Translate

Friday, June 5, 2015

ගස් වර්ග 15 - පළමු කොටස (බාලදක්ෂයින්ට අවශ්‍ය)

ශ්‍රී ලංකා‍වේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 6.56 කි. 1999 දී සිදු කරන ලද වන සංගනනයට අනුව අප රටේ හෙක්ටයාර මිලියන 1.94 ක වනාන්තර ප්‍රමාණයක් පවතින අතර එය මුලු භූමි ප්‍රමාණයෙන් 29.5 % ක් පමණ වේ. මෙයින් හෙක්ටයාර මිලියන 1.47 ක් නැතහොත් භූමි ප්‍රමාණයෙන් 22.4% ක් ඝන වනාන්තර ලෙස ද (75% කට වඩා වැඩි වියන් ආවරණයක් සහිත)  ඉතිරි හෙක්ටයාර් මිලියන 0.47 ක ප්‍රමාණය නැතහොත් භූමි ප්‍රමාණයෙන් 7% ක් විවෘත වනාන්තර (වියන් ආවරනය 40%  - 75% අතර අගයක පවතින) ලෙසද වර්ගීකරණය කර තිබේ.  මෙයට අමතරව තේක්ක, මැහෝගනී, ඉයුකැලිප්ටස්, පයිනස් සහ අනෙකුත් දේශීය ශාක විශේෂවලින් සමන්විත වූ වන වගා හෙක්ටයාර් 90,000 ක්, එනම්, භූමි ප්‍රමාණයෙන් 1% ක වන වගා ප්‍රමාණයක් ද ශී ලංකාව සතුව තිබේ.  මෙම සංගනනයේදී රබර් සහ පොල් වගාවන් මෙන්ම ගෙවතු වැනි අනෙකුත් කෘෂි වන වගා පද්ධති සැලකිල්ලට නොගත් අතර, එම වගාවන් මුලු භූමි ප්‍රමාණයෙන් 20% ක පමණ ප්‍රමාණයක් ආවරණය කරයි.

ශ්‍රී ලංකා‍වේ ස්වභාවික වෘක්ෂලතා වර්ගීකරණයේ දී අවධානයට ලක් කරන්නා වූ ප්‍රධාන සාධක දෙක වන්නේ පස (පාංශු විද්‍යාව) සහ මුහුදු මට්ටමේ සිට උස (උන්නතාංශ කලාපකරණය) යන සාධකය.  මෙම සාධක දෙකෙහි අන්තර් ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන පහත දැක්වෙන වනාන්තර මාදිලි අට ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබේ.
  • කඳුකර වනාන්තර
  • උප කඳුකර වනාන්තර
  • පහතරට වර්ෂා වනාන්තර
  • තෙත් මෝසම් වනාන්තර
  • වියළි මෝසම් වනාන්තර
  • ගංගාධාර වියළි වනාන්තර
  • විවෘත වනාන්තර
  • කඩොලාන වනාන්තර
ශාක වර්ගීකරණය

ශාක වර්ගීකරණයේ ප්‍රධානතම නිර්නායකය වන්නේ පුෂ්ප තිබීම හෝ පුෂ්ප නොතිබීමයි. පුෂ්ප හටගන්නා ශාක සපුෂ්ප ශාකයන් ලෙසත් පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාකයන් ලෙසත් ‍කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

සපුෂ්ප ශාක

පුෂ්ප හටගන්නා ශාක සපුෂ්ප ශාකයන් යනුවෙන් හැදින්විය හැකිය. මුලක්, කදක්, පත්‍රයන් යනාදියෙන් සමන්විත බීජ හටගන්නා ශාක සපුෂ්ප ශාක යනුවෙන් හදුන්වා දිය හැකිය. සපුෂ්ප ශාක ආවෘතීය බීජක ශාක ලෙසද හදුන්වනු ලැබේ. එසේ සදහන් කරනු ලබන්නේ මේවායේ හටගන්නා බීජ ඵලයකින් ආවරණය වී තිබීමයි. මේවා ජලජ, භෞමික මෙන්ම අපි ශාකද දැකිය හැකි පැතිරුණු ශාක විවිධත්වයක් දැකිය හැකිය. මෙම සපුෂ්ප ශාක නැවතත් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්,

  1. ද්විබීජ පත්‍රී ශාකයන්
  2. ඒකබීජ පත්‍රී ශාකයන් ලෙසයි.    

ඒකබීජ පත්‍රී ශාකය

බීජවල බීජපත්‍ර එකක් පමණක් දැකිය හැකි ශාක ඒකබීජ පත්‍රි ශාක ලෙස හදුන්වනු ලබයි. මේ සදහා උදාහරණ වශයෙන් පොල්, තල්, පුවක් වැනි ශාකයන් දැක්විය හැකිය. මේ ශාකයන්ගේ දැකිය හැකි විශේෂ ලක්ෂණ කිහිපයක් ඇත. එනම්,
  • තන්තු මූල පද්ධතියක් තිබීම
  • බීජයේ පියළි එකක් පමණක් තිබීම
  • කද අතු වලට නොබෙදීම
  • ත්‍රී අංකික පුෂ්ප තිබීම
  • කදේ පහළ සිට ඉහළට යන තුරුම එකම සමාන තත්වයෙන් පැවතීම
  • පත්‍රවල සමාන්තර නාරටි දක්නට තිබීම

ද්විබීජ පත්‍රී ශාකය

බීජවල බීජපත්‍ර දෙකක් දැකිය හැකි ශාක ද්විබීජ පත්‍රි ශාක ලෙස හදුන්වනු ලබයි. මේ සදහා උදාහරණ වශයෙන් රඹුටන්, ඇපල්, ‍කොස් , අලිගැටපේර වැනි ශාකයන් දැක්විය හැකිය. මේ ශාකයන්ගේ දැකිය හැකි විශේෂ ලක්ෂණ කිහිපයක් ඇත. එනම්,
  • මුදුන් මූල පද්ධතියක් තිබීම
  • බීජයේ පියළි දෙකක් තිබීම
  • කද අතු වලට බෙදීම
  • චතුර්ණී අංකික පුෂ්ප තිබීම
  • කදේ පහළ සිට ඉහළට යනවිට සිහින් වීම
  • පත්‍රවල ජාලාභ නාරටි දක්නට තිබීම

අපුෂ්ප ශාක

පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හදුන්වනු ලබයි. මෙම අපුෂ්ප ශාක නැවත වතාවක් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්,
  1. බීජ හටගන්නා අපුෂ්ප ශාක
  2. බීජ හට නොගන්නා අපුෂ්ප ශාක

බීජ හටගන්නා අපුෂ්ප ශාක

බීජ හට ගන්නා අපුෂ්ප ශාක විවෘත බීජක ශාක ලෙස හදුන්වනු ලබයි. එනම් එහි බීජය ඵලයකින් ආවරණය වී නොමැත. එම නිසාවෙන් විවෘත බීජක ශාක ලෙස හන්වනු ලබයි. මේවායේ බීජ හට ගන්නේ කේතුවල තිබෙන්නා වූ මහා බීජාණු පත්‍ර වලය. උදාහරණ වශයෙන් මඩු ශාකය දැක්විය හැකිය. විවෘත බීජක ශාක කාෂ්ඨ ශාකයන් වන අතර බොහෝ ඒවා ගස් වන අතර ඇතැම් ඒවා පදුරු වේ. පැහැදිළි කේතුවල බීජ හට ගන්නා ශාක කේතුධර ශාක ලෙස හදුන්වනු ලබයි. මේවාට උදාහරණ වශයෙන් නත්තල් ගස දැක්විය හැකිය.

බීජ හට නොගන්නා අපුෂ්ප ශාක

බීජ හට නොගන්නා අපුෂ්ප ශාක බීජාණු මගින් ප්‍රචාරණය වේ. මේවාද කොටස් කිහිපයටකට බෙදා දැක්විය හැකිය. එනම්,
පර්ණාංග           - මීමන
අක්මා ශාක        - මාකැන්ටියා
ගදා පාසි           - සෙලෙජානෙල්ලා
ශුකී පාසි           - පො‍ගොනාටුම්

 

ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනාගෙන ඇති ශාක විශේෂ

ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනාගෙන ඇති ආවෘත බීජ ශාක විශේෂ ගණන 3154කි. මීට අමතරව විවෘත බීජ ශාක විශේෂ 02ක් හා මීවන, තලස් ශාක 336ක් හඳුනාගෙන ඇත. මේ ශාක අතරින් ආවෘත බීජ ශාක 894ක් ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ වන අතර මීවන හා තලස් ශාක විශේෂ 49ක් ද ශ්‍රී ලංකාවට ආ‍වේණික ශාක විශේෂයි.

ආවෘත බීජ ශාක විශේෂ 05ක් ශ්‍රී ලංකාවෙන් වඳ වී ඇතැයිද අනාවරණය වේ. Strobilanthes caudata (Acanthaceae), Blumea angustifolia (Asteraceae), Crudia zeylanica (Fabaceae), Rinorea bengalensis (Violaceae) හා inorea decora (Violaceae) එම ශාක විශේෂ වේ.

ශ්‍රී ලංකාවේ ශාක විශේෂ වඳවීමට හා වඳවීමේ තර්ජනයට ලක්වීමට බලපාන හේතු රාශියකි. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් සිදු වන ක්‍රියාදාමයන් එක් හේතුවක් වේ. ශාක විශේෂ අධික ප්‍රමාණයන්ගෙන් ඉවත් කිරීමක්ද (Over exploitation) සිදු කෙරේ.

උදාහරණ වශයෙන් ගත් විට කොතලහිඹුටු, වල්ලපට්ට වැනි ශාක විශේෂ වැදගත් වේ. ඒවායේ වර්ධනයට හා පැතිරීමට සාපේක්ෂව ඉවත් කිරීම වේගවත් ව සිදු වනු ඇත. විවිධ ව්‍යාපෘති හා විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර බිම් නිරන්තරයෙන් යොදා ගැනීම, ශාක වාසස්ථාන කැබලිවීම, ආගන්තුක ආක්‍රමණික ශාක විශේෂවල වේගවත් පැතිරීම, වගාබිම් තුළ අධි සාන්ද්‍ර පොහොර/ කෘමිනාශක නිරන්තර භාවිතය හා ඒවායේ පැතිරීම සහ වනාන්තර ආශ්‍රිතව සිදු කරන කැනීම් (ඛනිජ ද්‍රව්‍ය) වැඩිවීම තවත් හේතු ලෙස සඳහන් කළ හැකියි.

ආරක්ෂා කළ යුතු ශාක විශේෂ ඇතුළත් සංවේදී කලාප හා සංරක්ෂිත ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ මායිම් සලකුණු කොට වෙන් කර තිබීම හා එවැනි ප්‍රදේශ ගැසට් කිරීම මඟින් ආරක්ෂා කිරීමට කටයුතු යොදා තිබීම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක ආරක්ෂා කිරීමට රජය ගෙන ඇති එක් පියවරකි.

විතැන් සංරක්ෂණය (Exsitu Conservation) හා ස්ථානීය සංරක්ෂණය (Insitu Conservation) සිදු කිරීම ද තවත් ක්‍රියාමාර්ගයකි. එනම් මහින්ද චින්තන-ඉදිරි දැක්ම යටතේ උද්භිද උද්‍යාන 10ක් ඇති කරමින් ලංකාවේ විවිධ ප්‍රදේශවල ආරක්ෂා කළ යුතු ශාක විශේෂ ආරක්ෂා කිරීමට කටයුතු කිරීමයි.

වනාන්තර අවශ්‍යතා සපුරා ගැනීමට විකල්ප දැවමය වන වගා, ප්‍රජා වන වගා හා පෝෂණීය වන වගා ඇති කිරීමත් වනාන්තරහරණය හා වන හායනය අවම කිරීම මඟින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ වැඩසටහන (UNREDD) ලංකාවේ ක්‍රියාත්මක කිරීමත් මේ වන විට සිදු කරමින් පවතී.

විවිධ රුක්රෝපණ වැඩසටහන් මඟින් ස්වභාවික වනාන්තර වෙත ඇති තර්ජනය විභවය අවම කිරීම, "හරිත ලංකා ජාතික" ජාතික ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් නව පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී වඳවීමේ තර්ජනයට ලක් වූ ශාක විශේෂ ප්‍රතිසාධනය කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම, හායනයට ලක්ව ඇති වනාන්තර හඳුනාගෙන පෝෂණීය වන වගා ඇති කිරීම, වන අපරාධ සඳහා වන සංරක්ෂණ ආඥා පනත යටතේ නීතිමය පියවර ගැනීම හා වඳ වී යාමේ තර්ජනයට ලක් වන ජීවීන් පිළිබඳ තොරතුරු ඇතුළත් "රතු දත්ත පොත" මඟින් වඳ වී යාමේ තර්ජනයට ලක්වන ශාක හඳුනාගැනීමෙක් ඒවා සංරක්ෂණය කිරීමට කටයුතු කිරීම යනාදියද මෙහිදී ගනු ලබන ක්‍රියාමාර්ග බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි.  ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ශාක විශේෂ අතරින් 170ක් පමණ දශක කිහිපයක සිට සොයාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ඉන් ශාක විශේෂ පහක් ස්ථිරවශයෙන් ම වඳවී ගොස් ඇතැයි ද උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ඇති මල් පිපෙන හෙවත් සපුෂ්ප ශාකවලින් සියයට 44ක් පමණ දැනටමත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බවයි.

ආචාර්ය විජේසුන්දර මහතා පවසන්නේ එම ශාකවලට අත්‍යාවශ්‍ය වූ පරිසර පද්ධතීන් සීඝ්‍රයෙන් විනාශවන බැවින් මෙවැනි ශාක විනාශ වෙනිම් පවතින බවයි. ඒවා විනාශනොවී බේරාගැනීමට නම් ශාක බෝවන පරිසර පද්ධති හෙවත් වාසස්ථාන රැකබලා ගැනීමට කටයුතු කිරීමට උනන්දුවිය යුතු බවත් ඒ මහතා පවසයි. වඳවී යමින් පවතින ශාක හඳුනාගෙන සංරක්ෂණය කිරීමටත් ඒවා උද්භිද උද්‍යානවල රෝපණය කැර බීජ හා පටක රෝපණයෙන් නව ශාක බිහිකර ව්‍යාප්තකිරීමට තැත් කළ යුතු බවත් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා කියයි.


 


 

No comments:

Post a Comment