Translate

Saturday, August 20, 2016

රතු ඉන්දියානු නායක සියැටල්ගේ ප්‍රකාශය

ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියැටල් පිළිබධව ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. ඔහු ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ලියු ලියමනෙහි  පරිසරය සම්බන්ධයෙන් දැක්වූ අදහස් නිසා අදත් ලෝකයේ සම්භාවනාවට පත්‍ර වනු නිසැකයි. මෙම ලිපිය වරක් හෝ ඔබ කියවා ඇති නම් නිසැකව ම බාලදක්ෂ ඔබත් ඔහුගේ මතය අගය කරන්න ඇති. රතු ඉන්දියානු නායක සියැටල් විසින් තම නිජභූමිය මිලට ගැනීමට තැත් කළ  14 වන ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් පියර්ස් ගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් 1854 මාර්තු 11 කළ ප්‍රකාශය මෙතෙක් ලෝකයේ පරිසරය පිළිබඳව සිදුකළ හොඳම ප්‍රකාශයක් ලෙස සැලකිය හැකිය... ප්‍රථමයෙන් මෙම ප්‍රකාශය Lushootseed නම් භාෂාවකින් සිදුකළ බව පැවසෙන අතර පසුව එය Chinook Jargon නම් තවත් භාෂාවකට පරිවර්තනය කර ඇත. පසු කලෙකදී Dr. Henry A. Smith නම් තැනැත්තෙක් එය ඉංග්‍රීසි බසට හරවා ඇති අතර මෙහි දැක්වෙන්නේ ඉන්පසුව සංස්කරණ කිහිපයකට භාජනය වූ ලිපියකි..

රතු ඉන්දියානුවන් ඔවුන්ගේ නිජ බිම්වලින් අවි බලයෙන් පලවා හැර ඒවා අත්පත් කරගැනීමට සමත් යුරෝපීහු රතු ඉන්දියානුවන්ගේ නිරන්තර ප්රහාරවලට ලක්වූහ. මේ ගැටුම සමථයකට පත් කරනු සඳහා එවක ඇමරිකානු ජනාධිපති වූ ෆ්රෑන්ක්ලින් පියර්ස් තම භූමිය ඇමෙරිකානු රජයට විකුණන ලෙස රතු ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

වොෂිංටන් නගරයේ සිටින ශ්රේෂ්ඨ නායකයාණන් අපගේ ජන්ම භූමිය මිලදී ගැනීමට කැමැත්ත ප්රකාශ කරමින් අප වෙත හසුන්පත් එවා ඇත. එතුමා අපට සුබ පතන අතර මිත්රත්වයේ දෑතද දිගු කරයි. අපගේ මිත්රත්වයෙන් එතුමාට අල්ප වූ හෝ ප්රයෝජනයක් නැති බව අපි දනිමු. එහෙත් එතුමාගේ කාරුණිකභාවය අපි අගය කරමු.
කෙසේ වුවත් අපි ඔබගේ ඉල්ලීම සලකා බලන්නෙමු. මක්නිසාදයත් මේ භූමිය අප ඔබට විකුණන්නේ නැත්නම් ඔබගේ සුදු මිනිසුන් තුවක්කු අමෝරාගෙන විත් අපගේ භූමිය උදුරා ගන්නා බව අපි දනිමු. නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළෙඟ් නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත.
මේ මිහිතලයේ සෑම බිම් අඟලක් ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වලාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වස්තූහු වන්නෝය. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳ ස්මරණය රැගෙන යන්නේය. සුදු මිනිසුන් වූ ඔබගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු තම මව්බිම අමතක කොට දෙව්ලොව සැරිසරති. මහ පොළොව රතු මිනිසාගේ මෑණියන් වන බැවින් අපගේ මළගිය ඇත්තෝ මේ සුන්දර මිහිතලය අමතක නොකොට මෙහිම රැඳෙන්නෝය. අපි මිහිතලයේ කොටසක් වන්නෙමු. මිහිතලයද අපගේම කොටසක් වන්නේය. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමුවා, අශ්වයා, මහරාජාලියා, මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරිශිඛරද, තණ බිම්වල තෙතමනයද, පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුමද යන මේ සියල්ලම එකම පවුලකට අයත් වන්නේය.
වොෂින්ටනයේ ශ්රේෂ්ඨ නායකයාණන් අපගේ භූමිය මිලට ගැනීමට කැමැත්ත පළ කරමින් කරන ඉල්ලීම අපට දරාගන්නට නොහැක්කකි. ශ්රේෂ්ඨ නායකයාණෝ අපට සුවපහසුවෙන්, සැනසිල්ලේ ජීවත්වීමට ස්ථානයක් ලබා දෙන බව දන්වා සිටිති. එතුමාණන් අපගේ පීතෘවරයා වනු ඇත. එවිට අපි ඔහුගේ දරුවන් බවට පත්වෙමු. එනිසා අපගේ භූමිය මිලදී ගැනීම පිළිබඳ ඔබතුමාගේ යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. එය අපට එතරම් සුවදායී කාර්යයක් නොවන්නේ මේ භූමිය අපට පූජනීය වස්තුවක් වන හෙයිනි. ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලයම නොව අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට අපගේ භූමිය විකුණුවහොත් එය අපට ශුද්ධ වස්තුවක්ව තිබූ බව ඔබගේ මතකයේ තබා ගත මැනවි. පොකුණුවල පැහැදිලි ජලතලාවේ පතිත වන සෑම අඳුරු ඡායාවක්ම කියාපාන්නේ මගේ වර්ගයාගේ ජීවන සිදුවීම් හා ස්මරණ බව ඔබේ දරුවන්ට වටහා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන්මිත්තන්ගේ කටහඬ වන්නේය.
ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපේ ඔරුද පාරුද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අපි මේ භූමිය ඔබට විකුණුවහොත් මේ ගංගාවන් අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන්ටද එය කියාදෙනු මැනවි. එතැන් සිට වෙනත් ඕනෑම සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලටද දක්වනු මැනවි.
ගිරි ශිඛරය වසා සිටින හිමිදිරි මිහිදුම, උදාවන හිරු ඉදිරියේ පලා යන්නාසේ සුදු මිනිසාගේ ආක්රමණය ඉදිරියේ රතු මිනිසා හැමවිටම පලා ගොස් ඇත. එහෙත් අපගේ පියවරුන්ගේ භස්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන්බිම් අපට පූජනීය බිම් වන්නේය. එහෙයින් මේ කඳු මේ තුරුලතා සහ මේ බිම අපටම කැපවූ භූමියකි. සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් බිම් කඩක් තවත් බිම් කඩකට වඩා වෙනස් නොවේ. රාත්රී කාලයේ පැමිණ භූමියේ තිබිය යුතු දේ පැහැර ගෙන පලායන ඔබගේ මිනිස්සු මේ භූමියට පිටස්තරයෝ වන්නාහ. පොළොව ඔවුනට සහෝදරයෙකු නොව සතුරෙකි. භූමිය අත්පත් කරගැනීමෙන් පසු ඔවුහු එය අමතක කොට තවත් බිම් පෙදෙස් යටත් කරගනිමින් ඉදිරියට ඇදෙති. ඔවුහු තම පියවරුන්ගේ සුසාන කිසිදු තැකීමකින් තොරව පසුකර යති. ඔවුහු දරුවන්ගෙන් පොළොවද උදුරා ගනිති. ඔවුහු තම පියවරුන්ගේ සුසානද තම දරුවන්ගේ ජන්ම උරුමයද අමතක කරති. ඔවුන් තම මවටත්, සහෝදරයාටත් මහ පොළොවටත්, ඔහුගේ අහස් තලයටත් සලකන්නේ මිලට ගතහැකි, කොල්ලකෑමට හෝ විකිණීමට හැකි බැටළුවන් හෝ දීප්තිමත් පබළු වැනි දෑ ලෙසිනි. ඔවුන්ගේ කෑදරකම විසින් මේ භූමියෙහි සාරය උරා බොනු ලැබීමෙන් පසු ඉතිරි වන්නේ හිස් කාන්තාරයක් පමණි. අපගේ සිරිත් විරිත් ඔබගේ සිරිත් විරිත් වලට වඩා වෙනස් වන්නේය. ඔබගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන දෙන්නේය. එසේ වන්නේ රතු මිනිසුන් වන අප වනචාරී ම්ලේච්ඡයන් වන නිසා විය හැකිය. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයාගත නොහැකිය. ඔබගේ නගරයන්හි වසන්ත සමයේ තුරුලතාවල දළු කොළ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාපත්වල සිලි සිලි හඬ සවනත වැකෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණකි. එය දෙසවනට මහත් හිරිහැරයක්ම වන්නේය.
මට එසේ හැෙඟන්නේ මගේ නොතේරුම්කම නිසා විය හැකිය. ම්ලේච්ඡයන්ට එබඳු දේ වටහාගැනීම අපහසු වන්නේය. එහෙත් උලමා ගයන හුදකලා ගීතය හෝ රාත්රියේ පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑ ඇසීමට නොලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේද? මම නූගත් රතු ඉන්දියානුවෙක්මි. එනිසා මට මේවා තේරුම්ගත නොහැකිය.
සිරිපොද වැස්සේ තෙමෙන දේවදාර තුරු මුදුනින් නැගෙන සුවඳ, මඳ මුදු පවනේ පාවී අපගේ ගත සිත සනසන්නේය. සුළඟ රතු මිනිසාට බෙහෙවින් අගනේය. සත්තු, තුරුලිය, මිනිස්සු යන අපි සියලූදෙනාම එකම ආශ්වාස ප්රාශ්වාස කරන වාතය ගැනවත් නොදන්නෝය. මියැදෙමින් සිටිනවුන් සේ ඔවුහු සුළෙඟ් සුවඳ නොදනිති. අප අපගේ භූමිය ඔබට විකුනුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් වටිනා එකක් වූ බව අමතක නොකළ මැනවි. අපගේ මුතුන්මිත්තන්ට ජීවය ලබාදුන් සුළඟම ඔවුන්ගේ අවසාන හුස්ම ආපසු ලබාගත්තේය. ඒ සුළඟම අපගේ දරුවන්ගේ ප්රාණ වායුව වන්නේය. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය. තණපත් අතර පිපි කුසුමින් මකරන්දය උරාගෙන තණ බිම් හරහා හමන මඳ සුළෙඟ් පහස විඳීමට ඔබටද හැකිවනු නොඅනුමානය.
එසේ නම් අපගේ භූමිය මිලට ගැනීම සඳහා ඔබ කරන යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. ඒ එක් කොන්දේසියක් යටතේය. සුදු මිනිසුන් වන ඔබ මේ භූමියේ ජීවන් වන සියලූම සතුන් ඔබගේම සහෝදරයන් ලෙස සලකන බවට පොරොන්දු විය යුතුය.
මම වනචාරී ම්ලේච්ඡයෙක්මි. ඉන් බාහිර කිසිවක් මට නොවැටහේ. ප්රෙයරි තණ බිම් හරහා ගමන් කරන දුම්රියක සිට වෙඩි තබා මරා දමන ලද, කුණු වී යන දහස් ගණන් මී හරකුන්ගේ මළ සිරුරු මම දැක ඇත්තෙමි. මී හරකාට වඩා දුම්රිය වැදගත් වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත.
තිරිසන් සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජීවත් විය හැක්කේද? සියලූ තිරිසන් සතුන් විනාශ වී ගියහොත් ජීවිතයේ දැඩි හුදකලා බවින් මිනිසාද විනාශ වී යනු ඇත. ඒ තිරිසනුන්ට සිදුවන කුමක් වුවත් මිනිසාටද ඉක්මනින්ම සිදුවන නිසාය. ලෝකයේ පවත්නා සියලූ දේ අතර ඇත්තේ එකිනෙකට බැඳුනු ඥාතිත්වයකි.
ඔබගේ දරුවන් දෙපයින් නැගී සිටින්නේ අපගේ මුතුන්මිත්තන්ගේ භස්මාවශේෂයෙන් පෝෂණය වූ භූමියක බව ඔවුන්ට පහදා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. මව්බිමට සිදුවන ඕනෑම හොඳක් හෝ නරකක් එහි ජීවත්වන දරුවන්ටත් උරුම වන්නේය. මිනිසා භූමියට කෙළ ගැසීමෙන් කරන්නේ තමාටම කෙළ ගසාගැනීමකි. අප දන්නා පරිදි මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. පවුලේ සියලූදෙනා එකම ලේ බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෙයම එකට බැඳී තිබෙන බව අපි දනිමු.
ජීවිතය නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පටක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කරතොත් ඒ තමාටම කරගන්නා උපද්රවයකි.
අප වර්ගයා වෙනුවෙන් පිහිටුවන්නේ යැයි ඔබ විසින් කියනු ලබන්නේ රක්ෂිත භූමියට යාම පිළිබඳව අපි ඊළඟට සලකා බලන්නෙමු. අපි එහි සාමයෙන් ජීවත් වන්නෙමු. මේ ඉතිරි වී ඇති සුළු කාලය කොතැනක හෝ ජීවත් වුවද අපට කම් නැත. අපගේ පරපුරේ වැඩි දෙනෙකු දැනට ඉතිරිවී නැත. තව ශීත ඍතු කීපයක් ගෙවී ගිය කල මේ මහා පොළොවේ ඔබ මෙන් බලසම්පන්න වීර ගෝත්රිකයන් වෙනුවෙන් වැලපීමට අප පරපුරෙහි කුඩා දරුවකු හෝ ජීවත් නොවනු ඇත. එය එසේ නම් මගේ මිනිසුන් වෙනුවෙන් දුක්වන්නේ ඇයි? ගෝත්ර සැදී තිබෙන්නේ මිනිසුන්ගෙනි. මිනිස්සු ජීවත්වී මියයති.
අන්තිම රතු මිනිසාත් මේ පොළෝ තලෙන් අතුරුදන් වූ විට ඔවුන්ගේ මතකය තණබිම් හරහා පාවෙන වලාකුළක ඡායාවක් බවට පත්වූ විට මෙම තැනිතලා වන පෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවාගනු ඇත. අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවක් තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි.

රතු ඉන්දියානු නායක සියැටල්
(1854 දී පවත්වන ලද කථාවේ සිංහල අනුවාදය )

 -------------------

ශ‍්‍රී ලංකා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ප්‍රකාශය

ලෝක ආදිවාසීන්ගේ අන්තර් ජාතික දිනය අද (09 වැනිදා) ට යෙදී තිබේ. අද වනවිට ලෝකයේ ආදිවාසී ප්‍රජාව  මිලියන 300 ක්‌ හෙවත් ලෝක ජනගහනයෙන් 4% ක්‌ නියෝජනය කරනු ලැබේයි. (දෙසැම්බර් 23 හා 24 දෙදින මහනුවරදී ස්වීඩන් සමුපකාර මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවති ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ශ‍්‍රී ලංකා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ කළ දේශනය ඇසුරින් සකස් කළේ සිසිර යාපා විසිනි.)

මගේ වයස අවුරුදු 62 යි. මේ 62 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.

එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.

අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.

ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.

ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැඩ තැනක්ම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.

අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.

අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. අපි දඩයම් කළෙත් ක‍්‍රමේකට. කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්
ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම. අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව. ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ. වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.

අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප‍්‍රමාණ ප‍්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.

මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප‍්‍රතිඵල වලින් මිදෙන්න ක‍්‍රමත් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.

"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.

ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා. මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා. පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප‍්‍රකෝටි ගානක් මරනවා.

මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. කහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.

දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.

දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි.

මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු. අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු. අපි කරපු මෝඩකම් නොකර තමන් කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.

මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු. එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු.



1 comment:

  1. https://www.facebook.com/groups/804276106323782/permalink/1487394234678629/ ඔබගේ ලින්ක් එක සමඟින් මෙය උපුටා ගතිමි.

    ReplyDelete