Translate

Tuesday, May 27, 2014

දර්ශන කරුණාතිලක නැමති බාලදක්ෂයා

ඔහු වෘත්තීය ජීවිතය ඇරැඹියේ චිත්‍ර ශිල්පියකු ලෙසය. කලක් ඔහු මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කළේය. ඒ කටයුතු කරන අතරේ ඔහු වෙළෙඳ ලාංඡන කිහිපයක් ද නිර්මාණය කළේය. ශ්‍රී ලංකා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ලාංඡනයේ නිර්මාතෘ ඔහුය. වර්තමානයේ කාටුන් ශිල්පියකු ලෙස ද නිර්මාණකරණයේ නියැළෙන ඔහු තෙල් සායම් චිත්‍රයට වැඩි අවධානය යොමු කරයි. මෙවර අප ඔබට හඳුන්වාදෙන චිත්‍ර ශිල්පියා දර්ශන කරුණාතිලකය.

මම ශ්‍රී ලංකා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ලාංඡනය අඳින්නට පෙර ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ ලාංඡනය ඇඳලා තිබුණා. විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ලාංඡනය අඳින්නට මට ඇරයුම් කළේ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා. කළු කොටුව ඇතුළේ කහපාටින් තමයි මේ ලාංඡනය නිර්මාණය කරලා තියෙන්නේ.

එයින් අදහස් කිහිපයක් මතුකර ගන්නට පුළුවන්. එක් අදහසක් තමයි සර්පයෙක් දිව එළියට දාගන ඉන්න එක. අනෙක ශාක පත්‍රයක් ලෙස මතුකර බලන්න පුළුවන්. අනෙක මුඛ ආවරණයක් පැලඳ සිටින මුහුණක්. මේ විදිහට තමයි එය නිර්මාණය කළේ. විෂ තොරතුරු මධ්‍යස්ථානයේ මූලික අවධානය යොමු වන්නේ සර්පයන්ගෙන් සතුන්ගෙන් වන විෂ, ශාක, කෘමිනාශකවලින් වන විෂ වගේම ගෙදර දොරේ දී පරිසර‍යේදී මිනිසුන් විසින් නිෂ්පාදනය කරන දෙයින් ඇතිවන සියල්ල ආදිය මේ ලාංඡනයෙන් අර්ථ ගැන්වීමට මං උත්සාහ දැරුවා. කහපාට හා කළුපාට යොදා ගත්තේ ජාත්‍යන්තරය අනතුරුදායක බව හැඟවීමට යොදා ගන්නා වර්ණයක් නිසා. මං හිතන දෙයක් තමයි ලෝගෝ එකක් කියන්නේ දුටුව ගමන් හිතට වදින්න තියෙන්න ඕන එකක්. මං උත්සාහ දැරුවේ ඒ දේ කරන්න.”
මේ විදිහට අදහස් දක්වන්නේ අද අපේ වෙළෙඳ ලකුණ විශේෂාංගයේ කතානායකයා වන දර්ශන කරුණාතිලකය.

මාතර අකුරුබැවිල කනිෂ්ඨ විද්‍යාලයේත්, සපුගස්කන්ද රෝමානු කතෝලික මිශ්‍ර පාසලේත් ඉගෙනුම ලැබු දර්ශන කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වන්නේ ශිෂ්‍යත්වය සමත් වීමෙනි. ඔහු හැදී වැඩෙන්නේ නේවාසිකාගාරයේය. ගමට යන්නට ලැබෙන්නේ පාසල් නිවාඩු සමයටය. මම තමයි අපේ පවුලේ වැඩිමලා. මට බාල නංගිල හතරයි මල්ලියි ඉන්නවා. අපි මුලින්ම හිටියේ මාකොළ ප්‍රදේශයේ. එහෙම ආවේ තාත්තගෙ රැකියාව නිසා. නමුත් තාත්තා ගමට යනකොට අපිත් දික්වැල්ලට ගියා. ඒ යනකොට මට අවුරුදු අටක් නවයක් විතර ඇති. ගමේ පාසලේ ඉගෙන ගනිද්දි තමයි මම ශිෂ්‍යත්වය සමත් වුණේ. අපි පුංචි කාලේ ගමට ගියාම මට ඕන වුණේ කොළඹ එන්න. ඒකට හේතුව තමයි ගමේදී පත්තරයක් බලන්න වුණත් හුඟක් දුර යන්න ඕන.

නමුත් කොළඹදී එහෙම නැහැ. මම පාසල් යන කාලේ චිත්‍ර විෂයට දක්ෂයි. මට මතකයි ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගෙන උසස්පෙළ හදාරලා අපි අයින් වෙන කාලේ තමයි ආනන්ද විද්‍යාලයට අවුරුදු සියය පිරුණේ. ඒ වෙනුවෙන් මම විද්‍යාලයේ එතෙක් සිටි විදුහල්පතිවරුන්ගේ මුහුණු චිත්‍රයට නැඟුවා.”
ඔහු පාසල් වියේදීම තමන්ටම කියා ආදායම් මාර්ගයක් සකසා ගැනීමට උනන්දු වූයේය.
මම කොළඹ නේවාසිකව ඉගෙන ගත්තේ. අම්මා තාත්තා මගේ වියදම් දැරුවත් මට ඕන වුණා ගෙදරට කරදර නොකර වියදම හොයා ගන්න. මට මතක හැටියට ඒ අසුතුන අසූහතර කාලය.

මම දවසක් විජය ළමා පුවත්පතේ කර්තෘ තුමා හමුවන්නට ගියා. ඒ කාලේ හිටියේ දෙල්තොට චන්ද්‍රපාල මහත්තයයි සුබසිංහ මහත්තයයි. මගෙන් ඇහුවා ඇඳපුවා ගෙනාව ද කියලා. නමුත් මා ළඟ තිබුණේ නැහැ. ඊට පස්සේ දෙල්තොට මහත්තයා කිව්වා එහෙනම් මාව අඳින්න කියලා. මම එතන හිටපු කිහිප දෙනෙක්වම චිත්‍රයට නැඟුවා. මගේ චිත්‍ර බලලා ඔවුන් කිව්වා පත්තරවලට ඇවිත් නාස්ති වෙන්න එපා ඉගෙන ගන්න ඒවට උදව් කරන්නම් කිව්වා.

නමුත් මගේ හිත තිබුණේම රැකියාවක් ලබා ගන්න. මං ඔවුන්ට ඒ බව කිව්වා. ඉන් පස්සේ මාව ආනන්ද රණතුංග කියන චිත්‍ර ශිල්පියාට බාර දුන්නා. ආනන්ද රණතුංගත් අපේ පාසලේ අපට වඩා ඉහළ පන්තිවල ඉගෙන ගත් අයෙක්. ඔහු මට කතා පොත් අඳින්න පැවැරුවා.” දර්ශන වෘත්තිය චිත්‍ර ශිල්පියෙක් ලෙස ජීවිතය අරඹන්නේ එතැනිනි. එහෙත් තවත් චිත්‍ර ශිල්පීන් ඒ වන විටත් චිත්‍ර කතා පොත් ඇඳි නිසා ඔහුට නිතර නිතර අඳින්නට අවස්ථාව නොලැබිණි.

එකල ඔහුට තවත් විනෝදාංශයක් තිබුණි. ඒ තමන් කැමැති පුද්ගලයන් චිත්‍රයට නඟා ඔවුන් ලවා එහි අස්සන් තබා ගැනීමය. ඒ කාලය වන විට ඔහු ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ද චිත්‍රයට නැඟුවේය. එවකට දිවයින පුවත්පතේ කර්තෘව සිටි එඩ්මන් රණසිංහ මහතාගේ රුව ද ඔහු ඇඳි චිත්‍ර අතර විය. ඔහු එඩ්මන් රණසිංහයන් හමුවීමට දිවයින කන්තෝරු වට ගියේය.

“එඩ්මන් මහත්තයා මගෙන් විස්තර අහලා චිත්‍රය බලලා මට සල්ලි දුන්නා. නමුත් මං කිව්වා මට සල්ලි එපා කියලා. ඒ ගමන ඔහු කිව්වා “එනවා එහෙනම් මෙහෙ වැඩ කරනවා” කියලා ආරාධනයක් කළා. ඒ කාලේ විජිත යාපා මහත්මයා තමයි ද අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගාමිණි වීරකෝන් මහතා තමයි නියෝජ්‍ය කර්තෘ. ඔවුන් මට බොහෝ දේ අඳින්නට දුන්නා. ඒ කාලේ නවලිය පුවත්පතේ කළ සිනමා අතිරේකයටත් මම චිත්‍ර ඇන්දා. එහි සංස්කාරක ලෙස කටයුතු කළේ ජයන්ත චන්ද්‍රසිරි.”
ඔහු චිත්‍ර අඳින අතරේම අධ්‍යාපන කටයුතු ද කරගෙන ගියේය. උසස් පෙළ ඉහළින් සමත් වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සමාජ විද්‍යා විශේෂ උපාධියක් ලබා ගත්තේය.

මේ අතර කාලයේ විදුසර විද්‍යා පුවත්පත ආරම්භ විය. දර්ශන විදුසර පුවත්පතේ චිත්‍ර ඇඳීම මෙන්ම පිටු සැකසීම ද කළේය. නිදහස් චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කළ ඔහු පසුව සේවයේ ස්ථිර වූයේය. දිවයින පුවත්පත හා අයිලන්ඩ් පුවත්පත අන්තර්ජාලයට එක්වීමත් සමඟම දර්ශනගේ තනතුර වෙබ් මාස්ටර් දක්වා ඉහළ ගියේය. දර්ශන ඒ සියලු කටයුතු අතරේ ලාංඡන නිර්මාණය කිරීම අතරේම අත්පත්‍රිකා සැකසීම මෙන්ම මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, දෙනගම සිරිවර්ධන ආදි ප්‍රවීණ ලේඛකයන්ගේ පොත් පිටකවර සැරසුවේය. ඊට අමතරව විද්‍යාව, දේශපාලනය සම්බන්ධ කාටුන් නිර්මාණ ද කළේය.
“මම දිගටම වෛද්‍යවරුන් පිළිබඳව කාටුන් චිත්‍ර ඇන්දා. ඒ වෛද්‍යවරු වැඩ වර්ජනය කරන කාලයක්. මේකට ඇතැම් වෛද්‍යවරුන්ට කේන්ති ගිහිල්ලා තිබුණා. එක් වෛද්‍යවරයෙක් මට ලියුමක් එවලා තිබුණා සමාව ගන්න කියලා. ලියුම දුටුව මම හිතා ගත්තා සමාව ගන්නෙ නැහැ රස්සාවෙන් අස්වෙලා යනවා කියලා. නමුත් කර්තෘ තුමා කිව්වා ටික දවසක් නිහඬව ඉන්න කියලා. ඒක එහෙම්මම යට ගියා.”
ඔහුට ආයතනයක හිරවී රැකියාව කිරීමට ඕනැකමක් නොතිබිණි. ඒ සියලු කටයුතු අතරේ ඔහු තෙල් සායම් චිත්‍ර ඇඳීම ද කරගෙන ගියේය. ඇඹිලිපිටිය ජාත්‍යන්තර නායකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ‘කැත්රිච් ෆුඩ් ට්‍රේනින්’ වැඩසටහනේ ලාංඡනය නිර්මාණය කළා. ඒ වගේම ‘වර්ෂා’ වැසි ජලය එකතු කිරීමේ සංසදයේ ලාංඡනය නිර්මාණයත් මගේ. 

“මට අවශ්‍ය හැමදේම නිදහසේ කරගෙන යන්න. මට මේ දේවල් කරන්න ගෙදරින් නිදහස ලැබුණා. බිරිය චින්තා මුණසිංහ මට උපරීම නිදහස දීලා තියෙනවා මගේ කලා කටයුතු කරගෙන යාමට. ඇය තමයි මට යෝජනා කළේ චිත්‍ර වැඩ නිදහසේ කරගෙන යන්න අවශ්‍යයි කියලා දැනෙනවා නම් රැකියාවෙන් ඉවත් වුණත් කමක් නැහැ කියලා. මං රැකියාවෙන් ඉවත්වුණා. ඇත්තටම මං නිදහසේ බොහෝම සැනසිල්ලකින් ඒ කටයුතු කරගෙන යනවා. මගේ ආර්ථිකයට ඒකෙන් හානියක් වුණෙත් නැහැ.”

ඔහු දැන් පූර්ණකාලීන චිත්‍ර ශිල්පියෙකි. බාල වියේදී තාත්තා නිවෙසට පැමිණෙන හැම විටම ඔහුට සුදු කොළ විස්සක් පමණ ගෙන එයි. මොහොතක් ගතවීමට පෙර ඒ සියල්ලේම චිත්‍ර ඇඳ අවසන් වෙයි. යන අතක යන්නට දුන්නා මිස අම්මා තාත්තා ඔහුගේ ගමන්මඟ වෙනස් කළේ නැත. ඇතැම් විට ඔහු බිත්ති පුරා ද චිත්‍ර ඇන්දේය. වයසින් වැඩෙනවාත් සමඟම ඔහු තම පියාගේ පුස්තකාලයේ තිබු විවිධ විෂයන් ගැන ලියැවුණ පොතපත කියැවූයේය.

පාසල් කාලේ මං බාලදක්ෂයෙක්. ඒ කාලේ මම, බාලදක්ෂ කදවුරු කීපයක් ම වෙනුවෙන් බැජ් හැදුවා. ” ඔහු බොහෝ ලාංඡන නිර්මාණ කර ඇත්තේය. ඒ සියලු කටයුතු කරන අතරේ ඔහු සමාජ සේවා කටයුතුවල ද නිරත වෙයි.

“මම පාසලේදී සංගීත විෂය තෝරගන්න ගියාම එතැනදී නම් අම්මා විරුද්ධ වුණා. අම්මා කිව්වා දන්න දේ කරන්න. ඔයාට ඉදිරියට යන්න පුළුවන් කියලා. මගෙ තාත්තා නැතිවුණේ මීට අවුරුදු තුනකට විතර කලින්. අද මට හිතෙනවා මං මගෙ අම්මටයි තාත්තටයි ආඩම්බර හිතෙන විදිහට ජීවත් වුණා කියලා.





විශේෂ ස්තූතිය


No comments:

Post a Comment