Translate

Monday, March 18, 2024

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භයට එක් වෙමින් ජනපතිතුමා කළ කථාව

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

ජාති, ආගම් පදනමින් කිසිවකුත් ජම්බෝරිය නියෝජනය කරන්නේ නෑ. සැම දෙනා එක් වුණොත් මතු පරපුරට සුරක්ෂිත රටක් ගොඩනඟා දිය හැකියි. යහපත් පුරවැසියන් රටට තනන බාලදක්ෂ ව්‍යාපාරයට උපරිම අනුග්‍රහය දක්වනවා. බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීමට අවස්ථාව සලසනවා..


රනිල් වික්‍රමසිංහ
ප්‍රධාන බාලදක්ෂක /ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපති
10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය

ජාති, ආගම් පදනමින් කිසිවකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්‍ වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කරගත හැකි බවද කියා සිටියේය. රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුග්‍රහය දක්වන බව මෙහිදී පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී විවෘත කෙරිණි. ‘වෙනසක් සඳහා නායකත්වය’ යන තේමාව යටතේ පෙබරවාරි 20 සිට 26 දා දක්වා පැවැත්වෙන මේ ජාතික ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාල දක්ෂ නායකයන් 11,500ක පමණ පිරිසක් එක්ව සිටිති. ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරන කණ්ඩායමක්ද කඳවුරට එකව සිටින අතර, පෝතක බාලදක්ෂයන් සඳහාද මෙවර අවස්ථාව හිමි කර දී තිබීම විශේෂත්වයකි.



10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කර ලේන්සුව සහ පදක්කම පැලඳවීමද සිදු කෙරිණි.

ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු වූ අතර, ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාපද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව නිල ඇඳුම ප්‍රදානය සංකේතවත් කරමින් එය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද ජම්බෝරි සිහිවටනය සහ සමරු තිළිණ පිළිගැන්විණි. 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ ස්ථාපිත කර තිබෙන කඳවුරු නිරීක්ෂණය සඳහාද අනතුරුව එක් වූ ජනාධිපතිවරයා බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ සුහද කතාබහක නිරත විය.

අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 28ක බාලදක්ෂයින් 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා එක්ව සිටිති.

ජම්බෝරිය පැවැත්වෙන සෑම දිනකම බාලදක්ෂයන් සඳහා විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර, ගිනි මැල සන්දර්ශන, සංස්කෘතික සන්දර්ශන ද ඊට ඇතුළත් වේ. ඊයේ (21) සිට පෙරවරු 9.00 සිට රාත්‍රි 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කර තැබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“දස වැනි බාලදක්ෂ ජම්බෝරිය අද ත්‍රිකුණාමලයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම බාලදක්ෂ බාලදක්ෂිකාවන් මීට සහභාගි වී සිටිනවා. අද ඔබ මීට සහභාගි වන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ආගම වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ජාතිය වෙනුවෙන් නොවෙයි. අද ඔබ මෙතැනට පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකික බාලදක්ෂයකු ලෙසයි. අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ.

මෙතැනට පැමිණි සියලු දෙනාටම පළමුව මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අද ඔබ සියලු දෙනාගේ මේ සාමූහිකත්වය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල සම්බන්ධතාවක් ගොඩනැඟෙනවා; ඒ වගේම කොළඹ සහ ත්‍රිකුණාමලය දක්වා මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. ඔබේ එකමුතුකම වැඩි වෙනවා. ඒ නිසා මේ ජම්බෝරිය මඟින් විශේෂ මෙහෙවරක් සිදු වනවා.

“බාලදක්ෂ ව්‍යාපාරයෙන් බිහි වන්නේ මේ රටට අවශ්‍ය යහපත් පුරවැසියන් පිරිසක්. ප්‍රධාන බාලදක්ෂයා ලෙස මම මේ වගකීම භාර ගත් අවස්ථාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගෙන් විමසා සිටියා මෙහි සාමාජිකත්වය ලක්ෂ දෙක දක්වා ඉහළ නංවාගැනීමට අපට හැකියාවක් තිබෙනවාද කියා. එය කළ හැකි බව ඔහු ප්‍රකාශ කළා. එබැවින් සියලු දෙනා එක්ව මේ බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කරගත යුතුයි. ඉදිරියේදී ඒ සාමාජිකත්වය දෙලක්ෂ පනස්දහස දක්වා ඉහළ නංවාගත හැකියි. මේ සඳහා ගැටලුවක්ව පැවතියේ සම්පත් ප්‍රමාණවත් නොවීමයි. බාලදක්ෂ ව්‍යාපාරය ලක්ෂ දෙකක ඉලක්කය සම්පූර්ණ කළ විට ඒ වැඩකටයුතු සඳහා මීට වඩා මුදලක් දීමට අපේක්ෂා කරන බව සඳහන් කිරීමට කැමැතියි. එහෙත් ඒ සඳහා සැලැස්මක් අවශ්‍යයි.

ඒ වගේම මෙවැනි ව්‍යාපාර මඟින් නව දැනුම හා නව තාක්ෂණය සැලසිය හැකියි. ඒ වගේම ලබන වසරේ ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අවස්ථාව වන විට කෘත්‍රිම බුද්ධිය සැපයිය හැකියි. නව දැනුම ගෙනදෙන මාර්ගයක් ලෙසත් මේ බාලදක්ෂ ව්‍යාපාරය අපට භාවිතයට ගත හැකියි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට මා බලාපොරොත්තු වනවා.

“කෘෂිකර්ම නවීකරණය, පරිසරය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍රද මේ බාලදක්ෂ ව්‍යාපාරය සමඟ එක් කිරීමට අපේ සහාය දෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයෙන් අප බලාපොරොත්තු වන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරයි කියලා. දැනට ඔබ එය සිදු කර තිබෙනවා. අනාගතයේදී එය තවදුරටත් ශක්තිමත්ව සිදු කරනු ඇතැයි අප බලාපොරාත්තු වනවා.


“බාලදක්ෂයන් පමණක් නොවෙයි, අනෙක් සියලු දෙනාටත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරීමට තිබෙනවා. එය අප සියලු දෙනා ඉටු කරනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. දේශපාලනයේ සිටින අය එය ඉටු කරනවාද කියන එක ගැටලුවක්. මීට වසර දෙකකට පෙර අප සියලු දෙනාම දුක් වින්දා: විදුලි බලය තිබුණේ නැහැ; ඉන්ධන තිබුණේ නැහැ; ගොවිතැන් කිරීමට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ; තුන් වේලට ප්‍රමාණවත් ආහාර තිබුණේ නැහැ. ඉතා අසීරු යුගයක් අප පසු කළේ. අපේ රට බංකොළොත් වුණා. එහෙත් දැන් ක්‍රමානුකූලව ඒ බංකොලොත්භාවයෙන් මිදෙමින් සිටිනවා. ජනතාවට අප යම් සහන දුන් නමුත්, තවත් අසීරුකම් තිබෙනවා. ඒත් රට ජයග්‍රහණය කරවීමට නම් අප මේ මාවතේ ඉදිරියට යා යුතුයි. රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමෙන් පසු අප සියලු දෙනාගේ ඊළඟ යුතුකම වන්නේ මීට වඩා හොඳ රටක් මතු පරපුර වෙනුවෙන් ගොඩනඟා දීමයි. නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන ලෙස රට ගොඩනැගිය යුතුයි. දේශපාලනඥයන් තවම ඒ සඳහා සුදානම්ද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

“අපි සියලුදෙනා එකතුව මේ ගමන යමුයි කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. අප සියලු දෙනා එකතු වුව හොත් තවත් වසර 10ක් 15ක් යන විට හොඳ රටක් බිහි කරගත හැකියි. එය මේ රට අනාගත පරපුර වෙනුවෙන් අප ඉටු කළ යුතු යුතුකම ලෙස මම ප්‍රකාශ කිරීමට කැමතියි.

ජාතික බාලදක්ෂ ජම්බෝරියට මම නැවතත් මගේ සුබපැතුම් පිරිනමනවා.”

නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, ජම්බෝරි නායක ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ආසියා ශාන්තිකර කලාපයේ උපසභාපති හා ලෝක බාල දක්ෂ ව්‍යාපාරයේ නියෝජිත සයිමන් බොක්‍රේ, බාලදක්ෂ කඳවුරු සංවිධායක, වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණුවීම් කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස්, ආචාර්ය කුසන්තා හේරත්, නියෝජ්‍ය ජම්බෝරි නායක, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Monday, March 11, 2024

සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ ගීත ගොන්නට එකතු කරමු

දේශීය බාලදක්ෂ ගීත කලාවක් අාරම්භ කිරීම වෙනුවෙන් තැබෙන පළමු පියවර ලෙස මීට වසර කීපයකට පෙර මුහුණු පොතේ පටන් ගත්ත උත්සාහය තමා බාලදක්ෂ ගීත කලාව පෝෂණය කිරීම. ඒ වෙනුවෙන් මුහුණුපොතේ Scouting Song Book - Sri Lanka තවත් පියවරක් තබමින් එම බාලදක්ෂ ගීත ජාත්‍යන්තරයට රැගෙනයාමට යූ ටියුබ් ඔස්සේ Scouting සඟරාවේ අපි පුංචි උත්සාහයක් ගත්තා. 

 
විදෙස් ගතවන බාලදක්ෂයන් වගේම ජාත්‍යන්තර ජම්බෝරිවලින් ලබන අත්දැකීම් එක්ක විදෙස් බාලදක්ෂ ගීත මෙරටට රැගෙන එන බාලදක්ෂයන් වගේම නායකයන් අතීතයේදී ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ අපටත් බාලදක්ෂ ගීත කලාවක් උරුම වෙලා තිබෙනවා... 

සුභාවිත ගීතයට පණ පොවන, හුස්ම පිඹින වාග් චාතුර්යයෙන් පොහොණි ගේය කාව්‍ය සිත්තරුවෝ සුදුර්ලභයෝය. මෙනයින් දෙරියන්, සිවුරියන්, නවරියන් පද රචකයන් බිහිවන්නේ අඩුවෙනි. ගීතය වඩාත් භාවපූර්ණ වූ සාහිත්‍ය භාෂණයක් බවට පත් කරමින් ලාංකේය සුභාවිත ගීතයේ භාෂානන්දය සාම්ප්‍රදායික සිංහල ගීතය සමතික්‍රමණය කරමින් ඊට ඇවැසි උසස් ප්‍රමිතිය ද සොයා පාදා දෙමින් සුභාවිත ගීතය දියුණු තියුණු කිරීමෙහිලා අවංකව මෙහෙසුණු ප්‍රතිභාපූර්ණ ගවේෂණශීලී ගේය පද රචකයයෙකුවීම සරල කරුණක් නොවේ.
 

සරල, සුගම පද සුන්දර ළමා ගීතයට ගෙනෙනේ ප්‍රාණයකි. එය පරිකල්පන ශක්තිය සහ ප්‍රතිභාව මොනවට පැහැදිලි වේ. ඒ අතර පුරාණයේ විසූ මෙරට ස්වදේශිකයන්ගේ පපු කැනති හරහා ගලා ගිය ඌරුව ළසෝ ගීතයක, නෙළුම් කවියක, ගැල් කවියක, පැල් කවියක, පාරු කවියක හෝ දරු නැළවිල්ලක සෙවණැල්ල ඔහුගේ ඇතැම් ගීතවලට වැටී ඇත.
 

සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ ගීත ගොන්නට එකතු කරමු.


අම්මාගෙ උකුලේහි නැලවී........
ගායනය : දමයන්ති ඒකනායක මහත්මිය 

අම්මාගෙ උකුලේහි නැලවී
තාත්තාට සුරතල් වෙවී
පාසල් ගොසින් උදය කාලේ
ගතවීල යයි මාගේ බාලේ
අම්මාගෙ උකුලේහි නැලවී...

දෙගුරුන්ගෙ අවවාද අසලා
අවුරුද්ද අවුරුද්ද ගෙවලා//
ලොකු පොත් සොයාලා කියෝලා
ඉගෙනීම අවසාන කරලා//

අම්මාගෙ උකුලේහි නැලවී....

ලංකාව රට මා උපන්න
මගෙ ජාතියේ නාමෙ ගන්න//
පුළුවන් තරම් වෙහෙස වන්න
පතමි හොඳින් මා හැදෙන්න//
අම්මාගෙ උකුලේහි නැලවී....

ඉරෙන් හඳෙන්........
උපුටා ගැනීම : සූරිය අරණ චිත්‍රපටයෙන් 

ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්
අපට සැදුන අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාලුවේ....

සමනල තටු සිඳින්නෙපා
පාට මැකී යයි දේදුන්නේ
ගහවැල සිඳි දමන්නෙපා
පොළොව දැවී යයි ඉර ගින්නේ
අපට සැදුනු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාලුවේ..//

නටා ගයා බටිති මලිත්තෝ
අපා දෙපා සිව්පා ඇත්තෝ
ඉරේ හඳේ ගහේ වැලේ
අපි වගේම උරුමය ඇත්තෝ
අපට සැදුන අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ..//

තිත් තිත් තිත් තිත්මුවන්ට
ගායනය: ළතා වල්පොළ
මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය: සරත් දසනායක

තිත් තිත් තිත් තිත්මුවන්ට
තිත් තිබුණේ නැතිලු පුතේ
ඉස්සර කාලේ
ඉස්සර කාලේ
පුතා වගේ හරි හුරතල්
මුව පැටියෙක් දවසක් දා
දාංගලෙන් අම්මාගෙන්
කිරි බොනවාලු

අම්මාගේ කිරි බිඳු බිඳු
ඉහිරි ඉහිරි ඇඟ පුරාම
ඌ ලස්සන මුව පොව්වෙක්
වුණා පුතේ
එදා ඉඳන් සේරම මුව පැටවු එක්වෙලා
අම්මාවරු ළඟට ගිහින්
තුරුල්වෙලා - තුරුල්වෙලා
කිරි පාටින් තිත් තියාන ලස්සන වෙනවා
‘‘මං වගේ නේද අම්මා’’!

අම්බිලි මාමේ........
ගී පද - ආර්. එන්. එච්. පෙරේරා ශූරීන්
ගායනය - සී. ටී. ප්‍රනාන්දු ශූරීන් 

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුළුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ
වටින් පිටින් ඇදෙන්නේ
මුහුණ ඔබේ පෙනෙන්නේ
සේද යොදා සැදූ වලා සළුද කියන්නේ
පාත බලන්නේ.... මුව විහිදන්නේ...
රිදී සිනා පපා මෙලෝ එලිය කරන්නේ//

සිසිල් සුලං හමන්නේ
කුමුදු සමන් පිපෙන්නේ
අඳුරු කලා දසත බලා පැනල දුවන්නේ
තුරු නැලවෙන්නේ.... සුවඳ හමන්නේ...
කුසුම් තලා රේණු සලා බිම නොදමන්නේ //

සියල් සතුන් නිදන්නේ
සුරන් මෙලෝ වඩින්නේ
ගුවන් කුසේ මැණික් රසේ ඔබ සරසන්නේ
සිරස සදන්නේ... රැස් පළඳන්නේ....
සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝ පුබුදන්නේ

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි...
උපුටා ගැනීම : අඔ යාළුවෝ ටෙලි නාට්‍යය

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
කථා කියයි හෙමින්
හිරු එබෙයි එලිය දෙයි
කුරුලු ගී ඇසෙයි

රිදී කලේ අරන් උදේ කොහේද යන්නෙ මේ
කොහි සිටන්ද එන්නෙ කවුද මවුපියන් ඔබේ

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....

දුවන්නෙ කිරි කලෙත් අරන් යන්නෙ විගසිනේ
ගොවියෙකුයි පියා මගේ ඉන්නෙ මේ ගමේ

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....

බදින්නෙ කොහොම ගොවි දුවක් කුමාරයෙක් නෙ මං
පිය රජුත් මවත් කෙසේ දෙයි මනාපයක්
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි

බදින්න ඔනේ යැයි කියා කවුද ඇහුවෙ දැන්
හිදින්න නෑ වෙලාවකුත් මෙන්න යනව මං

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි

සැළලිහිණි කොවුල් හඬ...

පද රචනය : ආනන්ද සරත් විමලවීර මහතා
සංගීතය : සී. ටී. ප්‍රනාන්දු මහතා
මුල් ගායනය : සී. ටී. ප්‍රනාන්දු මහතා සමඟ ලතා වල්පොල මහත්මිය

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුවරැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ

නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා
කට ඇද කිරළා සහ වලි කුකුළා
හොට දිග පිළිහුඬුවා
අප දැකලා බිය වැදිලා තරගෙට හඬ නැගුවා

කොළ දිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලා
විසකුරු පොළඟා මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා
රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ...

ගායනය සහ තනු නිර්මාණය: සී. ටී. ප්‍රනාන්දු මහතා
පද රචනය: සුසිල් සේනාධීර මහතා

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ

කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහලට බැස යති දිය රැල්ලේ
නාමල් පිපිලා නැලවෙති සුළඟේ
සුවඳ හමා දසතේ
සෝබන මේ නදියේ
සෝබන මේ නදියේ
සඳරැස් වැතිරෙන්නේ

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ

ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නළවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ

කවුරුද ඇල්හේනේ
කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ


රුං රුං හඬ දීලා...

පද රචනය: ක්ලෝඩ් ද සොයිසා
ගායනය : චම්පිකා ගුණවර්ධන 

 රුං රුං හඬ දීලා
හොඳම තැනක් බලලා
මුංඇට තරමේ මැටි ගුලි ගෙනල්ල
එක පිට එක තබලා
රන් කුඹලා උළුවස්සේ උඩ අපෙ
පුංචි ගෙයක් හැදුවා

පොඩි පොඩි කාමර වෙන්කෙරුවා
සංතෝසෙන් රුං හඬ දීලා
අද හෙට තව තව හැඩ වෙනවා
පැතුම් ගොඩක් ඇත හිත යට සැඟවීලා
රුං රුං හඬ දීලා

හදාපු ගෙය අම්මා දුටුවා
කොහු මිටකින් ඇනලා කැඩුවා
ඉකි බිඳ බිඳ කුඹලා හැඬුවා
කුඹලෝ උඹ මෙන් මමත් එදා හැඬුවා
රුං රුං හඬ දීලා

එහා ගෙදර පොඩි සුමනක්කා
එක්කල මම ගේකුත් හැදුවා
ඒකත් අම්ම ඇවිත් කැඩුවා
ඔයයි මමයි හැදු පුංචි ගෙවල් කැඩුවා
රුං රුං හඬ දීලා


ඕලු පිපීලා

සංගීතය : සුනිල් ශාන්ත මහතා
ගායනය : සුනිල් ශාන්ත මහතා

ඕලු පිපීලා වෙල ලෙලදෙනවා සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ
එන්න දියේ බැස මා හා දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

වැල නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ දන්ඩි පැටව් නංගෝ
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙළුවා ඔන්න ඔබේ ඒ මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

මා පරදිනවා ඔබගේ දෑතට මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ කලබල ඇයි නංගෝ
ඕලු මලේ සුද නාලා ඔබ රුව වැඩිවෙයි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ
මේ මල් අරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ
අන්න මල්ලි මෙහෙ එනවා යමු යමු හනිකට මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා//


මොනවද මුත්තේ මොකද කරන්නේ....

ගී පද : එස් මහින්ද හිමි
සංගීතය : රෝහණ වීරසිංහ මහතා
ගායනය : අනූෂ නානයක්කාර සහ රෝහණ වීරසිංහ

 මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි //

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

පහන තියා බුදු සාදුට.....

පද රචනය : බණ්ඩාර නානායක්කාරවසම් මහතා
සංගීතය : ආනන්ද ගමගේ මහතා
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය සහ ලෙලුම් රත්නායක මහතා

පහන තියා බුදු සාදුට හිමිදිරියේ
හැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
කෝච්චියේ විරිදු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා

ඉගෙන ගන්න ආස උනත්
ඉස්කොලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා

බිං ගේ තුල කළුවර වී
පුරුදු එළිය ළග එනාවා
කොළඔට යන කාටත් තිසරණ පතලා
මෙන් වැන්දා ජය ලැබෙන්නට අත් බැඳලා

පහන තියා....


ඕලු පිපීලා වෙල ලෙල දෙනවා....

සංගීතය : සුනිල් ශාන්ත මහතා
ගායනය : සුනිල් ශාන්ත මහතා

 
ඊලග නැවතුම ආවම බැහැලා යනවා
නුවර බලා...
ඇත්නම් සතයක් දමන්න පිං සලකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

ඕලු පිපීලා වෙල ලෙලදෙනවා සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ
එන්න දියේ බැස මා හා දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

වැල නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ දන්ඩි පැටව් නංගෝ
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙළුවා ඔන්න ඔබේ ඒ මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

මා පරදිනවා ඔබගේ දෑතට මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ කලබල ඇයි නංගෝ
ඕලු මලේ සුද නාලා ඔබ රුව වැඩිවෙයි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ
මේ මල් අරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ
අන්න මල්ලි මෙහෙ එනවා යමු යමු හනිකට මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා//


දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න...
සංගීතය : පුණ්‍යසිරි මහවත්ත මහතා
පද රචනය : ප්‍රේම කීර්ති ද අල්විස් මහතා 

ගුරු හරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න//

ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන
උකුල් තලේ උරේ තබා නටා නළවන
සුරංගනා කතා කියා කතා පවසන
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින

දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න...

වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා
මම තරුණෙකි කවදා හෝ එය ඉටුවෙන දා
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවරදා

දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න


තැන තැන රවුමට ඉඳගෙන....

තැන තැන රවුමට ඉඳගෙන ඉද හිට එබිකම් කර කර//
ලේන්සු හංගන්න ළමයි
එක් රොක් වෙන්නා
රවුම වටේ යනවිට
කවි පද කියවෙන්නා
කොප්පර කොප්පර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා//

පැණි මොර මල් පිපුණු රෑට කජු පුහුලන් ඉදුණු දාට//
පුංචි අපේ සිත් තුල සතුටක් මතුවෙන්නා
එවන් අසිරි සිරි දුටු සිත් පිනින් පිරෙන්නා
කොප්පර කොප්පර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා//

කුන්ඩු පැනලා දිනුවෙත් අපි වච්චි කියල දිව්වෙත් අපි//
හරිම වැඩේ අද දරුවන් ඒවා නොදන්නා
වෛවාරණ සෙල්ලම් බඩු ගමට අවිල්ලා
කොප්පර කොප්පර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා//

තැන තැන රවුමට ඉඳගෙන ඉද හිට එබිකම් කර කර//
ලේන්සු හංගන්න ළමයි
එක් රොක් වෙන්නා
රවුම වටේ යනවිට
කවි පද කියවෙන්නා
කොප්පර කොප්පර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා//

මිදුලේ වැලි මාලිගාවෙ...
ගායනය: පේෂලා මෙන්ඩිස්
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී මහතා
සංගීතය : රෝහණ වීරසිංහ මහතා 

මිදුලේ වැලි මාලිගාවෙ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
සඳ පායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී.....//

පීනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී...

මිදුලේ වැලි මාලිගාවෙ.....

එපා ඔටුණු මගේ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මඟ හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ....

මිදුලේ වැලි මාලිගාවෙ......


ලලිත කලා..

ගායනය : චිත්‍රා සෝමපාල මහත්මිය

ලලිත කලා ඔප කරනා සීගිරි ළඳුනේ
ඇයි ඔබ තනිවී සෝ දුකෙනි ඉන්නේ//

රතැඟිලි මොලවා කුසුම් නෙලා ගෙන
බුදු පුදටද යන්නේ..
බලන්නකෝ අනෙ අප දෙස ළඳුනේ
පිහිදී සිනහ පපා..

ලලිත කලා ඔප කරනා සීගිරි ළඳුනේ
ඇයි ඔබ තනිවී සෝ දුකෙනි ඉන්නේ

මියුරු බසින් අප නලවා සුරඟන ‍රැඟුමක්
සොඳුරේ රඟපා සනසනු අප සැනිනා..
දෙපා නඟන්නට බෑ නොවෙ අය්යෝ
ඔබ තනිකර දමලා

ඔය වැනි සුන්දර සුරූපියන් ඇයි
ගල්ගෙයි තැවේ දුකින්..

ලලිත කලා ඔප කරනා සීගිරි ළඳුනේ
ඇයි ඔබ තනිවී සෝ දුකෙනි ඉන්නේ..


ආලේ බැන්ද....(නාඩගම් කවි)

සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
මේ සුනිමල මගෙ දික්තල
මේ සුනිමල මගෙ දික්තල
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ඕ....ඕ....ඕ...ආලේ බැන්ද මාගේ රම්‍යවන්

අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා

අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා
ගත් ළඳුන් මගේ ඇගේ රූපේ බෝ අගේ
ගත් ළඳුන් මගේ ඇගේ රූපේ බෝ අගේ
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
මේ සුනිමල මගෙ දික්තල
මේ සුනිමල මගෙ දික්තල
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ඕ...ඕ...ඕ..ආලේ බැන්ද මාගේ රම්‍යවන්

යන්නට ගමට මෙදීන මවුපියන් දකින ලෙසීන

ඕ..යන්නට ගමට මෙදීන මවුපියන් දකින ලෙසීන
තෑගි ලෙසට දැන්
ගෙනයාමි රස කැවුම්
තෑගි ලෙසට දැන් ගෙනයාමි රස කැවුම්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
මේ සුනිමල මගෙ දික්තල
මේ සුනිමල මගෙ දික්තල
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ඕ...ඕ...ඕ...ආලේ බැන්ද මාගේ රම්‍යවන්

අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා

අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා
ගත් ළඳුන් මගේ ඇගේ රූපේ බෝ අගේ
ගත් ළඳුන් මගේ ඇගේ රූපේ බෝ අගේ
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
මේ සුනිමල මගෙ දික්තල
මේ සුනිමල මගෙ දික්තල
ආලේ බැන්ද මාගේ රම්‍යවන්
ඕ...ඕ...ඕ...ආලේ බැන්ද මාගේ රම්‍යවන්


පොළොවෙන් මතුවන මිණිකැට

පොළොවෙන් මතුවන මිණිකැට
මනරම් දිවයින මගෙ රට
ගැතියන් නොව පිට රටකට
බැතියෙන් සුරකිමු සදහට //

ගිරි සිරසින් සැදී ඇදී - කළු මහවැලි කැළණි නදී
දසත ගලා දෙරණ සලා - හෙළබිම සරු කරන ලදී
සීගිරියේ බිතු සිතුවම් - ඉසුරුමුණියේ ගල් කැටයම්
සිරි ඉතිරේ අනුරපුරේ - යුගයක හෙළ විරු විකුමන්

පොළොවෙන් මතුවන මිණිකැට...

වැවෙන් ජලය කෙතට හලා - ගලෙන් විකුම් පිළිම නෙලා
පොළොන්නරුවෙ හෙළ විරුවන් - රුවන් දෙරණ සසිරි කළා
අසිරිය දැක මගෙ රටේ - පිට රටිනගේ අවි ගැටේ
එකමුතු වෙමු නිති සුරකිමු - උරුමය අප දිනු රටේ

පොළොවෙන් මතුවන මිණිකැට//


හෙළ ජාතික අභිමානේ....

පද රචනය : කරුණාරත්න අබේසේකර මහතා
ගායනය : සී. ටී. ප්‍රනාන්දු මහතා

හෙළ ජාතික අභිමානේ
වැදු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම සවුසිරියෙන් සරසවු
පිබිදෙවු පිබිදෙවු සැරසෙවු

වීර විකුම් පෑ පෙර දරුවෝ
දෙස රැස මුරකෙරුවෝ
ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
නොම වවු ණය කරුවෝ

දැය දිනුමට පැද යන නැවියා
ගොවියා බිම දෙවියා
විපතෙහි සැපතෙහි
නොසැළෙයි නොතැවෙයි
අටලෝ දම හුරු හෙළයා

මුහුදට ඈදෙන මහ ගංගා - කුඹුරට යළි හරවා
ධාණ්‍ය වගාකොට සිරිලක මේ
පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදුවෙලා - බිඳලවු දුක සංකා
පැරකුම් යුගයක් නැවත්ත අරඹවු
නිජ භූමි තලේ ලංකා


ඉඳුනිල් ගඟුලැල්
ගායනය : රූකාන්ත ගුණතිලක මහතා

ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසූ
මගේ ලස්සන මව් ලංකා
මුතුලැල් සයුරින් තේජමාන දීපයයි
මගේ මව් බිම ලංකා//

මේ පොලෝ තලේ එදා උන්නූ
රාජ රාජ සිංහයන් වන් වූ
දූ පුතුන් ලෙයින් තෙදින් නැං වූ
මගේ..... පුජනීය භුමියයී ලංකා

ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසූ...

සිව් මහා නදී ගල බැසලා
රත්තරන් ගොයම් කරල් පැසිලා
ජාතිකානුරාගයෙන් නැගිලා
සදා ..... ජීවිත් පුද රකිව් ලංකා

ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසූ...//

අඹ දඹ නාරං...

උපුටා ගැනීම : ජෝන් ද සිල්වා ශූරීන්ගේ රාමායනය නූර්තිය

අඹ දඹ නාරං කෙසෙල් දෙල්
පනා කකා මේ වනා සැපා ලබනෙම්//

ගංගාවේ ඕලු ඇත්තෙ ඒවාගේ කෑම නැත්තෙ
ඇත්තෙ පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපේ//

අඹ දඹ නාරං කෙසෙල් දෙල්...//

පක්ෂි නාදේ රෑත් ඇසේවී
හීන් හඬම දෙත්මැයි//
මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා//
විසාල මේ වනේ මං
ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම්
ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම්
වාසෙ සොඳා බැද්දෙ මෙදා
ප්‍රීති සදා වෙයි නිබඳා
බෝ මාදං ඇත්තෙ මේ ගසේ//

අඹ දඹ නාරං කෙසෙල් දෙල්...//

යස ඉසුරු පිරුණු තැනා

උපුටා ගැනීම : රතු හැට්ටකාරි නාට්‍ය
පද රචනය : ලූෂන් බලත්සිංහල මහතා
සංගීතය : ඔස්ටින් මුණසිංහ මහතා
ගායනය : ජය ශ්‍රී චන්ද්‍රජිත් මහතා

 යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා...
ලඟම ඇතේ දුරක නැතේ...//
අපි යන්නේ ඒ පාරේ..//

යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම
දස රාජ ධර්ම කල තෙජ වීර රජුන් දැක
ඇස් ඉදිරියෙ උඹ ලඟ
ඇස් ඉදිරියෙ උඹ ලඟ...

අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම
නිදි මර මර මුර කොට
බහිරව බිලි පුද කොට
රැක ගත්තේ නුඹලට//

යස ඉසුරු..//

රජ වරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙලි සෙල්ලම් දැක
හොද තෑගි දියන් මට...
තව කාසි දියන් මට//

යස ඉසුරු..//

රතඳර සිරියා...

උපුටා ගැනීම : කාලගෝල නාඩගම (1975)
පද රචනය : පුන්‍යසේන ගුණසිංහ මහතා
සංගීතය : පුන්‍යසේන ගුණසිංහ මහතා
ගායනය : මැණිකෙ අත්තනායක මහත්මිය

රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී//

අයියෝ මාගේ යෞවන කාලේ මෙහෙමද පසු වෙන්නේ//
නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා මව්පියො අත බැඳ දුන්//

රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී//

ඈත්තේ ජිවිතේ මාගේ බොහොසේ මේ වු දුක පමණයි//
නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා මව්පියො අත බැඳ දුන්//

රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී//


නෙළුම් කවි - තෙල් ගාලා හිස පීරන්....
තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැළ අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉණ වට ඇඳැගන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ
යමු නෑනෝ....

රටලින් හැරලා පටි ගෙන්නාලා‍ ...

රටලින් හැරලා පටි ගෙන්නාලා‍
දඟරෙට දමලා ගොතන ර‍ඟේ
ලී ගෙන්නාලා දෑතට දීලා
පේළිය සැදිලා ගසන ර‍ඟේ

බෙර ගෙන්නාලා සරලාක් දාලා
තාලෙ වදින කොට නටන ර‍ඟේ
මේවාක් විස්තර බලන්න තිබුනට
පොර මඬලේ ලී කෙළින ර‍ඟේ 

ළමා ගීත අතරින් වැඩි සංඛ්‍යාවක් අද අසන්නට නම් ලැබෙන්නේ නැත. සුභාවිත ගීතය වෙනුවට වෙනත් ගීත රූපවාහිනිය මෙන්ම ගුවන්විදුලිය ද ආක්‍රමණය කිරීම එයට හේතුවයි. තබා ළමා ගීත නිර්මාණ අලුතින් නිර්මාණය වීමද බොහෝ අඩුවී තිබේ. පැරණි බාලදක්ෂ ගීත කීපයක් හැරෙන්නට ඒවා ගායනයටද පෝතකයින් මෙන්ම බාලදක්ෂයන්ද දක්වන උනන්දුව ගැන ඇත්තේ ශෝචනීය තත්වයකි. බොහෝ දරුවන්ට එක පෙළට බාලදක්ෂ ගී 10 කියවීමටද නොහැකි බව දිසා කඳවුරුවල සිදුකල සංචාරවලදී අත්දැක තිබේ. 

හරිම වටින වෙබ් අඩවියක් නඩත්තු කරනවා e-thaksalawa නමින්. ඇත්තටම මෙය මහඟු වැඩක්. දේශීය බාලදක්ෂ ගීත කලාවක් අාරම්භ කිරීම වෙනුවෙන් තැබෙන පළමු පියවර ලෙස මීට වසර කීපයකට පෙර මුහුණු පොතේ පටන් ගත්ත උත්සාහය තමා බාලදක්ෂ ගීත කලාව පෝෂණය කිරීම. ඒ වෙනුවෙන් මුහුණුපොතේ Scouting Song Book - Sri Lanka තවත් පියවරක් තබමින් එම බාලදක්ෂ ගීත ජාත්‍යන්තරයට රැගෙනයාමට යූ ටියුබ් ඔස්සේ Scouting සඟරාවේ අපි පුංචි උත්සාහයක් ගත්තා.

දැනටත් බාවිතා නොකිරීම නිසා අස්ථාන ගත වූ, කොළවලට සීමා වී නැති වී ගිය අතීත බාලදක්ෂ ගීත බොහෝ තිබේ. අමතක වී යන පැරණි බාලදක්ෂ ගීත මෙන් ම බාවිතයෙන් තොරව නැති වී යන අලුත් බාලදක්ෂ ගීතත්, කදවුරු අවසානයෙන් පසු සියල්ලන්ට ම අමතක වන දිසා කදවුරුගීතත්, දැනටත් මුල් පටිගත කිරීම් නැති වී ඇති ජාතික ජම්බෝරි ගීත, කබෝරි ගීත අාදියත් අතීතයේ කාණ්ඩ කදවුරු ගිනිමැල වලදී ගැයූ රසවත් ගීතත්, බාලදක්ෂ නාට්‍යය, යාන් හෑලි, රසකතා වගේම ගිනිමැල සිදුවීම් ආදියත් ආදී ඒකී මෙකී නොකී කදවුරු ගිනිමැල සදහා යොදාගත හැකි ඕනෑම දෙයක් ඩිජිටල් මානයේ ආරක්ෂා කර තැබීම උදෙසා මෙහි ලියා තබන්න. 

ඔබට ඒ අතරින් විශිෂ්ටයි හිතෙන මෙහි සඳහන් නොවන බාලදක්ෂ ගී පද රචනා මතකයේ ඇතොත් ඒවා කමෙන්ටුවක් ලෙස අමුණන්න. මේ වගේ ගීත දන්නවානම් කරුණාකර මෙහි කමෙන්ටුවක් ලෙස අමුණන්න. හැබැයි ගීතයේ නම (හෝ වෙලාව ඇති නම් සම්පූරණ ගීතයම) දාන ගමන් ඒ ගීතයේ පද මාලාවට දායක වුනු ජන කවිය මොකක්ද කියලා දාන්න නම් අමතක කරන්න එපා.

---------------------

බාලදක්ෂ ඔබේ අවධානයට!
අපගේ උත්සාහය ඇගයීම සදහා ඔබත් අත්වැල් බැද ගන්න. LikeShareCommentSubscribe ✓ කල හැකියි. කමෙන්ටුවක් එක්කර වැඩි දැනුමක් එක්කර අනෙකා සමග බෙදා ගන්නටත් නොදන්නා දේ බෙදා ගැනීමටත් පුළුවන්.

ඔබත්, අපිත් නොමැති මතු දිනෙක කවුරුන් හෝ බාලදක්ෂයෙකුට හෝ බාලදක්ෂිකාවක් විසින් සිංහලෙන් ලියැවුණු මෙම බාලදක්ෂ ගීත රස විඳිනු ඇත. කඳවුරු ගිනිමැලයකට මෙය ප්‍රයෝජනවත්වනු අැත. අප නොදන්න බාලදක්ෂ ගීත ඔබ සතුව ඇත්නම් මෙහි පහළින් කමෙන්ටුවක් ලෙස ඇතුලත් කර දැනුම අන් අය හා බෙදාගැනීමට කරුණික වන්න.