Translate

Thursday, February 28, 2019

බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක නැමැති බාලදක්ෂයා

ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සස් ස්මිත් බේඩන් පවල් ස්වාමිවරයා ගැන නොදන්නා කිසිවකු මේ ලෝකයේ නොමැති තරම්ය. ඒ 1907 වසරේදී ලොවට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වාදෙමින් ලොව පුරා වැඩිම ළමා, තරුණ හා වැඩිහිටි පිරිසක් එකට එක්කල එකම ව්‍යාපාරයේ නිර්මාතෘවරයා එතුමා නිසාය. 1907 වසරේ එංගලන්තයේ ඉංග්‍රීසි ඒඩයේ බ්‍රවුන්ස් දූපතේ දී දරුවන් 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකින් ඇරඹි මෙම ව්‍යාපාරය අද වනවිට රටවල් දෙසිය හෑත්තෑවකටත් වැඩි සංඛ්‍යාවක ප්‍රචලිතව ඇත.

බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වී කෙටි කාලයක් ඇතුළතදී ශ්‍රී ලංකාවද එම ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගෙන මේ වන විට වසර 113 කට ආසන්න වෙමින් තිබේ. බී. පී ගේ මිතුරෙකු වන ප්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේන්තුවේ සේවය කළ ප්‍රැන්සිස් ජෝන් ස්ටීවන්ස් මහතා විසින් අපේ රටට මෙම ව්‍යාපාරය හඳුන්වා දෙනු ලැබිණි. ඒ අනුව මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් ආරම්භ වුණ මෙරට බාලදක්ෂ ව්‍යාපාරය අද වන විට මුළු රට පුරාම විහිදී ගොස් ඇත.

සිය ආගමට, රටට යුතුකම් ඉටු කරමින්, සෑම කල්හිම අන් අයට උපකාර කරමින්, බාලදක්ෂ නීතියට කීකරු වෙමින් දරුවකු බාලදක්ෂයකු ලෙස ගොඩනැංවීම මෙහි අරමුණ වී තිබේ. එලෙස ගමන් කරමින් තිබෙන බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ වත්මන් කොමාසරිස්වරයා වන්නේ ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතාය. නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා එම විද්‍යාලයේ බාලදක්ෂ අංහයේ සාමාජිකයකු ලෙස සේවයේ යෙදී තිබේ.

පසු කාලීනව අධ්‍යාපනයට වැඩි නැඹුරක් දෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ විවිධ තනතුරු රැසක් හොබවා තිබේ. එලෙස තනතුරුවල නියැළී සිටියද කුඩා කාලයේ ලබාගත් අද්දැකීම් අමතක නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරිල් ගුණතිලක මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමාසරිස්වරයා බවට පත්විය.
බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතා
“මම අධ්‍යාපනය ලබන්නේ කොළම නාලන්දා විද්‍යාලයේ. එහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්න මට පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒ කියල විද්‍යාලය හැරදාලා වෙනත් විද්‍යාලයකට ගියේ නැහැ. මොකද මගේ ජීවිතයේ ජයග්‍රහණ රැසක් හිමිකරගන්න තෝතැන්නක් වුණේ නාලන්දාවයි. අද වන විට වෘත්තිකයෙක් විදියට බොහෝ තනුතුරු දරලා තිබෙනවා. නමුත් මම කොයි තරම් තනතුරු තාන්න මාන්න ලැබුවත් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමට එක්වෙලා සමාජික පදක්කම දිනාගත්ත දවසේ ඇති වුන ප්‍රීතිය අර කිසිම දවසක ඇති වෙලා නැහැ. එය මම ඕනෑම තැනකදි ආඩම්බරයෙන් කියනවා. ඒ වගේම තවත් සුවිශේසී සිදුවීමක් මට මතක් වෙනවා. ඒ තමයි එම වකවානුවේ පැවැති කොළඹ බාලදක්ෂ කැම්පෝරිය. එවකට විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස හිටියේ ජේ. ආර් ජයවර්ධන මැතිතුමා කැප්පෝරියට පැමිණියා. එතකොට මම තනිව තමයි කඳවුරු භූමියේ හිටියේ. එතැනට පැමිණි එතුමා ආචාර කරලා කෙටි වේලාවක් කතාබහේ යේදිලා තමයි පිටව ගියේ‘ කොමසාරිස්වරයා පවසයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම අවශ්‍ය පාඩම් කටයුතුවල නියැළීමට අවශ්‍ය නිසා කෙටි කාලයක් බාලදක්ස කටයුතුවලින් ඈත්ව සිටීමට මෙරිල් ගුණතිලක ශිෂ්‍යයාට සිදුවුයේය. එහෙත් බාලදක්ෂ මතකයන් හෝ අද්දැකීම් ඔහුගෙන් ඈත්ව නොගියේය.

“මම උසස් පෙල සමත් වෙලා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරුවරයෙක් ලෙස උපාධිය දිනා ගත්තා. ඉන් පස්සේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයකු ලෙස සේවයට එක්වුණා. එහෙම ඉන්න අතරතුර තමයි යළිත් බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ. ඒ අනුව මාව මූලස්ථාන කොමසාරිස්වරයකු වශයෙන් එවකට හිටපු ප්‍රධාන කොමසාරිස්වරයා විසින් පත්කරනු ලැබුවා.

තනතුරට පත් වුණද වෘත්තියේ තිබූ කාර්ය බහුලත්වය නිසා යළිත් බාලදක්ෂ ව්‍යාපාරයෙන් යම් දුරස්තභාවයක් ඇති වෙද්දි ඔහුගේ දක්ෂතා තේරුම් ගත් බාලදක්ෂ සංගමය එම සංගමයේ උප සභාපතිවරයකු ලෙස ඔහු පත්කරනු ලැබීය. එලෙස කටයුතු කරන අතර ජනාධිපති, අගමැති ඇතුළු සියලු දෙනාගේම ආශිර්වාදයෙන් ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත්විය.

“දරුවකු කුඩා කාල සීමාවකට හරි බාලදක්ෂ ව්‍යාපාරයට එක්කර ගතහොත් ඒ දරුවා වැරදි දෙයක් කිරීමේ සම්භාවිතාව අඩුයි. අනෙක් කාරණය තමයි මෙම ව්‍යාපාරයට එක්වන දරුවාගේ මනස යොමු කරනවා යහපත් ක්‍රියාවල නිරත වීමට සහ පරිසරය සමඟ වැඩ කරන්න. එහෙම කළාම දරුවකු වැරදි දෙයක් කරන්නේ නැහැ. අද යම් ක්ෂේත්‍රයකින් ඉදිරියට ආව කෙනෙක්ගේ ඉතිහාසය දිහා බලන්න. ඒ කෙනා සුළු කාලයක් හරි බාලදක්ෂයකු ලෙස කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපිට පොරොන්දුවක්, නීති දහයක් තිබෙනවා. ඒ හා බැඳුණු විෂය මාලාවක් තිබෙනවා. එය න්‍යායාත්මකව වගේම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා දරුවන්ට කියා දෙනවා. මම අද මේ තැන ඉන්නෙත් බාලදක්ෂයෙක් ලෙස කටයුතු කරපු නිසයි.

එයින් අදහස්වන්නේ ඔහු සතුව විශාල අද්දැකීම් සමුදායක් තිබෙන බවයි. එම නිසා මෙම ව්‍යාපාරය දියුණු කිරීමට විශාල වැඩ පිළිවළක්ද ඔහු සතුය. “ මම මුලින් අපේ ව්‍යාපාරයේ සෑම අංශයක් සමඟම සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලිඛිතව ලබා දෙන්න කිව්වා. ඒ සියලු දේ ගැන අවධානය යොමු කරලා අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම අවශ්‍ය උපදෙස් ගන්න මෙරට සිටින කීර්තිමත් පුද්ගලයන් කිහිප දෙනෙක් පත්කර ගත්තා. දිස්ත්‍රික් කොමසාරිස්වරුන් කියන්නේ ප්‍රධාන කොමසාරිස්වරයාගේ නියෝජිතයෝ. ඒ අය තමයි දිස්ත්‍රික්කයට පණිවුඩය අරන් යන්නේ. වෙනා ඒ අය හමුවෙලා තියෙන්නේ වසරකට එක සැරයයි. නමුත් මම පත්වෙලා ආවට පස්සේ ඒ අයව අඩුම තරමින් වසරකට තුන් සැරයක් හෝ හමුවෙලා සාකච්ඡා කරන්න සැලසුම් සකස් කළා. මම ඉදිරියේදී කුමන තීරණය ගත්තත් සියලුම දෙනා සමඟ සාකච්ඡා කර මිසක් තනිව ගන්නේ නැහැ.

“ මට මතක හැටියට එක්දහස් නවසිය ගණන්වල අපේ රටේ බාලදක්ෂයන් පනස් දහසක් පමණ හිටියා. එහෙම බලද්දි මේ වෙන කොට ලක්ෂය ඉක්මවලා ඉන්න ඕන. නමුත් එතරම් සංඛ්‍යාවක් නැහැ. ඒ නිසා අපි 2020 වන විට බාලදක්ෂයන් ලක්සයක් ඉක්මවා ලීමේ වැඩසටහන් සකස් කරමින් යනවා. සියලුම දිස්ත්‍රික් කොමාසරිස්වරුන්ට ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව බාලදක්ෂයන් වර්ධනය කරගන්න උපදෙස් ලබා දී තිබෙනවා. ලංකාවේ ප්‍රථම වරට විශ්වවිද්‍යාල සම්බන්ධ කරගනිමින් මානවක බාලදක්ෂ අංශ ආරම්භ කළා. සිඟි, පෝතක, බාලදක්ෂ හා මානවක බාලදක්ෂ අංශ වර්ධනය කිරීම වගේම ආචාර්යවරුන් වර්ධනය කිරීමේ වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ජනාධිපති බාලදක්ෂයෝ දහසක් පමණ බිහි වෙලා තියෙනවා.

ඒ අයට පදක්කම් පැලඳවීමේ උත්සවයක් ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් පවත්වන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ජාත්‍යන්තර ජම්බෝරිය පැවැත්වීමටත්, බාලදක්ෂ ව්‍යාපාරයේ නියැළී සිටින උතුරු නැගෙනහිර පිරිස්වලට පුහුණු වීම සඳහා මධ්‍යස්ථානයක් ඇති කිරීම, පරිසර වැඩසටහන් ඇති කිරීම වැනි විශාල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන්න තීරණය කර තිබෙනවා. බාලදක්ෂ වැනි බාහිර ක්‍රියාකාරකම් සමග දරුවන් සම්බන්ධ වූ විට ඔවුන්ගේ අධ්‍යාපනය බිඳ වැටෙන බවට ඇතැමුන් අතර මතයක් තිබේ. ඉංජිනේරුවරයකු ලෙස අද්දැකීම් රැසක් ලබා සිටින ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ඒ ගැන දන්නේ මෙවැනි මතයකි.

“ඒ ප්‍රශ්නයට හොඳම උදාහරණය මම. මම විශ්වවිද්‍යාල කිහිපයක ඉගෙන ගත්තත් මේ තරම් දුර එන්න බාලදක්ෂ ව්‍යාපාරය තුළින් ඉගෙන ගත්ත දේ පන්නරක් වුණා. බාලදක්සයන්ට බොහෝ දේ උගන්වනවා. තමන් තුළින් සමාජයට, රටට, පවුලේ අයට විය යුතුකම් හා වගකීම් මොනවද කියලා. මේ රටේ යම් විභාගයකින් ඉහළ ජයග්‍රහණ ගත්ත බොහෝ දෙනෙක් බාලදක්ෂයෙක් වෙලා ඉදලා තිබෙනවා. මේ රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය ඉහළ පුද්ගලයන් දිහා බලන්න.ඒ අය ඒ තැන්වලට එන්න මේ ව්‍යාපාරයෙන් විශාල මෙහෙවරක් ලැබී තිබෙනවා. මම අද මෙතන ඉන්නෙත් බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබූ පන්නරය නිසයි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට එක්වන්න යැයි මම දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දරුවන් බාලදක්ෂ ව්‍යාපාරයට එක්කරන්න කියලා දෙමවුපියන්ගෙනුත් ඉල්ලා සිටිනවා. එහෙම වුණොත් දරුවා යහපත් යහපත් පුරවැසියෙක් බවට පත්වේවි.

මෙහිදි තවත් එක් කාරණයක් කිව යුතුයි. පසුගියදා බාලදක්ෂ ජනාධිපති සම්මාන උලෙළට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යෝජනාවක් කළා. ඒ තමයි මෙම ව්‍යාපාරය මූලික අංගයන් රැක ගනිමින් නවීකරණය කරන්න කටයුතු කරන්න කියළා. ඇත්තටම එතුමා කිව්ව දේ ඉතා වැදගත්. අද දවසේ දරුවා ජීවත් වෙන්නේ අන්තර්ඡාලයත් එක්ක. අපේ බාලදක්ෂ දරුවනුත් ඒ ලෝකය සමඟ සම්බන්ධ කරන්න වැඩසටහන් රැසක් සිදුකරමින් සිටිනවා. මෙහිදී විශේෂයෙන් ස්තූතිය හා ගෞරවය පුදකර සිටින්න ඕන ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, අධ්‍යාපන ඇමැතිතුමාට, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට, බාලදක්ෂ ක්ෂේත්‍රයේ නියැලෙන සියලුම දෙනාට. ඒ අයගේ සහයෝගය නැත්නම් අපිට මේ තරම් දුර ගමනක් යන්න පහසු වෙන්නේ නැහැ.

විශේෂ ස්තූතිය නුවන් කොඩිකාර
dinamina.lk/2019/01/21/විශේෂාංග

No comments:

Post a Comment