Translate

Monday, November 2, 2015

රොහාන් ශාන්ත බු‍ලේගොඩ නැමති පෝතක බාලදක්ෂයා

සම්භාව්‍ය ගණයේ පළමු පුරුකට අයිති එච්.ඩබ්ලිව්. රූපසිංහයන්, රුක්මණි දේවියගෙන් පසුව වර්ෂ 1945 යුගයට අයත් ලතා වල්‍පොල, ඩබ්ලිව්.ඩී. අමරදේවයන්, නන්දා මාලිනියන්ගේ සිට වික්ටර් රත්නායක, සනත් නන්දසිරි දක්වාත්, ඊළඟ පරපුරට අයිති එඩ්වඩ්-චරිතා යුවළ හඳුන්වා දෙද්දී පස්වැනි පරම්පරාවේ සම්භාව්‍ය ගායකයකු ලෙස රොහාන් ශාන්ත බු‍ලේගොඩයන්ව හඳුන්වා දිය යුතුමයි.

සංගීතය මොකක්ද යනුවෙන් හඳුනාගෙන අරුත්බර ගීත ඕනෑම තාලයකට ගැයීමේ දක්ෂතාවක් ඔහු සතුයි. ශාස්ත්‍රීය, බටහිර දෙකම අයිති ගීතයක් වුව වේග රිද්මයෙන් පටන්ගෙන ඕනෑම රිද්මයකට ඒ හඬ ඔහුට ගෙන යා හැකිය. හොඳම නිදසුන ‘නිහඬ අරණ’ ගීතයයි. කෝරස් එකක් සමග වෝල්ට්ඛ (Pentonic)  තාලයේ උච්ච ස්වරයටම (Threepart harmony) ගායනා කිරීමේ හැකියාව ඒ ගීතයෙන් ඉස්මතු වේ. සංගීත ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන් දස දහසක් හිටියත් එවැනි දක්ෂතාවක් ඇත්තේ අතලොස්සකටයි. එනිසා අපි ඔහුව දකින්නේ ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කළ ගායකයෙක් හැටියටයි. ප්‍රමිතිකරණයට යටත්ව නිර්මාණකරණයේ යෙදෙන රොහාන්ව එනිසාම මෙවර රිවිසරසි කතාබහකට එකතු කරගන්න අපි කල්පනා කළා. පුවත්පත් කලාවෙන් කලා ජීවිතය ආරම්භ කළ ඔහු ගැනයි මේ.

සංගීත ක්ෂේත්‍රයේ පවතින රැළි ඔබේ සංගීත රටාවට නොගැළපෙන නිසාද දැන් දකින්න නැත්තේ? මුලින්ම ඒ ගැන කියමු?
මම 2011 අවුරුද්දේ ගීත එකතුවක් කළා. රූප මවනා ගීත රචනා කියලා. ඒ ගීත එකතුවෙන් පස්සේ නිර්මාණ බිහි කළේ නැහැ. මට ගීතයක වැදගත් වෙන්නේ පද රචනය. එය අරුත්බර විය යුතුයි. ගීතයේ පැවැත්ම රැඳෙන්නේ එතැන. එනිසා මම හිතනවා අරුත්සුන් ගීත මිනිසුන්ගේ කාලය වැය කරවන කටයුත්තක් කියලා. ඒක අනිසි බලපෑමක්. අපි බුද්ධියට ගරු කරන්න ඕන. ඕනෑම ගීතයක් නිර්මාණය කරලා ප්‍රසිද්ධ වෙන්න මුදල් හම්බ කරන්න පුළුවන්. ඒත් රසිකයා ගොනාට අන්දවලා මුදල් හම්බ කරන්න මම කැමැති නැහැ.

ඒ වගේම අපි ගීත කළාට ඇහැන්නේ නැහැ. සංගීත ක්ෂේත්‍රයේ මාව නොදකින්නත් නැති අඩුව දැනෙන්නේත් ඒ නිසා වෙන්න ඇති. සම්භාව්‍ය ගීත හෝ අපේ රටාවේ ගීතවලට මාධ්‍යයක් නොමැතිකම එක හේතුවක්. එහෙම නැතිනම් උනන්දුවක් නොමැතිකමත් හේතුවක් වෙන්න පුළුවන්. එහි දෝෂය සියයට හැත්තෑ පහක් මා වෙත හරවාගන්න වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මගේ ගීත ප්‍රචාරය කරන්න කියලා කියන පුරුද්ද මට නැහැ. දැන් බිහිවන ගීත රටාවට ගී ගැයීමේ අකැමැත්තක් තියෙනවා. මේ හැම හේතුවක්ම මාව නොදකින්න හේතු වෙන්න ඇති.

සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රසාදය හිමිකර ගන්න ගීතයකට රූප රචනා භාවිතය වැදගත් කියලා මතයක් තියෙනවා. ඔබ ඔබේ ගීතවලට මතෛක් රූප රචනා භාවිත කර නැහැ?
මම සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණවෙලා වසර දහඅටක් වෙනවා. ඒ කාලය තුළ මම එළිදැක්වූයේ ගී තැටි තුනයි. 96-2000 හා 2011 කියන වර්ෂවල. අන්තිමට කළ ගීත එකතුවට රූප මවනා ගීත රචනා කියලා නම් කළෙත් ඔය හේතුව නිසයි. ගීතයේ ප්‍රබල බව ඉස්මතු වෙන්නේ පද රචනාවෙන්. එහි ජීව ගුණය දැන් බිහිවෙන ඇතැම් රූප රචනා පදවලට ගැළපෙන්නේ නැහැ. ඕලාරිකයි. සුන්දරත්වයක් නැහැ. රූප රචනාව නිසා නැතිවෙන්න පුළුවන්. ඇත්තටම අද රූප මාධ්‍ය ඉස්සරටම ගිහින් තියෙනවා. නමුත් මගේ ප්‍රාර්ථනය අනුව කවදාක හෝ රූපවලින් හෙම්බත් වුණු දවසක මිනිස්සු නැවත හැරී බැලීමක් කරාවි අරුත්බර ගීත දිහා. ගීතයක් අහලා මනස් රඟහල තුළ රූප මවාගන්න කාලයක් ඒවි. එනිසා මම රූප රචනා කරන්නේ නැහැ. මට මතකයි විවිධ ආයතන මගින් ඉස්සර ‘සඳක් නම්’ කියන මගේ ගීතයට රූප රචනා හයක් විතර කරලා තිබුණා. නමුත් ඒවා කළේ මම ‍නෙවෙයි.

ඔබ අතිශයින් ජනප්‍රිය වුණේ සඳක් නම්, නිහඬ අරණ, එක්පෙති මලක්, කල්බලා වැනි ගීත ඔස්සේයි. ඒවා අරුත්බරයි. එදා ලැබුණ ජනප්‍රියත්වය අදත් ඔබට ලැබෙනවාද?
පද තුළින් කම්පනයක් ඇති කරනවා. ඒ නිසා මගේ අංක එක වෙන්නේ පද. මගේ ගීත රස විඳින, ඇළුම් කරන පිරිසක් ඉන්නවා. ජනප්‍රියත්වය පසුපස හඹා යන්න අවශ්‍ය නැහැ. අපේ ගීත හොඳ නම් ඒ ජනප්‍රියත්වය අප කරා එනවා. ජනප්‍රිය වෙන්න හිතාගෙන ප්‍රචාරක උපක්‍රම මම භාවිත කරන්නේ නැහැ. මම සංගීතයට ආවේ සමාජයට පින් සිද්ධ වෙන්න. ඒ නිසා සමාජයෙන් මගේ ගීත ප්‍රතික්ෂේප වුණු දවසට ජනප්‍රිය වෙන්න විවිධ උපක්‍රම භාවිත කරනවාට වඩා හොඳයි ගායනය නතර කරන එක.

ඔබේ හඬ රසිකයන්ට සංගීත ප්‍රසංග ඔස්සේ අහන්න ලැබෙනවාද?
ඇත්තටම කිව්වොත් අවුරුදු දෙක තුනක ඉඳලා මම සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙන්නේ නැහැ. හුඟක් සංවිධායකයන් මගෙන් අහනවා ‘කීයක් ඕනද’ කියලා. ඒ අහද්දී තමයි මගේ වටිනාකම මට දැනුණේ. ඒත් මට මේ තරම් මුදලක් ඕන කියලා ඉල්ලන්න දිව නැවෙන්නේ නැහැ. ඒ නිසා එවැනි ආරාධනාවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ‍පොදු රසික ජනයා පිනවන්න ගීයක් දෙකක් කියන්න තිබුණොත් ඇති. ආරාධනා ලැබුණත් ගැළපෙන දෙයකට හෝ නොමිලයේ පවත්වන ඒවාට සම්බන්ධ වෙනවා.

 
ඔබ කලා ජීවිතය ආරම්භ කළේ පුවත්පත් කලාවේදියෙක් හැටියට. ඒ අතීතය ගැන නොකියාම බැහැ නේද?
මම ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්. පාසල් යන කා‍ලේ ඉඳලාම මම පුවත්පත්වලට ලිව්වා. ශ්‍රීමත් ඉන්ද්‍රජිත් මගේ පාසල් මිතුරෙක්. ඔහු තමයි මාව ඒ දේට යොමු කළේ. ඊට පස්සේ බන්දුල පද්මකුමාර මහතා සුමති ප්‍රකාශනයට මාව සම්බන්ධ කරගත්තා. පූර්ණකාලීන පුවත්පත් කලාවේදියෙක් වුණේ 1989දී. පසුව පුවත්පත් බෙදා හැරීමේ අංශයට සංක්‍රමණය වෙනවා. බෙදාහැරීමේ කළමනාකරුවෙක් හැටියට.

රොහාන් ශාන්ත බු‍ලේගොඩ යන නම ඇසූ සැණින් කාටත් මතක් වෙන්නේ පුවත්පත් කලාවේදියාව නොවෙයි. ගායන ශිල්පියාව. ඔබේ හඬ ප්‍රසිද්ධ වේදිකාවට මුදා හරින්න පාසල තිඹිරිගෙය වෙන්න ඇති. ඒ ගැනත් මතක් කරමු? 

මම මූලික අධ්‍යාපනය ලැබුවේ මාතර, කඹුරුපිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන්. ශිෂ්‍යත්වය පාස් වුණාට පස්සේ කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වුණා. වයස අවුරුදු හතේදී පෝතක බාලදක්ෂයෙක් විදිහට කණ්ඩායම එක්ක කඳවුරු ගියා. එතැනදී මාව අමරදේව මහතාගේ ‘වඳිමි ශක්‍යා’ ගීතය ගායනා කරන්න ලැබුණා. ඒ තමා ගීතයක් ගයපු මුල් අවස්තාව
ඊට පස්සේ නාලන්දාවේ සංගීත ගුරුවරයා වුණේ එඩ්වඩ් ජයකොඩි මහතා. එතුමා මගේ හැකියාවට ඉඩක් ලබාදුන්නා. ඇතැම් අවස්ථාවල ගුවන්විදුලි වැඩසටහන්, භක්ති ගීතවලට එහෙම. එතැනදී තමයි ගායනයට ඇල්මක් ඇතිවුණේ. ඊට පස්සේ අනෝමා පෙරේරා මහත්මිය නිෂ්පාදනය කළ ‘තුරුලිය’ කියන වැඩසටහනට සම්බන්ධ වුණා. පසු කාලයේ ගුවන්විදුලියේ සරල ගීවලින් සමත්වෙලා ඒකට සම්බන්ධ වුණා. මගේ මුල්ම ගීත එකතුව කළේ බන්දුල නානායක්කාරවසම් මහතාගේ මැදිහත් වීමෙන්. ඒ විදිහටයි මගේ සංගීත ගමන ආරම්භ වුණේ.

පාස‍ලේදී යාළුවන්ට සින්දු අහන්න ඕන වුණු වෙලාවට රොහාන්ට මාළුපාන් දීලා සින්දු අහගන්නවා කියන්නේ ඇත්තද?
ඒ ජීවිතේ හරිම සුන්දරයි. එදා වගේම අදටත් මට සුන්දර මිනිස්සු මුණ ගැහෙනවා. ඉස්කෝ‍ලේ යන කාලෙත් එහෙමයි. මගේ පුංචි කා‍ලේ ගෙවුණේ බෝඩිං කාමරවල. ඒ කා‍ලේ යාළුවන්ගේ ආදරෙත් ලැබුණා. යාළුවෝ මට කියලා සින්දු කියවා ගත්තේ මාළුපාන් දීලා. සමහර දවස්වලට සල්ලි දුන්නා. යාළුවෙක්ගේ ගෙදරකට ගියොත් කෑමබිම වරදින්නේ නැහැ. ඒ කා‍ලේ හරිම සුන්දරයි. ඇත්තටම කිව්වොත් ජීවිත තක්සලාවෙන්ම ජීවිතය ගැන ඉගෙන ගත්තා.

රොහාන් වගේම රොහාන්ගේ පවු‍ලේ අයත් සංගීතයට ලැදිකමක් දැක්වූවාද?
මම පවු‍ලේ බාලයා. මගේ තාත්තා අබේසේන බු‍ලේගොඩ. මට වයස අවුරුදු නවයක් තියෙද්දී මගේ තාත්තා නැතිවුණා. මට මතකයි තාත්තා සින්දු මුමුණනවා. මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. අම්මගේ නම ශ්‍රියා වීරසිංහ. අම්මාට වයලීන් වාදනය පුළුවන්. මමත් ඒ වයලීනය වාදනය කරලා තියෙනවා. මගේ පවු‍ලේ මට හිටියේ අක්කයි, අයියලා දෙන්නයි. ඒ තුන්දෙනාත් සංගීතයට ලැදියි. රේඩියෝ එකේ යන සින්දු අහන ගමන් ඒවා ලියා ගන්නවා. ඊට පස්සේ ගීත එකතුවක් විදිහට ‍පොත් හදාගන්නවා. ඒ ‍පොත්වල ගායක ගායිකාවන්ගේ රූපත් අලවනවා. නමුත් ඒ කවුරුත් ප්‍රසිද්ධ සංගීතයට යොමු වුණේ නැහැ.

ඔබට බිරිඳගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා ඇති. ඇයව ඔබට මුණ ගැහෙන්නේ පාසල් කාලයේදී. කුටුම්භය රැක ගන්න ඔබට ඇය දක්වන සහයෝගය කොයි වගේද?
මගේ පවුල් ජීවිතයට ලොකුම සහයෝගය ලැබෙන්නේ ඇයගෙන්. ඇය යශ්මින් බන්දුලා. මම නාලන්දයට යනකොට එයා ගෝතමී විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඒ දැන හැඳුනුම්කම ප්‍රේමයට පෙරළුණා. පසුව අපි විවාහ වුණා. ඇය තරම් හොඳ කෙනෙක් ලබන්න තරම්ම මම වාසනාවන්ත වුණා. දැන් රැකියාවක් කරන්නේ නැහැ. ගෘහණියක් විදිහට ගෙදරදොරේ වැඩකටයුතු කරනවා.

ඔබේ පුතනුවන් දෙදෙනා කවදා හෝ දිනක ඔබ වැනි කලාකරුවෙක් වෙන්න ඕන කියලා හිතනවාද? ඒ ගැන කියලා අපි කතාබහට සමුදෙමු?
ලොකු පුතා සලමුතු. වයස අවුරුදු දොළහයි. ‍පොඩි පුතා නලමුදු. එයාගේ වයස අවුරුදු අටයි. දෙන්නාම ඉගෙන ගන්නේ නාලන්දා විද්‍යාලයේ. ලොකු පුතා ගිටාර් වාදනය කරන්න දක්ෂයි. නමුත් මම ඒ දෙන්නට බලකිරීමක් කරන්නේ නැහැ. මේ දේ කළ යුතුයි කියලා. මම කොළඹට ආවේ තනියම. ඒ ගමනේදී මම අතරමං වුණේ නැහැ. මගේ දරුවෝ දෙන්නත් ඒ ඒ අයගේ ගමන කැමැති විදිහට හදාගන්න ඕන. හරි මග මමත්, බිරිඳත් පෙන්වනවා. ඒ හැරුණාම බලකිරීම් කරන්නේ නැහැ.

විශේෂ ස්තූතිය
රිවිර පත්තරේ හර්ෂණී වීරරත්න සහ මැන්කන් ගුණසේකර

1 comment:

  1. හරිම වැදගත් අගනා සටහනක් ස්තුති ඔබට, මා මේ සටහන යොමු කරන්නම් සියළු රසිකයන් වෙනුවෙන් " ස්වර වර්ණ ගී මිහිර " පිටුවට

    ReplyDelete