Translate

Thursday, September 1, 2016

වෛද්‍ය රුවන් එම්. ජයතුංග නැමති බාලදක්ෂයා

මම මුලින්ම පෝතක බාලදක්‍ෂයෙකු වූයේ 1974 වසරේදීය. එවකට මා සිටියේ දෙකේ පන්තියේය. බාලදක්‍ෂ අචාර්‍යවරු අප ආකේලා ලෙස හැඳින්වූයෙමු. අපට බාලදක්‍ෂ විෂය ඉගැන්වීමට ගුණරත්න ආකේලා , ගුණපාල ආකේලා සහ විජේසිංහ ආකේලා වූහ. මින් විජේසිංහ ආකේලා පසුව ඇමරිකාවේ පදිංචියට ගියාය. මේ ආකේලාලාට අමතරව සෙනෙවිරත්න සර් ද වූයේය. එසේම ප්‍රකට බාලදක්‍ෂ ආචාර්‍යවරයෙකු වූ මැල්කම් සර් ද වරක් ආවා මතකය. 


පෝතක බාලදක්‍ෂයන් ලෙස අප මීරිගම බාලදක්‍ෂ පුහුණු කඳවුරට ගියෙමු. එසේම සර්වෝදයටද ගියා මතකය. බාලදක්‍ෂ වැඩ සතියට අප කාණ්ඩ වශයෙන් නිවෙස් වලට ගොස් වැඩ කර මුදල් උපයා දුන්නෙමු. ඉහල පන්ති වලට ගිය විට මම බාලදක්‍ෂයෙකු වූයෙමි. බාලදක්‍ෂයෙකු ලෙස මම වාර්ශික විහාර මහ දේවී උද්‍යානයේ පවත්වන කඳවුරු වලට මෙන්ම අතුරුගිරිය (1979) හැටන් (1981) ගාල්ල (1982) කඳවුරු මෙන්ම 1983 අනුරාධපුරයේ පැවති ලෝක බාලදක්‍ෂ ජම්බෝරියටද සහභාගී වූයෙමි. 1979 අතුරුගිරිය කඳවුර පවත්වන ලද්දේ ජනාධිපති බාලදක්‍ෂයෙකු වූ මිලින්ද පීරිස් ගේ නායකත්වයෙනි. ඔහු වර්තමානයේ යුද හමුදාවේ ජෙනරාල්වරයෙකි. 

1981 හැටන් කඳවුරට අප බාලදක්‍ෂයන් පස් දෙනෙකු දුම්‍ රියෙන් හැටන් වෙත ගොස් තේ වත්තක කඳවුරු ගැසුවෙමු. තනිව ඉවීම් කරන ලද්දේ අප විසිනි. තනිව තමන් ගේ වැඩ කර ගැනීමට අප පුහුණු වූයෙමු. එසේම අප පා ගමනින් නෝටන් බ්‍රිජ් වෙතද ගියෙමු. එකල අට වසරේ සිටි අප නන්නාඳුන පළාතකට ගොස් කඳවුරු දිවිය ගත කිරීම අද කාලයේ ළමුන්ට කල හැකිද කියා මම සිතමි. 

1982 ගාල්ල කඳවුර පවත්වන ලද්දේ රිච්මන්ඩ් විද්‍යාලයට අයත් වූ රජෙස්කන්ද නම් ස්ථානයේ ය. අපට උපකර සඳහා රිච්මන්ඩ් විද්‍යාල බාලදක්‍ෂයන් ද ආහ. මින් එක් බාලදක්‍ෂයෙකු වූ නීලාංග ලියනගේ අද දිනයේ ඇමරිකාවේ ප්‍රකට විශේෂඥවරයෙකි. මෙම කඳවුරෙන් පසුව අප පිලියන්දල මධ්‍ය මහා විදුහලේ තිබූ කඳවුරකටද සහභාගි වී කඳවුරු දෙකකට සහභාගි වීමේ වාර්තාවක් තැබුවෙමු. 

1983 අනුරාධපුරයේ පැවති ලෝක බාලදක්‍ෂ ජම්බෝරියට චීනයෙන්, නේපාලයෙන්, ඉන්දියාවෙන් බාලදක්‍ෂයන් සහභාගි වූහ. මෙම ජම්බෝරියේදී මට ආනන්ද විද්‍යාලයේ බාලදක්‍ෂයෙකු වූ කුසල් මෙන්ඩිස් හමු විය. කුසල් වර්තමානයේ සම්පත් බැංකුවේ පරිගණක නිලධාරියෙකි. ඒ කාලයේ දී අප කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවෙන් පැමිණි බාලදක්‍ෂයෙකු ලෙස හඳුන්වා දුන්නෙමු. කුසල් ගේ කාල වර්ණ බවත් බොකුටු කොණ්ඩයත් නිසා ඔහු දකුණු අප්‍රිකාවෙන් කියා බොහෝ දෙනෙකු සිතූහ. පසුව කුසල් සිංහලෙන් කතා කොට තම අනන්‍යතාව ඔප්පු කරන ලදි. 

බාලදක්‍ෂ ජීවිතය අර්ථ සම්පන්නය. එය ජීවිතයට එලදායි අන්දමින් බල පවත්වයි.

සටහන
වෛද්‍ය රුවන් එම් ජයතුංග

No comments:

Post a Comment