Translate

Thursday, June 11, 2015

ශ්‍රී ලංකා ජාතික ගීය

ජාතික ගීය සෑම රටක ම රටේ ජනතාවගේ ප්‍රෞඪත්වය හා අනන්‍යතාවය තහවුරු කරන සංකේතයක් බවට නිතැතින්ම පත්වී ඇත. ශ්‍රී ලංකාවට ජාතික ගීයක අවශ්‍යතාවය මතුවූයේ 1815 දී සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය පාලනයට නතු වීමෙන් පසුවය. බ්‍රිතාන්‍යයන්ගේ ආභාෂයට අනුව එකල ශ්‍රී ලංකාවේ ජාතික ගීය වූයේ බ්‍රිතාන්‍ය ජාතික ගීයයි. නමුත් අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මිදුණු පසු ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සුරකින ශ්‍රී ලංකාවට ම ආවේණික වූ ජාතික ගීයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය දැඩිව පැන නැඟුණි. මෙය මතුවූයේ විසිවන සියවසේ හතරවන දශකයේ දී ය.  

1815 කුප්‍රකට ඉංගිරිසි-සිංහල ගිවිසුම අත්සන් කිරීමට පෙර අපට ජාතික ගීයක් තිබුණු බවට සඳහනක් නැත. අපට පමණක් නොව ලොව බොහෝ ජාතීන්ට එකල ජාතික ගීයක් තිබුණේ නැත. එහෙත් රාජභවනේ වන්දිභට්ටයන් විසින් රජු උදෙසා ගැයූ ස්ත්‍රෝත්‍ර එකලත් තිබිණි. රජා සහ රදළවරුන් යටතේ අදටත් ජිවත් වන එංගලන්තය වැනි වැඩවසම් රටවල ජාතික ගීය ලෙස රජුට ගැයූ ප්‍රසස්ති තවමත් භාවිත විය. 1745 දී නිර්මාණය කරන ලද මහා බ්‍රිතාන්‍යයේ ජාතික ගීතය ද ලොව පැරණිතම භාවිත ජාතික ගී වලින් ඒකකි. "God save the queen" යන එම ජාතික ගීයේ ඇති සුවිශේෂත්වය වන්නේ ලෝකයේ රටවල් බොහෝ ප්‍රමාණයක මෙම ගීතය ජාතික ගීතය වශයෙන් භාවිතා කිරීම යි. ඊට හේතුව වන්නේ මහා බ්‍රිතාන්‍යය ලෝකයේ රටවල් බොහොමයක්‌ ම යටත් විජිත වශයෙන් ඈඳාගෙන තිබීම යි. එබැවින් යටත් විජිතවල ද ජාතික ගීය එංගලන්ත ජාතික ගීය ම වූයේ ය. 1948 පෙබරවාරි 4 දා ශ්‍රී ලංකාව ඩොමීනියන් නිදහස ලබන තුරුම ජාතික ගීතය වශයෙන් භාවිතා කළේ ද "God save the queen" යන මහා බ්‍රිතාන්‍යයේ ජාතික ගීතය යි. නමුත් 1948 න් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනම ම ජාතික ගීයක අවශ්‍යතාව උද්ගත විය.


1948 ජනවාරි 31 වැනි දින ජාතික ගීයක් තෝරා ගැනීමේ තරඟයක් පවත්වන ලදී. ඒ සඳහා එකල අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ඇම්. ජේ. පෙරේරා යන මහත්වරුද ගීත ඉදිරිපත් කළහ. ආනන්ද සමරකෝන් මහතා වෙනුවෙන් එම මහතාගේ මැතිණිය කැරලයින් ද සිල්වා මහත්මිය ද, " නමෝ නමෝ මාතා " ගීතය ඉදිරිපත් කළාය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ඉදිරිපත් කර තිබුණේ " සිරිලක මාතා නමදිමු සැමදා " ගීතයයි. අවසානයේදී එම විනිසුරු මඬුල්ලේම සිටි පී. බී. ඉංගසින්හ නොතාරිස් රාළහාමි රචනා කළ එහිම විනිසුරුවරයෙකුව ක්‍රියා කළ ලයනල් එදිරිසිංහ මහතා සංගීතවත් කළ " ශ්‍රී ලංකා මාතා පාලා රස මහිමා ජය ජය " ගීතය තරඟයෙන් ප්‍රමුඛස්ථානය ගත්තේ විවේචන රැසකට භාජනය වෙමිනි. එහි "න" අක්ෂරය අපාය අක්ෂරයක් වීමත් ආරම්භක ගණය අනිටු ගණයක් වීමත් භක්ති රසය ජනනය වීමත් ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්න‍ට විය. 1962 වන විට එය වර්ධනය වෙමින් හුවා දැක්වූයේ ඩී. එස්. සේනානායක වියෝව, ඩඩ්ලි සේනානායක රජයේ බිඳ වැටුම හා එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනය වැනි දේ සිදු වූයේ මෙම ගීයේ මුල් අකුර නිසා බවය. මෙය හමුවේ 1962 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් ජාතික ගීයේ මුල් පද පෙළ වෙනස් කලේ එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් ශූරීන් නොවිමසමනි. තමන් රචනා කල ගීයට විරුද්ධ බලවේග වලට එරෙහි වෙමින් සමරකෝන් ශූරීන් විවිධ පරිශ්‍රම දැරූ අතර ගීය වෙනස් කලහොත් සිය දිවි නසාගන්නා බවට බලධාරින් වෙත දන්වා තිබිණි. මහත් සිත් තැවුලට පත් හෙතෙම එම අයුරින් ම 1962 අප්‍රේල් 5 දින සිය දිවි හානි කර ගත් බව පැවසේ. ලංකාවට පැමිණෙන සෑම ව්‍යසනයක්ම මේ ගීයේ ගණ දෝෂ හේතුවන් වන බවට එකල සමහරු ප්‍රචාරයක් ගෙන ගියහ. ජාතික ගීයක් තෝරා ගත් පසුව ද තවත් අවුරුදු විස්සක් පුරාවට ම අප එංගලන්ත රාජිණියගේ යටත් වැසියන් වීමු. එහෙත් මෙම ගීයට පැවති විවේචන සැමදා තිබිණි.


ආනන්ද සමරකෝන් මහතා 

ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘආනන්ද සමරකෝන් මහතා
1911 ජනවාරි 13 වැනි දින උපත ලද මොහු මුල් කාලයේ හැඳින්වූයේ ජෝර්ජ් සමරකෝන් ලෙසය. සංගීතයට උපන් හපනෙක් විය. අධ්‍යාපනය නිමවා කෝට්ටේ ක්‍රිස්තියානි විදුහලේ චිත්‍ර කලා ගුරුවරයා ලෙස 23 විය තෙක් සේවය කොට 1936 දී ඉන්දියාව බලා ගියේ චිත්‍ර කර්‍මය හා සංගීතය ඉගැනීමටය. වසර 05 ක දැනුම මාස 06 කින් නිමවා එන විට ඔහු ආනන්ද සමරකෝන් ලෙස නම වෙනස් කළේය. 1939 දී ගීත ගායනයට යොමු වූ මෙම ශූරීන් වැඩිමනක් ගැයූ ගීතවල පදමාලාව , තනුව, ස්වතන්ත්‍ර නිර්මාණ විය. එකල උපදේශාත්මක ගීත, ආගමික ගීත ආකෘතීන්ගෙන් මිදී ප්‍රේම ගීත ගායන‍ය‍ට මොහු පුරෝගාමීත්වය සැපයීය. ආනන්ද සමරකෝන් මහතාගේ නාට්‍ය ගී දෙස්‌ විදෙස්‌ සම්භාවනාවට පාත්‍ර වූ ඔහුගේ ළමා කව් ගී සංගීත භාවිතය ද මෙහි සංගෘහිතය. භාරත ගීත කෝකිළා ලතා මංගේෂ්කාර් ගැයූ සිංහල ගීත කිහිපය (සැඩ සුළං චිත්‍රපටය සඳහා) ලිවීමේ භාග්‍යයද උදාකර ගත්තේ ආනන්ද සමරකෝන් විසිනි. ලතා මංගේෂ්කාර් ගැයූ ශ්‍රී ලංකා - මාතා.... මා ප්‍රියාදරී ජයභූමි ජයභූමී...... ජයභූමී ශ්‍රී ලංකා ඉදිරියටා යමු සැවොමා නිදහස ලබනට බැමි සිඳදා (ලතා මංගේෂ්කාර් මොහිදීන් බෙග්) පෙම් කැකුළ පිපී එන විට මහදේ (යමුනා රාණී සහ ඒ. ඇම් රාජා) ගමන දුර නිසයි. සී පද කියන්නේ.... (ආනන්ද සමරකෝන්) මෙන්ම මන රංජන දර්ශනීය ලංකා (සුජාතා) පොඩි මල් එතනෝ... ඇසේ මධුර ජීවනයේ ගීතා..... නාමුqකෝ කිමිදී සීතල ගඟුලේ..... පුංචි සුදු සුදු කවියා ඇති සියලුම චිත්‍රපට හා සෙසු ගී රචනා තනු රචනා (ස්‌වර ප්‍රස්‌තාරද සමඟ) ද කළේය.

ආනන්ද සමරකෝන් මහතා තම අත් අකුරින් ලියූ ලංකා ජාතික ගීය
 
මේ උද්ගෝෂණ අවසාන කරමින් 1948 පෙබරවාරි 4 වැනි දින පැවති පළමු නිදහස් උත්සවයේ දී ගායනා කරනු ලැබුයේ මෙම ගීතයයි. නමුත් දෙවන නිදහස් දිනයේදී ගායනා කරනු ලැබුයේ " නමෝ නමෝ මාතා" යන ආනන්ද සමරකෝන් ශූරීන්ගේ ගීතයයි. 1950 අප්‍රේල් මස මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් ඇමති මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් 1951 නොවැම්බර් 22 වැනි දින නිළ ජාතික ගීය ලෙස "නමෝ නමෝ මාතා" යනුවෙන් ඇරඹුණු ජාතික ගීයේ මුල් පද පෙළ වෙනස් කරමින් "ශ්‍රී ලංකා මාතා" ලෙස යෙදීමට එවකට පැවති රජය විසින් තීරණය කෙරිණි. ඒ අනුව මෙම 1948 දී පැවති තරඟයේදී ඉදිරිපත් කළ " නමෝ‍ නමෝ මාතා " ගීය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ දී ප්‍රථමයෙන් ගායනා කොට එච්. එම්. වී. තැටියකට තැටිගත කරන ලදී. ඒ සඳහා සීදුව අන්ධ විදුහලේ සිසුන් ගායනයෙන් දායක වී ඇත. ඒ අනුව ජාතික ගීයේ සම්පුර්ණ වාදන කාලය ලෙස මිනිත්තු 2යි තප්පර 19ක්‌ ලෙස සඳහන් වේ. 1955 පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ දී දෙමළ භාෂා මාධ්‍යයෙන් තැටි ගත කරන ලදී. එය ගායනා කළේ මීනා හා සංගරී යන දෙදෙනා විසින් බව සඳහන් වේ.එය එදින ගුවන් විදුලිය මගින් විකාශනය කළ බව ද සඳහන් වේ. එම වකවානුවේ ඇති වූ යම් යම් තත්ත්වයන් අනුව ජාතික ගීයේ දෙමළ මාධ්‍ය විකාශනයට කිසියම් විරෝධයක්‌ එල්ල වී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 7 වන වගන්තිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 7 වන වගන්තියෙහි දැක්වෙන්නේ, "ශ්‍රී ලංකා ජනරජයෙහි ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" වන අතර, එහි පද හා සංගීතය තුන්වන උප‍ලේඛනයෙහි දක්වා ඇති පරිදි වෙයි" යනුවෙනි. එම තුන්වන උපලේඛනයෙහි සංගීත විස්තාරයට අනුබද්ධව ඉංග්‍රීසි අකුරෙන් ජාතික ගීයෙහි සිංහල පද ලියා දක්වා ඇති අතර ජාතික ගීයේ කුමන කොටස් තුමන අවස්ථා වලදී භාවිතා කල යුතුද යන බව හා එය වාදනය කල යුත්තේ ‍කුමන ආකාරයටද යන්න දක්වා ඇත.

ජාතික ගීයෙහි සංශෝධන

ජාතික ගීයේ "ගණ" පිළිබඳ ගැටලුවක්‌ පවතින බවත් නමෝ නමෝ මාතා යන්න අපායාක්‌ෂරවලින් ආරම්භ වන බවත් එමගින් රටට හා ජනතාවට මෙන්ම ආණ්‌ඩුවට ද අපලදායක තත්ත්වයක්‌ උද්ගත වන බවත් එවක සිටි දෛවඥයෝ පෙන්වා දුන්හ. එය සැලකිල්ලට භාජනය කරමින් 1962 දී "නමෝ නමෝ මාතා" වෙනස්‌ කොට "ශ්‍රී ලංකා මාතා" යනුවෙන් සංශෝධනය කෙරිණි. ඒ බව එවක සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 1962 පෙබරවාරි 03 වෙනි දා නිවේදනය කරන ලදී. මේ සමගම තමා විසින් රචිත ජාතික ගීයට සුවිශාල අසාධාරණයක්‌ කළේ යෑයි සිත් වේදනාවට හා කලකිරීමට පත් ආනන්ද සමරකෝන් මහතා නිදිපෙති පානය කොට සියදිවි නසාගත් බව ද සඳහන් කළ යුතුය. 
 
ජී. ජී. පොන්නම්බලම් මහතාගේ යෝජනාවකට අනුව ජාතික ගීයේ දහවන පේළිය වශයෙන් සඳහන් වන "නැවත අප අවදි කරන් මාතා" වෙනුවට "නීතින අප පුබුදු කරන් මාතා" යන්න ඇතුළත් කොට සංශෝධනය කරන ලදී. "එක මවකගේ දරු කැළ බැවිනා" යන්න "එක මවකගේ දරු කැළ ලෙසිනා" යන්නෙන් සංශෝධන අපේක්‌ෂා කළත් මුල් රචනය වන "එක මවකගේ දරුකැළ බැවිනා" යන්නම පැවතිය යුතු බවට 1952 ජනවාරි 4 වෙනි දා දින පැවති කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කොට තිබේ.

වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත ජාතික ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබී ය.

තේමාව

මෙම දේශානුරාගී ගීතයේ තේමාව වන්නේ “ස්වභාව ධර්මයේ දායාදයන්ගෙන් පරිපූර්ණ මගේ මව් රට අපේ ජීවනාලෝකයයි; ශක්‍තිය හා ප්‍රාණයයි; අපේ ජීවනය ඔබ සතුයි; ලක් දරුවන් වන අප වාදභේද දුරලා සමගියෙන් දියුණුව කරා පිය නගමු“ යන්නයි.

ගරු කිරීම

  • නිදහස් උළෙලේදී ගායනා කරයි.
  • ජාතික උත්සවවලදී ගායනා කරයි.
  • ගායනා කරන හෝ වාදනය කරන විට අසුන් වලින් නැගී සිටිය යුතුය.
  • ගායනා කරන හෝ වාදනය කරන විට සීරුවෙන් සිට ගරු කළ යුතුය.
  • ගායනයෙන් හෝ වාදනයෙන් පසු සියළු දෙනාම හිස නමා ආචාර කළ යුතුය.
ජාතික ගීය ගායනා කරන විට නිශ්ශබ්ද ච සංවර ව සීරුවෙන් සිටිමින් ජාතික ගීයට ගරු කළ යුතු ය.

ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජයභූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා

අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ජාතික ගීයේ දෙමළ පද

ஸ்ரீ லங்கா தாயே - நம் ஸ்ரீ லங்கா 
நமோ நமோ நமோ நமோ தாயே
நல்லெழில் பொலி சீரணி 
நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா 
ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர் 
நறுஞ்சோலை கொள் லங்கா 
நமதுறு புகலிடம் என ஒளிர்வாய் 
நமதுதி ஏல் தாயே 
நமதலை நினதடி மேல் வைத்தோமே 
நமதுயிரே தாயே - நம் ஸ்ரீ லங்கா 
நமோ நமோ நமோ நமோ தாயே
நமதாரருள் ஆனாய் 
நவை தவிர் உணர்வானாய் 
நமதோர் வலியானாய் 
நவில் சுதந்திரம் ஆனாய் 
நமதிளமையை நாட்டே 
நகு மடி தனையோட்டே 
அமைவுறும் அறிவுடனே 
அடல்செறி துணிவருளே - நம் ஸ்ரீ லங்கா 
நமோ நமோ நமோ நமோ தாயே
நமதோர் ஒளி வளமே 
நறிய மலர் என நிலவும் தாயே 
யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த 
எழில்கொள் சேய்கள் எனவே 
இயலுறு பிளவுகள் தமை அறவே 
இழிவென நீக்கிடுவோம் 
ஈழ சிரோமணி வாழ்வுறு பூமணி 
நமோ நமோ தாயே - நம் ஸ்ரீ லங்கா 
நமோ நமோ நமோ நமோ தாயே


ජාතික ගීයේ අයිතිය, උරුමය එක්‌ ජාතියකට පමණක්‌ සීමා නොවේ. එය සමස්‌ත ජාතියේම ගීය විය යුතුය. ජාතික ගීයේ අයිතිය දේශයට ම විය යුතුය. එබැවින් ජාතික ගීය සමස්‌ත ජාතියේම, සමස්‌ත දේශයේම අභිමානයේ ගීතය විය යුතුය. ශ්‍රී ලංකාව යනු, පසුගිය දශක හතරකට ආසන්න කාලයක්‌ යුධමය අභියෝග වලින් ගහනව පවතී රටකි. සමස්‌ත ලාංකීය ජනතාවගේ විවිධ කැපකිරීම් මත එම මහා ව්‍යසනය නිමා කිරීමට හැකි විය. ලබා ගත්තා වූ සමස්‌ත ජාතියේම ජයග්‍රහණය තව දුරටත් තහවුරු කොට ආරක්‌ෂා කිරීමට හැකිවන්නේ, සියලු ජනවර්ග වල එකමුතු භාවය තවදුරටත් සුරැකිව තහවුරු කරගතහොත් පමණි. ඒ සඳහා අෙන්‍යාaන්‍ය ගෞරවය, සුහදතාව, මිත්‍රශීලී භාවය හා විශ්වාසය සියලු ජාතීන් අතර වඩා තීව්‍ර ලෙස ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. අප රටේ මූලික නීතිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ අර්ථ කථනය කොට ඇත. රටේ සෑම පුරවැසියෙකුම එම මූලික නීතිය ආරක්‌ෂා කිරීමට නිතැතින්ම බැඳී සිටි යි. ජාතික ගීය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන වලට යටත්ව කටයුතු කිරීමට අනිවාර්යයෙන්ම සිදු වේ. ලංකාවේ ජාතික ගීය ද්වී භාෂාවෙන් ගායනා කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් නියමාකාරයට බලය පවරා ඇත. එය එසේ තිබිය දී ජාතික ගීය සම්බන්ධයෙන් නිවැරදි නොවන ක්‍රමයක්‌ අනුගමනය කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ ලෙස අර්ථ නිරූපණය කළ හැක. එක ජාතිකත්වයක අයිතිවාසිකම් ආරක්‌ෂා කළ යුත්තේ, තවත් ජාතිකත්වයක අයිතිවාසිකම් අහෝසි නොවන අයුරින් ය. එබැවින් කරුණු තවදුරටත් අධ්‍යයනය කොට, සියලු ජාතිකත්වයන්ටම සර්ව සාධාරණය ඉටුවන අයුරින් ජාතික ගීය ගායනය සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන්, මාතෘභූමියට තවතවත් ජයග්‍රහණ අත්පත් කරගත හැක.

No comments:

Post a Comment