Translate

Tuesday, February 25, 2014

ෂර්ලොක් හෝම්ස්


ෂර්ලොක් හෝම්ස් 

19වන සියවස අග භාගයේ හා විසිවන සියවස මුල් භාගයේ ලියැවුණු ජනප්‍රිය රහස් පරීක්ෂක කතාවකි. එක්සත් රාජධානියේ විසු ආතර් කොනන් ඩොයිල් නම් ලේඛකයා විසින් රචිත මෙම කතා මාලාව එවකට මෙන්ම අද ද ඉතා ජනප්‍රිය කතා මාලාවකි. එහි ප්‍රධාන චරිත දෙකක් හමුවේ. එකක් ෂර්ලොක් හෝම්ස් නම් රහස් පරීක්ෂක චරිතයයි. අනෙක ඔහුගේ මිතුරු දොස්තර ජෝන් එච්. වොට්සන් නම් චරිතයයි. මෙහි එන බොහෝ කතා දොස්තර වොට්සන් විසින් පවසන කතාන්දර වන අතර සමහර ඒවා හොම්ස් විසින්ම වාර්තා කරන ලද ඒවා ලෙසින් ඇත. කෙටි කතා 56කින් හා නව කතා 4කින් යුක්ත වන ලෙස ඩොයිල් මෙම කතාව නිර්මාණය කර ඇත.
ෂර්ලොක් හෝම්ස් යනු නිරීක්ෂණ වලින් නිගමන වලට එළඹිය හැකි සුවිශේෂි දක්ෂතාවයකින් යුතු පුද්ගලයෙකි. ඔහුගෙන් බ්‍රිතාන්‍ය රජ පවුල පවා ආධාර උපකාර ඉල්ලූ අවස්ථා ඇත. ෂර්ලොක් හෝම්ස් බොහෝ අවස්ථාවල රහස් පරීක්ෂණ කටයුතු වල නිරත වන්නේ තම මිතුරු ‍දොස්තර වොට්සන් සමගය. නිර්භය පුද්ගලයෙකු වන දොස්තර වොට්සන් ද ‍ෂර්ලොක් හෝම්ස් ගේ පරීක්ෂණ වලට තම කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි. ලන්ඩනයේ බේකර් විදියේ අංක 221B නිවසේ එකටම නැවතී සිටින මොවුන් දෙදෙනා සොයා එංගලන්තයේ නන් දෙසින් විවිධ සමාජ පන්තිවල පුද්ගලයින් පැමිණේ. කෙසේ හෝ තම සේවා දායකයාගේ ප්‍රශ්නය විසඳා දිමට ෂර්ලොක් හෝම්ස් උත්සහ දරයි. ස්කොට්ලන්යාඩ් රහස් පොළීසියේ රහස් පරීක්ෂක වරුද ෂර්ලොක් හෝම්ස් ගෙන් උදව් ගන්නා අවස්ථා කොතෙකුත් ඇතත් එම පරීක්ෂණය විසඳා අවසන් වූ පසු එහි ගෞරවය හෝම්ස් භාරගන්නේ නැත. එහෙත් එහි සත්‍ය කතාව පසුකළෙක පාඨකයාට ඉදිරිපත් කිරීමට හෝම්ස් වොට්සන් ට අවසර දෙයි. හෝම්ස් කිසිවිටෙක පරීක්ෂණයක් භාරගන්නේ මුදල් බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් මුදල් ලබා ගත හැකි තැනදී මුදල් ලබා ගැනීමට ඔහු පසුබට නොවේ. (අබිරහස් ළමා කොල්ලය)
"නැගිටින්න වොට්සන් නැගිටින්න. සෙල්ලම පටන් අරගෙන. ප්‍රශ්න අහන්න වෙලා ගතකරන්න එපා. ඇදුම් මාරු කරගන්න. අපි වහාම පිටත් වෙමු." (Adventure of the Abbey Grange - මහරෑ ආ මාරයා)
ෂර්ලොක් හොම්ස් ශීත ඍතුවේ හිම වැටෙන පාන්දරක, තම හිතමිතුරු දොස්තර වොට්සන් අවදි කරගන්නේ එලෙසයි. අවුරුදු විසිතුනක් තිස්සේ සහෝදරයන් මෙන් එකට අපරාධ පරීක්ෂණයේ යෙදුනු, ලන්ඩනයේ පාතාල ලෝකය සෙලවූ මේ මිත්‍රයින් දෙදෙනාගේ වතගොත බොහෝය.
මේ දෙදෙනා ගැන විස්තර ලියන සටහන් කරුවාට සිදුවන්නේ විසදාගත නොහැකි ගැටලු වලට මුහුණ දීමටයි. මෙවැනි විස්තරයක් සැකසීමේදී අනිවාර්යෙන්ම අපේ මූලාශ්‍ර වන්නේ දොස්තර වොට්සන් විසින් පළකොට ඇති වාර්තාය. එහෙත් මේ දොස්තර මහතා දින වකවානු ගැන සදහන් කරන්නේ ඉතා නොසැලකිලිමත් අන්දමිනි. යම් සිද්ධියක් වූයේ අසවල් අවුරුද්දේ යයි ඔහු කීවත්, ඒ ගැන විශ්වාසයක් තැබීමට අපහසුය.
ඊට හොද නිදසුනක් වන්නේ ඔහුගේ විවාහය සිදුවූ අවුරුද්ද, දොස්තර වොට්සන්ට හරිහැටි මතක නැත. ඔහුට මුල් වරට මේරි මෝස්ටන් මෙනවිය හමුවූයේ 1888 ගිම්හාන ඍතුවේ අගභාගයේ හෝ සරත් ඍතුවේ මුල බවට සැකයක් නැත. එහෙත් පසුකාලීන කතාවල, තමාගේ විවාහය සිදුවූ මාසය ලෙස වොට්සන් වෙනස් මාස දෙකක් සදහන් කරයි. එමෙන්ම 1888 වසන්ත ඍතුවේ සිදුකළ පරීක්ෂණයක් ගැන විස්තර කරද්දී ඔහු පවසන්නේ තමා මේරි හා විවාහ වී, බේකර් වීථියෙන් ඉවත්ව වෙනම පදිංචියට ගියපසු එය සිදුවූ බවයි. තවත් කථාන්තරයක බිරිද ගෙදර නැති දවසක හෝම්ස් හමුවීමට යන වොට්සන්ට, පරීක්ෂණයකට සහභාගී වීමට ඉඩ සැලසේ. නමුත් එහි දින වකවානු, වොට්සන්ට මේරි මෝසටන් හමුවීමට අවුරුද්දකටත් පෙර ඒවාය.
දින වකවානු ගැන කියද්දී ෂර්ලොක් හෝම්ස්ගේ මතකය, තම මිතුරාගේ මතකයටත් වඩා අවුල් සහගතය. ඔහු අපරාධ පරීක්ෂණ වෘත්තියෙන් විශ්‍රාම ගත් පසු, පරීක්ෂණ දෙකක වාර්තා තමාම ලියයි. මෙම සිද්ධිවලට තමා සහභාගී වූයේ තනිවම බව ඔහු සදහන් කරයි. ඊට හේතු ලෙස දක්වන්නේ, තම මිත්‍ර වොට්සන් විවාහ වී බිරිද සමග ජීවත් වීමට බේකර් වීථියෙන් පිටත්ව යෑම බව ඔහු සදහන් කරයි. හෝම්ස් දක්වා ඇත්තේ මේ පරීක්ෂණය 1903 දී සිදුවූවක් බවයි. (කළණ මිතුරා - Blanched Soldier). ඇත්තෙන්ම එම අවුරුද්ද වන විට වොට්සන්ගේ බිරිද මියගොස් අවුරුදු 10ක් ගතවී ඇත. ඔවුන්ගේ වාර්තා වල ඇති මේ පර්ස්පර විරෝධී බව නිසා වොට්සන් තුන්වරක් වත් විවාහ වී ඇති බව විචාරකයෝ අනුමාන කරති.
ෂර්ලොක් හෝම්ස්ගේ උපත 1854 දී සිදුවී ඇතැයි විශ්වාස කළ හැක. (ෂර්ලොක් හෝම්ස් ඔබෙන් සමුගන්නා 1914 පරීක්ෂණයේදී හෝම්ස් වයස 60ක් වූ මදක් කුදු ගැසුනු පුද්ගලයෙකු යයි වොට්සන් පවසයි.) හෝම්ස් උපන්නේ එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ යයි විශ්වාස කිරීමට බොහෝ සාක්ෂි ඇත. එයින් එකක් නම් ජෝන් ඕපන්ෂෝගේ සපත්තුවේ තැවරී තිබුණු පස්වල ස්වභාවය අනූව,(බිහිසුණු අතුදැකීමක් - Five Orange Pipes) ඔහු සසෙක්ස් ප්‍රාන්තයේ හෝෂාම් සිට පැමිණි බව නිගමනය කිරීමයි. මීට අමතරව පස්වල වර්ණය අනූව ඔහුට හදුනාගත හැකි වූයේ විග්මෝර් කැපැල් කාර්යාලය අසලදී වොට්සන්ගේ සපත්තුවේ තැවැරුණු පස් පමණි. (සිව්රහස් සලකුණ - The Sign of Four) හෝම්ස් අපරාධ පරීක්ෂණ වෘත්තියෙන් විශ්‍රාම ගෙන, සසෙක්ස් ප්‍රාන්තයේ පදිංචියට යෑමට තීරණය කළේ ද සමහරවිට එය ඔහුගේ ගම් ප්‍රදේශය නිසා විය හැකියි.
එංගලන්තයේ බොහෝ පවුල්වල පිරිමි දරුවන්ට නම් තබන්නේ ජෝජ්, එඩ්වඩ්, ජේම්ස් ආදී  පොදු නම්ය. එහෙත් හොම්ස් පවුලේ පුතුන් දෙදෙනාට නම් තැබීමේදී මේ සම්ප්‍රදායෙන් බැහැරවී, ෂර්ලොක් හා මයිකොෆ්ට් නම් දුර්ලභ  නම් දෙකක් යොදා ඇති බැව් පෙනේ. තමන්ගේ ආච්චි, ප්‍රංශ ච්ත්‍රශල්පියෙකු වූ වර්නට්ගේ සොයුරියක  බව වරක් හෝම්ස් සදහන් කළේය. ඒ හැරෙන්නට ඔහුගේ  මව පියා හෝ මුතුන් මිත්තන් ගැන කිසිදු සදහනක් නැත.
ෂර්ලොක් හෝම්ගේ අයියා මයික්‍රොෆ්ට්, නිරීක්ෂණ මගින් නිගමනයන්ට එළඹීමට මල්ලීටත් වඩා දක්ෂයෙකි. එහෙත් තරබාරු සිරුරක් තිබූ ඔහු, තරමක අලසයෙකු බව හැගේ. පදිංචි වී සිටි තැන සිට වයිට්හොල්හි තම කාර්යාලයටත් ඩයොජිනීස් සමාජශාලාවටත්, අයියාගේ ජීවිතය සීමා වූ බව ෂර්ලොක් හොම්ස් පවසයි.(භාෂා පරිවර්තකයා-Greek Interpreter) එහෙත් එක් වරක් ඔහු ලෞදර් ආරුක්කුවේ සිට වික්ටෝරියා දුම්රියපොළ දක්වා අශ්ව කරත්තයකින් වොට්සන් රැගෙන ආවේය.(අවසන් ගැටළුව-Final Problem) ඊට අමතරව 1891 දී රයිෂන්බාක් මල්ලව පොරයෙන් පසු, බේකර් වීථියේ නිවහන අවුරුදු 3ක් රැකබලා ගත්තේද මයික්‍රොෆ්ට් විසිනි.
ෂර්ලොක් හෝම්ස් මුල් කාලයේ ඉගෙනීම ලැබුවේ කුමන පාසලකදැයි සදහන් නොවේ. එහෙත් කුඩා කාලයේ ඔහුට ගණිතය 'ටියුෂන්' දුන්නේ මහාචාර්ය මොරියාට් විසින් යයි සමහර නිරීක්ෂකයෝ පවසති. අධ්‍යාපනය ලැබීමට හෝම්ස් විශ්වවිද්‍යාලයකට ඇතුළු වූ බව නම් සැබෑය. එහෙත් ඒ සරසවිය ඔක්ස්ෆර්ඩ්ද කේම්බ්‍රීජ්ද යන්න පැහැදිලි නැත. සරසවියේ මුල් වසරේදී වික්ටර් ට්‍රෙවෝගේ බල්ලා තම කකුල සපා කෑ බැව් හොම්ස් සදහන් කරයි. (මරුකැදවූ ලියුම - Gloria Scott) සරසවිය කුමක් වුවත් ඔහු උපාධිය නොලබාම අවුරුදු දෙකකට පසු සරසවිය හැරදමා ගියේය.
ලේ පැල්ලම් ගැන විශ්වාසදායක පරීක්ෂණයක් සොයාගැනීමට හොම්ස් සාන්ත බර්තොලමියු රෝහලේ පර්යේෂණයක් පවත්වයි. මෘත ශරීරාගාරයේ, කාය ව්‍යවච්ඡේද කාමරයේ එම විද්‍යාවන් හදාරයි. මළසිරුරු වලට වේවැලෙන් පහරදී එයින් ඇතිවෙන ප්‍රතිඵල පිරික්සයි. එහෙත් වෛද්‍යවරයෙකු වීමට ඔහුට උවමනාවක් නැත.
1880 වෙද්දී තමා මෙතෙක් කල් නේවාසිකව සිටි මොන්ටේගු වීථියේ නවාතැනෙන් ඉවත්වී යාමට හෝම්ස් තීරණය කරයි. අලුත් නවාතැනකට ගොස් අපරාධ පරීෂණ වෘත්තිය වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම ඔහුගේ අරමුණයි. මේරි මෝස්ටන් මෙනවිය හොම්ස් හමුවීමට එන්නේ 1888දීය. ඒ අවුරුද්දක් පාසා ඇයට තැපෑලෙන් ලැබෙන මුතු ඇට ගැන රහස හෙළිදරව් කරගැනීමටත්, එදින රාත්‍රියේ ලයිසියම් නෘත්‍යශාලාව වෙත කර තිබුණු කැදවීම ගැන උපදෙස් ලබා ගැනීමටත්ය. ඔවුන් වෙත පැවරෙන ත්‍රාසජනක කටයුත්තක් සදහා පිටත්ව යන අතර වොට්සන් කලබලයට පත් වෙයි. මේරි මෝස්ටන් සමග කරන කතාබහකදී ඔහු, තමා ඇෆ්ගනිස්තානයේ කළ වික්‍රම සිහිපත් කරයි. එක් මැදියම් රැයකදී ව්‍යාඝ්‍රයෙකු තමාගේ කූඩාරමට හිස දමා බැලූ බවත් තමා ඌට කාණු දෙකේ තුවක්කුවකින් වෙඩිතබා මැරූ බවත් වොට්සන් පවසයි.
දොස්තර වොට්සන් සමග ගතකළ දිවියේ කම්කටොලු ගැන සිහිකරන විට, මේරි මෝස්ටන් ආදර්ශවත් බිරිදක් බව පැහැදිලිවේ. ඔවුන් විවාහ වූ වර්ෂය වොට්සන්ට අමතක බව අපි කලින් ද සදහන් කලෙමු. ඇෆ්ගන් යුද්ධයේදී ජසායිල් උණ්ඩයක් වැදී තුවාල වුයේ ඔහුගේ උරහිසටද, කකුලටද යන්න ඔහුට අමතකය. එහෙත් එය වරින් වර වේදනා දෙයි. හෝම්ස්ගේ විකුමාන්විත ගමන් සදහා වොට්සන් කැදවද්දී, බිරිදගෙන් කිසිදු විරුද්ධත්වයක් නොමැතිව ඔහුට යෑමට ඉඩ ලැබේ. 1888 දී විවාහ වී එම වසරේම පැඩිංටන්හි වෛද්‍ය චිකිත්සකාගාරයක් ඇරඹුවත්, 1889 දී සියල්ල හැරදමා හෙන්රි බැස්කවිල් සමග ඩෙවොන් ප්‍රදේශයට ගොස් එහි සති කීපයක් ගත කිරීමට වොට්සන්ට බාධාවක් නැත. මේරි වොට්සන් මහත්මිය 1893 දී මිය ගිය ශෝකජනක පුවත, දොස්තර වොට්සන්ගේ වාර්තාවලින් හෙළිවේ.   
අපි මේ සදහන් කල සියල්ලෙහිම මැවුම් කරුවාණන් වන්නේ සර් ආතර් කොනන් ඩොයිල්ය. 1886දී කොනන් ඩොයිල් විසින් රචනා කරන ලද A Study in Scarlet(ලොහිත පරීක්ෂණය) කතාව ඔහු පුවත්පත් සහ සගරා විශාල ප්‍රමාණයකට යවා තිබිණි. නමුත් ඒ සෑම ප්‍රකාශන ආයතනයකින්ම ප්‍රතික්ෂේප වූ මෙම කතාව, පොත් රාක්කයේ මුල්ලකට දැමීමට පෙර අවසාන වශයෙන් "වොඩ් ලොක්" ප්‍රකාශන ආයතනයට යවනු ලැබීය. සතියක් පමණ ගතවුනු තැන ශ්‍රීමත් ඩොයිල්ට වොඩ් ලොක් වෙතින් තැපැල් පතක් ලැබුණි. "ඔබ විසින් එවන ලද A Study in Scarlet සදහා මෙවර නත්තල් කලාපයේ ඉඩ වෙන් කළ නොහැකිය. ලබන වසරේ නත්තල් කලාපයේ එය පළ කිරීමට අපි කැමැත්තෙමු. ඒ සදහා ඔබේ අදහස අපට දන්වන්න." ලෙස එහි සදහන්ව තිබිණි. එය දුටු ශ්‍රීමත් ඩොයිල්ට මහත් දුකක් දැනිණි. ඒ තම කතාව පළ වනු දැකීමට තවත් වසරක්ම බලා සිටීන්නට සිදුවන නිසාය. පසු දිනම වොඩ් ලොක් ආයතනයට ගිය ශ්‍රීමත් කොනන් ඩොයිල් ඔවුන්ගේ අවශ්‍යතාවයට අනූව මෙම රහස් පරීක්ෂක කතාවේ පූර්ණ අයිතියම ඔවුන්ට පවරා දී තිබේ. ඒ සදහා 1886 වසරේ ඔහු ලද මුදල පවුම් 25කි.
ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ 1859 මැයි මස 22 වන දින ස්කොට්ලන්තයේ එඩ්ංබ්‍රෝ නගරයේය. චිත්‍ර ශිල්පී චාල්ස් ඇල්ටමොන්ට් ඩොයිල් ඔහුගේ පියා වූ අතර මව වූයේ මේරි ෆොලේ ඩොයිල්ය. 1855 වසරේ විවාහ දිවියට එළැඹි ඔවුන්ගේ පළමු දරුවා වූයේ ආතර්ය. පියාගේ අධික බීමත්කම නිසාම ඔහුගේ මව, පියා අතහැර යන විට ආතර්ගේ වයස අවුරුදු 5 වූවා පමණි. නමුත් 1867 දී එනම් ආතර්ට වයස අවුරුදු 8 දී විසිරී ගිය පවුල යළි එක් විය.
එතැන් පටන් ඔවුන් ජීවත් වූයේ චාල්ස් ඩොයිල් විසින් කුලියට ගන්නා ලද අපිරිසිදු කුඩා නිවාස වලටය. කුඩා ආතර් ක්‍රිස්තියානි භක්තිකයෙකු වූ අතර ඔහු පාසල් අධ්‍යාපනය සදහා පාසලට ඇතුළත් වීමට පෙර සිය නමට ක්‍රිස්තියානි නමකින්ද කොටසක්ද එකතු කර ගත්තේය. ඔහු බෞතීස්ම වූයේ "ආතර් ඉග්නේෂස් කොනන්" නමිනි. අවුරුදු 9 දී රෝමානු කතොලික සභාවට අයත් පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ඔහු 1870 සිට 1875 දක්වා කාලයේ අධ්‍යපනය ලැබුවේ ස්ටෝනිහර්ස්ට් පාසලෙනි. 1876 දී ඕස්ට්‍රේලියාවේ ස්ටෙලා මැටියුටිනා ද්වීතීක පාසලෙන් අධ්‍යාපනය ලැබ එඩින්බර්ග් විශ්ව විද්‍යාලයට ඇතුලු වූයේය. ඒ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සදහාය. 1881 දී වෛද්‍ය උපාදිය ලැබ ඉන් පිටවුනු ආතර් බර්මිංහෑම් සහ ශේරාප්ෂයර් ප්‍රාන්ත වල  පෞද්ගලික බෙහෙත් ශලාවක් පවත්වාගෙන ගියේය.
රෝගීන් රහිත බෙහෙත් ශාලාවේ පාළුව නැතිකර ගැනීම සදහා ඔහු කෙටි කතා ලිවීමට පටන් ගත්තේය. ඔහු අතින් ලියැවුණු පළමු ප්‍රබන්ධ කතාව "The Haunted Grange of goresthope" නම් විය. නමුත් එය සාර්ථක කෙටි කතාවක් වූයේ නැත. පසුව ලියන ලද "The Mystery of Sasassa Valley " නම් කෙටි කතාව 1879 සැප්තැම්බර් 6 වන දින "Chamber's Edinburgh Journal" සගරාවේ පළ විය. එය රහස් පරීක්ෂක කතාවක් ලා සැලකිය නොහැකි වූ කෙටි කතවෙක් බව ආතර් පසු කාලයකදී පවසා තිබේ. වෛද්‍ය වෘත්තියෙත් ප්‍රබන්ධ කතාවත් සමව කරගෙන ආ ඔහු 1855 දී ආචාර්ය උපාදිය ලබා ගත්තේය.
            තම දිගුකාලීන රෝගියෙකුගේ නෑ සබදකම් මත හදුනාගත් ලුවිස් හෝකින්ස් සමග ආතර් විවාහ වූයේ 1885 දීමය. විවාහයෙන් එකළොස්වන වසරේදී එනම් 1906 දී ක්ෂය රෝගය වැළදී ඇය මිය ගියාය. 1897 වසරේ දැන හදුනාගත් ජින් එලිසබෙත් ලෙකී නම් කාන්තාව ඔහුගේ බිරිද බවට පත් වූයේ 1‍907 දීය. 1940 දී ඇයද මිය ගියාය. පළමු විවාහයෙන් මේරි සහ කිංග්ස්ලි යන දරුවන්ද දෙවන විවාහයෙන් ඩෙනිස්, ඒඩ්‍රියින් සහ ජින් යන දරුවන් පස් දෙනෙකුට පියෙකු වූ ආතර් ජනතාව අතර ගෞරවයට පාත්‍ර වූ වෛද්‍යවරයෙකු නොවීය. ලන්ඩනයේ ඩෙවන්ෂයර් පෙදෙසේ අංක 2 නම් වෛද්‍ය ඩොයිල්ගේ බෙහෙත් ශාලාව වැඩිවශයෙන් පාළුවට ගොස් තිබූ ස්ථානයක් විය. ඒ නිසාම ඔහු වැඩි වශයෙන් ප්‍රබන්ධ කතා ලිවීමට පටන් ගත්තේය. ඔහුගේ පෑනින් බිහිවූ අති දැවැන්ත ප්‍රබන්ධ කතා මාලාව වූයේ "ෂර්ලොක් හෝම්ස්" රහස් පරීක්ෂක කතා පෙළයි. ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ එන ප්‍රධාන චරිතය වූ ෂර්ලොක් හෝම්ස් නම් පෞද්ගලික රහස් පරීක්ෂකයා නිසා ශ්‍රීමත් ආතර කොනන් ඩොයිල් මුළු ලෝකයේම වැසියන්ගේ අවධානයට පාත්‍රවිය. ෂර්ලොක් හොම්ස් නම් වන චරිතය ගොඩනැගීම සදහා අඩිතාලම වැටුනේ ශ්‍රීමත් ආතර් ඒඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරන සමයේ උපකල්පන සහ නිරීක්ෂණ මගින් නිගමනයට එළැඹීමටත් අසාමාන්‍ය ලෙස සැගව ඇති තොරුතුරු අනාවරණය කර ගැනීමටත් මනා නිපුණත්වයක් තිබූ මහාචාර්ය ජොසප් බෙල්, ආතර්ගේ හිත ඇද බැද ගත්තෙකි.
            මහාචාර්ය බෙල්ගේ ක්‍රමවේදය අධ්‍යනය කල ආතර් මහාචාර්ය වරයා දෙස බලා ෂර්ලොක් හෝම්ස් චරිතය ගොඩනැගුවේය. මෙම රහස් පරීක්ෂකයා සදහා පළමුව ඔහු යෙදූ නාමය වූයේ "ෂෙරිංෆඩ් හෝස්"ය. නමුත් එය ජනතාව අතරට නොයනු ඇති බව උපකල්පනය කළ ඔහු එකල ජනප්‍රිය ක්‍රීඩකයෙකු වූ "ෂර්ලොක්"ගේ නම මේ සදහා භාවිත කිරීමට තීරණය කර ගන්නා ලදී. "හොම්ස්" යනු අපරාධ පරීක්ෂණ විද්‍යාවේ පුරෝගාමී පුද්ගලයෙකි. මේ දෙදෙනා එක්කොට "ෂර්ලොක් හෝම්ස්" නමින් මෙම දැවැන්ත චරිතය නම් කරන ලදී. හෝම්ස්ගේ සහයකයා ලෙස මෙම කතා මාලාවේ ප්‍රධානතම කාර්යයක් ඉටු කරන දොස්තර ජේම්ස් වොට්සන් ද මනක්කල්පිතව නිර්මාණය වූවකි. නමුත් විචාරකයන්ගේ අදහස් වලට අනූව දොස්තර ජේම්ස් වොට්සන් යනු දොස්තර ආතර් කොනන් ඩොයිල්මය.
ෂර්ලොක් හොම්ස් කතා ජනතාව අතර ප්‍රචලිත වීමත් සමග වෛද්‍ය ආතර්ට තම බෙහෙත් ශාලාව කරගෙන යාමට තරම් විවේකයක් ලැබුණේ නැත. එය සම්පූර්ණයෙන්ම වසා දැමූ ඔහු ෂර්ලොක් හොම්ස්ගේ අත්අඩංගුවට පත්වෙමින් දිගින් දිගටම ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂක කතා ලියන්නට විය. ඒ සදහා කිබූ පඨක ඉල්ලුම නිසාම ප්‍රසිද්ධ සගරා සහ පුවත්පත් වල කතුවරුන් මෙම වෛද්‍ය ලේකකයා සොයාගෙන පැමිණ ෂර්ලොක් හෝම්ස් කතා වැඩි වැඩියෙන් ඉල්ලා සිටියහ. බේරෙන්නට බැරිම තැනට පත් වූ පසු දිනක් ඔහු සගරාවක කතුවරයෙකුට මෙසේ කීවේය "මට පවුම් 1000ක් දෙනවානම් මම කතා දුසිමක් ලියලා දෙන්නම්." පවුම් 1000ක් යනු ඇදහිය නොහැකි තරම් මුදලක් වන නිසා එදායින් පසුවවත් පාඩුවේ වැඩක් කරගන්නට හැකි වේ වයි සිතා වෛද්‍යවරයා සතුටු විය. දින 3ක් ගතවෙන්නටත් පෙර ඔහුට තැපැල් පතක් ලැබිණි. එහි සදහන් වූ දෙයින් ඩොයිල්ගේ දෑස් නැවතුනේ නළලේය. "ඔබේ ගනුදෙනුවට අපි කැමැත්තෙමු. ෂර්ලොක් හොම්ස් කතා දුසිමක් ලියා රැගෙන පැමිණ ඔබේ මුදල රැගෙන ලබාගන්න." එදා පටන් ඔහුට දිගින් දිගටම ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂක කතප්‍රෙබන්ධ කිරීමට සිදු විය.
මේ ආකාරයට දීර්ඝ ෂර්ලොක් හොම්ස් කතා 4ක් ද කෙටි ෂ්ර්ලොක් හෝම්ස් කතා 56ක් ද රචනා කළ ඔහු ඉන් ඔබ්බටද විශාල කතා ප්‍රමායක් ප්‍රබන්ධ කර තිබිණි. කවි පොත් 2ක් ද කෙටි කතා 12ක් ද පුබන්ධ 50කට අධික සංඛ්‍යවක්ද කවි සංකල්ප 70කට අධික සංඛ්‍යවක්ද ඔහු අතින් බිහි විය. මේ සෑම කතාවකදීම පඨකයන්ගේ රසවින්දනය වැඩි වූවා මිස අඩු වූයේ නැත. යම් යම් අවස්ථාවල ඩොයිල් අතින් සිදුවූ  අඩුපාඩුද පාඨකයන්ගේ රසාස්වාදයට හේතු වී තිබිණි. ඔහු දොස්තර වොට්සන් පිළිබදව හදුන්වා දුන් එක් අවස්ථාවක ලියා තිබුණේ මයිවාඩ් නගරයේ පැවති යුද්ධයේදී සතුරන්ගේ ජසායිල් පතරොම් තුවක්කු වලින් පිටවුනු වෙඩි උණ්ඩවලින් වොට්සන්ගේ උරහිස දරුණු ලෙස තුවාල වූ බවයි. නමුත් පසුව ලියන ලද ෂර්ලොක් හොම්ස් කතාවක ඔහු සදහන් කර තිබුණේ ජසායිල් උණ්ඩය වැදී හානි වූයේ වොට්සන්ගේ දකුණු කකුල බවයි. එමෙන්ම ඔහු විවිධ අවස්ථා වල වොට්සන් හදුනා නම් කර ඇත්තේ විවිධ නම් වලිනි. 'ජොන් වොට්සන්' 'ජේම්ස් වොට්සන්' 'ජොන් එෆ් වොට්සන්' ආදී ලෙසය. ඔහුගේ නොසැලකිලමත් බව නිසාද පාඨකයා ලැබුවේ මහත් වින්දනයකි. වෛද්‍යවරයෙකු වුවද "උපකල්පනය මත නිගමන වලට පැමිණීම" නම් වූ ක්‍රමවේදය මත ඔහු මරණ දණ්ඩනය නියම වූ අහිංසකයන් විශාල පිරිසක් ඉන් මුදවා ගත්තේය. ඔහු ඒ සෑම අවස්ථාවකදීම භාවිත කළේ මහාචාර්ය ජොස්ප් බෙල් ගේ නැතහොත් ෂර්ලොක් හොම්ස්ගේ ක්‍රමවේදයයි.
1899 දෙසැම්බර් වන විට දකුණු අප්‍රිකාවේ පැවැති බොයර් යුද්ධය ඉතා උග්‍ර තත්වයකට පත්වී කිබිණි. තවදුරටත් එංගලන්තට වී ලේඛන කලාව වෙත අවධානය යොමු කිරීමට ආතර් කොනන් ඩොයිල්ට නොහැකි විය. ඔහු යුධ පෙරමුණට යාමේ අරමුණෙන් හමුදාවට බැදීමට ඉල්ලුම් කළේය. එහෙත් යුධ පුහුණුවක් නොතිබුණු නිසා ඔහුගේ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප විය. පසුව කොනන් ඩොයිල් යුධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍යයරයෙකු ලෙස සේවය කිරීමට අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්ලුම් කළේය. මේ අනූව ඔහුට වෛද්‍යෙස්වය සදහා දකුණු අප්‍රිකාවට යාමට අවසර ලැබිණි. 1900 අප්‍රේල් මාසයේදී බ්ලොම්ෆොන්ටේන් හි දරුණු ලෙස පැතිර ගිය උණසන්නිපාතය හා පාචන රෝගය මර්ධනය කිරීම සදහා දොස්තර කොනන් ඩොයිල්ගෙන් විශාල මෙහෙයක් ඉටුවිය. ඔහුගේ මෙම සේවය අගයනු වස් බ්‍රිතාන්‍ය රජු විසින් පිරිනමන ලද නයිට් පදවියක්ද සමග ඔහු 'ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්' නම් විය.
1900 ජූලි මාසයේදී එංගලන්තයට ආපසු ඒම සදහා ඩොයිල් කේප්ටවුන් වරායෙන් නැව් නැග්ගේය. විශිෂ්ඨතම ෂර්ලොක් හොම්ස් කථාන්තරය සදහා පදනම වැටුනේ 'බ්‍රිටන්' නම් මේ නෞකාව තුළදීයි. 'ඩේලි නිවුස්' පුවත්පතේ යුධ පුවත් වාර්තා කිරීම සදහා දකුණු අප්‍රිකාවට ගිය තරුණ පුවත්පත් වාර්තාකරුවෙකු වූ බර්ට්‍රම් ෆ්ලෙවර් රොබින්සන් මෙම නෞකාවේම ආපසු එංගලන්තය බලා එමින් සිටියේය. නැවේදී හමුවූ කොනන් ඩොයිල් - රොබින්සන් දෙදෙනා අතර, දැඩි මිත්‍රත්වයක් ඇති විය.
එංගලන්තයට ආපසු පැමිණි පසු දෙදෙනා අතර සුහද බව වඩාත් තහවුරු විය. 1901 අප්‍රේල් මාසයේ දී කොනන් ඩොයිල් රොබින්සන් සමග ඩෙවොන්ෂයර් ප්‍රෙද්ශයේ නිවාඩුවක් ගත කිරීමට ගියේය. එය රොබින්සන්ගේ උපන් ගමයි. ඩාට්මුවර් විල්ලුවේ මඩගොහොරු වල විසූ සුනඛ අවතාරයක් ගැන පැවැති කටකතාව ඩොයිල්ට මුලින්ම අසන්නට ලැබුනේ ෆ්ලේවර් රොබින්සන්ගෙනි. ඩොයිල් සිය මවට යැවූ ලිපියක මේසේ සදහන්වේ. "ආදරණීය අම්මේ, අපේ අලුත්ම ෂර්ලොක් හොම්ස් කථාන්තරය සම්බන්ධයෙන් මමත් රොබින්සනුත් මේ දිනවල ඩාට්මුවර් විල්ලුව ගවේෂණය කරමින් සිටින්නෙමු. දැන් පොතේ භාගයක් ලියා අවසන්. මං හිතන්නෙ ඒක හොද සාර්ථක පොතක් වේවි. මේකෙ හොම්ස්ගේ දක්ෂකම් විශිෂ්ඨ ලෙස දැක්වෙනවා. මෙය අද්භූත නවකතාවකට උච්තම වස්තුවක්. මේ ගැන මම රොබින්සන්ට ණයගැතියි. අපි විල්ලුව පුරා හැතැක්ම 14ක් පමණ සංචාරය කලා. විල්ලුව හිතේ භයක් ඇතිකරවන මහා විශාල ප්‍රදේශයක්. මෙහි තැනින් තැන ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ සොහොන් බිම් හා ගල් ගෙවල් දකින්න ලැබෙනවා."
මේ ගමන් වලදී ඔවුනට ප්‍රාග් ඓතිහාසික ගලගුහා ඇති 'ගීම්ස් පවුන්ඩ්' පැරණි වාසභූමියක් වූ 'මෙරිපිට්' සහ 'සුනඛ කදු පර්වතය' ගැන අසන්නට ලැබෙන්න ඇති. තම මිතුරා සෑම තැනකම රැගෙනගොස්, රොබින්සන් ඔහුට හොද මග පෙන්වන්නෙකු වූවා නිසැකයි. 'ස්ට්රෑන්ඩ්' සගරාවේ මුල් වරට පළවෙද්දිත්, ඉන් අනතුරුව පොතක් වශයෙන් මුද්‍රණය වෙද්දිත් ඒ ගැන මෙසේ සදහන් කිරීමට කොනන් ඩොයිල් අමතක නොකලේය.
ලන්ඩනයේදී 221B බේකර් වීදියට ෂර්ලොක් හෝම්ස්ගෙන් උපදෙස් ගැනීමට ස්කොට්ලන්ඩ් යාඩ් පොළීසියේ රහස් පරීක්ෂකයන් නිතර පැමිණියහ. ලෙස්ට්‍රේඩ්, ටෝබියස් ග්‍රේසන්, බ්‍රැස්ට්‍රීට් හා ස්ටැන්ලි හොප්කින්ස් යන නම් කොනන් ඩොයිල් විසින් නිතරම සදහන්කරයි. ඔවුන් අපරාධ පරීක්ෂකයන් ලෙස පුහුණුව ලබා තිබුණද, අපරාධ පරීක්ෂණය විද්‍යවක් ලෙස හදාරා නැති නිසාම ඔවුන්ගේ උපකල්පන හෝම්සගේ නිරීක්ෂණ මගින් නිගමන වලට එළැඹීමේ හැකියාව නිසා බැදවැටෙයි. මේ තුළින් කොනන් ඩොයිල් අපරාධ පරීක්ෂණය සදහා විද්‍යාත්මක ක්‍රම යොදාගැනීමේ අවශ්‍යතාවය ලොවට මැනවින් අවබෝධ කරදී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ මේ කථා පළවීමට පටන් ගත්තේ 'හාපර්ස් වික්ලි' සගරාවේ 1901 අගොස්තු 31 කලාපයේ සිටයි. කථාවේ අවසානය දැනගැනීමට නොඉවසිල්ලෙන් සිටි පාඨකයෝ, අභිරහස විසදෙන ආකාරය පිළිබදව අනාවැකි හා නොයෙක් උපකල්පන ඉදිරිපත් කිරීමට පටන් ගත්හ. ඔවුහු ඒවා කොනන් ඩොයිල් වෙත ලියා එවූහ.
"මේවා ඔක්කොම ලෙස්ට්‍රේඩ්ල ග්‍රෙසන්ල විසින් ඉදිරිපත් කරන තලෙ උපකල්පන" කොනන් ඩොයිල් කීවේ සිනාමුසු මුහුණෙනි.
'අවසන් ගැටළුව' පරීක්ෂණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, බොහෝ දෙනෙකුගේ මතය වූයේ දිගින් දිගටම ෂර්ලොක් හෝම්ස් කථා ලියා ඩොයිල් වෙහෙසට පත්වී ඇති බවයි. එය සම්පූර්න සත්‍යයම නොවේ. සගරා සංස්කාරක වරුන් නියමිත දිනය පෙර ෂර්ලොක් හොම්ස් කථා ලියා සම්පූර්ණ කර දෙන මෙන් බලකරන්නට පටන්ගත් පසු, ඩොයිල් වෙහෙසට පත්වූ බව සැබෑය. එහෙත් ඉංග්‍රීසි සාහිත්‍යයේ ජනප්‍රියම චරිතයක් නිර්මාණය කරන්නට ලැබීම ගැන ඔහු අතිශයින්ම සතුටට පත් විය.
කෙසේ වෙතත් ඔහු වඩාත් ප්‍රිය කළේ ඓතිහාසික හා සම්භාව්‍ය ගණයේ ග්‍රන්ථ රචනා කිරීමටයි. මෙවැනි කෘති නිර්මාණය සදහා කාලය බොහෝ සෙයින් මිඩංගු කළ යුතු විය. ඉතිහාස පොත් දීර්ඝ ලෙස විමර්ෂණය කිරීමට සිදුවිය. එම කටයුතු වලට ෂර්ලොක් හොම්ස්ගෙන් දිගින් දිගටම බාධා පැමිණෙන්නට විය. අවසානයේදී හොම්ස් මරා දැමීමට ඩොයිල් තීරණය කලේය.
1893 අගොස්තුවේදී ඔහු සිය බිරිද සමග ස්විට්සර්ලන්තයේ සංචාරයක් සදහා ගියේය. ඉංග්‍රීසි ජාතික සයිලස් හොකිං දේවගැතිතුමා සහ තවත් හිතවතුන් සමග 'ෆින්ඩලෙන්' ග්ලැසියරය නැරඹීමේ චාරිකාවටද ඩොයිල් සහභාගී වූයේය. පයින් වෘක්ෂ වනාන්තරයක් මැදින් ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ කතාබහ යොමුවූයේ ෂර්ලොක් හොම්ස් දෙසටයි.
"මගේ රහස් පරීක්ෂණ කථාවලින් මට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණු බව ඇත්තයි. ඒ වුනත් මට හිතෙනවා මීට වඩා සාර්ථක සාහිත්‍ය කෘති නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා කියල. එවැනි දෙයක් මා නොකලොත් මිනිසුන් මාව හදුන්වාවි, ෂර්ලොක් හෝම්ස් නිර්මාණය කළ ලේඛකයා කියල. එකෙන් මට සෑහීමකට පත්වෙන්න බෑ "
කතා බහ කරමින් ඔවුහු ග්ලැසියරය මුදුනටම ගමන් කළහ. සම්පූර්ණයෙන්ම මිදී, ඝන හිම පර්වතයක් බවට පත්ව තිබූ ගංගාව තරණය කළ පසු කථාව යළි ඇරැඹිනි.
"ඔබ ඔහුට කැමැති වුනත් අකමැති වුනත් ෂර්ලොක් හෝම්ස් ඔබට රත්තරන් ආකරයක් වුණා. එහෙම නේද කොනන් ඩොයිල් මහත්තයා? " හොකිං දේවගැති තුමා ඇසීය.
"ඒක වෙන්න පුළුවන්. නමුත් මේ අවුරුද්ද අවසානයේ මං ඔහුව මරා දමනවා." ඩොයිල් පිළිතුරු දුන්නේය.
"පිස්සු වැඩක්නෙ ඔබ ඔය කරන්න හදන්නේ"
"එහෙම නොකලොත් හෝම්ස් මාව මරාවි"
හිමකදු මුදුනේ සිට පහතට වැටී තිබුණු ප්‍රපාතය නරඹමින් ඔවුහු තවදුරටත් කතාබස් කළහ.
"ඔබ කොහොමද හෝම්ස් මරන්න බලාපොරොත්තු වෙන්නෙ?" හොකිං ඇසීය.
"මං දන්නෙ නෑ. මං තවමත් ඒ ගැන අවසන් තීරණයකට ඇවිත් නෑ."
භයානක මෙන්ම අන්ධකාර බවක් ඉසිලූ ප්‍රපාතය දෙස මද වේලාවක් බලා සිටි දේවගැති තුමා මෙසේ කීවේය.
"ඇයි ඉතින් හෝම්ස්ව හෙහේ එක්ක එන්නෙ නැත්තෙ. මේකට තල්ලු කරල දැම්මා නම් ඔහු ඉවරයි. අවමගුල් උත්සවයට යන වියදමත් ඉතුරු වෙනව."
"හා.. හා.. හා... ඒ අදහසත් නරක නෑ" ආතර් කොනන් ඩොයිල් පිළිතුරු දුන්නේ කොක් හඩලා සිනාසෙමිනි.
කෙසේවෙතත් හොම්ස්ගේ අවසානය සදහා ඔහු තොරගත්තේ ෆින්ඩලෙන් ග්ලෙසියරය නොවේ. සති කීපයකට පසු කොනන් ඩොයිල් ස්විට්සර් ලන්තයේ මෙරින්ජන් සිට හොකිං දේවගැති තුමාට තැපැල් පතක් එව්වේය.
දේවගැතිතුමනි,
            ෂර්ලොක් හෝම්ස් රයිෂන්බාක් දිය ඇල්ලෙන් පහළට දැම්මා.
                                                                   ආතර් කොනන් ඩොයිල්.
අන්තරාය අඩවියක හෙවත් අවසන් ගැටළුව කථාවෙහි රයිෂන්බාක් දිය ඇල්ල අසල මහාචාර්ය මොරියාට් සමග සිදුවූ පොරබැදීමෙන් දිය ඇල්ලෙන් පහළට වැටී ෂර්ලොක් හොම්ස් මියගිය පුවත ඇසූ පාඨකයෝ ශ්‍රීමත් ආතර්ට බැණවදිමින් හඩා වැටෙන්නට විය. ඒ ෂර්ලොක් හෝම්ස් මිනීමරුවා ශ්‍රීමත් ආතර් බව පවසමිනි. ඉන් නොනැවතුනු පාඨකයන් ෂර්ලොක් හොම්ස්ගේ නවාතැන වූ බේකර් වීදියේ අංක 221B යන ස්ථානය සොයා ගියේ හොම්ස්ගේ නිසල සිරුර දාකබලා ගැනීම සදහාය. තවත් පිරිසක් ශ්‍රීමත් ආතර්ගේ නිවස වටලා සිටියේ ෂර්ලොක් හොම්ස් මැරූ පලිය ගැනීම සදහාය. මනක්කල්පිත ෂර්ලොක් හොම්ස් චරිතය ශ්‍රීමත් ආතර් නිසා ජීවමාන වූයේ ඒ අයුරිනි. කවදාවත්ම මට ෂර්ලොක් හොම්ස්ගෙන් ගැලවෙන්න ලැබෙන එකක් නෑ. ඒකට නම් මට මැරෙන්නම සිදුවේවි. වරක් ඔහු පුවත්පතකට පවසා තිබුණි.
මොරියාට් සමග පොරබැදීම නිසා ෂර්ලොක් හොම්ස් මියගිය බවට ඔහු ලියූ අවසන් කතාවත් සමග පාඨක ප්‍රතිචාර දුටු ශ්‍රීමත් ආතර් පාඨකයන් වෙනුවෙන් නැවත වරක් ෂර්ලොක් හෝම්ස්ගේ ජීවිතය බේරා ගත්තේය. ඒ "අති දක්ෂ යක්ෂයා (THE ADVENTURE OF THE EMPTY HOUSE)" නම් කතාවෙනි. අවසානයට ඩොයිල් විසින් ලියන ලද ෂර්ලොක් හෝම්ස් කතාව "ෂොස්කෝම්බ් වලව්වේ පළහිලව්ව" නමින් 1927 දී 'ස්ට්‍රෑන්ඩ්' සගරාවේ පළවූ පසු කිසිම දිනක එහි ෂර්ලොක් හොම්ස් කතා පළවූයේ නැත. ඊට පසු ලෝකයේ විවිධ කතුවරුන් විසින් ලියන ලද ෂර්ලොක් හෝම්ස් කතාන්දර ද ලොව පුරා ප්‍රසිද්ධ වන්නට විය. ෂර්ලොක් හෝම්ස් කතා මාලාව සිංහලට පරිවර්තනය කරන ලද්දේ චන්දන මෙන්ඩිස් නම් කතුවරයා විසිනි. ඊට අමතරව ඔහු විසින් ම ලියන ලද ෂර්ලොක් හෝම්ස් කතාන්දර ද පළ කෙරුණි.
දක්ෂ රහස් පරීක්ෂක කතා රචකයෙකුට අමතරව ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකුද විය. වරක් ප්‍රාන්ත අතර තරගයකදී සර් ආතර් විසින් යවන ලද ඕවරයකට පිටපිටම කඩුලු 3ක් දැවී ගියේය. මෙම හැට්‍රික් කඩුලු 3 හේතුවෙන් තරගාවලිය් වීරයාට හිමි 'Goldan Hat' සම්මානය ද ඔහුට හිමි වූයේය. විවිධ ක්ෂේත්‍ර ගනනාවක අති දක්ෂයෙකු වූ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් 20 වන සියවසේ මුල් භාගයේ ලොව ජීවත්වූ ධනවත් ලේඛකයා බවට පත්වී සිටියේය. සෑම විටම තමාගෙන් උදව් අවශ්‍ය වූවන් සදහා නොමසුරුව මුදල් ආධාර කළ ඔහු සාමාන්‍ය ජනයාගේ දුක හදුනන්නෙකු ලෙස ප්‍රචලිතවී සිටියේය. ලේකකයෙකු ලෙස තමාට ඇති ප්‍රසිද්ධියට වඩා සාමාන්‍ය ජනයාට උදව් උපකාර ලබන තෘප්තිය ඉතා ඉහළන් අගය කරන බව ශ්‍රීමත් ආතර් අවස්ථා කිහිපයකදීම පවසා තිබිණි.වසර 3ක පමණ නිහඩ ජීවිතයක් ගත කළ මේ මහා පුරුෂයා 1930 ජූලි මස 7 වැනිදා සිය පාඨක ජනතාවට නොකියාම යන්නට ගියේය. ෂර්ලොක් හොම්ස් මෙන් ඔහු නැවතත් ආවේ නැත. කිසිදාක එන්නේද නැත.
සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ලිවීම ආරම්භ කරන ලද්දේ එක්දාස් අටසිය ගණන් වල අග භාගයේදීය. ඒ කාලයේ බේකර් වීදියේ අංක තිබී ඇත්තේ 100 වන තෙක් පමණය. ඒ නිසා සර් ඩොයිල් ඔහුගේ කතාවට කල්පිත අංකයක් වූ 221B යොදා ගත්තේය. 1930 දී බේකර් වීදියේ අංක වැඩි කල පසු 219 සිට 225 දක්වා ලැබී ඇත්තේ Abbey National නැමති බැංකුවේ ගොඩනැගිල්ලකටය. එදා පටන් ලෝකයේ නන් දෙසින් හොම්ස් ට එවූ ලියුම් බැංකුව වෙත ලැබෙන්නට විය. කොපමණ ලියුම් ලැබුණාද කිවහොත් ලැබෙන ලියුම් වලට පිළිතුරු ලිවීම සදහා බැංකුවෙන් පූර්ණ කාලීන 'හෝම්ස්ගේ ලේකම්' තනතුරක් පුද්ගලයෙකුට ලබාදී තිබුණි. අද අපි දකින හෝම්ස්ගේ නිවස හෙවත් 'ෂර්ලොක් හොම්ස් කෞතුකාගාරය' ආරම්භ වී ඇත්තේ එක්දාස් නවසිය අනූ ගණන් වල දීය. එම අවස්ථාවේ නොම්මර 221B ඒ කෞතුකාගාරයටම ලබා දෙන්න යැයි කොතෙකුත් ඉල්ලීම් කලද බැංකුවෙන් එය ප්‍රතික්ෂේප කර ඇත. 2002 වර්ෂයේ බැංකුව එම ස්ථානයෙන් ඉවත් කළ පසු තමයි කෞතුකාගාරයට ලියුම් ලැබීමට ආරම්භවී ඇත්තෙ. කෞතුකාගාරය ඇත්තේ එම බැංකු ගොඩනැගිල්ලට තරමක් එපිටිනි. 
මේ තියෙන්නෙ හඩ්සන් මහත්මියගෙ නැත්තං ෂර්ලොක් හෝම්ස් මහත්ත්යගෙ ගේ ඉස්සරහ දොර

පහල ඉඳන්  හෝම්ස් ගේ කාමරේට යන පඩිපෙළ. කට්ටිය දන්නව ඇතිනෙ. ඕකෙ හරියටම තරප්පු 17 ක් තියෙනව. අපිත් ගැන්න හරියටම 17ක් තියනව. මේ පඩිපෙල නැගගෙන එන සද්දෙ අහන් ඉදලත් එන්නෙ කවුද කියල හරියටම හෝම්ස් කියනව නොවැ.





හොම්ස්ගෙ විසිත්ත කාමරය. මේකෙ ඉදන්නෙ ඉතින් පයිප්පයක් උර උර අහස පොළව ගැටලන්න කල්පනා කරල ගැටළු විසදන්නෙ.




හෝම්ස්ගේ කෑම මේසය




හෝම්ස්ගෙ කාමරයේ සිට බේකර් වීථියට මුහුණලා ඇති ජනේල දෙක. මේ ජනෙල් වලින් පෙන්න තමයි හෝම්ස් ඉටි පිළිම එහාට මෙහාට කර කර සෙල්ලම් දැම්මෙ.

දොස්තර වොට්සන්ගේ කාමරය

වොට්සන්ගේ බෑගය

හෝම්ස්ගේ අත් අකුරින් වොට්සන්ට ලියූ ලියුමක්.

No comments:

Post a Comment