Translate

Tuesday, January 31, 2017

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත නැමති බාලදක්ෂයා

රුපියලක් ඉපයීමට තේ වතුවල කුලී කරන තම දුප්පත් දෙමාපියන් කොපමණ වෙහෙසෙන්නේ දැයි රතිඤ්ඤා කරලට, නිලාකූරට ලොබ බදින වයසේදීම ඔහු හැදින සිටියේය. අවුරුදු කාලයේ තාත්තා කැටුව කොටුවේ කඩයට ගිය විට අතුරා ඇති රතිඤ්ඤා යායෙන් ඈත්වී සිටින්නැයි හැමවිටම තාත්තා ඔහුට නියෝග කළේ, මුදල් දී ගන්නට බැරි දෙය සගවා ගන්නට ඔහුට සිතේදෝයි තාත්තා තුළ ඇති වූ සැකයෙනි.


එයින් වසර තිහ හතළිහකට පසුව වුව තාත්තා කියාදුන් මේ පාඩම ඔහුට අමතක වූයේ නැත. ධනය ද බලයද ඉතා පහසුවෙන් ම අත්පත් කොට ගත හැකි මාර්ග ඔහු ආසන්නයෙන්ම වැටී තිබියදීත් ඒවායේ නොගැලී ඒ අයථා මුදල් ඉපයීම්වලට එරෙහිව අරගල කරන්නට ඔහුට හයියක් තිබුණේය.


පෝද්දල ජයන්ත යන නමින් කා අතරත් ජනපි‍්‍රය පත්තරකාරයකු සහ මාධ්‍ය වෘත්තීය සමිති නායකයකු වූ ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කීකරු නොවීමේ වරදට ආණ්ඩුවේ දැඩි උදහසට ලක්විය. ආණ්ඩුවේ මැරයෝ ඔහුගේ ඇගිලි තලා, පොලූ පහර දී දෙකකුල් කඩා, ඔහු සදාකාලික ආබාධිතයකුගේ තත්ත්වයට පත්කොට නොමරා ඉතිරි කළහ.


2011 වසරේදී ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් 2009 සහ 2010 වසරවලට අදාළව පිරිනැමූ ඨසදඉකැ ෂබඑැරටරසඑහ සම්මානය පෝද්දලට පිරිනැමූ අතර, එය රටවල් එකසිය අසූ දෙකකින් ඉදිරිපත් වූ නාමයෝජනා අතරින් තෝරා ගැනීම විශේෂයකි. දකුණු ආසියාවේ එතෙක් සිදුවූ ලොකුම මූල්‍ය වංචාව ලෙස සැලකෙන කෝටි 1300 ක් වූ වැට් බදු වංචාව, රාජ්‍ය ආයතනයක සේවය කරමින් හෙළිදරව් කිරීම මෙම සම්මානයට හේතු පාඨ විය. වසර පහකට වැඩි කාලයක් ඇමරිකානු රජයේ රැකවරණ ලබමින් සිටි පෝද්දල ජනවාරි 08 වනදා රටේ සිදුවූ වෙනසින් පසු තම මව්පියන් දකින්නට පැමිණි කෙටි සංචාරයේදී අප හා සංවාදයකට එක්විය.


සමාජ සාධාරණය වෙනුවෙන් අරගල කිරීම ඔබේ ජීවිතයේ කොයිතරම් ඈතක සිට එන දෙයක්ද?


අපිට යන්තම් තේරෙන කාලෙදීම ඇයි අපිට මේ හිගපාඩු වෙන්නේ කියන ප‍්‍රශ්නය එනවනේ. අපි ඒකට උත්තර හොයන කොට අපිට පෙනෙන ඇහෙන දේවල් තියෙනවා.


මට මතකයි ඉස්කෝලේ නවයෙ, දහයෙ වගේ පන්තිවල ඉදිද්දි ඉස්කෝලේ සියවස වෙනුවෙන් ලොකු උත්සවයකට සූදානම් වුණා. එතකොට ඉස්කෝලේ තිබුණු පරණ ගොඩනැගිලි කඩා ඉවත් කරලා, අලූත් ගොඩනැගිලි හැදුවා. ඔය ඉදිකිරීම් වැඩවල කොන්ත‍්‍රාත් ගත්තෙත් ඉස්කෝලෙම ගුරුවරු. ඔවුන් ගොඩනැගිල්ල කඩලා ඒකේ පාවිච්චි කරන්න පුළුවන් ගඩොල් උළුවහු ළමයි ලව්ව අද්දවනවා.


ගුරුවරයෙක් කිව්ව නම් හැමෝම කිසිම ප‍්‍රශ්න කිරීමක් නැතුව ගඩොල් ඇද්ද. මට තේරුණා කොන්ත‍්‍රාත් ගත්ත ගුරුවරු අපේ ශ‍්‍රමයත් පැරණි ගොඩනැගිලි ද්‍රව්‍යත් පාවිච්චි කරන බව. ඒ වගේ කොන්ත‍්‍රාත් වැඩ කරපු ගුරුවරු අනෙක් ගුරුවරුන්ට වඩා අතමිට සරුවට ජීවත් වුණ බව මම දැක්කා. මේ විදියට මට තේරුණා අපේ නැති බැරිකම පූරුවෙ කරුමයක් නෙවෙයි කියලා. මගේ අම්මා තාත්තා තේ වතුවල කුලියට වැඩ කරපු මිනිස්සු. ඔවුන් රුපියලක් හම්බ කළේ හරියට මහන්සි වෙලා. හතර පෝයට සිල් ගත්ත බෞද්ධයෝ නොවුණාට ඒ මිනිස්සු හරිම සාධාරණ විදියට ජීවත් වුණේ.
පුංචි කාලේ කඩෙන් බඩු ගේන්න ගියාම ඉතිරි සල්ලි දෙනකොට ශත විසි පහක්, පනහක් වැඩිපුර ලැබුණොත් අපි ඒක කඩචෝරු කන්න තියා ගන්න හිතුවට තාත්තා එහෙම කරන්න දුන්නේ නැහැ. ඔහු ඒ වැඩියෙන් දීපු කීිය හරි ආයේ අපි අතේම කඬේට යැව්වා. ඔවුන් ඉතා වෙහෙස මහන්සි වෙලා සාධාරණ විදියට උපයන මිනිස්සු වුණත් හැමදාම කරදර වි`දිමින් තමයි ජීවත් වුණේ.


මේ ප‍්‍රශ්න කිරීමටද ඔබ මාධ්‍යයට සම්බන්ධ වෙන්නෙ?


මම ඒ වෙද්දී ජනාධිපති පදක්කම්ලාභි බාල දක්ෂයෙක්. ඒත් ඒ දක්වා යනතුරුත් මට බාලදක්ෂ යුනිෆෝම් එකක් තිබුණෙ නෑ. මම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් ජනාධිපති බාලදක්ෂ පදක්කම ගන්න ගියෙත් යාළුවෙකුගෙන් ඉල්ලගත්ත යුනිෆෝම් එකක් ඇඳගෙන. උසස් පෙළ විභාගෙට ලියද්දිම ගෙදර ආර්ථීක ප‍්‍රශ්න නිසා මම හිටියේ මොනම හරි රස්සාවක් සොයා ගන්න උවමනාවෙන්. ඒ අතරේ ලංකාදීපේ වාහන හදන ගරාජ් එකක වැඩ කරපු මිත‍්‍රයෙක් මට රංජිත් විජේවර්ධන මහත්තයා ගැන කියලා ඔහුගේ ලිපිනය දුන්නා.

මම මගේ විස්තර ඔක්කොම කියලා රැකියාවක් ඉල්ලලා ලියුමක් දැම්මා. ඒ ලියුමට උත්තර ලැබුණා. ඒ අනුව මම උසස්පෙළ විභාගය අවසාන වුණු දවසේ හවසම ගිහිල්ලා රංජීත් විජේවර්ධන මහත්තයා හම්බ වුණා. මට මුලින්ම ලැබුණේ ලංකාදීපයේ සිකියුරිටි ජොබ් එකක්. මම එතන වැඩ කරන ගමන් මට දැනෙන පොඩි පොඩි දේවල් ලියන්න ගත්තා. ඒවා මොනවත් පත්තරවල පළ වුණේ නැහැ. අවුරුදු දෙකකට පස්සේ ලංකාදීපයේ පරිගණක අංශයට යන්න ලැබුණා.


එතකොට පත්තරේට එන සියලූ ලිපි මට කියවන්න ලැබුණා. එයින් ලියන්න සෑහෙන්න උනන්දුවක් ඇති වුණා. මමත් ලිපි ලිය ලියා කර්තෘ අංශයට යැව්වා. පළවුණේ නැහැ. ඒ ගැන මම හිටියේ සෑහෙන කනස්සල්ලෙන්. ඔය කාලේ ලංකාදීපයේ සෝදුපත් බලන්න හිටිය වික්ටර් අයිවන් මහත්තයාගේ ඥාති සම්බන්ධයක් තියෙන ඩග්ලස් කියලා මහත්මයෙක්. ඔහු තමයි මම ලියන දේවල් දැකලා මාව රාවයට එක්ක ගෙන ගියේ. රාවයට යද්දිත් මගේ ළග තිබුණා වෙලෝනා ඇගලූම් ආයතනයේ සේවිකාවන් මුහුණු දී හිටපු සේවා ගැටලූ ගැන මම ලියපු ලියවිල්ලක්. අතුල අයියා (වික්ටර් අයිවන් මහත්තයා) මේක බලලා ඒකේ තිබුණු පොඩි පොඩි අඩුපාඩු පෙන්නවලා දීලා ආයේ හොඳට පොලිෂ් කරලා ලියාගෙන එන්න කිව්වා. ඒ ලිපිය වෙලෝනා සේවක අෙදා්නාව නමින් රාවයේ පළවුණා. එතන ඉදලා මම ලංකාදීපයේ ටයිප් සෙටින් රස්සාව කරන ගමන් රාවයට ලිව්වා


ලියන්න විශේෂ පුහුණුවක් අවශ්‍ය වුණේ නැද්ද?


රාවය තමයි මාව පුහුණු කළේ. මට තිබුණේ අහන දකින දේවල් ගැන තිබුණු වාවන්න බැරි විරෝධය පමණයි. මේවා මෙහෙම වෙන්න දෙන්න බෑ කියන හැගීම විතරයි. මම ඒ තොරතුරු ලියාගෙන ආවම රාවයේ ඒ කාලේ හිටපු විශේෂාංග කර්තෘ ගුණසිංහ හෙට්ටිආරච්චි මහත්තය තමයි මට ලියන්න වඩාම හොද විධි අත්හදා බලන්න කියලා දුන්නේ. ඔහු කියනවා වඩාම සංවේදී තැනින් පටන් ගන්න මල්ලි කියලා. මේ දේවල් තව උඩට ගන්න මතු කරලා පෙන්නන්න කියනවා. මුල් කාලේ ඔහු මගේ ලිපි මුළුමනින්ම නැවත ලියලා මට කියනවා. මම පොඩි වෙනස්කම් වගයක් කළා පොඞ්ඩක් බලන්න ඒ විදිය හොදද කියලා. මමත් හැමවිටම ලියූ මුල් ලිපියක් සංස්කරණයෙන් පසු ආ ලිපියත් සංසන්දනය කරලා ඉගෙන ගත්තා. පස්සේ කාලෙක මම සිළුමිණේ වැඩ කරද්දී තේරුණා, ජනමාධ්‍යයට පවුල් පසුබිමෙන්ම උරුමකං කියන, ජනමාධ්‍ය උපාධි පශ්චාත් උපාධි තිබුණු බොහෝ දෙනෙක්ට රාවයෙන් මට ලැබුණු ඒ ”අධ්‍යාපනය” ලැබිලා තිබුණේ නැති බව.


අතුල අයියා අපි සම්මුඛ සාකච්ඡාවට ගිහිල්ලා ආවම අහනවා ඇයි මේ උත්තරේ අහගෙන ඉදල ආවේ ඇයි? මේ විදිහට නැවත නොඇහුවේ කියලා. සමහර වෙලාවට ඒ ප‍්‍රශ්නවලට උත්තර අහන්න ආයේ යන වෙලාවල් තියෙනවා.


මොනවාහරි ප‍්‍රවෘත්තියක් ගේනවා නම් ඒකේ හැම කෑල්ලක්ම සනාථ කරන්න ඩොකියුමන්ට් එකක් තියෙන්න ඕනෑ කියලා අතුල අයියා උගන්වලා තියෙනවා. ප‍්‍රවෘත්තිවලදි ප‍්‍රශ්න කිරීමකින් තොරව කිසිවකු කියන දෙයක් බාර ගන්න එපා කියලා ඔහු කියනවා. හැමවිටම අතුරු ප‍්‍රශ්න අහන්න අපි පොළඹවනවා.


94 ඡන්දය එනකොට රාවය බොහොම ජනප‍්‍රිය පත්තරක් වුණා. ඡන්දය වෙනුවෙන් ටැබ්ලොයිඞ් රාවය විශාල වැඩ කොටසක් කළා. ඒ වෙද්දී රාවයේ මැද පිටුව අල්ල ගන්න අපි හැමෝම අතරේ තිබුණේ ලොකු තරගයක්. ලංකාදීපයේ රෑ වැඩ කරන ගමන්ම මම මාසෙට මැද පිටු දෙකක්වත් කළා. ඒක සෑහෙන ජයග‍්‍රහණයක්.


94 න් පස්සෙ ඔබ ලේක්හවුස් එකට සම්බන්ධ වෙනවා.


ඔව් ඒ වෙද්දී මම විවාහ වෙලා. අලූත් ජීවිතේ පවත්වාගෙන යන්න දුව දුව දෙපොළකින් උපයන මේ ආර්ථිකය ප‍්‍රමාණවත් නැති නිසා. මාව සිළුමිණට යොමු කළේත් අතුල අයියමයි. අලූත් රජය ඇවිත් ලේක්හවුස් පත්තරවලත් ලොකු වෙනසක් වෙයි කියලා ඒ වෙද්දි අපි හැමෝම බලාපොරොත්තු වුණා. සිළුමිණට මම එන්නෙත් රාවයෙන් ලැබූ පන්නරය සහ ඒ ජීව ගුණය ඇතිව නිසා සිළුමිණෙන් හොද ඉඩක් සහ පිළිගැනීමක් ලැබුණා. කරුණාදාස සූරිආරච්චි සිඑමිණ කර්තෘ වනතුරුම යම් යම් සීමාවන් සහිතව වුවත් මගේ ලිපිවලට සිඑමිණේ ඉඩ ලැබුණා. දකුණු ආසියාවේ මෙතෙක් සිදුවූ ලොකුම මූල්‍ය වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව මා හෙළිදරව් කළේ රජයේ පුවත්පත වූ සිඑමිණ මුල්පිටුවෙන්මයි.


ඔබ වෘත්තීය සමිති කි‍්‍රයාකාරිකයෙක් වෙන්නේ ලේක්හවුස් අත්දැකීම්වලින්ද?


ඔව්. මම සිළුමිණෙන් අලූතින් පටන් ගත්ත වැඩ එක්ක සමහර සතිවල කඩලා බලන්න බැරි තරමට ලියුම් එන්න ගත්තා. ඔය අතරේ තමයි රැකියා විරහිත දරුවන්ගේ දුප්පත් රුපියල් සීයට, දෙසීයට තට්ටු කරන මහා පරිමාණ ජාවාරම් ගැන තොරතුරු මට ලැබුණේ. සිළුමිණෙන්ම දාන කුඩා ව්‍යාජ පුවත්පත් දැන්වීමක් මගින් ගුරුවරුන්, බැංකු ලිපිකරුවන් ආදී විවිධ රැකියා සදහා ඉල්ලූම්පත‍්‍ර ගෙන්වා ගැනීමට යයි පවසමින් රුපියල් පනහේ සීයේ ඉදලා රුපියල් දෙදහස් පන්සියය දක්වා මුදල් ඇණවුම් ගෙන්වා ගැනීමේ ජාවාරම, සිද්ධි ගණනාවක් හරහා මම රටට හෙළිදරව් කළා. ටෙක් ශී‍්‍ර ලංකා වැනි දැවැන්ත ආයතනවල ඉඳන් ලියුම් කවර අලවන, බිම්මල් වගා කරන බවට ඉතා කුඩා දැන්වීම් පළකරන පුද්ගලයන් දක්වා ඉතා විශාල පරාසයක මේ ජාවාරම කි‍්‍රයාත්මක වුණා. අදටත් වෙනවා. මෙසේ සති අන්ත පත්තරයක පළකරන දැන්වීමකින් රුපියල් සියයක්, දෙසීයක් හෝ පන්සීයක් බැගින් ඉතා විශාල පිරිසකගේ මුදල් මේ ජාවාරම්කරුවන් ගෙන්වා ගත්තා. මේවා හෙළිදරව් කිරීමෙන් පමණක් ඒවා නැවැත්විය හැකිවුණේ නැහැ. ඒවාට විරුද්ධව පැමිණිලි කරන්න තහනම් නියෝග ගන්නත් මට සිදුවුණා. මේ ජාවාරම්කාරයන්ගෙන් මට එල්ලවූ තර්ජනවලදී ලේක්හවුස් සභාපතිවරයා ඇතුළු ආයතනය ගත්තේ ජාවාරම්කාරයන්ගේ පැත්ත. ඔවුන් කිව්වේ මම මාධ්‍යකාරයාගේ සීමාව ඉක්මවලා යනවා කියලා. නමුත් මාධ්‍යකාරයගේ කාර්යය ඉටු කළාට පස්සේ එතැන ඉඳන් ඒ වගකීම භාරගන්න අපේ රටවල රාජ්‍ය ව්‍යුහය දියුණු වෙලා තිබුණේ නැහැ. අදටත් නැහැ. එදා දේශීය ආදායම් දෙපාර්තමේන්තු වැට් බදු වංචාව කෝටි 50 දී හෙළිදරව් කරද්දී අපේ රාජ්‍ය යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වුණාද? එහෙම නම් කොච්චර ජාතික ධනයක් රැකගන්න තිබුණද?


එදා ඒ ජාවාරම්කාරයෝ මට මරණ තර්ජන එල්ල කරද්දී මගේ දරුව පැහැර ගන්න බවට තර්ජනය කරද්දී මගේ රැකවරණයට මාධ්‍ය සංවිධානවත්, ලේක්හවුස් ආයතනයවත් ඉස්සරහට ආවේ නෑ. ඒත් රාවයේ මගේ සගයන් ඇතුඑ පිරිසක් මං වෙනුවෙන් ලේක්හවුස් එක ඉදිරිපිටට ඇවිත් උද්ඝෝෂණයක් කළා. මම වැඩකරපු සිළුමිණේ කර්තෘ මණ්ඩලයෙන් පවා ඒකට ආවේ මෙන්දක, දෙනගම සහ ප‍්‍රසන්න ෆොන්සේකා විතරයි. අනෙක් සියලූදෙනා ආයතනයේ සභාපතිට බයේ අර දැල්වල එල්ලිලා බලාගෙන හිටියා. එවක හිටිය සභාපතිවරයා කිව්වා, මම ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරලා ආයතනයට අගෞරව කරපු නිසා මාව සේවයෙන් පහ කරන්න ඕනෑ කියලා. මාධ්‍ය වෘත්තීය සමිතියේ බලය අපි අතට ගන්න අපි තීරණ කළේ මේ සිද්ධිත් එක්ක. අපි වෘත්තීය සමිතියෙ තිබුණු වාර්ෂික නිලවරණෙට ඉදිරිරිපත් වෙලා, වසර ගණනාවක් බලය අල්ලා ගෙන හිටිය පිරිස පරදවලා වාර්තාගත ජයග‍්‍රහණයක් අත්කර ගත්තා.


ඔබේ වෘත්තිය සමිති කි‍්‍රයාකාරීත්වය වෘත්තීය සුරක්ෂිතතාවයෙන් එහා සැහෙන දුරක් ගියා.


යුද්ධය පටන් ගැනීමත් එක්ක පාලකයන්ට මාධ්‍යවල කි‍්‍රයාකාරීත්වය පාලනය කරන්න අවශ්‍ය වුණා. මාධ්‍ය කරුවන් කිව්වාට බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන් ම යුද්ධයට සුබ පතන ගැටුමේ කොටස් කාරයන් වෙලා තිබුණේ. එසේ නොවුණ පිරිස මර්දනය කරන්න දැවැන්ත විදිහට ආණ්ඩුව උත්සාහ කළා. යුද්ධය උත්සන්න වෙද්දී නිරන්තරයෙන්ම මාධ්‍යකරුවන්ට තර්ජන කිරීම්, බැණ වැදීම් ආයතන ගිනිබත් කිරීම්, පැහැරගෙන යෑම් සහ ඝාතනය කිරීම් දක්වා ආණ්ඩුව ගමන් කළා.


ඒ වෙද්දී අපි සියලූ මාධ්‍ය සංවිධාන එකාබද්ධ වෙලා එකතැනකට ඇවිත් තිබුණු නිසා අපිත් ශක්තිමත් තැනක හිටියේ. මේ හැම සිද්ධියකදීම අපි ආණ්ඩුවට විරෝධය පළ කරලා ප‍්‍රසිද්ධියේ කතා කළා. සමහර සතිවලදි පිටකොටුවේ උද්ඝෝෂණ දෙකක් කරන්න සිද්ධ වුණා. මේ උද්ඝෝෂණ සහ පෙළපාලිවලදී රටේ ජනතාවට යම් අපහසුවක් වූ බවත් අපි දැක්කා. ඒත් එහෙම නොකළා නම් ආණ්ඩුවෙ උන්මත්තක කි‍්‍රයාවන්ට කිිසිදු ප‍්‍රතික‍්‍රියාවක් දක්වන්න බැරි තත්ත්වයට අපේ සමාජය ගල්ගැහෙනවා. ලසන්ත ඝාතනයට සහ සිරසට ගිනි තැබීමත් මේ රාජ්‍ය මර්දනය උපරිමයට පැමිණි අවස්ථාවක්. මීට සමාන්තරව අපිත් විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සමග එකාබද්ධ වෙලා හිටියා. මේකට නායකත්වය දුන්නේ මාධ්‍ය සංවිධාන හැටියට අපියි. ඒ නිසා රාජපක්ෂ ආණ්ඩුවේ පරම හතුරන් බවට මාධ්‍ය වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන් පත්වෙලා තිබුණා.


රජයේ මාධ්‍ය පාච්ච්වි කරමින් රජය ඉතා නින්දිත ලෙස අපි කොටින්ගේ සල්ලිවලින් යැපෙන පිරිසක් බවට ප‍්‍රචාරය කළා. අපි කොටින්ගෙන් සල්ලි අරගත්තු කතාව විචාරශීීලීව නොසිතන ජනතාව විශ්වාස කරන්න ඇති. මගේ දරුවගේ පාසලේ ගුරුවරු මගේ දරුවගෙන් මේ ගැන අහන්න ගත්තම දරුවා ඉස්කෝලෙ යෑම අත්හරින්න තීන්දු කළා. අපිට ගෙදර ඉන්න බැරි විදහට ආණ්ඩුව විවිධ ක‍්‍රමවලින් තර්ජනය කළා. අපිට ගෙවල් දාලා ආරක්ෂක නිවාසයකට යන්න උණා. දෙනගම සිරිවර්ධන සහෘදයා දරුවගේ ඉස්කෝලේට ගිහිල්ලා විදුහල්පතිනියට සහ ගුරුවරුන්ට කතා කරලා නැවත දරුවට පාසල් යන්න පුළුවන් වාතාවරණය හදලා දුන්නා. අපිත් හැකි හැම උත්සාහයක්ම දරමින් මර්දනයට මුහුණ දෙමින් කෙළින් ඉන්න උත්සාහ කළා.


නමුත් සියල්ල පුපුරා ගියා.


ඔව්. වරක් ආරක්ෂක ලේකම් ගෝඨාභය මටත් සනත් බාලසූරියටත් එන්න කියලා පණිවුඩයක් එවලා තිබුණා. ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර ඔහුගේ වාහනයෙන් ම අපි ඒ සාකච්ඡාවට එක්ක ගෙන යන ගමන් කිව්වේ කියන දෙයක් අහගෙන ඉන්න. කතා කරන්න යන්න එපා කියලා. ඒත් සාකච්ජාවට එන්න කිව්වාට ගෝඨාභය අපිට වාඩිවෙන්නවත් කිව්වේ නෑ. ඔහු කිසිම චාරෙකට නැති විදිහට අභූත චෝදනාවලින් අපිට දමලා ගැහුවා. පළමු චෝදනාව වුණේ ඉක්බාල් අතාස් වෙනුවෙන් අපි උද්ඝෝෂණය කළත් ඔහුගේ යුද තොරතුරු වාර්තා නිසා යුද්ධය පරදිනවා කියන එක. දෙවැන්න අපේ උද්ඝෝෂණ නිසා අධිකරණය පරමේෂ්වරී නිදහස් කළාය කියන එක. අපි මේ චෝදනා ප‍්‍රතික්ෂේප කළා. ඉදිරි යුද සැලසුම් සකස් කරන මේසයේ අතාස් නැත්නම්, ඔහුට තොරතුරු යන මාර්ගය වසා ගැනීම විනා, නොලියන ලෙසට ඔහුට තර්ජනය කිරීම විහිළුවක් බව අපි කිව්වා.


අධිකරණය පරමේෂ්වරී නිදහස් කළේ ඇයට විරුද්ධව කිසිදු විධිමත් චෝදනාවක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවට බැරිවුණ නිසා මිස අපේ උද්ඝෝෂණ නිසා නොවෙයි. එහෙම නම් අපි තව තවත් අධිකරණයට ඉදිරිපිට උද්ඝෝෂණ කරන්නම් තව කොච්චර රිමාන්ඞ් එකේ ඉන්නවාද කියලා අපි කිව්වා. ගෝඨාභයට හොදටම තරහා ගියා. ඔහු කිව්වේ අපි මොන අප්පලාට ජාතක වෙලාද දන්නෑ කියලා.


අපේ අම්මා තාත්තා දුප්පත් මිනිස්සු උණාට ඒගොල්ලෝ මැදමුලනේ වළං හෝදන්න ආවේ නෑ කියලා මම කිව්වා. සාකච්ඡාවට කිව්වාට ඒ බැණ වැදිල්ල අහන්න අපි සූදානම් නැති බව කියලා අපි නැගිටලා ආවා. ඒ වෙලාවේ ඔහු කිව්වා එහෙනම් වෙන දේ බලා ගමු කියලා. අපි ඇහුවා ඔබද අපිට කරන්නේ කියලා. ඔහු කිව්වා අපි කරන්න ඕනෑ නෑ. අපි ජනතාවට කියන්නම් ජනතාව බලා ගනියි කියලා. රටේ ජනතාව ඔහු ළඟ දණින් වැටෙද්දී අපි ඔහුට අවනත නොවීම ඔහුට උහුලන්න බැරිවුණා.


ඔබට කළ දරුණු පහර දීම ඒ කේන්තියේ ප‍්‍රතිඵලයක්ද?


ඔහු කිව්වා වගේම දිගින් දිගටම ඔහු අයි.ටී.එන් එකේ ප‍්‍රවෘත්ති විමසුම, විපරම වාගේ ඒවායින් අපිට අභූත චෝදනා කළා. මගේ අහිංසක තාත්තා කාලයක් යනකම් කඬේට හන්දියට නොගිහින් හිටියා, මේ අයිටීඑන් එකේ කියන දේවල් අහලා මිනිස්සු ඒ ගැන කතා කරනව අහගෙන ඉන්න බැරිව. ඒ වගේම මාව පැහැර ගත්ත වෙලාවේ මාගේ බිරිද පැමිණිල්ල දාන්න මිරිහාන පොලිසියට ගියාම, පොලීසිය පැහැර ගත්ත කෙනාව සොයන්න යවනවා වෙනුවට මා පැහැර ගත් පුවත සැපයූ කෙනා සොයන්න තමයි ජීප් එක යවලා තිබුණේ.


මම පැහැර ගත් තැන ඉදලා අත් ඇරලා දාලා තිබුණු තැනට යන්න තියෙන මාර්ගය වැටිලා තියෙන්නේ අධි ආරක්ෂිත කලාපය හරහා. ඒ කාලේ සියලූ වාහන පරීක්ෂා කරනවා. ආරක්ෂක ලේකම්ගේ, පොලිසියේ දැනුවත් බවකින් තොරව ඒ පැහැරගෙන යාම ඒ තරම් හොදින් කළ හැකි බව මම හිතන්නේ නෑ. ඒ සමස්ත සිද්ධියේදීම පොලිසිය, ආණ්ඩුවේ මාධ්‍ය ඒ සියලූ දෙනා වැඩ කළ විදියෙන් මගේ අනුමානය, සැකය තහවුරු වෙනවා. අනෙක මේ වෙනුවෙන් පැවති උසාවි කි‍්‍රයාමාර්ගයේදී මගේ පාර්ශ්වයට උසාවියේ පෙනී සිටින්න කිසිම අවස්ථාවක් දුන්නේ නෑ. මං වෙනුවෙන් කිසිම සාක්ෂියක් කැදවීමක් කළේ නෑ.


දැන් ඔබ ඇමෙරිකානු පුරවැසියෙක්ද?


පොලූවලින් ගහලා මිනිහෙකුගේ කකුල් කඩලා මම ලියන්න පාවිච්චි කළ ඇඟිලි තලලා සදාකාලික ආබාධිතයෙක් කරලයි රාජපක්ෂ ආණ්ඩුව මගෙන් පළිගත්තේ. මම දවස් 29 ක් තිස්සේ රෝහලේ වැසිකිළියට එක්ක ගියේ වාඩි කළේ සේදුවේ මගේ බිරිද. මේ සිද්ධියෙන් පස්සේ අපිට කවුරුත් කුලියට ගෙයක් දුන්නේ නෑ. ගෙවල් ගන්න ගිහින් අත්තිකාරම් දීපුවා ආයේ රිටර්න් කළා, ගෙදරට එන්නේ මම බව දැනගත්තම. මම ඒ තරම් නරක මිනිහෙක්ද? මම දේශද්‍රෝහියෙක්ද?


අනු ගණන්වල ඉදලාම මම ලියපු දේවල් මට පෙන්වන්න පුළුවන්, මේ රටේ මිනිස්සුන්ගේ ප‍්‍රශ්න කොච්චර මම ලිව්වාද? රාජ්‍ය ආයතනවල දූෂණ වංචා ගැන ලිව්වාද? ඒ මිනිහා කොහොමද දේශද්‍රෝහියෙක් වෙන්නේ.


ජේ.සී. වැලිඅමුණ මහතාගේ මැදිහත්වීමෙන් තමයි මට රැකවරණය පතා ඇමරිකාවට යන්න කටයුතු යෙදුණේ. ඇමෙරිකාව ලෝක බලවතෙක් විදියට රටවල් හූරාකෑවා කියලා කියනවා වෙන්න ඇති. ඒත් ඇමෙරිකාවේ ඉන්න කිසිම මිනිහෙකුට ඒ රට මෙහෙම කරන්නේ නෑ. දැන් අවුරුදු පහක් මම එහේ ජීවත් වුණා. කිසිම දවසක ඒ රට අපිට වෙනස් කොට සලකලා නෑ. අපි ආසියාතිකයෝ නිසා අපිට මොකුත් නොදී ඉදලා නෑ. මම වැඩ කරන තැන මිනිස්සු, මගේ ආයතන ප‍්‍රධානියා ඒ හැමෝම මගේ ප‍්‍රශ්නේ දැනගත්තම පුදුම වෙනවා. ලෝකෙ එහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලා. පැහැරගෙන යාම ඇමරිකාව වගේ රටවල සැලකෙන්නේ ඉතාම බරපතළ වරදක් හැටියට. පැහැරගෙන යෑමෙන්, උන් මට කළ දරුණු වදදීම්වලින් මම අදටත් තැති ගන්නවා. නිව්යෝක්වල ඉදගෙනත් පොඩි සද්දයක් ඇහුණම මම බලන්නේ ජනෙල් තිරේට අස්සෙන්. නිව්යෝක්වලදීත් පාරේ සුදුවෑන් එකක් දැක්හම මම පේමන්ට් එකෙනුත් එහාට පනිනවා. මගේ කකුල්වලට දාපු යකඩ පතුරුවල වේදනාව හැම ශීත කාලේදීම දරුණුවටම විදිනවා. ඒ නිසා ඒ අපරාධය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ අපරාධකාරයන්ට දඬුවම් දෙන්න තියන උවමනාව මම අත්හරින්නෙත් නෑ.

විශේෂ ස්තූතිය
ravaya.lkට

No comments:

Post a Comment