති, පුෂ්ටිමත් අශ්වයන්ය.
එකිනෙකා ආඩම්බරකාර ගමනකින් අපූරු කෝච්චි දොරටුවෙන් වේදිකාවට බැස ගත්හ.
කුදිරකරුවෝද ඔවුන් සමඟ වෙති.
පෝළිම් ගැසුණු මේ අශ්වයෝ ප්‍රධාන දොරටුවෙන් එළියට ආහ.
කවුරුත් උන් දෙස බලා සිටිති.
අපූරු ලීලාවකට පෝළිමට ඇදී යන මේ අශ්ව සමූහයා එක්තරා තැනකින් මුහුදට බැස්සාහ.
ඔවුන් මේ සැකසෙන්නේ ස්නානයට ය.
අපූරු රස ගුලාවකි.
ළමා, ළපටි අපි කවුරුත් මේ දර්ශනයෙන් මුසපත්ව සිටියෙමු.
ඔවුන් මේ රැගෙන ආවේ බූස්සේ පිහිටි තුරඟ තරඟ වෙනුවෙනි.
මේ 1950 දශකයේ මුල් වකවානුවේ එක්තරා සිදුවීමකි. තුරඟ රේස් දැක බලා ගැනීමටත් තරඟ සඳහා පැමිණෙන තුරඟයන්ව ගවේෂණය කළා වූ ඔහු නමින් ටී. කේ. නිමල් පී. ද සිල්වා ය. වර්ෂ 1945 සැප්තැම්බර් මස පළමු වැනිදා උපන් ඔහු පවුලේ දෙවැන්නාය.
ඔහුට සහෝදර සහෝදරියන් සතර දෙනෙකි. අක්කා හිල්ඩා ය. නංගී දමිතා ය. මල්ලිලා දෙදෙනා ලක්ෂ්මන් සහ කීර්තිය. මව ඩේලින් ද සොයිසා ය. පියා ටී.පී. ද සිල්වා ය. ඔහු වෘත්තියෙන් තෝල්ක මුදලි කෙනෙකි. ඔවුහු ගාලු දිස්ත්‍රික්කයේ බූස්සෙහි ජීවත් වූහ.

ඉන්දියාවේ සංස්කෘතික ඇමැතිනිය සමඟ...
එකල බූස්සෙහි පිහිටි තුරඟ තරඟ මේ දරුවන්ගේ දර්ශනයට නිතරම ලක් වෙයි.
“රේස් දවස්වලට පුදුම සෙනඟක්. නොයෙක් වෙළෙන්දෝ නොයෙක් වෙළෙඳාම් බඩු අරන් ඇවිත් සෙනඟට විකුණනවා.”
තුරඟ තරඟ පැවැත්වෙන දෙසැම්බර් කාලයට බූස්ස ප්‍රදේශය සැනකෙළි වෙස් ගන්නේය. කාත් කවුරුත් විනෝදය උපරිමයෙන්ම විඳිති. තරඟ බැලීම පමණක්ම නොවේ. ඒ වටා බොහෝ දෑ ගොඩ නැඟී ඇත.
වර්ෂ 1949 දී කුඩා නිමල් දරුවා පාසල් අධ්‍යාපනයට යොමු වන්නේ ය. නිවස ඉදිරිපිට ඇති ධීරානන්ද විද්‍යාලයෙන් ඔහු මූලික අධ්‍යාපනය ඇරැඹීය.
“අපේ තාත්තා මුල් වෙලා තමයි ධීරානන්ද ඉස්කෝලේ හැදුවේ. මැටි බිත්තිවලින් හදලා පොල් අතු සෙවිලි කරලයි තිබුණේ. අල්විස් ඉස්කෝලේ හාමිනේ අපට අමතක කරන්න බෑ. ඉස්කෝලේ පටන් ගත් දා ඉඳලා විශ්‍රාම යනකම්ම එයා ඒ ඉස්කෝලේ ළමයින්ට ඉගැන්නුවා. ඒ පළාතේ එයාගෙන් ඉගෙන නොගත් කෙනෙක් නෑ”
මුහුද සහ ගාලු පාර මායිම් කොට 20km රට ඇතුළට වෙන්නත් ගම් 17කින් යුක්තවත් එකල බූස්ස පැවතිණි. ජන ජීවිතයට අවශ්‍ය සියලු” දෑ ඒ ගමේම නිෂ්පාදනය විය.
“කොණ්ඩෙ කපන්න බාබර්ලා විතරයි නොහිටියේ. බාබර්ලා ගාල්ලෙන් එනවා”

ජේතවනාරාම දාගැබේ සංරක්ෂණ කටයුතු පිරික්සමින්...
වර්ෂ 1952 දී ඔහු මේධංකර විද්‍යාලයට ඇතුළත් වූයේය.
ගම වෙනසකට බඳුන් වීමේ ලක්ෂණ පහළ විය.
“එක දවසක් අපි ඉස්කෝලේ ගිහින් එනකොට පාරේ එක පැත්තක තිබුණු ගස් කපලා. බැලින්නම් ටෙලිෆෝන් යන්න. තව කාලෙකින් පාරේ අනිත් පැත්තේ ගස් ටිකක් කපලා. බැලින්නම් විදුලිය යන්න”
වර්ෂ 1953 දී නිමල් සිසුවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වන්නේය. ඔහු මළල ක්‍රීඩාවලටත්, බාලදක්ෂ ව්‍යාපාරයටත් බැදුණේය. බාල දක්ෂ පෝතකයෙක් වශයෙන් බැඳී රැජින බාලදක්ෂයෙක්, මානවක බාලදක්ෂයෙක්, බාලදක්ෂ ආචාර්යවරයෙක් වශයෙන් පියවර ඉදිරියටම ගියේ ය. එය ඔහුගේ ජීවිතය ගොඩ නැඟෙන්නට මහත් රුකුලක් සැපයීය.
වර්ෂ 1961 වර්ෂයේදී ඔහු අපොස සා.පෙළ විභාගය සමත් වූයේය. විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වර්ෂ 1964 දී උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේය. ඔහුට සරසවි වරම් හිමි විය. වර්ෂ 1965 දී කොළඹ සරසවියට ඇතුළත් වූයේය. බොරැල්ලෙහි ඥාති නිවසක නතරව සරසවියට ගියේය.
සරසවිය ඔහුගේ නැණැස පුබුදුවාලීමේ තෝතැන්නක් විය. මිතුරු සමාගම සතුට ගෙනාවේය. වාස්තු විද්‍යාව ඔහුගේ විෂයය විය.
“එක දවසක් උස නැති සුදු මහත්තයෙක් ඩී.ඊඊ. ඩබ්.ඩබ්, ඩී.ඊඊ. ඩබ්ඩබ් කියලා ඇවිත් මේසෙ උඩ වාඩි වුණා. එයා පැයක් කතා කළා. අනේ මට නම් මොකුත්ම තේරුණේ නෑ. දෙපැත්තේ හිටපු දෙන්නාගෙනුත් ඇහුවා තේරුණාද කියලා. කාටවත්ම තේරිලා නැ. ඒ තමයි ග්‍රීක්.”
ඔහුට අපූරු යෙහෙළියක් හමු විය. ඈ නමින් අයිරාංගනී ගුණවර්ධනය. මේ යෙහෙළිය ඔහුගේ පෙම්බරිය වූවාය. වසර 3 කින් පසුව උපාධිය ලැබීය. වර්ෂ 1971 දී ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සහකාර වාස්තු විද්‍යාඥයෙක් ලෙසින් සේවයට එක් වූයේය. අනතුරුව 1973 දී කොළඹ පිහිටි ඉංජිනේරු සංස්ථාවට බැඳී වාස්තු විද්‍යාඥයෙක් ලෙසින් රැකියාවේ නියැලුණේය.
1974 දී කටුබැද්ද මණ්ඩපය - ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට පා තැබුවේ වාස්තු විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය වෙනුවෙනි. එම උපාධිය හදාරා නැවතත් ඉංජිනේරු සංස්ථාවට යළි පැමිණ සිය වෘත්තීය කටයුතු ඇරැඹීය.
1975 මැයි මස 08 වැනිදා සිය පෙම්බරිය වූ අයිරාංගනී ගුණවර්ධන මෙනවිය හා අතිනත ගත්තේය. වර්ෂ 1976 දී බ්‍රිතාන්‍ය රජයේ වාස්තු විද්‍යා ආයතනයෙන් වාස්තු විද්‍යාව සම්බන්ධ වෘත්තීමය සුදුසුකම ලබා වරලත් වාස්තු විද්‍යාඥයෙක් වූයේය.
නිමල් - අයිරංගනී යුවළට උපන් කුළුදුල් දරුවාට අයිෂානි හේමංගි යන නාමය තැබීය. ඈ 1978 - පෙබරවාරි මස 10 දා උපන්නාය. තුසිත චම්පික පත්මපානි පුතු උපන්නේ 1980 ජුනි මස 03 දාය. තුන්වැන්නා ලෙසිත් තුෂ්ණි ප්‍රියංගි වර්ෂ 1986 මාර්තු මස 29 දා උපන්නාය.

චීන සංචාරයේ දී...
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ කොළඹ නගර සැලසුම් ව්‍යාපෘතියේ වාස්තු විද්‍යා උපදේශකවරයා ලෙසත් කටයුතු කිරීමට මොහුට අවස්ථාව සැලසිණි. තවද වාස්තු විද්‍යා උපදේශන සේවයක් පෞද්ගලිකව ඇරැඹීය.
වර්ෂ 1977 දී කටුබැද්ද විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ වාස්තු විද්‍යා ආචාර්ය වරයෙක් ලෙසිනි. පසුව සහාය මහාචාර්ය, මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ සම්මානිත මහාචාර්ය දක්වා දිගු පියවරක් ගමන් කළේය. ඔහුගේ විශ්වවිද්‍යාල ඇදුරු දිවිය වසර 36කි.
ලංකාවේ වාස්තු විද්‍යාඥයින්ගෙන් 90%ක්ම මගේ ගෝලයෝ. ඉන් 18 දෙනෙක් මහාචාර්යවරු”
ඔහු අප්‍රමාණ ආඩම්බරයකින් නිහතමානීව එලෙස පැවැසීය. විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කරන අතර රජයේ වෙනත් ආයතනවල ප්‍රධානියා ලෙසින් සේවයට එක්වීමට ද ඉඩ කඩ ලැබිණි.
වර්ෂ 1985 සිට වසර 6 ක් ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිධූරය හෙබවීය. වර්ෂ 1997 – 2002 කාලයේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වූයේ ය. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂකව සිටියේය. වෙදකම, ලේඛන කලාව, චිත්‍ර කර්මය, සාරධර්ම, චාරිත්‍ර වාරිත්‍ර මේ හැම දේම උරුම අධ්‍යයනය යටතේ උගන්වනවා.
මිනිසුන්ට හැඟීමක් නැත්තේ දැනීමක් නැති නිසානේ. ඒ නිසා ඒ දැනීම ලබා දෙන්න කියලයි ඒ පාඨමාලා පටන් ගත්තේ”
යුනෙස්කෝ ශ්‍රී ලංකා ත්‍රිකෝණ ව්‍යාපෘතියේ (මධ්‍යම සංස්කෘතික අරමුදල) මෙරට ස්ථාපිත කළේ 1980 වර්ෂයේදීය. එදා සිට ඔහු එහි අධ්‍යක්ෂවරයෙකුව සිට අද වන විට ඔහු එහි අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙසින් කටයුතු කරයි.
“ශ්‍රී ලංකාවේ පුරාවස්තු මොනවද තියෙන්නේ ඒවා රැක බලාගෙන සංරක්ෂණය කරලා අනාගතයට දෙන්න තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල හදලා තියෙන්නේ” අභයගිරිය, ජේතවනය, මහා විහාර ව්‍යාපෘතිය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, මහනුවර, ගාල්ල, තිස්සමහාරාමය, රම්බා විහාරය, කතරගම, වයඹ චතුරශ්‍රය, යාපහුව, පඬුවස්නුවර, කුරුණෑගල සහ දඹදෙණිය විශේෂ ව්‍යාපෘති යටතේ සංරක්ෂණය කෙරෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ සේවක සේවිකාවන් 2200 ක් පමණ සේවය කරන අතර බැලූ බැල්මට නොපෙනෙන කාර්ය භාරයන් රැසක් අනාගත පරපුර වෙනුවෙන් ඔවුන් සපයනු ඇත. තවද බිතු සිතුවම් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර කමිටුවේ සභාපති හැටියට කමිටු 11කට තම දායකත්වය ලබා දෙයි. චීනය, ඉන්දියාව සහ කොරියාව වැනි රටවල ලෝක උරුම මොහු විසින් නිර්දේශ කොට ඇත. රටේ අනාගත පරපුර වෙනුවෙන්, අපේ උරුමයන් රැක ගැනීම වෙනුවෙන් උර දී කටයුතු කරන ඔහු බොහෝ දෑ ඇසූ පිරුවෙකි. දැයේ දුවා දරුවන්ට අපේ උරුමයන් පිළිබඳව අධ්‍යාපනය ලබා දෙන්නෙකි. පුරා විද්‍යාව, වාස්තු විද්‍යාව, චිත්‍ර කර්මය, සංරක්ෂණය සහ භූ දර්ශනය පිළිබඳ ග්‍රන්ථ 14ක් රචනා කොට ඇති ඔහු වාස්තු විද්‍යාව පිළිබඳ හසල දැනුම ඇත්තෙකි.

“යම් කිසි කෙනෙකුට කිසියම් දැනුමක් තියෙනවා නම් එය මතු පරම්පරාවටත් දායාද කරන්න ඕනෑ. මෙරටේ එදා මිනිස්සු ජීවත් වූයේ තමන්ගේ ආත්ම ගෞරවයටයි. එහෙත් අද මිනිස්සු ජීවත් වෙන්නේ මුදලටයි. එහෙම නොවෙයි. තමන්ගේ ආත්ම ගෞරවයට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනෑ. පන්සිල් පද පහ ආරක්ෂා කළාම පින් සිද්ධ වෙනවාද කියන්න මම දන්නේ නෑ. ඒ වුණාට පව් සිද්ධ වෙන්නේ නැති බව නම් දන්නවා. බියක් සැකක් නැතුව ජීවත් වෙන්න නම් පන්සිල් පද පහවත් ආරක්ෂා කර ගත යුතුයි.”

No comments:

Post a Comment