Translate

Wednesday, May 28, 2014

ගෙරිට් ලෝෂ් (gerrit losch)

මගේ තාත්තා ඉපදුණේ 1899 ඔස්ට්‍රියාවේ ග්‍රාස් කියන නගරෙයි. 1939දී පටන්ගත්ත දෙවෙනි ලෝක මහා යුද්ධයේදී එයාට සිද්ධ වුණා ජර්මන් හමුදාවට බැඳිලා යුද්ධ කරන්න. තාත්තා 1943 රුසියාවේ යුද්දෙකදී මිය ගියා. එයා මැරෙනකොට මට අවුරුදු දෙකක් විතර ඇති. තාත්තා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න, තාත්තාගේ ආදරේ ලබන්න මට පුළුවන් වුණේ නැහැ. ඉස්කෝලෙ මාත් එක්ක හිටපු ළමයින්ගේ තාත්තලා ඒ අයට ආදරේ කරන විදිහ දැක්කම තාත්තා නැති අඩුව මට තදින්ම දැනුණා. පිය සෙනෙහස අහිමි වෙලා දුකෙන්, පාළුවෙන් හිටපු මට සැනසීමක් ලැබුණේ කවදාවත් මිය යන්නේ නැති මගේ ආදරණීය දෙවි පියාණන්ව මට හම්බ වුණු නිසයි.

බාලදක්ෂයෙක් විදිහට

ගෙරිට් ලෝෂ් කුඩා කාලේදී
කුඩා කාලේදී
මට වයස හතක් විතර වෙනකොට බාලදක්ෂ ව්‍යාපාරය ලෝකෙ හුඟක් රටවල ව්‍යාප්ත වෙලා තිබුණා. ඒක 1908දී පටන් අරගෙන තිබුණේ රොබට් බේඩ්න් පවෙල් කියන බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයායි. 1916දී මගේ වයසේ හිටපු පිරිමි ළමයින්ටත් බැඳෙන්න පුළුවන් බාලදක්ෂ ව්‍යාපාරයටම අයිති තවත් කාණ්ඩයක් පටන්ගත්තා. මම බැඳුණේ පෝතක බාලදක්ෂ කියන ඒ කාණ්ඩයටයි.

සති අන්තවල ගම්බද පළාත්වලට ගිහින් කූඩාරම් ගහගෙන රෑ ගත කරලා, නිල ඇඳුම් ඇඳලා, ආචාර පෙළපාළිවල ගමන් කරලා මං ලොකු සතුටක් ලැබුවා. ඉර බැහැගෙන යද්දී ගිනිමැලයක් වටේ ඉඳගෙන යාළුවෝ එක්ක සිංදු කියලා, කැලෑවල සෙල්ලම් කරලා මං හුඟක් සතුටු වුණා. ඒ අතරේ පරිසරය ගැනත් මං ඉගෙනගත්තා. අපේ දෙවි නිර්මාණය කරපු දේවල් ගැන මගේ හිතේ ලොකු අගයක් ඇති වෙන්න පටන්ගත්තෙත් ඔය කාලෙදීම තමයි.

බාලදක්ෂයන්ට උනන්දු කරන්නේ හැම දවසකම අනිත් අයට උදව්වක් වෙන දෙයක් කරන්න කියලයි. ඒක තමයි අපේ ආදර්ශ පාඨය වුණෙත්. අපි එකිනෙකාට ආචාර කළේ “හැම වෙලාවෙම සූදානමින් ඉන්න” කියන වචනවලින්. ඒකට මං හුඟක් කැමතියි. පිරිමි ළමයි සීයකටත් වඩා හිටපු අපේ කණ්ඩායමේ භාගයක්ම කතෝලික. ඉතුරු භාගේ රෙපරමාදු. එක් කෙනෙක් බෞද්ධ.

1920 ඉඳන් බාලදක්ෂ ව්‍යාපාරය අවුරුදු කීපයකට සැරයක් ජාත්‍යන්තර සම්මේලනයක් පවත්වනවා. 1951 අගෝස්තු මාසේ ඔස්ට්‍රියාවේ පවත්වපු 7වෙනි සම්මේලනයටත් 1957 අගෝස්තු මාසේ එංගලන්තයේ පවත්වපු 9වෙනි සම්මේලනයටත් මං සහභාගි වුණා. එංගලන්තයේ පවත්වපු ඒ සම්මේලනයට රටවල් සහ ප්‍රදේශ 85කින් බාලදක්ෂයන් 33,000ක් විතර ඇවිත් හිටියා. ඒක බලන්න ආපු 7,50,000ක විතර සෙනඟ අතරේ එලිසබෙත් රැජිනත් හිටියා. ඒ දවස්වල මට දැනුණේ ලෝකෙ පුරාම ඉන්න එකම සහෝදර කැලක් එක්ක ඉන්නවා වගේ හැඟීමක්. ඒත් ඊට වඩා දහස් ගුණයකින් එකට බැඳුණු පවුලක සාමාජිකයෙක් වෙන්න මට අවස්ථාව ලැබෙනවා කියලා මම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ.

අතීතය සිහි කරමින් අනාගතය දෙස බැලීම

ගෙරිට් සහ මෙරෙටෙ ලෝෂ් බෘක්ලින්වලදී
මගේ බිරිඳ එක්ක බෘක්ලින්වලදී
අතීතයේදී මම වේටර් කෙනෙක් විදිහට හෝටලයට ආපු අයට කෑම පිළිගැන්නුවා. දැන් ලෝකෙ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ට අවශ්‍ය පෝෂණය දෙන කාර්යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. (මතෙ. 24:45-47) අවුරුදු 50කටත් වඩා වැඩි මගේ පූර්ණකාලීන ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දී අපේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයට දෙවි ආශීර්වාද කරලා තියෙන විදිහ ගැන ලොකු අගයක්, ලොකු සතුටක් මගේ හිතේ ඇති වෙනවා. අපේ දෙවි පියාණන් ගැනත් බයිබලේ සඳහන් සත්‍යයන් ගැනත් උගන්වන ජාත්‍යන්තර සමුළුවලට යන්න මට තියෙන්නේ පුදුම ආසාවක්.

මගේ බලාපොරොත්තුව තවත් මිලියන ගාණක්දෙනා බයිබලය ගැන ඉගෙනගෙන සත්‍යයට එයි කියලයි. ලෝකෙ පුරාම ඉන්න අපේ සහෝදරයන් එක්ක එකතු වෙලා ඒ අයත් යෙහෝවා දෙවිට සේවය කරයි කියලයි. ඒ ගැන මම හැමදාම යාච්ඤා කරනවා. (1 පේතෘ. 2:17) ඉදිරියේදී ස්වර්ගයේ ඉඳන් මේ පොළොවේ සිද්ධ වෙන නැවත නැඟිටීම බලන්න මම ඉන්නේ ලොකු ආසාවකින්. එදාට මට මගේ තාත්තාවත් දකින්න පුළුවන් වෙයි. මගේ තාත්තාත් අම්මාත් මගේ අනිත් නෑදෑයොත් පාරාදීසයේදී යෙහෝවා දෙවිට නමස්කාර කරයි කියන බලාපොරොත්තුව මට තියෙනවා.

විශේෂ ස්තූතිය

මුරටැඹ (පාඩම් කලාපය) 2014 ජූලි

 

No comments:

Post a Comment