Translate

Tuesday, January 10, 2017

සමන්ත රාජපක්ෂ නැමති බාලදක්ෂයා

අපේ ආයතනයේ ‘සර්’ ලා නැහැ. මට නම කියලා කතා කරන්න පුළුවන් නම් ඊට පහළ තනතුරුවල අයටත් එසේ විය යුතුයි. යටත් විජිත යුගයේ වගේ, යටත් මානසිකත්වයක් ආයතනයක් තුළ තිබිය යුතු නැහැ AMW කියන්නෙ ශ්‍රී ලාංකිකයකුට අයිති දේශීය සමාගමක් - සමන්ත රාජපක්ෂ Managing Director - AMW

Samantha Aruna Bandara Rajapaksa MBA, FCA, FCMA, MCIM
Managing Director and Director, Associated Motorways (Private) Limited
තවදුරටත් එය එසේ නෙවෙයි. ඩුබායි හි Al - Kuttaim Group කියන ජාත්‍යන්තර සමාගමටයි එහි සියයට සියයක අයිතිය. අද සභාපති බ්‍රිතාන්‍ය ජාතික ලෙන් හන්ට් මහත්මයා. දැන් AMW කියන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතියකින් පාලනය වන ජාත්‍යන්තර සමාගමකට අනුබද්ධ ආයතනයක්. ඕනෑම වාහන වෙළෙඳපාළකට AMW ඇතුළු වෙනවා කියන්නේ එතැන ඉතාම අභියෝගශීලි වාතාවරණයක් ගොඩනැ‍ඟෙනවා කියන එකයි.

කොහොමද AMW තුළ දැන් ශ්‍රී ලාංකේය සංස්කෘතියක් රඳවා ගන්නේ...
අධ්‍යක්ෂ මණ්ඩලයේ හැර මට පහළ පාලනාධිකාරියේ කිසිවෙක් නැහැ, ශ්‍රී ලාංකිකයෙක් නොවන. ජාත්‍යන්තර තලයේ ගුණාංග සමාගමට එකතු වුණාට, දේශීයත්වය, මනුෂ්‍යත්වය අපේ සංස්කෘතිය වගේ සදාචාරාත්මක ගති ලක්ෂණ සියල්ල AMW තුළ සුරැකෙනවා.

මනුෂ්‍යයෙක් හැටියට ඔබ කොහොම හිතන කෙනෙක් ද...
මං මුල අමතක නොකරන කෙනෙක්. රාජකාරිමය වශයෙනුත් මං වෙනස් විදියට හිතන කෙනෙක්. මේ ආයතනයේ ඕනෑ ම සේවකයකුට පුළුවන් ‘සමන්ත’ කියන මගේ මුල් නමින් මට කතා කරන්න. මේ ආයතනයේ ‘සර්’ ලා නැහැ. මට නම කියලා කතා කරන්න පුළුවන් නම් ඊට පහළ තනතුරුවල අයටත් එසේ විය යුතුයි. යටත් විජිත යුගයේ වගේ, යටත් මානසිකත්වයක් ආයතනයක් තුළ තිබිය යුතු නැහැ කියලයි මං හිතන්නේ.

තමන්ගේ ප්‍රධානියාට එහෙම කතා කිරීමෙන්, ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් පැන නඟිනවා නේද...
කොහොමද එහෙම වෙන්නේ, හැමෝ ම ඉන්න ඕනෙ තමන්ගෙ සීමාවල. නමින් කතා කිරීමයි, රාජකාරියේ යෙදීමයි දෙකක්. තමන්ගෙ රාජකාරිය හරියට ඉටු නොකොළොත් ඒක තමන්ගෙ ජීවිතය තීරණාත්මක මොහොතකට ඇද දමන සාධකයක්. මම කැමැති හැමෝම සතුටින් සහ කැමැත්තෙන් අවබෝධයෙන් වැඩ කරනවට. තමන්ගෙ ‍ලොක්කට බයේ හෝ තව කාටවත් පේන්න වැඩකරන සංස්කෘතියක් මෙහි නැහැ.

AMW මේ රටේ කොහොම තැනෙක තිබෙන ව්‍යාපාරයක්ද...
ලැයිස්තුගත සමාගමක් නොවුණට මේ රටේ අවුරුදු 66ක ඉතිහාසයක් තිබෙන ප්‍රමුඛ පෙළේ වාහන ගෙන්වන ආයතනයක්. අපේ සියයට අසූවකට වඩා වෙළෙඳපොළ අලෙවියක් තිබෙන්නේ එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන සඳහා. ගිය අවුරුද්දේ සුසුකිවලින් පමණක් අපි ඒ අලෙවිය රඳවා ගත්තා. මේ අවුරුද්දේ රෙනෝ සහ ඩැට්සන් වාහන වර්ග දෙකත් ඊට එකතු වෙලා තිබෙනවා.

මොකක්ද ඔබ මේ ආයතනයට කළ හොඳම වෙනස...
පවුලේ ව්‍යාපාරයක්, ජාත්‍යන්තර තත්වයට පාලනය වන සමාගමක් බවට හැරවීම. අවුරුදු 66ක් පවුල් පසුබිමකින් පාලනය වූ සංස්කෘතියක් එහෙම වෙනස් කිරීම පහසු වුණේ නැහැ. නමුත් ගෙවුණු අවුරුදු පහේදි AMW තුළ විශාල වෙනස්කම් රැසක් ඇති කළා.

මොනවද ඒ...
සෑම සේවකයකුට ම හැකියාවෙන් ඉහළට යා හැකි සංස්කෘතියක් ඇති කළා. ඒ කියන්නේ කාර්ය ඵලදායිතාව මැනීමේ KPI System එක ක්‍රියාත්මක කළා. මේ ක්‍රමයෙන් වැඩකරන කෙනාටයි නො කරන කෙනාටයි එකම වැටුප් වර්ධකයක් හෝ එකම බෝනස් එකක් ලැබෙන්නෙ නැහැ. ඒ වගේ ම මුහුණ බලලා තනතුරු දෙන්නෙත් නැහැ. වැඩ පෙන්වලා ඕනෙ ඉහළට යන්න. ඒ වගේ ම අධ්‍යක්ෂ මණ්ඩලය මටත්, මම ඩුබායි හි සිටින මගේ සභාපතිවරයාටත් AMW හරහා AMW පෙන්විය යුතුයි. මම MD කියලා මේ ක්‍රමවේදයෙන් බැහැර වෙන්න බැහැ. මේ ක්‍රමය තුළ මාත් සේවකයෙක්. අනික තමයි, හැම වෙලාවෙ ම ඉහළට එන්න අවස්ථාව දෙන්නෙ ආයතනයේ ම සේවකයන්ටයි. පිටින් ගෙනැත් ඉහළ තනතුරු පුරවන් නෑ. අස්වෙලා ගිය කෙනෙක් මොන ම හේතුවක් නිසාවත් නැවත ආයතනයට ගන්නෙත් නැහැ. එහෙම කරන්නෙ යට ඉන්න අයට උඩට එන්න අවස්ථාව දිය යුතු නිසා.

මොකක්ද ඔබේ Management Style එක...
AMW කියන්නෙ කණ්ඩායමක් නම් මම එහි නායකයා තමයි. හැබැයි මං නායකත්වය දෙන්නේ ඒ කණ්ඩායමේ ම කෙනෙක් හැටියට පූර්ණ සහභාගීත්වයෙන්. ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යන වාතාවරණය ශීඝ්‍ර ලෙස වෙනස් වීමට මේ ක්‍රමය දැඩි ලෙස බලපානවා. ඒ වගේ ම, එය ඉතා සාර්ථක ක්‍රමවේදයක්. මං කොහොමටත් Boss කියන සංකල්පයට කැමැති නැහැ. මං, සේවකයන් සමඟ සිටින වැඩකරන leader කෙනෙක්.

කවුද ඔබේ ජීවිතයට පූර්වාදර්ශ වූ ව්‍යාපාරික නායකයන්...
M.T.L ෆර්නැන්ඩු, ‍ෙජ්ම්ස් මේතර්, දේවසිරි රුද්‍රිගෝ, චන්ද්‍රා විජේනායක කියන, ක්ෂේත්‍රයේ දැවැන්තයෝ සහ ගෘහනිර්මාණ ශිල්පී සුරත් වික්‍රමසිංහ, දොස්තර ගාමිණි වික්‍රමසිංහ සහ ජයන්ත වික්‍රමසිංහ මගේ මාමලා තුන්දෙනා. අදටත් මට මොන විදියෙ උපදේශනයක් අවශ්‍ය වුණත් මේ කවුරු හරි කෙනෙක් මගේ ළඟ ඉන්නවා.

මේ හැමෝගෙන්ම ඔබේ ජීවිතයට ගත් පොදු දෙයක් කියන්න...
ඔබ හොඳින් හිතලා හරියි කියලා යම් දෙයක් තීරණය කළා නම්, කිසිදු පැකිළීමකින් තොරව ඒ තීරණය ගන්න. තීරණ ගනිද්දි වැනෙන්න එපා. ඒ වගේ ම, ඔබ ඉදිරි අවුරුදුවල සිටිය යුතු තැන පිළිබඳ දැක්මක් ඇති කරගන්න.

ආයතනික ඉලක්ක සහ අරමුණු කරා යෑමේදී මනුස්සකම් අමතක කරන්න වෙනවා... එකඟද මේ කතාවට.
නැහැ. අපි ඉලක්ක පිහිටුවන්නේ සාමුහිකව. ඉලක්ක කරා යන්නෙත් කණ්ඩායමක් හැටියට. එහෙම යෑමේදි කණ්ඩායමේ නායකයා හැටියට පහසු තීරණ වගේ ම දුෂ්කර තීරණත් ගන්න වෙනවා. නායකත්වයේ සාර්ථක බව තියෙන්නේ එවැනි අමාරු සහ දැඩි තීරණ ගැනීම තුළයි. අත්දැකීම්. ස්ථානෝචිත ප්‍රඥාව, බැලන්ස් කිරීම... ඔය වගේ දේවල් ජීවිතයේ තිබුණොත් මේ තත්වය එතරම් අමාරු නැහැ. අද පවතින මේ ආර්ථිකය තුළ ව්‍යාපාරයක් සමාගමක් ඉදිරියට යන්න බැහැ මේ දේවල් ව්‍යාපාරික නායකයෙක් තුළ නැත්නම්.

ඇයි රටේ පවතින්නේ ව්‍යාපාරිකයන්ට යහපත් කාලයක් නෙවෙයිද...
අද පවතින තත්ත්වය තුළ තමන්ගේ ආයතනය ඉදිරියේ තියෙන්න ඕනේ තැන පිළිබඳ අවුරුද්දක් මාස හයක් නෙවෙයි, මාස තුනක්වත් ඉදිරියට plan කරන්න බැහැ. ඒ තරම් බදු ක්‍රමය වෙනස් වෙනවා. පහුගිය මාස දොළහට තුන් පාරක් බදු වෙනස් වුණා. මේක ලංකාවට ම ආවේණික ලක්ෂණයක් විතරයි. ජාත්‍යන්තරයේ තියෙන්නෙ මීට සපුරා වෙනස් තත්ත්වයක්.

මේ තත්වයෙන් ගොඩ එන්න AMW ත් විකල්ප ව්‍යාපාරවලට ගියා ද...
2500 ක සේවක පිරිස බලාගන්නෙ කොහොමද සහ අපේ ආයෝජකයන් බලා ගන්නෙ කොහොමද කියන දෙපැත්තක ප්‍රශ්න වලට අපි මැදි වෙනවා. ආයෝජකයො කැමැති නැහැ එක රැයකින් වහන්න වෙන බිස්නස්වලට සල්ලි දාන්න.ෆැක්ටරිය, වර්ක් ෂොප් සහ අමතර කොටස් කියන බදු අඩු අංශවල ව්‍යාපාර දියුණු කරන්න අපි වෙහෙසුණා. පොඩිකා‍ර්, මෝටර් සයිකල්, ලොරි වගේ වාහන වැඩිපුර වැඩිපුර විකුණන්න වුණා. ‘Balance your Trade and Balance your Business risk….’ කියන තැනට එන්න වුණා. නමුත් රටකට මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. මෙහෙම ගියොත් පෞද්ගලික අංශයට බැරිව යනවා මේ රටට රස්සා හදන්න.

ඔබ තුළ තිබෙන ඔබට ම ආවේණික දක්ෂතාවක් කියන්න...
මං ක්‍රීඩාවේ දක්ෂයෙක්. වයලීන් වාදනයටත් කැමැතියි. ඒ සියල්ලට වඩා වෘත්තීය ජීවිතයේ මං ගොඩනඟාගත්තු විශේෂතා වලටයි මං කැමැතියි.

මොනවද ඒ ඔබට සාර්ථක වූ ව්‍යාපාරික විශේෂතා...
අද මං හුඟක් කැමැති සහ මගේ දක්ෂතාව තිබෙන්නේ, ‘Change Management’ සංකල්පයට. AMW වැනි පවුල් පාලනයක් තිබූ ව්‍යාපාරයක් ජාත්‍යන්තර මට්ටමට ගෙනැල්ලා, එහි කළමනාකරණ සංස්කෘතිය, මෙහෙයුම් ක්‍රියාවලිය, සමස්ත ව්‍යාපාර... ආදි සියල්ල ඉතා විශිෂ්ටත්වයට පත් කිරීම මං කළේ මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන්.

ඔබ ජීවිතයේ හැම දෙයක් ම සැලසුම් කරන කෙනෙක් ද...
අවුරුදු දහ අටේදී මං මගේ මාමා ගාමිණි වික්‍රමසිංහ සමඟ එක මේසෙක වාඩිවෙලා මගේ ජීවිතේ අවුරුදු විසි අටට වෙනකල් සැලසුම් කළා. අවුරුදු විසි පහ වෙන‍කොට මං සම්පූර්ණ කළ යුතු විභාග, ලබා සිටිය යුතු වෘත්තීය අත්දැකීම් ලියුවා. ඒ plan එකෙන් පිට යන්න වුණොත්, මම ඒ බව දන්නවා. ඒකෙ තිබෙන වාසිය තමයි, එවිට මම ඒ දෙයට සූදානම් වෙනවා.

ඒ අවුරුදු දහය එලෙසම සාර්ථක වුණාද...
ඔළුවට ගත්තා මිස එදායින් පස්සෙ කවදාවත් මං ඒ කොළේ ආයේ බැලුවෙ නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද මං සියල්ල සපුරා ගත්තා. නමුත් ඒ plan එකේ තිබුණෙ නැහැ මං අවුරුදු 28 දි MD කෙනෙක් වෙනවා කියලා. ඉක්මනින් සුදුසුකම් සපුරා ගත්තා වගේ ම මං වැඩත් කළා. අත්දැකීම් හදාගත්තා. මොකද, වයසට යනකල්ම විභාග කර කර ඉන්න මං ආසා වුණේ නැහැ.

හරිම වෙලාවෙදි යමක් වෙනුවෙන් වෙහෙසීමත්, හරි ම වෙලාවෙදි යමක් අත්හැරීමත් ඉතා වැදගත්... මේ කතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න...
Central Finance ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් සහ CF Venture Fund සමාගමේ MD, තනතුරු දෙකම දරද්දියි මට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගන්න ඕනෙ වුණේ. හැමෝම එපා කියද්දි මං මේ තනතුරු දෙකම අත්හැරියා. ඇමරිකා ගියා. ඇමරිකන් සමාගමකට වැඩකළා. ආපහු ඇවිත් මට අවශ්‍ය තැනින් වැඩ පටන් ගත්තා.

පෞද්ගලික අංශයේ ඉහළට යන්න වැදගත් වෙන්නේ අධ්‍යාපනයද, අත්දැකීම් ද...
ඔය දෙක ම. වයස 48දි මට අවුරුදු 29ක වාත්තීය අත්දැකීම් ලබන්න පුළුවන් වුණේ අවුරුදු 19දිම වැඩ කරන්න ගත්තු නිසා. FCMA, MCIM, FCA සහ MBA වගේ අධ්‍යාපනික සුදුසුකම් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ වැඩකරන ගමන් ඉගෙන ගත්තු නිසා.

ඔබ සීත කාමරේකට වෙලා සියල්ල මෙහෙයවන MD කෙනෙක් ද...
රට පුරා විහිදුණු ශාඛා වෙත යෑම, කළුතර ටයර් නිෂ්පදන කර්මාන්තශාලාව, work shops, Market Visits…. මගේ රස්සාව හා බැඳුණු දේ. මං නිතර ඒ තැන්වලට යනවා. ඒවායේ ප්‍රශ්න ගැටලු සහ සැබෑ ස්වභාව පිළිබඳ අවබෝධය ගන්නවා. මේ වගේ දැවැන්ත සමාගමක් මෙහෙයවන්න හොඳම ක්‍රමය, ප්‍රායෝගික මනුෂ්‍යයෙක් වීම. සීත කාමරේකට කොටු වෙලා ඒක කරන්න බැහැ.

ව්‍යාපාර ක්ෂේත්‍රයෙත් එක තැනක ඉන්නවට වඩා ඔබ විවිධ අංශ සොයා යනවා. ඇයි මේ....
මං කවදාවත් හිතන්නෑ මං හැම දේම දන්නවා කියලා. ගණකාධිකරණ ක්ෂේත්‍රයෙන් IT වලටත් එතැනින් ආයෝජන ක්ෂේත්‍රයටත් ආයෝජන වලින් ව්‍යාපෘති කළමනාකරණයටත් එතැනින් ව්‍යාපාර සංවර්ධන අංශයටත්... වගේ පුළුල් ක්ෂේත්‍ර ගණනාවකට ගියේ මං තුළ තිබූ ඉගෙනීමේ ආශාව සහ කුතුහලය නිසා. මේ හැම තැනෙකම පොඩි ම සේවකයාගෙන් පවා ටෙක්නිෂියන්ගෙන් පවා මං ප්‍රශ්න අහනවා. ඕනෑම දෙයකින් ඉගෙන ගන්න යමක් තිබෙනවා. ඕනෑම කෙනෙකුගෙනුත් ඉගෙන ගන්න දෙයක් තිබෙනවා.

පාසල් කාලේ ඔබ දක්ෂ වුණේ මොනවටද...
මං ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව නියෝජනය කරපු ජනාධිපති බාලදක්ෂයෙක්. ඉංග්‍රීසි හා සිංහල විවාද කණ්ඩායමේ කථිකයෙක්. මලල ක්‍රීඩාවේ සහ ටෙනිස්, ස්කොෂ් ක්‍රීඩාවේ නියැළුණු ක්‍රීඩකයෙක්. O/L කරනකල් මං දැනගෙන හිටියෙ නැහැ අධ්‍යාපනයෙන් මං ඉන්න තැනවත්. මගේ ඔළුවෙ තිබුණෙ ම බාහිර ක්‍රියාකාරකම්.

ඒත් ඔබ සාමාන්‍ය‍ පෙළ පටන් හැම විභාගයකටම හොඳින් මුහුණ දෙනවා....
O/L පන්තියේ හැම වාරෙකම මං තිස් හතර හෝ තිස් පස්වැනියා. නමුත් මගේ ප්‍රතිඵල ඩී - හතයි, සී - එකයි. ආනන්දෙ අපේ පන්තියේ ඩී අට ගත්තු 32ක් හිටියා. මගේ දක්ෂතාව මම ම හඳුනා ගත්තා. තාත්තා දොස්තර නිසා මමත් බයෝ සයන්ස් කළා. හුඟක් බාහිර දේ කළාට මහන්සියෙන් පාඩම් කරලා විශ්ව විද්‍යාලෙටත් තේරුණා. හැබැයි ජේ.වී.පී. කලබල. කැම්පස් වහලා. මං කළේ ගණකාධිකාරි වෘත්තිය හදාරන්න ‘අර්නස්ට් ඇන්ඩ් යං’ සමාගමට බැඳුණු එක. මාසෙට රුපියල් දෙසීයකුත් ලැබුණා. අවුරුදු හතරකට පස්සෙ සුදුසුකම් හදාගත්තට, ඒ ඒකාකාරි රස්සාවට මං කැමැති වුණේ නැහැ.

ඒකද ඔබේ පළමු රස්සාව...
එතැන මං වැඩ කළේ ඉගෙන ගනිමින්. Informatics ආයතනයේ ‘කළමනාකරු - විශේෂ ව්‍යාපෘති’ හැටියටයි මං වෘත්තීය ජීවිතේ ඇරැඹුවේ. තිබෙන ව්‍යාපාර දියුණු කිරීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම, හඳුනා ගැනීම... වගේ විවිධ ක්ෂේත්‍රවල වැඩ කළා. මං Marketing ක්ෂේත්‍රයට අදාළ විභාග කළා. විශ්වවිද්‍යාල ඇරියට පස්සෙ බයෝ සයන්ස් ඉඳලා බී - කොම්වලට මාරුවක් හදා ගත්තා. අඩු වයසින් ක්ෂේත්‍ර කිහිපයක සුදුසුකම් හදා ගැනීමයි, මගේ ගමන ඉක්මන් කළේ.

ජීවිතයේ දුක් අමාරුකම් කවදාවත් දැනිලා තියෙනවද...
මගේ තාත්තා වෛද්‍යවරයෙක්. මට වයස හතේදි තාත්තා මිය ගියා. ඊට පස්සෙ මාමලා අපිට හුඟක් උදව් කළා. තාත්තා නැති දරුවෝ කියන දුක දැනෙන්නෙ දුන්නෙ නැහැ. අම්මා, අයියාවත් අක්කවත් මාවත් ඇගේ ගු‍රු පඩියෙන් ජීවත් කරවන්න ලොකු වෙහෙසක් ගන්නා බව පුංචි වුණාට අපි අව‍බෝධ කරගත්තා. ඒ නිසා අපි අම්මගෙන් යමක් ඉල්ලුවාද ඒ අත්‍යාවශ්‍ය ම දෙයක් පමණයි. මට මතකයි මලල ක්‍රීඩා කරපු මුල් කාලෙ උස පැනීම කරන්න මීටර් 400 දුවන්න ස්පයික්ස් සපත්තු දෙකක් මට තිබුණෙ නැහැ. ඒ වෙලාවට මං දැම්මෙ යාළුවෙකුගෙ සපත්තු දෙකක්. පස්සෙ කාලෙක මට ඒවා ලැබුණත් යමක් ‍නොලැබී ගත කරන ජීවිතේ අපහසුතාවත් අමාරුවත් අත්දැකීමත් මං හොඳින් දන්නවා.

කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා...
තවම ඉන්නවා. අදත් මං දුනු ඊතල ක්‍රීඩකයෙක්. ජාතික ශූරයෙක්. පුහුණුකරුවෙක්. පහුගිය දකුණු ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකාවේ දුනු විදීමේ කණ්ඩායමේ නායකත්වය දැරුවෙ මං. ඇත්තට ම මං ස්කොෂ් ක්‍රීඩාවට ගියේ ඉස්කෝල ජීවිතෙන් පස්සෙ. දුනු ඊතල ක්‍රීඩාව පටන් ගත්තෙ අවුරුදු 31 දි ඇමරිකාවට ගිය ගමනෙදි. ඒ ඇවිත් මං ලංකාවේ ජාතික සූරයා වෙනකොට වයස 38 යි. ක්‍රීඩාවට තිබෙන කැමැත්ත මගේ ජීවිතයට හරි සැහැල්ලුවක්.

ආගමත් එක්ක තිබෙන්නෙ කොහොම බැඳීමක්ද...
හැමදාම මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා වැඩට ආවට, මං පන්සල් බෞද්ධයෙක් නෙවෙයි. මගේ බෞද්ධකම තියෙන්නෙ මගේ ජීවත් වීම තුළ පමණයි. මම ජ්‍යෙතිෂ්‍ය හෝ හඳහන් පස්සෙ හඹා යන්නෙත් නැහැ. ‍‍

සාර්ථක පියෙක් ය කියන සතුට ඔබ විඳිනවද...
ඔව්. මගේ ලොකු පුතාට වයස 22 යි. එයා අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. ලොකු දුවට වයස 18 යි, එංගලන්තේ උපාධියක් හදාරනවා. බාලම දූට වයස 13 යි. ඒ තුන්දෙනා ම මට හුඟක් ළං වෙච්චි දරුවෝ.
උපුටා ගැනීමකි...අපි හැමෝම අපේ ජිවිතකතා අපේ අද්දැකිම් මෙහි හුවමාරු කරමු...


උපුටා ගැනීම හා විශේෂ ස්තූතිය
සුපුන් සෙනෙවිරත්න
https://mangomark.com

No comments:

Post a Comment