විද්‍යාත්මක වර්ගීකරණය | |
---|---|
රාජධානිය: | Plantae |
ශ්‍රේණිගත-නොකළ: | Angiosperms |
ශ්‍රේණිගත-නොකළ: | Eudicots |
ශ්‍රේණිගත-නොකළ: | Rosids |
ගෝත්‍රය: | Malvales |
කුලය: | Malvaceae |
උපකුලය: | Helicteroideae |
වර්ගය: | Durioneae |
ගණය: | Durio L. |
Species | |
දැනට හදුනා ගනු ලැබූ විශේෂ 30ක් පමණ පවති. | |
Synonyms | |
Lahia Hassk. |
ආසියාවේ ජනප්‍රිය පළතුරක් ලෙස සැලකෙන දූරියන් එයටම විශේෂිත සුවඳක් ද අධික පෝෂණ ගුණයක් හා මනා මාංසල බවද නිසා නිවර්තන පළතුරු අතර රජු ලෙස බොහෝ රටවල හඳුන්වයි. ලංකාවේ තවමත් බහුලව වාණිජ ලෙස වගා නොකල ද තායිලන්තය, මලයාසියාව වැනි රටවල ඉතා ලාභදායී වාණිජ වගාවක් වශයෙන් වගා කරන පළතුරක් වේ. අග්නිදිග ආසියාවට ආවේණික පළතුරක් වන දූරියන් වසර 600කට පමණ පෙර බටහිරට ද හදුන්වා දෙනු ලැබුණි. ගිණිකොනදිග ආසියාවේ මැලේසියාණු අර්ධද්වීපයේ සම්භවය ලැබූ දුරියන් ලොව ප්‍රචලිත ජනප්‍රිය පළතුරකි. දූරියෝ සිබතිකස් (Durio Zibethinus) උද්භිත විද්‍යාත්මකව හැඳින්වෙන දූරියන් බොම්බකාසියේ (Bombacaceae) ශාක කුලයට අයත් කොස් ගෙඩියකට සමාන ඝනකම් ආවරණයකින් යුත් රළු පෙනුමකින් යුත් පළතුරකි. මේ බෝගය ස්වභාවිකව මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව, බෝර්නියෝ දූපත් හා නිව්ගිනි දූපත් හා පැතිරී ඇති වගාවක් වන අතර මෙය ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය, වියට්නාමය, ඕස්ට්‍රේලියාව යන රටවලට පසුව හඳුන්වා දී ඇත. දූරියන් නාමය මැලේ භාෂාවෙන් කටුව හදුන්වන දූරි යන පදයට අන් (මැලේ භාෂාවේදි නාම පදයක් සෑදිමේදි යොද ගන්නා පදයකි ) යන පසු ඇඳිය එකතු විමෙන් සෑදි ඇත. දූරියො විශේෂ අතරින් ඩි. සිබෙතිනස් යන විශේෂය පමණක් වාණිජ වශයෙන් වගා කරන අතර ආවේණික ප්‍රදේශයන්ගෙන් බැහැරව බහුල ලෙස දක්නට ලැබේ. මෙය විවෘත පරාගණයට ලක් වු ප්‍රභේදයක් නිසා එහි ඵලයේ වර්ණය, ගන්ධය, ප්‍රමාණය, මදුළු හා බීජයේ ප්‍රමාණය හා ශාකයේ ජීව සෘතුවේ විශාල වෙනස්කම් දක්නට ලැබේ. විශේෂ නාමකරණයෙදි සිබෙතිනස් යන්න ඉන්දියානු උරුලෑවා හැදින්විම සදහා විවෙරා සිබෙතා ලෙස යොද ගනී.
16 වැනි සිය වසේදි පෘතුගීසි ජාතික ඩී. සිබෙතිනස් විසින් ලංකාවට හදුන්වා දෙන ලදී. එය ඇමෙරිකාවට ද හදුන්වා දුන් නමුත් ඒවා උද්භිත උද්‍යාන වලට පමණක් සීමා වුණි. 1884දි රාජකීය උද්භිත උද්‍යානයේ හට ගත් පළමු බීජ පැළ ඩොමිනිකානු රාජ්‍යයේ ඔගස්ටී සෙන්ට් ඇරොමන් වෙත යවන ලදි.
පහතරට හා මැදරට තෙත් කලාපයේ හොදින් වැඩෙන දූරියන් සඳහා වර්ෂය පුරා වැඩි ආර්ද්‍රතාවයක් අවශ්‍ය වේ. තෙත් කලාපයේ දිස්ත්‍රික් අතරින් ප්‍රධාන වශයෙන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, රත්නපුර, මාතර සමහර ප්‍රදේශත් නුවර, මාතලේ, කෑගල්ල ආශ්‍රත ප්‍රදේශ දූරියන් වගාව සඳහා වඩාත් යෝග්‍ය වේ. සාර්ථක දූරියන් වගාවක් සඳහා උෂ්ණත්ව පරාසය වනුයේ 27oC - 30oC වේ. එමෙන්ම 75% - 80% ආර්ද්‍රතාවයක් මනා වර්ධනයක් සඳහා අවශ්‍ය වේ. දූරියන් වගාව සඳහා යෝග්‍ය උච්ඡත්වය වන්නේ මීටර් 50 - 600 දක්වා වන අතර ඉහළ උච්ඡත්ව වලදී ගෙඩියේ ගුණාත්මයට හානි විය හැකිය. දූරිය වගාව සඳහා යෝග්‍ය වර්ෂාපතනය වන්නේ මිලි මීටර් 2000 - 5000 ය. වසරකට මාස 9 සිට මාස 11 දක්වා තෙත කාළගුණයක් පැවතිය යුතුය. හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය හොඳින් අඩංගු ගැඹුරු වැලි ලොම් පසක් ඉතා සුදුසු වේ. පොළොව මතුපිට සිට අවම වශයෙන් මීටර් 2 ක් වත් ගැඹුරින් භූගත ජල මට්ටම පිහිටීම සාර්ථක වගාවක් සඳහා වැදගත් වේ.
දූරියන් ශාක විශාල වන අතර එහි වර්ගය අනුව මීටර 25ත් 50ත් (අඩි 80ත් 164ත් ) අතර වර්ධනයක් දක්නට ලැබේ. සෙන්ටිමීටර 8ත් 10ත් අතර සදාහරිත පත්‍ර ඉලිප්සාකාරයේ සිට දිගටි ආකාරය තෙක් දක්නට ලැබේ. විශාල දූරියන් අතු වල හා එහි කඳෙහි දූරියන් පුෂ්ප 3ත් 30ත් අතර පොකුරු හට ගන්නා අතර සෑම පුෂ්පයක්ම පුෂ්ප කෝශයකින් (මනි පත්‍ර) හා පත්‍ර 5කින් සමන්විත වේ. දූරියන් ශාකයකට වසරකට මල් වාර 1ක් හෝ 2ක් පවතින අතර, ශාකයේ කුලය, ප්‍රභේදය හා ප්‍රදේශය අනුව එහි කාලය වෙනස් වේ. සාමන්‍යයෙන් දූරියන් ශාකයකට වසර 4කට 5කට පසු ඵල දැරිමෙ හැකියාව පවති. දූරියන් ශාකයේ අතු වල හට ගන්නා ඵල සාමන්‍යයෙන් පරාගණයෙන් මාස 3කට පමණ පසු පරිණත බවට පත් වේ. මෙම ඵලයට දිගින් සෙන්ටිමිටර 30ක් (අඟල් 12) ද, වට ප්‍රමාණයෙන් සෙන්ටිමිටර15ක් (අඟල් 6) ද බරින් කිලෝග්‍රැම් 1-3(රත්තල් 2-7) පමණ වන තෙක් වර්ධනය විමේ හැකියාව පවති. ශාකයේ ප්‍රභේදය අනුව දූරියන් ඵලය දිගටි හො රවුම් ආකාරයක් ගන්නා අතර ලෙල්ල කොළ සිට දුඹුරු පැහැය දක්වාද, මදුළු ලා කහ සිට රතු පැහැය දක්වාද වෙනස් වේ. වසර පුරාම දැකිය හැකි ඝර්ම කලාපීය පළතුරක් නොවන අතර වසරේ විශේෂ කාලයකදි පමණක් දැකිය හැක. ජුනි සිට අගෝස්තු දක්වා කාලය දූරියන් වාරය වන අතර එම කාලය මැංගුස්ටීන් වාරය ද වේ. දූරියන් වාරයෙදි ජපානයේ ප්‍රධාන පෙලේ වෙළඳසැල් වලද බටහිර රට වල ආසියානු වෙළඳසැල් වලද දූරියන් විකුණනු ලැබේ.
පළතුරක් ලෙස
සාමාන්‍යයෙන් දූරියන් ගෙඩියක් බර ග්‍රෑම් 800 ක සිට කිලෝ ග්‍රෑම් 2.1 දක්වා වෙනස් වන අතර ඉන් 60% - 80% අතර බර ප්‍රමාණය ලෙලි බර වේ. සාමාන්‍ය ප‍්‍රමාණයේ දූරියන් ගෙඩියකින් ලබාගත හැක්කේ මඳුළු 7 – 8 ක් වැනි ප‍්‍රමාණයකි. බීජ බර ප්‍රමාණය 7% - 8% ක් අතර වේ. කෑමට ගනු ලබන බීජ රහිත මදුලු වල බර 9% - 25% අතර වෙනස් වේ. තායිලන්තය, මැලේසියාව වැනි රටවල දියුණුකර ඇති දූරියන් වර්ගවල මදුලු බර ප්‍රතිශතය 20% - 35% අතර දක්වා වේ. මදුලු ග්‍රෑම් 100 ශක්තිජනක අගය කිලෝ ජුල් 820 වේ. එබැවින් දූරියන් ඉතාම පෝෂ්‍යදායී ශක්තිජනක පළතුරකි. පිෂ්ඨය අඩංගු අධික පැණි රසයෙන් යුක්ත දූරියන් මඳුළු 4 – 5 කට වඩා ආහාරයට ගැනීමට අපහසුබව බොහෝදෙනෙක් පවසති. මාන්සලමය මදයේ සුවිශේෂි වු ගන්ධය එහි ලෙල්ල නොකඩා තිබියදී පවා පැතිරී යාමට තරම් ප්‍රබල වේ. දූරියන් වලට ම විශේෂිත වූ ගන්ධය හේතුව වනුයේ එහි ඇති සල්ෆියිඩ, එස්ටර් , තයෝල් හා නයෝල් වැනි රසායනික ද්‍රව්‍ය නිසාවෙනි. ජලය , පේරටීන් , කබෝහයිඩ්ඩේරට් , මේදය, කෙඳි , කැල්සියම්, පොස්පරස් වැනිදේ වලට අමතරව දූරියන් වල විටමින් සී සහ බීටා කැරොටින් ද අඩංගුය. සාමාන්‍යයෙන් අප ආහාරයට ගත යුත්තේ හොඳින් පැසි ඉදුණු දූරියන් වන අතර නොපැසුණු ගෙඩි රසයෙන්ද පෝෂණ ගුණයෙන්ද අඩුය.
අාහාරයක් ලෙස
දූරියන් පළතුර පුළුල් පරාසයක විහිදුනු ආහාර රස ගැන්විමට යොද ගනි. මෙම ආහාර අතර සාම්ප්‍රදායික මැලේ රසකැවිලි, අයිස් කකන්ග්, දොදොල්, ලෙම්පක්, රෝස් බිස්කට් මෙන්ම නවින ආහාර වන අයිස් ක්‍රීම්, මිල්ක් ශේක්, මෝන් කේක්, යුලෙ ලොග් (කොටයක හැඩය ගත් නත්තල් කේක් වර්ගයක් ) සහ කැපුචිනො (පෙණ සහිත කිරි කෝපි වර්ගයක්) ද වේ. දූරියන් අයිස් ක්‍රීම් ඉන්දුනීසියාවේ ජනප්‍රිය අතුරුපසක් වන අතර එහි නගරවල, විශේෂයෙන් ජාවා හි මග දෙපස ඇති කඩ වල විකිණිමට තබා තිබේ. පොල් කිරි වලින් පිසින ලද ඇලෙන සුළු බතක් වන පුලුට් දූරියන් හෝ කෙටන් දූරියන් ඉදුණු දූරියන් සමග පිළිගන්වයි. සභා හි ළූණු සහ මිරිස් සමග බදින ලද රතු දූරියන් අමතර ආහාරයක් ලෙස පිළිගන්වයි. සයර් නැමති නැවුම් මාළු වතුරෙන් සාදන සුප් වර්ගය සදහා සම්ප්‍රදායිකව රතු මදුළු සහිත දූරියන් එකතු කරයි. ඉකන් බ්‍රෙන්ග්කෙස් යනු දූරියන් සෝස් හි පිසින සම්ප්‍රදායික සුමත්‍රානු මාළු වර්ගයකි. සාම්ප්‍රදායිකව බොල්ලෙන් පේස්ට්‍රි වල පිරවුම සඳහා කෙසෙල් සහ චීස් යොදා ගත්තද වර්ථමානයේ දූරියන් පුරවන ලද බොල්ලෙන් දූරියන් ද දක්නට ලැබේ. වියළු දූරියන් මදුළු දූරියන් චිප්ස් සෑදීමට යොදා ගනි. අඩු ප්‍රමිතියකින් යුතු, සෘජු පරිභෝජනයට නුසුදුසු දූරියන් මුහුම් කිරිමෙන් ටෙම්පොයක් සාදා ගනි. එය පිස හෝ අමුවෙන් ආහාරයට ගත හැකි අතර සාමාන්‍යයෙන් බත් සමග අහාරයට ගනි. ටෙම්පොයක් ව්‍යාංජන සෑදිම සඳහාද යොදා ගනි. සුමත්‍රානු ආහාරයක් වන ටෙම්පොයක් සම්බෝල මුහුම් කල දූරියන්, පොල් කිරි හා කුළු බඩු වර්ග යොදා සදා ගනි.
ප්‍රභේද
දූරියන් ප්‍රභේද 30ක් අතරින් 9ක් ආහාරයට ගත හැකි ඵල හට ගන්නා ප්‍රභේද ලෙස හදුනාගෙන තිබේ. ඩි. සිබෙතිනස්, ඩි. දුල්සිස් '(D. dulcis)', ඩි. ග්‍රැන්ඩිෆ්ලොරුස්' (D. grandiflorus)', ඩි. ග්‍රවොලෙන්ස්, ඩි. කුටෙජෙන්සිස් (D. kutejensis), ඩි. ලොවිනස්, ඩි. මක්‍රන්ත, ඩි. ඔක්ස්ලෙයනුස්, සහ ඩි. ටෙස්ටුඩිනරම් (D. testudinarum) ය. සමහර ප්‍රභේදයන්ගේ ඵල කෙදිනකවත් නියමාකාරයෙන් පිරික්සිමකට ලක් කර නොමැති නිසා ඒවා අතරද ආහාරයට සුදුසු ඵල හට ගන්නා ශාක තිබිමේ හැකියාවක් පවති. දූරියන් පෙනුමෙන් කොස් ගෙඩියකට සමාන වුවත් ඒවායේ ප්‍රභේද අතර සම්බන්ධතාවයක් දක්නට නොලැබේ.
වසර සිය ගණනක් තිස්සෙ අග්නිදිග ආසියාවේ හටගත් ශාකමය ක්ලෝන මගින් අතිවිශාල දූරියන් උප විශේෂ ප්‍රමාණයක් හටගෙන තිබේ. ඒවායේ උසස් තත්වයෙන් යුතු ඵල හට ගන්නා ලදි. නමුත් වර්තමානයේදි අතු බැඳීම හෝ වඩාත් බහුල ලෙස බද්ධයන් මඟින් ශාක ප්‍රචාරණය සිදු කරනු ලැබේ. අංකුර, පතුරු, කූඤ්ඤ , U බද්ධය වැනි බද්ධ ක්‍රම වලදි අහඹු ලෙස තෝරා ගන්නා ලද අනුජයකට ඒවා බද්ධ කිරීම සිදු කෙරේ. විවිධ උප විශේෂයන් ඒවායේ ඵල වල හැඩයේ, කටු වල හැඩයේ වෙනස්කම් අනුව තරමක් දුරට වෙනස් වේ. පරිභෝගිකයන් විශේෂිත උප විශේෂයන් සඳහා දක්වන කැමත්ත වෙළඳපොලේදි ඒවාට ඉහළ මිලක් ලබා දිමට සමත්වේ. වාණිජ වශයෙන් බොහෝ දෙනෙකු ප්‍රිය කරන්නේ මොන් තොන්ග් වලටය. එහි මෘදු මිහිරි මදුළු, සාපේක්ෂව සුළු වශයෙන් වහනය වන සුවඳ සහ කුඩා බීජ මෙයට හේතු වේ. කෘමි උවදුරු වලට ප්‍රතිරෝධයන් දැක්විමේ හැකියාව අතින් ගත් කල චානේ ඉහළ ස්ථානයක වැජඹේ. තායිලන්තය පුරා ඇති උප විශේෂ අතරින් චානේ, මොන් තොන්ග්, කන් යෝ, රන්ග් හා ක්‍රඩම් යන වර්ග පහ වාණිජමය වශයෙන් බහුල ලෙස වගා කරයි. කැට් මවුන්ටන් කින්ග් ඉතා මෑතකදි ප්‍රචලිත වු ප්‍රභේදයකි.
මහනුවර , මාතලේ , කෑගල්ල , රත්නපුර , ගම්පහ , කළුතර , ගාල්ල වැනි ප‍්‍රදේශවල හොඳින් වැඩෙන දූරියන් හොඳ ආර්ථික ආදායමක් ලබාදෙන පලතුරකි. නමුදු තවමත් මෙය වාණිජ මට්ටමේ වගාවක් ලෙසින් නොව ගෙවතු ආශි‍්‍රත වගාවක් ලෙසින් දක්නට ලැබේ. කෙතෙරම් ඉහළ මිලක් ලැබුණද තවමත් අපනයනයට ප‍්‍රමාණවත් දූරියන් වගාවක් මෙරට සතු නොවන බව පැවසේ. දූරියන් සම්පුර්ණයෙන්ම වාගේ පරපරාගනය වන භෝගයක් වන අතර මෑතක් වනතුරුම පැළ නිපදවනු ලැබූවේ බීජ මඟිනි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙසින් එම දූරියන් ගස් විවිධාකාර ගුණයෙන් යුක්ත විය. වාණිජ වශයෙන් වගාව සදහා දූරියන් ප්‍රභේද 2 ක් නිර්දේශ කර ඇත. එය “කසුන් “ සහ “අඹතැන්න “ යනුවෙන් නම් කර තිබේ. මෑතකදී සොයාගත් තොරතුරු අනුව දූරියන් මල් කෘතී‍්‍රමව ( අතින් ) පරාගනය කළහැකි අතර එමඟින් හොඳ අස්වැන්නක්ද ලබාගතහැකිව තිබේ.වැඩිදෙනකු ආහාරයට නොගත්තද ඉතා පෝෂ්‍යදායි දූරියන් පලතුරු අතර සුවිශේෂී තැනක් හිමිකරගෙන සිටියි. අප රටේ දක්නට ලැබෙන දූරියන් වලට අමතරව රතු පැහැති සහ තැඹිලි පැහැති මාංශල සහිත දූරියන්ද වෙනත් රටවල දක්නට ඇත. 1960 පිලිපීනයේ කැලෑ වල තිබී කටු රහිත දූරියන් විශේෂයක් සොයාගන්නා ලදී. මෙය තට්ට දූරියන් (බොටක් දූරියන්) ලෙස හදුන්වයි.
ගුණ
උෂ්ණාධික පලතුරක් ලෙසින් බොහෝදෙනකු වරදවා වටහාගෙන තිබුණද ඇත්තටම මෙය සිසිල් ගුණයෙන් යුක්ත පලතුරකි. එබැවින් රාතී‍්‍ර කාලයේදී ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවන අතර කුඩා දරුවන්ට දිරවීමට අපහසු වන බැවින් හා ආහාරයට ගත්පසු අජීර්ණය , වමනය වැනි රෝගාබාධ මතුවීමට ඉඩඇති බැවින් ආහාරයට දීම සුදුසු නොවේ.හමේ පැහැය වර්ධනය සඳහාත් , මාංශ වර්ධනය සඳහාත් පිටිවහලක් වන දූරියන් දරු සම්පත් ප‍්‍රමාද කාන්තාවන් සඳහාද යෝග්‍යය. පුරුෂ ශුක‍්‍ර ධාතු වර්ධනයටද බෙහෙවින් ඉවහල් වන දූරියන් ඇට පෙඟෙන්නට තබා එම ජලය පානය කිරීමෙන් ශරීරයට වැඩි ශක්තියක් ලැබෙන බවටද විශ්වාසයක් පවතියි.
ශාඛ ප්‍රචාරණය
දූරියන් පැළ ප්‍රචාරණයට බීජ මඟින් හා බද්ධ කිරීම මඟින් ලබාගත හැකිය. බීජ පැළ වර්ධනය අධික බැවින්ද අස්වනු ලබාදීමට ගතවන කාලය වැඩි බැවින් හා ලැබෙන ඵල වල ගුණාතමය වෙනස් වන බැවින්ද වාණිජ වගාවක් ලෙස භාවිතා කිරීමට නුසුදුසුය. අවුරුදු 4 - 5 ක් වැනි කෙටි කාලයක් තුලදී ඵල ලබා ගත හැකි බැවින්ද අනුජය ලබාගන්නා ගසේ ඵල වල ගුණාත්මයට සමාන ගුණාත්මයෙන් යුත් ඵල ලැබෙන බැවින් පහළ සිට තිරස් අතට පැතිරෙන අතුවල ඵල හටගන්නා බැවින්ද වාණිජ වගාවන් සඳහා බද්ධ දූරියන් පැළ යොදාගනු ලැබේ.
මධ්‍යස්ථ ප්‍රමාණයේ බීජ ඇති නීරෝගී ගසක ගෙඩි වලින් ලබා ගන්නා බීජ වහාම වැලි තවානක ප්‍රරෝහණය කළ යුතුය. බීජ ප්‍රරෝහණය වූ පසු එය මතුපිට පස්, වැලි සහ කොම්පෝස්ට් 1 : 1 : 1 මිශ්‍රණය පිරවූ අඟල් 8 x 11 පොලිතීන් මළු වලට මාරුකර සෙවනේ තබනු ලැබේ. සති 2 - 4 පමණ වර්ධනය වූ පසු එම ග්‍රාහක පැළ කූඤ්ඤ බද්ධය මඟින් බද්ධ කළ හැකිය. බද්ධය සඳහා අවශ්‍ය අනුජ ගුණාත්මයකින් යුත් ගසකින් ලබා ගත යුතුය. බද්ධය වෙළුම් පටියකින් වෙලා පාරදෘෂ්‍ය පොලිතීන් කවරයකින් වසා සෙවනක් සහිත ස්ථානයක තැබිය යුතුයි. සති 2 - 3 පසු බද්ධය වර්ධනය වී ඇති විට පොලිතීන් කවරය ඉවත් කර සෙවන ස්ථානයක තබන්න. කේෂ්ත්‍රය සාර්ථකව ස්ථාපනය කිරීම සඳහා අඩි 1 - 2 පමණ උසට වැඩුණු පැළ භාවිතා කිරීම සුදුසුය.
රෝග හා පළිබෝධ හානි
කඳ විදින පණුවන් (Stem borer) කඳ විද එය තුලින් ඉහළට ගමන් කරයි. එතැන් සිට අත්ත වියළී මැරී යයි. මෙහිදී අතු කපා පුළුස්සා දැමිය යුතුය. වියළි කාල වලදී කොරපොතු කෘමීන් (Scale insects) පත්‍රයේ යටි පැත්තේ බහුලව දැකිය හැකිය. යුෂ උරා බීම නිසා පත්‍ර මත කහ පැහැති ලප ඇති වේ. හානිය උග්‍රවූ විට පත්‍ර වියලුණු ස්වභාවයක් ගන්නා අතර පසුව පත්‍ර හැලී යා හැක.
No comments:
Post a Comment