Translate

Wednesday, February 26, 2014

මහා හිමාලය ජයගත් අපේ පුංචි මිනිසා

‘අජිත් ජයසේකර’ නම් වූ සොඳුරු මිත්‍රයා මට හමු වුණේ අහම්බෙන්. තවත් මාධ්‍ය මිතුරකුගෙන් ලද තොරතුරක් ඔස්සේ හඹා ගිය මට මේ අපූරු මිනිසා මුණ ගැසුණා. ගතින් කුඩා වුවත් අජිත්ට තියෙන්නේ ලංකාවෙ කාටවත් නැති තරම් ලොකු හිතක්. අඩි පහක් තරම්වත් උස නැති වුණාට එවරස්ට් කන්ද තරම් උස යෝධ ශක්තියකින් සහ වීරියකින් ඔහුගේ හිත පිරිලා. ඔහු හරිම විවෘත මිනිසෙක්. ඒ වගේම සරලයි. සරල බව නිසාම එදිනෙදා ජීවිතේ ඔබ අප මුහුණපාන බොහෝමයක් ප්‍රායෝගික ගැටලු අජිත් ගේ ජීවිතේට ඇත්තේම නැති තරම්.
අජිත් ගැන විශේෂයෙන් කතා කරන්නේ විශේෂ හේතුවක් නිසා.

ඒ ඔහු ලංකාවෙ කවුරුවත් මෙතෙක් නොකළ විශේෂ කාරියක් ඉටුකළ සුවිශේෂි පුද්ගලයෙක් නිසා. අජිත් දැනට එවරස්ට් කඳුවැටියේ වැඩිම උසක්, වැඩිම වාර සංඛ්‍යාවක් තරණය කළ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තාවක් තබා තිබෙනවා. වර්තමානයේ ඔහු නුවරඑළියේ පීඩෲ බාලදක්ෂ කඳවුරේ පාලකවරයා ලෙස කටයුතු කරනවා.

නවසිය පනස් හතේ ජූලි විසි හතර වැනිදා කුරුණෑගල වෑඋඩදී උපන් අජිත් මූලික අධ්‍යාපනය ලැබුවෙ වෑඋඩ ප්‍රාථමික විද්‍යාලෙන්. වෑඋඩ උප තැපැල් ස්ථානාධිපති සෝමපාල ජයසේකර සහ ෆ්ලොරන්ස් චාලට් පෙරේරා යුවළගේ දෙවැනි පුතා අජිත්. ඔහුගේ පවුලෙ තවත් සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා. දෙකේ පන්තියේ පටන් අජිත් අධ්‍යාපනය ලැබුවෙ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. ධර්මරාජ විද්‍යාලය අජිත්ගේ ජීවන ගමනේ ඉරණම තීන්දු කළ මධ්‍යස්ථානයයි.
පුංචි කාලෙ පටන්ම ගහට කොළට සතා සිවුපාවාට බෙහෙවින් ඇලුම් කළ අජිත් විවේකයක් ලද හැම අවස්ථාවකම කළේ කොහේ හරි කැලෑවක ඇවිදින්නට යෑම. පාසලේ හයවැනි ශ්‍රේණියේදී බාල දක්ෂ පෝතකයකු ලෙස පුහුණුව ආරම්භ කළ දා තමයි අජිත්ගේ ජීවිතේ ඉරණම තීරණය වූ දවස. ඒ 1969 මාර්තු මාසෙ 21 වැනිදා. ධර්මරාජ විද්‍යාලෙ බණ්ඩාර වීරසේකර ගුරුතුමා යටතේ පැවැත්වුණු බාලදක්ෂ පුහුණුවට අජිත් එකතු වුණා.

අජිත් ඇතුළු කණ්ඩායම එවරස්ට්
මූල කඳවුරට ළඟාවූ මොහොතේ
බාලදක්ෂ පෝතකයකු ලෙස මනා පුහුණුවක් ලත් අජිත්ට තමා වඩාත්ම පි‍්‍රය කළ කැලෑ ජීවිතේ සුවය විඳින්න අවස්ථාව උදා වුණා. බාලදක්ෂ පුහුණුවෙදි කඳවුරු බැඳ ගන්නට, කඳු හෙල් තරණය කිරීමට අවස්ථාව උදා වෙනවා. ළමා වියේ පටන්ම තනිවම යමක් ඉටු කරගන්නට, අවම පහසුකම් යටතේ් ආහාරයක් පිළියෙල කරගන්නට, තියෙන හැටියකට නිදාගන්නට, කඳු නගින්නට, සතුරාට මුහුණ දෙන්නට කොටින්ම ජීවිතේ එල්ල වෙන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න හොඳ පුහුණුවක් බාලදක්ෂ පුහුණුවෙන් ලැබෙනවා.
ඉතා දක්ෂ ලෙස පුහුණුව ලැබු අජිත් ගේ හිතේ තිබුණු ලොකු ආශාවක් ඉෂ්ට කරමින් ප්‍රථම වතාවට බලාදක්ෂ කණ්ඩායම සමඟ හන්තාන කන්දට නගින්නට අවස්ථාව උදා වුණේ ඒ 1969 දී. ධර්මරාජ විදුහලේ හිටපු විදුහල්පති ඒ. පී. ගුණරත්න මහත්තයා අජිත්ගේ ජීවිතේ ගොඩනගාගන්නට බොහොම ඇප උපකාර වූ ගුරුවරයෙක්.
1970 දී දෙවැනි පෙළ පදක්කමත් 1973 දී පළමු පෙළ පදක්කමත් දිනා ගත් අජිත් 1975 දී ලංකාවේ දක්ෂතම බාලදක්ෂයාට හිමි වන ජනාධිපති බාලදක්ෂ පදක්කම දිනා ගත්තා. අනතුරුව 1975 දී පටන් ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ සහාය බාලදක්ෂ නායකයකු ලෙස කටයුතු කරන්නට අජිත්ට අවස්ථාව උදා වුණා. එවකට ධර්මරාජ බාලදක්ෂ සමූහයේ නායකයා ලෙස කටයුතු කළේ රන්ජිත් කොස්තා මහත්තයා. ධර්මරාජයේ නේවාසිකාගාර බාලදක්ෂ කණ්ඩායම බාරව කටයුතු කරන්නටත් අජිත්ට අවස්ථාව ලැබුණා. 1975 දී සහය බාලදක්ෂ කඳවුරු නායකයා ලෙස උඩුවෙලදී අජිත් සිය කණ්ඩායම මෙහෙයවූවා. ඉන් පසුව දිගටම අනුරාධපුර මහියංගණය ඇතුළු ලංකාවේ විවිධ පළාත්වල කඳවුරු පැවැත්වූවා.
1977 දී උසස් පෙළ සමත් වූ අජිත් 1978 දී මහනුවර ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලේ ගිණුම් ලිපිකරුවකු ලෙස රැකියාව ඇරැඹුවා. රැකියාව කරන අතරතුරත් අජිත් බාලදක්ෂ කටයුතු අත් නොහැර කරගෙන ගියා. 1980 දී ඔහු ගමනාගමන මණ්ඩලේ රැකියාවෙන් ඉවත් වෙලා ධර්මරාජ විද්‍යාලෙ නේවාසිකාගාරේ කළමනාකාර ධුරයට පත් වුණා. යළිත් සුපුරුදු පාසල් දිවියට අවතීර්ණ වුණු ඔහු එහි නේවාසිකාගාර බාලදක්ෂ සමූහය භාරව බොහෝ වැඩ කොටසක් ඉටු කළා.
කලක් දේශපාලනේට යොමු වෙලා තිබුණු අජිත්ගේ හිත ඒ ගැන කලකිරුණා. ඒ ගමන ඔහුට මහණ වෙන්න හිතුණා. මල්වතු පාර්ශ්වයේ පහමුණේ ගුණානන්ද හාමුදුරුවො හම්බ වෙලා ඔහු මහණ වෙන්නට අවසර පැතුවා. මේක ආරංචි වෙලා ධර්මරාජේ විදුහල්පති ගුණරත්න මහත්තයා අජිත්ට දොස් කියලා “මහණ වෙනවට වැඩිය තමුන්ගෙන් රටට ඉටුකළ හැකි සේවය ඉටුකරන එක හොඳයි කියලා ධර්මරාජ විද්‍යාලෙ බාලදක්ෂ සමූහයේ නායකයකු ලෙස කටයුතු කරන්න අවස්ථාව සලස්වලා දුන්නා.
1982 දී අජිත් නව වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වෙන්නට ඉන්දියාවට ගියා. ඉන්දියාවෙ ගිහින් ආපු බව දැනගත් හැමෝම අජිත්ගෙන් ඇහුවෙ “හිමාලය කන්ද දැක්ක ද?” කියලා. මේ කතාව අහපුවාම අජිත්ගේ හිතේ් “හැබෑවටම හිමාලය කන්දට නගින්න බැරිද යන සිතුවිල්ල ඇති වුණා. හිමාලය කන්ද තරණය කිරිල්ල කෙසේ වෙතත් බලන්ට වත් යන්න ඕනෑ ය යන සිතිවිල්ල ඔහුගේ හිතේ පැළපදියම් වුණා.

උත්සාහයක අභිමානය
ඉන්දියාවේ බාලදක්ෂ ජම්බෝරියේදි හඳුනාගත් “හරිප්‍රසාද්” නම් වූ මිත්‍රයා අජිත්ගේ මතකයට ආවෙ හිමාලය බලන සිතිවිල්ල ක්‍රියාවට නංවන්නේ කොහොමද කියලා කල්යල් බලමින් ඉන්න වෙලාවක. බාලදක්ෂ පුහුණුවෙන් ඔහු ලබාපු සරල බව, සැහැල්ලුව විසින් විශාල සූදානමකින් තොරවම ඔහු
ගමනට යොමු කළා. අතේ තිබුණු රුපියල් දෙදාහක් සාක්කුවේ දාගෙන ඔහු ඒ අභියෝගාත්මක ගමන පිටත් වුණා. ළඟ තිබුණු ඇඳුම්කැඩුම් ටිකක් ගමන් මල්ලක දාගෙන ඔහු මහනුවර දුම්රියපොළෙන් රුපියල් 400ක ප්‍රවේශ පත්‍රයක් ඇරන් තෙලෙමන්නාරමට යන්න කෝච්චියට නැග්ගා. ඒ 1983 මාර්තුවෙ දවසක්. තෙලෙමන්නාරමෙන් බැහැලා බත්තලක නැගලා රාමේශ්වරමෙන් ඉන්දියාවෙ මදුරාසියට ගියා. එතැන ඉඳලා රු.108ක් දීලා දුම්රියෙන් කල්කටාවට ගියා.
කල්කටාවෙ මහාබෝධියේ නතර වෙලා එහි පොත් සාප්පුවේ වැඩ කළ ජයවර්ධන මහත්තයාට හරිප්‍රසාද්ගේ ලිපිනය සහිත කාඩ්පත පෙන්නුවා. ජයවර්ධන මහත්තයා කියාපු විදිහට කල්කටාවේ සියල්දා දුම්රිය පොළේ සිට රුපියල් අටක් දීලා බොන්ගා දුම්රිය පොළ දක්වා ගියා. එතැනින් බංග්ලා දේශ සීමාව හරහා ජෙෂෝර් ප්‍රාන්තයට ගියා. එතැන පටන් මිතුරාගේ නිවස සොයාගෙන ගියා. ඒ යනවිට මිතුරා නිවසේ නොසිටියත් ඔහුගේ පියා අජිත්ට ඒ නිවසේ නවාතැන් දුන්නා. මිතුරාගේ පියාට අවශ්‍යතාව කීවා.
අජිත්ගේ වාසනාවට හරිප්‍රසාද්ගේ මාමා හිමාලයේ කඳු නගින්නන්ගේ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක්. මිතුරාගේ පියාගෙන් ලබාගත් ලිපියකුත් රැගෙන අජිත් ගිහින් මිතුරාගේ මාමා මුණ ගැහුණා. ශ්‍රී ලංකාවේ සිට හිමාලය දැක බලාගන්නටම එහි පැමිණි මේ පුංචි ඉලන්දාරියාට එතුමා හොඳ අවස්ථාවක් ලබා දුන්නා. ඒ ඉන්දීය කඳු නගින්නන්ගේ ආයතනයෙන් නොමිලේ කඳුතරණය කිරීමේ පුහුණුවක් ලබාදීමයි. ඒ කාලේ ඒ පුහුණුවට ඇමරිකන් ඩොලර් දාහක් පමණ අය කළා. ඒත් අජිත්ට නොමිලේ පුහුණුව ලබා දෙන්නට තරම් ඔවුන් කාරුණික වුණා. සති තුනක පූර්ණකාලීන පුහුණුවකින් පස්සෙ ඔවුන් අජිත් එවරස්ට් කඳු ශිඛරයේ දකුණු ගෙල කපොල්ල තරණය කිරීමට සූදානම් වූ කණ්ඩායමකට ඇතුළු කර ගත්තා.
ඝන වනාන්තරය, දැඩි ශීතල, හිම කුණාටු, වර්ෂාව නොතකා කඳු ශිඛර සහ ගිරි හෙල් තරණය කරමින් යා යුතු ඒ දුෂ්කර ගමනට අජිත් ඇතුළු කණ්ඩායම මුල පිරුවේ 1983 මාර්තු මාසේ 20 වැනිදා.. කොතරම් දුෂ්කර වුණත් අජිත්ගේ හිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුව ඉටු වූ දවස. ඉඳිකටු තුඩු මෙන් ඇඟිලි තුඩු විනිවිද යන ශීතල මැද්දෙන් කඩින් කඩ දැඩි වෙහෙස නොබලා ගමන් කොට ඔවුන් අඩි 24,800ක් උසින් පිහිටි එවරස්ට් මූල කඳවුර වෙත ළඟා වුණේ දවස් 20ක දීර්ඝ වූත් වෙහෙසකර වූත් ගමනකට පස්සෙ.
1952 මැයි මාසේ දෙවැනිදා ජෝර්ජ් හන්ට් නමැත්තා ගේ නායකත්වයෙන් යුතු 400කින් යුතු කණ්ඩායමක සහාය ඇතිව නවසීලන්ත ජාතික සර් එඩ්මන්ඩ් හිලරි සහ ක්ෂර්පා ජාතික ටෙන්සින් නෝර්ගේ එවරස්ට් කඳු මුදුනට පය තැබුවා. ඒ එවරස්ට් කඳු ශිඛරය ප්‍රථම මිනිස් පා පහස ලද අවස්ථාවයි. එදා පටන් ම එවරස්ට් කන්ද තරණය පිළිබඳ කඳු නගින්නන්ගේ උනන්දුව වර්ධනය වුණා. ඒ නිසාම නේපාල රජය ඒ සඳහා පහසුකම් සලස්වන්නට කටයුතු යොදා තිබෙනවා. එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා යන්නකුට වාහනයෙන් යා හැක්කේ කත්මන්ඩු නුවරින් කිලෝමීටර් 170ක් පමණ දුරින් පිහිටි ජීරි දක්වා පමණයි. එතැන් සිට කඳුකරවාසීන් සමූහයක් වන ක්ෂර්පා ජාතිකයන්ගේ සහාය ඇතිව කන්ද තරණය කිරීම ඇරැඹිය යුතුයි.

කඳු නැඟිල්ල ලේසි පහසු කාර්යයක් නොවෙයි. එය ජීවිතය අවධානමට ලක් කරන මහා දුෂ්කර අභියෝගාත්මක කාර්යයක්. බාලදක්ෂයකු වීමෙන් ලත් මනා පුහුණුව, ශක්තිය, නිරෝගී බව, කුසගින්න, නිදිමත වෙහෙස දරා ගැනීමේ හැකියාව උත්සාහය සහ ධෛර්යවන්ත බව කඳු නගින්නකු ලෙස සාර්ථක වන්නට අජිත්ට උපකාර වුණා. ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ සමූහයේ නායකයා වශයෙන් කටයුතු කරන්නට ගත්තට පස්සෙ අජිත් පාසල් ශිෂ්‍යයන්වත් කඳු තරණය සඳහා පුහුණු කළා.

ඒ වන විට ඔහු ලංකාවේ පිදුරුතලාගල සමනොල, නකල්ස් කඳුවැටි, හුන්නස්ගිරිය, නමුණුකුල, බතලේගල, කිරිගල්පොත්ත වැනි නඟින්නට පුළුවන් හැම කන්දක්ම තරණය කරලා තිබුණා. 1975 දි ලංකාවේ ප්‍රථම වරට ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම හිමාල කන්ද තරණය සඳහා මෙහෙයවන්නට අජිත් සමත්වුණා. 1987 දි අජිත් ධර්මරාජයේ දෙවැනි බාලදක්ෂ කණ්ඩායමත් හිමාල කන්දට නැංගෙව්වා. ඒ අනුව ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම එවරස්ට් මූල කඳවුරට ළඟා වූ ප්‍රථම ලාංකීය ශිෂ්‍ය කණ්ඩායම ලෙස වාර්තාගත වෙනවා.
ධර්මරාජ විද්‍යාලෙ හිටපු විදුහල්පති ඒ.පී.ගුණරත්න මහත්තයා කොළඹ ආනන්ද විද්‍යාලෙ විදුහල්පති ලෙස පත්වෙලා ආවට පස්සේ ඔහුට ආනන්දේ සිසුන්ටත් කඳු තරණය පුහුණු කිරීමට අවශ්‍ය වුණා. ඔහුගේ ඇරයුමෙන් අජිත් කොළඹ ආනන්ද විද්‍යාලෙට පැමිණ එහි ශිෂ්‍ය කණ්ඩායමක් කඳු තරණය සඳහා පුහුණු කළා. 1991 දි පළමු වතාවට ආනන්දේ ශිෂ්‍ය කණ්ඩායමක් එවරස්ට් මූල කඳවුර දක්වා ගෙන යන්නට අජිත් සමත් වුණා. 1991 සිට 2000 දක්වා ගත වූ වසර නවය තුළ අජිත් කණ්ඩායම් අටක් එවරස්ට් මූල කඳවුර දක්වා රැගෙන ගොස් අපේ රටේ වැඩිම වාර සංඛ්‍යාවක් එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථමයා ලෙසත් වාර්තාවක් තබා තිබෙනවා.
කඳු තරණය සඳහා සූදානම් වන්නකු සතු විය යුතු ප්‍රධාන ලක්ෂණ නිරෝගී බව, නොපසුබස්නා උත්සාහය ධෛර්යය උද්‍යෝගය සහ දරාගැනීමේ ශක්තියත් ඒ වගේම වැදගත්. දිගුකාලීන පුහුණුවීම් සහ ශරීරයේ බර උසට සරිලන පරිදි පවත්වා ගැනීමත් වැදගත්. කඳු නඟින්නකු දැඩි ශීතල ඇතැම් විට උෂ්ණය කුසගින්න නිදිමත හෝ වෙනත් බාධක ජයගන්නට තරම් ශක්තිමත් විය යුතුයි. කඳු නැඟීම සඳහා සූදානම් වන්නකුට අවශ්‍ය මූලික කලමනා කිහිපයක් තිබෙනවා.
දැඩි ශීතලට ඔරොත්තු දෙන බූට් සපත්තු, මේස්, ඇතුළතින් පෑඩ් යොදා ශීතලට ඔරොත්තු දෙන ලෙස මැසූ කලිසම්, සහ කබාය, හිමෙන් ඇස් ආරක්ෂා කරගැනීම සඳහා පලඳින ඇස් ආවරණ අත් ආවරණ, හිස් සහ කන් ආවරණ, රාත්‍රියෙහි නිදාගැනීම සඳහා තෙතමනය නොරඳන නිදන ගුදිරිය හා කූඩාරම ප්‍රථමාධාර හා බේත් හේත් සහ චොක්ලට්, බිස්කට් හා ශක්තිජනක ක්‍ෂණික කැඳ වර්ග (මස්ලි) හබල පෙති, ටින්කෑම සහ රට ඉඳි වැනි ශක්ති ජනක ආහාර, වතුර උණු කර ගැනීම සඳහා කුඩා බඳුන් සහ ගිනි දල්වනයක් කඳු නගින්නකුගේ ඔලොගුවේ අඩංගු විය යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස සැලකෙනවා. සාමාන්‍යයෙන් කඳු නගින්නන් තුන් දෙනකු සඳහා එක කූඩාරමක් බැගින් රැගෙන යනවා.
මේ භාණ්ඩ එවරස්ට් මූල කඳවුර දක්වා ගෙන යාමට කඳුකරවාසී පෙශෛීර්වරුන් ගේත් පෝටර්වරුන්ගේ සහය ලබා ගන්නට පුළුවන්. නො එසේ නම් ගවයින් හෝ කඳුකර යැක් ගවයින් යෙදූ ගැල්වල මේ භාණ්ඩ පටවාගෙන යනවා. මූල කඳවුර දක්වා මේ ගැල් හෝ පෝටරවරුන්ගේ ආධාර සහිතව ගොස් එතැන් පටන් කඳු නගින්නන් විසින් තමාට අදාළ ඔලොගුව රැගෙන කන්ද තරණය කළ යුතුයි. කඳු මුදුනේදී ආහාර පිස ගැනීම සඳහා ෆයිබර්වලින් සදන ලද ගෑස් සිලින්ඩරයක් සහ ගිනි දල්වනයක් (බර්නර්) ද මේ ඔලොගුවෙහි අඩංගු වෙනවා. කන්දෙහි ස්වභාවය තැනින් තැන වෙනස් වෙනවා. ඇතැම් තැනක එක දිගට නැග්ම තිබුණත් තව තැනෙක විශාල බෑවුම් හෝ දුර්ග හමුවෙනවා.
කළු ගල්, ඒ මත හිම මෙන්ම අතිවිශාල මිදුණු හිමකුට්ටි වලින් එවරස්ට් කඳුවැටිය සමන්විත වෙනවා. ඉහළට යන්නට යන්නට අවධානම වැඩියි. දැඩි හිමපතනය මෙන්ම ඇවර්ලාජ් නමින් හැඳින්වෙන ක්‍ෂණික හිමකඳු කඩා වැටීම් හේතුවෙන් මරණයට පත්වෙන්නට වුවත් පුළුවන්. ඉහළට නගින විට අඩු පීඩන තත්ත්වය හා ඔක්සිජන් පීඩනය හේතුකොට ගෙන ඇතිවෙන උන්නතාංශ උණ වැළැඳීමෙන් ද මරණය සිදු විය හැකියි.

රුධිර සංසරණ පද්ධතියේ ආබාධ මෙන්ම අධික ශීතල හේතුකොටගෙන ස්වසනාබාධ වැළඳීමෙන් මරණයට පත්වෙන්නටත් පුළුවන්. කඳු තරණය ජීවිත අවදානමක් සහිත ක්‍රීඩාවක් බව අප මුලින්ම සඳහන් කළේ ඒ නිසයි. හෘදයාබාධ, පෙනහළු ආශි‍්‍රත ස්වසනාබාධ, අධික රුධිර පීඩනය වැනි රෝග සහිත පුද්ගලයන්ට කඳු නැගීම අවධානම්. ඉතා නිරෝගී පුද්ගලයකු වුවත් කඳු නගින්නට සැරසෙනවා නම් තමාගේ් පවුලේ වෛද්‍යවරයා හෝ වෙනත් වෛද්‍යවරයකු හමු වී වෛද්‍ය පරීක්‍ෂණයක් කරවා ගත යුතුයි. එමෙන්ම දිනපතා ගන්නා ඖෂධ ඇත්නම් ඒවාද හදිසි අවස්ථාවක ගැනීමට සුදුසු ඖෂධ ද තමා ළඟ තබා ගැනීම වැදගත්.

කඳු නගින්නකු හට ඔසොවා ගෙන යා හැක්කේ තමාගේ ශරීර බරෙන් තුනෙන් එකකට වඩා අඩු බරක්. අඩි 19,000 ට වැඩි උසක් නගිනවා නම් ඒ බර කිලෝග්‍රෑම් 15 ට අඩු විය යුතුයි. ජීරි වලින් ගමන අරඹන කඳු නගින්නන් දිනකට පැය අටක් පමණ එකදිගට ගමන් කරනවා. අනතුරුව ෙිපශෝර්වරුන්ගේ නිවසක හෝ ලැගුම්හලක නවාතැන් ගන්නවා. එසේ යන මාර්ගයෙහි ලබූජි දක්වා මේ කඳුකර වාසී පවුල්වල සහය ලබා ගන්නට පුළුවන්. ලබුජි සිට ගොරක්ශේක් දක්වා කුහුම්බු ග්ලැසියරය ආශි‍්‍රතව පැය අටක් ගමන් කළ විට එවරස්ට් මූල කඳුවරට ළඟා විය හැකියි.
මූල කඳවුරෙහි සිට කලපතා කඳු මුදුනට නැග නූප්සේ සහ ලොට්සේ යන කඳු වැටි දෙක අතරින් බැලූ විට එවරස්ට් කඳු මුදුනෙහි පැහැදිලි මනස්කාන්ත දර්ශනයක් පියවි ඇසින් නරඹන්නට පුළුවන්. දැනට ලංකාවේ සිටින එවරස්ට් මූල කඳවුරෙහි අඩි 24,800 ක් උසට කන්ද තරණය කළ ප්‍රථම සහ එකම පුද්ගලයා අජිත්. මහනුවර ධර්‍මරාජ, කොළඹ ආනන්ද සහ අජිත් පුහුණු කළ ජාතික කණ්ඩායමේ සිසුන් එවරස්ට් මූල කඳවුරෙහි අඩි 20,000 ක් දක්වා තරණය කොට තිබෙනවා.
අජිත් පුහුණු කළ ජාතික කඳු තරණ කණ්ඩායමට කොළඹ ආනන්ද, මහනුවර ධර්‍මරාජ, කොළඹ රාජකීය, මොරටුව වේල්ස්කුමාර සහ ගාල්ල රිච්මන්ඩ් යන පාසල්වලින් තෝරාගත් සිසුන් 30 දෙනෙක් ඇතුළත්. මේ කණ්ඩායම 2006 වසරේදී එවරස්ට් තරණයට සහභාගී වුවත් එවරස්ට් මූල කඳවුර දක්වා ළඟා වීමට සමත් වුණේ ඔවුන් අතරින් අට දෙනෙක් පමණයි. දැනට අපේ කණ්ඩායම් ළඟා වී ඇත්තේ එවරස්ට් මූල කඳවුර දක්වා පමණයි. එම ස්ථානයට ළඟා වන ගමනේදී අතරමග නම්සේ සහ ජින්බු හෝ පෙරිජි යන ස්ථාන දෙකෙහි විවේක දින දෙකක් ගත කිරීමෙන් දැඩි පීඩාව සහ අඩු පීඩන තත්ත්වය මත ඇතිවන රෝගී තත්ත්වය දුරු වී යනවා. මේ ස්ථාන දෙකෙහි විවේක දින දෙකක් ඇතුළුව තවත් දින 14 ක් පමණ ඉහළට නැගීමෙන් එවරස්ට් මූල කඳවුරට ළඟාවිය හැකිය. මූල කඳවුරේ සිට තවත් දින අටක් හෝ දහයක් ගමන් කිරීමෙන් එවරස්ට් කඳු මුදුනටම ළඟා වන්නට පුළුවන්.
කඳු නගින්නට ආශාව, උනන්දුව හෝ පුහුණුවක් ලබා තිබූ පමණින්ම එවරස්ට් කන්ද තරණය කරන්නට යමකුට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඉහත අවශ්‍යතා සියල්ල සපුරා තිබීමත් සමඟම ඔහු හෝ කණ්ඩායම නේපාලය, ඇමරිකාව හෝ එංගලන්තය වැනි රටක ලියාපදිංචි කඳුනගින කණ්ඩායම් පුහුණු කරවන සංවිධානයකට ඇතුළත් විය යුතුයි. අජිත් ඇතුළත් වුණේ හිමාලයානු කඳු නගින්නන්ගේ සංගමයට. කඳු තරණ කටයුතු සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ හැටක පමණ මුදලක් වැය වෙනවා.
මුලින්ම අජිත්ට පුහුණුව ලැබුණේ හරිප්‍රසාද් මිතුරාගේ මාමාගේ ආධාරයෙන් නොමිලේ. පසු ගමන්වලදී ඔහුට ධර්‍මරාජ විද්‍යාලයීය බාල දක්‍ෂ සමූහය, ධර්‍මරාජ ආදි බාලදක්‍ෂ සමූහය, ආනන්ද විද්‍යාලයීය සාමාජිකයන් හා විවිධ හිතවතුන්ගේ නොමසුරු සහය ලැබූ බව ඔහු කියන්නේ කෘතවේදීව. ඉන්දියාව සහ නේපාලය අද ලෝකයේ කඳු නගින්නන් පුහුණු කිරීමේ කටයුතු අතින් ඉදිරියෙන් සිටිනවා. එංගලන්තය, ඇමරිකාව යන රටවලත් එවැනි පුහුණු සංවිධාන තිබෙනවා. මේවාට ඇතුළත් වීමෙන් සාර්ථක පුහුණුවක් වගේම හොඳ සුරක්‍ෂිතභාවයකුත් ලැබෙනවා. එවරස්ට් කඳු තරණය සඳහා වසරේ සෑම කාලයක්ම සුදුසු වන්නේ නෑ. ඒ සඳහා වසරේ මාර්තු මස සිට මැයි දක්වා කාලයත් ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාලයත් පමණයි සුදුසු වන්නේ. පුහුණුව, මිල මුදල් සහ යහපත් සෞඛ්‍ය වගේම නොපසුබස්නා උත්සාහයත් මේ සඳහා අත්‍යවශ්‍යයි.

දැනට නුවරඑළියේ පීඩෲ බාලදක්‍ෂ කඳවුර භාරව කටයුතු කරන අජිත් එවරස්ට් කඳු ශිඛරය තරණය කිරීමට සූදානම් වන අලගොඩ වතුයායේ කළමනාකරු විනෝද් මහතාට ඒ සඳහා පුහුණුව ලබා දෙමින් සිටිනවා. ශරීර උසින් යම් තම් අඩි පහක් තරම් වන මේ දිරිය මිනිසා හිතේ හයියෙන් දැනටමත් අඩි 29,000 ක් ඉහළට දෙපයින් ගොස් බාල දක්‍ෂ ධජය මෙන්ම ශ්‍රී ලංකාවේ ධජයත් හිමාලයේ එවරස්ට් කඳු වැටියේ ඔසොවා තබන්නට සමත් වී සිටිනවා. “සිත ඇත්නම් පත කුඩාද?” යන කියමන සනාථ කරමින් අජිත් නම් වූ මේ පුංචි මිනිසා අපේ පුංචි ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළම තැනකට ඔසොවා තබන්නට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.



No comments:

Post a Comment