Translate

Wednesday, February 6, 2013

අමරණීය කතා ලියූ ඉන්දියාවේ සුදු මහත්තයා රඩ්යාඩ් කිප්ලිං



ජෝශප් රඩ්යාඩ් කිප්ලිංගේ මතක අතර රසවත්ම මතකයක් වූයේ පලතුරු වෙළෙඳ සලට ඔහුත්, සොයුරිය ඇලිස්, රැගෙන යන ආයම්මා පැවසූ රසවත් කතන්දරයි. ගිනි ගහන දවාලේ කෙටි නින්දකට පෙර ඇය පැවසූ ඉන්දියානු ජන කතා ඔහු අසා සිටියේ වශීකෘතවය. පියාගේ කලාගාරයේ සිතුවම්, අඹන ලද රූ දකින රඩ්යාඩ්ගේ පුංචි සිතට අදහස් ගලා ආවේය.



රාත්‍රියට මඳ පවනින් ඒ මේ අත නැලවෙන කෙසෙල් කොළවල හඬත්, තුරු ගොමු අතරේ සිට ගෙම්බන් නඟන හඬත් ඔහුට සංගීතයක් විය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය රඩ්යාඩ් කිප්ලිං නම් ලෝක පූජිත සාහිත්‍යධරයා බිහිවීමයි.

ජෝශප් රඩ්යාඩ් කිප්ලිං උපත ලැබුවේ එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ඉන්දියාවේ බොම්බේ නුවරයි. ඔහුගේ නිර්මාණශීලිත්වය වැඩි දියුණු වීමට භාරත දේශයේ උපත ලැබීම ප්‍රධානම හේතුවකි. ඔහුගේ පියා ලොක්වුඩ් කිප්ලිං, ප්‍රතිමා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ මහාචාර්යවරයකු විය.



රඩ්යාඩ්ගේ භාරත දේශයේ සොඳුරු අත්දැකීම් සමඟ සතුටින්, විනෝදයෙන් ගෙවුණු ළමා විය කෙළවර වූයේ අධ්‍යාපනය ලැබීම සඳහා බ්‍රිතාන්‍යයට යාමට සිදු වූ නිසයි. ඔහුටත්, සොයුරියටත් නතර වීමට සිදු වූයේ හොලෝවේ කපිතාන්වරයාගේ නිවෙසේයි. හොලෝවේ කපිතාන්ගේ බිරිය ඉතා සැර පරුෂ තැනැත්තියක් වූ අතර, රඩ්යාඩ් ඇයගේත්, ඇයගේ පුතුගේත් දෝෂාරෝපණයට, ගුටි බැටවලට නිරන්තරයෙන්ම ලක් විය. මේ අසුන්දර වටපිටාවෙන් ඈත්වීමට ඔහු ‘රොබින්සන් කෲසෝ’, ‘ද මූන්ස්ටෝන්’ වැනි සාහිත්‍ය කෘති, විශිෂ්ට ගණයේ පද්‍ය ග්‍රන්ථ කිය වූයේය.

වසරකට වරක් රඩ්යාඩ්ට ලන්ඩනයේ පදිංචි මවගේ සොයුරියගේ නිවෙසේ නතර වීමට ලැබුණි. එම කාලය ඔහුට වසරකට වරක් ලැබෙන ලොතරැයි වාසනාවක් බඳු විය. ඒ නිවෙස සකල කලාවන්ට තෝතැන්නක් විය. හොලෝවේ නිවෙසේ සාමාජිකයන් සහ පාසලේ ගුරුවරුන් රඩ්යාඩ්ගේ ඇස් පෙනීමේ ගැටලුව කුඩා කාලයේ හඳුනා නො ගැනීම නිසා වයසින් වැඩෙත්ම, ඔහුට කණ්නාඩි නැතිව කිසිවක් නොපෙනෙන තත්ත්වයට ඇස් දුර්වල වී පැවැතුණි.

පාසල් සඟරාවේ කර්තෘවරයා වූයේ ඔහුය. 1881 දී ඔහු ලියූ ‘ස්කූල්බෝයි ලිරික්ස්’ මවුපියන් විසින් මුද්‍රණය කරන ලදී.



අධ්‍යාපනය නිම කළ රඩ්යාඩ් කිප්ලිං, ඉන්දියාවට පැමිණියේය. යළිත් ඔහුගේ ජීවිතයට සතුට ළඟා විය. ඔහු සිය වෘත්තීය ජීවිතය ඇරැඹුවේ ඇන්ග්ලෝ ඉන්දියානු ‘සිවිල් ඇන්ඩ් මිලිටරි ගැසට්’ පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ ලෙසිනි. රඩ්යාඩ්ට පැය දහයකට වැඩි කාලයක් සේවය කිරීමට සිදු වූ අතර, එය පසුව ඔහුගේ ස්නායුවලට බලපෑවේය. ඔහු කුඩා කල සිට රෝගී දරුවෙකි.

රඩ්යාඩ් වාර්තාකාරයකු ලෙස සේවය කිරීමට ගත් පසු ඉන්දියාවේත්, අමෙරිකාවේත් විවිධ ප්‍රදේශවල සංචාරය කිරිමට සිදු විය. ඔහු තමා ලද අත්දැකීම් රචනා, කෙටි කතා හා කාව්‍ය නිර්මාණවලට වස්තු බීජ කර ගත්තේය. ‘ද මෑන් හූ වුඩ් බී කිං’ (1888), ‘ගන්ගා දින්’ (1890), ‘ප්ලේන් ටේල්ස් ෆෙ‍්‍රාම් ද හිල්ස්’ (1888) වැනි ගද්‍ය, පද්‍ය, කෙටි කතා නිර්මාණ රැසක් එකල ඔහුගේ පෑන් තුඩින් එළි දැක්විණි.

1892 දී රඩ්යාඩ්, කැරොලීන් බැලෙස්ටියර් සමඟ යුග ජීවිතය ඇරැඹූහ. දෙදෙනාට දරුවන් තිදෙනකු සිටි නමුත්, දහ අට විය සැපිරීමට හැකි වූයේ ඉන් එක් දියණියකට පමණි. බිරියගේ මරණයෙන් පසු බර්වොෂ්හි පිහිටි නිවෙස කිප්ලිංට ගෞරව පිණිස කෞතුකාගාරයක් බවට පත් කරන ලදී.

රඩ්යාඩ් කිප්ලිං නොබෙල් සාහිත්‍ය සම්මානයකට හිමිකම් කී ප්‍රථම ඉංග්‍රීසි ලේඛකයාය. 1907 දී ඔහු නොබෙල් සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ එම සම්මානයට හිමිකම් කී ළාබාල පුද්ගලයා බවට පත් වෙමිනි. අදටත් එම වාර්තාව නොබිඳී පවතී.

‘ද ජන්ගල් බුක්’ (1894), ‘කිම්’ (1901), ‘ද මෑන් හූ වුඩ් බී කිං’ (1888), ‘මන්ඩාලේ’ (1890), ‘ඉෆ්’ (1910) ආදී අමරණීය සාහිත්‍ය කෘති ගණනක්ම ඔහු විශ්ව සාහිත්‍යයට එක් කර තිබේ.

පළමු වෙනි ලෝක යුද්ධය ඔහුගේ සාහිත්‍ය නිර්මාණවලට මෙන්ම පෞද්ගලික ජීවිතයට ද විවිධාකාරයෙන් බල පෑවේය. ඔහුට සිය එකම පුතු ජෝන් අහිමි වූයේ, ලෝස් යුද්ධයේදීය. ‘මයි බෝයි ජැක්’ කාව්‍යයට එම මරණයේ අත්දැකීම පාදක විය. ඔහුගේ ‘ජන්ගල් බුක්’ ළමා කතා එකතුව කිහිප වරක්ම සිනමා පටයට නැගුණි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් ඔහුගේ ‘ජන්ගල් බුක්’ සහ ‘කිම්’ තම ව්‍යාපාරයේ බොහෝ තේමාවන්ට මුල් කර ගත්තේය.

රඩ්යාඩ් කිප්ලිං යනු කෙතරම් ලෝක පූජිත ලේඛකයකු ද යන්න පණ්ඩිත් ජවහර්ලාල් නේරු තුමාගේ ප්‍රියතම කෘතිය ‘කිම්’ වීමෙන්ම පැහැදිලි වේ.





අන්තර්ජාලයෙනි

චම්පිකා දීපානි රණසිංහ 

Source : Dinamina 2011/06/30

No comments:

Post a Comment