Translate

Wednesday, March 1, 2017

තාරක මධුෂාන් විතාන නැමති බාලදක්ෂයා

රංගන ක්ෂේත්‍රය තුළ වේදිකා නාට්‍ය හරහා පන්නරය ලබපු පිරිස අතරින් බාලදක්ෂයොත් කීපදෙනෙක්ම ඉන්නවා. වේදිකා නාට්‍යක රගපාන එක ගොඩක් අභියෝගාත්මක කාර්යයක්. සජීවී ඉදිරිපත් කිරීමක් වගේම ප්‍රේක්ෂකාගාරයේ ඉන්න හැමෝටම ඇහෙන විදිහට දෙබස් කියන එකත් ලෙස් කටයුත්තක් නොවෙයි. 

වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් නිහඩ මෙහෙවරක යෙදෙන නවක රංගන ශිල්පියෙක්. බාලදක්ෂයෙක්. ඒ තමයි තාරක විතාන. තාරක එක්ක කරපු මේ කතා බහෙන් අපි උත්සාහ කළේ තාරක විතාන කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මුළු රටටම හදුන්වා දෙන්නයි. ඒ විතරක් නෙවේ. වේදිකා නාට්‍යවල තිරය පිටුපස ඇති පරිසරය ගැනත් පාඨකයන්ට පුළුල් අත්දැකීමක් ලබා දීමත් මේ කතා බහේ තවත් අරමුණක් වුණා....

01. උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම? තාරක මධුෂාන් විතාන

02. අද ඔබව හදුනන්නෙ?
* මේ දවස්වල නම් ගොඩක් දෙනෙක් කතා කරන්නේ “මග්ග“ කියලා. ඕක තමයි Campus එකෙන් වැටුන Card එක. පාසල් කාලේ නම් ගොඩක් නම් තිබුනා. දනුලත් දන්නවනේ, තාම පාසලේ යාළුවෝ ඒ නම් කියලා කතා කරනවා.

03. උපන්න ගම් පළාත?
** උපන් ගම් පළාත නම් කොලොන්නාව, තාත්තගේ මහ ගෙදර. ඒත් පොඩි කාලෙම. එතකොට මට අවුරුද්දයි. එහෙ කොටි කලබල වැඩි උන නිසා මාව අරගෙන අම්මලාගේ ගම් පළාත, ඒ කියන්නේ කළුතර දිස්ත්‍රිකයේ වීදාගම කියන ගමට ආවා. එදා ඉදන් හරිම ආසාවෙන් මේ පළාතට වෙලා ඉන්නවා.

04. ඉගෙන ගත්ත පාසල?
** ප්‍රථමික අධ්‍යාපනය ලැබුවේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්. තාත්තා ඇතුළු පවුලේ හැමෝම ඉගෙනුම ලබපු පාසැල ඒක නිසා පොඩි විශේෂත්වයකුත් තියෙනවා. ශිෂත්වයෙන් පස්සෙත් එම පාසලේම ඉන්න තීරණය කළා. උසස් පෙළට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු උනා.

05. උසස් පෙළට පිවිසෙන්නෙ?
** උසස් පෙළ සදහා කොළඹ ආනන්ද විද්‍යාලයට පිවිසෙනවා. කලා අංශයෙන් තමයි උසස් පෙළ කරන්නේ. භූ ගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයන් හැටියට තෝරා ගන්නවා.

06. උසස් පෙළට කරපු විෂයන් සහ නාට්‍ය සහ රංග කලාව කියන්නේ හරියට අහසට පොළව වගේ නෙහ්? ඉතින් රංගන ක්ෂේත්‍රයට අඩිතාලම වැටුණේ කොහොමද?
** මෙහෙමයි. උසස් පෙළ කරන කාලේ වෙද්දී මට තොරතුරු තාක්ෂණ විෂයට ලොකු ආසාවක් ඇති උනා. මොකද මම සාමාන්‍ය පෙළටත් ඒ විෂය හදාරපු නිසා මම ඒ විෂය තෝරා ගත්තා. කොහොම උනත් මම පොඩි කාලේ ඉදලම කලාවේ ගොඩක් පැතිවලට ආසා කළා. චිත්‍ර අදින්න, සින්දු කියන්න ඒ වගේම ගොඩක්ම ආසා කළේ රගපාන්න. පාසල් යන කාලේ මොනා හරි විවිධප්‍රසංගයක් තිබ්බොත් කොහොම හරි පැනලා ගිහින් චරිතයක් ගන්නවා. ගමේ ඉන්න කොටත් යාළුවොත් එක්ක කළේ රුපවාහිනියේ යන විවිධ චිත්‍රපටි, කතාවල තිබ්බ ජවනිකා රගපාපු එක (තාමත් ඒ පුරුද්ද තියෙනවා). ඔය අතරේ පාසලේ පෝතක බාලදක්ෂ කණ්ඩායමට බැදුනා. ඊට පස්සේ ඉතින් සතියකට සැරයක් මොකක් හරි නාට්‍යක පොඩි චරිතයක් රගපානවමයි. ඒ අතරෙම පාසලේ නාට්‍ය සංගමේට බැදෙන්න අවස්ථාවක් ලැබුනා. ඔය අතරේ අපේ පවුලෙත් කිහිප දෙනෙක් කලාවට සම්බන්ධවෙලා හිටියේ. ඒ අභාශේත් ලැබෙන්න ඇති. ඔන්න ඔහොම තමයි රංගන ක්ෂේත්‍රය අඩිතාලම වැටුනේ.

07. පාසලෙන් ලැබුනු දායකත්වය ගැන කිව්වොත්?
** මම සාමාන්‍ය පෙළ දක්වාම ඉගෙන ගත්තේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ. ඉතින් මේ විද්‍යාලයෙන්ම තමයි රගපෑමට ඇතුල් වුනෙත්. ඉතින් කුඩා කාලේ ඉදලම රගපෑමට තිබ්බ ආසාව නිසා ගුරුවරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුනා. ඉස්කෝලේ නාට්‍යක් මොනා හරි තිබුනොත් මටත් චරිතයක් කොහොම හරි අරගෙන දුන්නා. ආනන්ද විද්‍යාලයෙනුත් ලොකු සහයෝගයක් ලැබුනා. දැනට පවා නාට්‍ය සම්බන්ධයෙන් පාසලේ දෙයක් කරනවා නම් දැනුවත් කරනවා.

08. සම්බන්ධ වුණු පළවෙනි වේදිකා නාට්‍යය ගැන මතක් කරනවා නම්?
** මුලින්ම වේදිකාවට ගොඩ උනේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබනකොට. තර්ස්ටන් විද්‍යාලයේ විශේෂ සැමරුමක් තිබ්බා, බණ්ඩාරනයක සම්මන්ත්‍රණ ශාලාවේ. ඒකට හැම ශ්‍රේණියකින්ම අංගයක් ඉදිරිපත් කළා. කොහොම හරි ඔය අංගවලට තෝරන දවස්වල මට පාසල් එන්න බැරි උනා. මම එද්දී කට්ටියව එක එක අංග වලට බෙදලා ඉවරයි. මොනා කරන්නද? මම අපේ වසරේ නාට්‍ය පුහුණු වෙන තැනට වෙලා බලන් හිටියා. ඒක ඉංග්‍රීසි නාට්‍යක්. නම “Pied Piper and The Family Town“. ඉතින් කොහොම හරි නාට්‍ය පුහුණු වෙන අතරේ එක චරිතෙකට එයාගේ චරිතේ කරන්න බැහැ කිව්වා. ඉතින් ඒ නාට්‍ය පුහුණු කරන මිස් ඇහුවා 'මේ චරිතේ කරන්න කැමති වෙන කවුරු හරි ඉන්නවද?' කියලා. මම රගපාන්න ආස උනත් මේක ඉංග්‍රීසි නාට්‍යක් නිසා සහ ඒ චරිතේ ගැහැණු චරිතයක් නිසා ඉදිරිපත් උනේ නැහැ. ඒ අතරේ මගේ පාසලේ යාලුවෙක් මාව එක පාරට ඉස්සරහට තල්ලු කළා. මිස් මගෙන් ඇහුවා එක පාරට 'ආ ඔය කැමතිද මේ චරිතෙට? හරි එහෙනම් පටන් ගමු' කිව්වා. මට කර කියා ගන්න දෙයක් නැති උනා. මම මිස් දිහා බලාගෙන හිටියා. චරිතේ මොකක්ද කියල දැනගත්තම මම ඔක්කොටම වඩා බය වුනා. නගරේ නගරාධිපතිගේ නෝනගේ චරිතේ මට ලැබිලා තියෙන්නේ. දෙබස් නම් දෙක තුනයි. ඒත් පොළවේ හැපී හැපී කෑගගහ අඩන්න තියෙනවා. හැබැයි ඒ කාලේ මට හොදට අඩන්න පුළුවන්. මොකද මම හැමදාම හවස ඉස්කෝලේ ඇරුනම අම්මා එනකන් අඩනවා. ඉතින් ඒ චරිතේ මට පහසුවෙන්ම කරන්න පුළුවන් වුනා. ඔන්න ඕක තමයි පලමු වේදිකා නාට්‍යය.
09. ඊට පස්සේ රංගනයෙන් දායක වුණු අනිත් වේදිකා නාට්‍යය මොනවද?
** යුද්දෙටත් ඇවිත් - යුද්දෙටත් ඇවිත් නාට්‍ය කරනකොට මම 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. මම කිව්වානේ බාලදක්ෂ කාණ්ඩයට බැදුනම නාට්‍ය ගොඩක් කරන්න ලැබුනා කියලා. මේක ඒවගෙන් ප්‍රධානම එකක්. ඒ කාලේ වෙද්දී කොළඹ රාජකීය විද්‍යාලයේ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ බාලදක්ෂ ජම්බෝරිය පවත්වන්න සුදානම් කළේ. ඉතින් එකේ තිබ්බ නාට්‍ය තරගෙට අපි මේ නාට්‍ය ඉදිරිපත් කළා. මේක සිංහල නුර්තිත් එක්ක සම්බන්ධ උන ලස්සන නාට්‍යක්. මම රගපෑවේ සිංහල රජුගේ සේනාවේ සෙබලෙක් හැටියට. ලංකාවට ගොඩබැහැපු පරංගි රටෙන් එලවන්න, ඒ කාලේ මිනිස්සු කොච්චර කැපකිරීමක් කළාද කියලා මේ නාට්‍යයෙන් රග දැක්වුවා. ”යුද්දෙටත් ඇවිත් සිදු පිට නැවු නැගලා - පරංගි උන් නමුත් ඇවිත් කොලඹට ගොඩ බැහැලා“

** හුණු වටයේ කතාව - මේක තර්ස්ටන් විද්‍යාලයේ කලා උළෙල වෙනුවෙන් කළේ. වර්ෂය නම් හරියටම මතක නැහැ. හුණු වටයේ කතාව ඉතින් ගොඩ දෙනෙක් දන්නා කතාවක්. මේ කතාවේ එන සෙබළු දෙන්නගෙන් එක සෙබලෙක් විදිහට රගපාන්න අවස්ථාව ලැබුනා. ”යුද්දෙට මන් ගියා - නෝනා ගෙදර තියා“. ඔන්න ඕක කියන්න හිටියෙත් මම තමයි. හරිම සුන්දර අත්දැකීම්.

** වැද්දෝ - කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල සාහිත්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් පාසලේ සාහිත්‍ය සංගමය කරපු ලස්සන නිර්මාණයක්. කොළඹින් පිරිසක් වැදී ගමකට ඇවිල්ලා, ඒ ගම නාගරීකරණය වෙලා, විනාශ වෙන ආකාරය පෙන්නපු නාට්‍යක්. මම මේකේ වැදී රජතුමාගේ පුතාගේ චරිතය රගපෑවා. මේක ගොඩක් හාස්‍යට බර නාට්‍යක්.

** කාල ගෝල - මේක අපි අංගොඩ පැත්තේ තිබුන වැඩිහිටි නිවාසෙකට ගිහින් කරපු නාට්‍යක්. පරණ කාල ගෝල කතාව පොඩ්ඩක් නවීකරණය කරලා, වර්තමාන සමාජයට ගැලපෙන විදිහට හදලා රග දැක්වූවා. මේක කළේ පෝතක බාලදක්ෂ කාණ්ඩයෙන්. මේ නාට්‍ය අපි තව ගොඩක් අවස්ථාවල විවිධ තැන්වලදී රග දැක්වුවා. දික්තලගේ මහත්තයාගේ චරිතය තමයි මම රගපෑවේ.

** මෙගා නාට්‍යය - කොළඹ ආනන්ද විද්‍යාලයට ආවට පස්සේ කරපු අවසන් නාට්‍ය. මේක කළේ 2012 වර්ෂයේ ආනන්ද විද්‍යාලයේ පැවැත්වුන කලා උළෙල වෙනුවනේ. මෙගා නාට්‍ය කියලා නම දැම්මේ මේකේ කතාව ගලාගෙන ගියේ, මෙගා නාට්‍යක් කරන්න ගිය පිරිසිකට සිදුවුණු රසබර හාස්‍ය ජනක සිදුවීම් මාලාවක් රගදක්වපු නිසා. මෙගා නාට්‍යයේ අධ්‍යක්ෂකවරයාගේ චරිතයට තමයි මට පණ පොවන්න ලැබුනේ. ඒකත් ගොඩක් හාස්‍ය මතුකරපු චරිතයක්.
10. මේ වෙනකොට (2015) වේදිකා නාට්‍ය කීයක විතර රගපාලා තියෙනවද?
** 12ක විතර රගපාලා තියෙනවා.

11. සම්මාන එහෙමත් ලැබිලා ඇති නේද?
** ඔව් ඔව්. මුල්ම සම්මානය ලැබුනේ අපේ “යුද්දෙටත් ඇවිත්“ නාට්‍යට. මේ සදහා කොළඹ බාලදක්ෂ ජම්බෝරියේ හොදම නාට්‍යට හිමි සම්මානය ලැබුනා. ඊලග සම්මානය ලැබුනේ “වැද්දෝ“ නාට්‍යට. මේකට එම නාට්‍ය තරගයෙන් දෙවන ස්ථානය ලැබුනා. මම හොදම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගත්තා.

12. රගපෑවා කියලා තමන්ට මොනවද ලැබෙන්නේ? පලක් නැති දෙයක් කියලා කවදාවත්ම හිතිලා නැද්ද?
** මට නම් රගපෑමෙන් ජීවිතේට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන් උනා. විශේෂම දේ තමයි ආත්ම තෘප්තිය. තමන් ආස දෙයක් හොදට කරලා එකෙන් ලබා ගන්න සතුට තරම් දෙයක් මට නම් නැහැ. මම ඒ හැම දෙයක්ම කළේ ගොඩක් සතුටින්. ඉතින් ඒ ලැබෙන සතුට හොදටම ප්‍රමාණවත්. ඒ වගේම ගොඩක් සුන්දර අත්දැකීම්, මතකයන් ගොඩක් ලබා ගත්තා ජීවිතේට. ඉතින් ඒ වගේ දේවල් කවදාවත් පලක් නැති දේවල් වෙන්නේ නැහැ. මිළ කරන්න බැරි ලස්සන මතකයන් විදිහට හැමදාම තියේවි.

13. මුල් කාලෙදි වේදිකාවක රගපාන්න බය හිතුනේ නැද්ද?
** මුල් නෙමෙයි, දැනුත් මම කොහොමත් පොඩ්ඩක් ලජ්ජාශීලි චරිතයක්. මම කිව්වනේ මුලින්ම නාට්‍යකට ගියෙත් වැරදිලා යාලුවෙක් මාව තල්ලු කරපු නිසා කියලා. කාලයක් නාට්‍ය කරනකොට, ලැජ්ජාව ටික ටික නැති වෙලා ගියා. කොහොමත් මම රගපාපු චරිතවලට ලැජ්ජාව ගෑවිලා හරි තිබ්බොත් ඒ චරිතේම ඉවරයි. එච්චර ලජ්ජා හිතෙන චරිත මම රගපෑවා.

14. වේදිකා නාට්‍යයක රගපානවා කියන්නේ හරිම අවදානම් වැඩක් නෙහ්? පොඩ්ඩ එහා මෙහා වුණොත්, මුළු නාට්‍යයම ඉවරයි නෙහ්?
** ඔව් ඒක නම් ඇත්ත. ඒකට ඉතින් තියෙන හොදම දේ, හොදට පුහුණුවීම් කරලා යන එක තමයි. තවත් ඉතින් දෙබසක් අමතක උනොත්, අතින් හරි ඒ වෙලාවට දෙබසක් දාලා නාට්‍ය ඇදගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට ඉතින් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. නාට්‍ය ගැන මෙන්ම තමන් ගැන හොද ආත්ම ශක්තියක්, විශ්වාසයක් තිබුනොත් රගපානවා කියන එක ඔය හිතන තරම් අමාරු කාර්යයක් නෙමෙයි.

15. මේ වෙනතෙක් රංගනයෙන් දායකත්වය ලබා දුන්න වේදිකා නාට්‍ය අතරින්, වඩාත්ම කැමැත්තක් දක්වන වේදිකා නාට්‍ය මොකක්ද?
** මම නම් රගපාපු හැම නාට්‍යකටම වගේම ආසයි. ඒ අතරින් “මෙගා නාට්‍ය” එකට ගොඩක් ආස කළා. එකේ කතාව ගලාගෙන ගිය ආකාරය හරි අපුරුයි.

16. මේ වෙනතෙක් රගපාන්න ලැබුනු චරිත ගැන තෘප්තිමත්ද? වඩාත්ම ආස කරපු චරිතය මොකක්ද?
** ඇත්තටම ඔව්. මොකද මට රගපාන්න ලැබුන හැම නාට්‍යකම තිබුනේ එකිනෙකට වෙනස් චරිත. ඒ නිසා ඒ හැම පැතිකඩක්ම අධ්‍යනය කරලා, හොද නිර්මාණයකට සහයෝගය දක්වන්න මට පුළුවන් උනා. ඒ වගේම ඒ හැම චරිතයකම මම සාමාන්‍ය ජිවිතේ ජිවත් වන සුපුරුදු චරිතෙත් ඇතුලත් උනා. ඉතින් ඒ වගේ චරිතයකට දායකත්වය දෙන එක ලොකු පහසුවක් උනා. මොකද ආයාසයෙන් චරිතෙට හැඩ ගැහෙන්න අවශ්‍යතාවයක් නොතිබුන නිසා. වඩාත්ම අසා කරපු චරිතය තමයි “Mega ටෙලිනාට්‍ය“ නාට්‍යයේ Directorගේ චරිතය. මොකද ඒ චරිතයේ තරහ, හාස්‍ය, සතුට, දුක මේ හැම දෙයක්ම තිබ්බ හරිම සතුටින් භාරගෙන කරපු චරිතයක් .
14. වේදිකා නාට්‍යයක රගපානවා කියන්නේ හරිම අවදානම් වැඩක් නෙහ්? පොඩ්ඩ එහා මෙහා වුණොත්, මුළු නාට්‍යයම ඉවරයි නෙහ්?
** ඔව් ඒක නම් ඇත්ත. ඒකට ඉතින් තියෙන හොදම දේ, හොදට පුහුණුවීම් කරලා යන එක තමයි. තවත් ඉතින් දෙබසක් අමතක උනොත්, අතින් හරි ඒ වෙලාවට දෙබසක් දාලා නාට්‍ය ඇදගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට ඉතින් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. නාට්‍ය ගැන මෙන්ම තමන් ගැන හොද ආත්ම ශක්තියක්, විශ්වාසයක් තිබුනොත් රගපානවා කියන එක ඔය හිතන තරම් අමාරු කාර්යයක් නෙමෙයි.

15. මේ වෙනතෙක් රංගනයෙන් දායකත්වය ලබා දුන්න වේදිකා නාට්‍ය අතරින්, වඩාත්ම කැමැත්තක් දක්වන වේදිකා නාට්‍ය මොකක්ද?
** මම නම් රගපාපු හැම නාට්‍යකටම වගේම ආසයි. ඒ අතරින් “මෙගා නාට්‍ය” එකට ගොඩක් ආස කළා. එකේ කතාව ගලාගෙන ගිය ආකාරය හරි අපුරුයි.

16. මේ වෙනතෙක් රගපාන්න ලැබුනු චරිත ගැන තෘප්තිමත්ද? වඩාත්ම ආස කරපු චරිතය මොකක්ද?
** ඇත්තටම ඔව්. මොකද මට රගපාන්න ලැබුන හැම නාට්‍යකම තිබුනේ එකිනෙකට වෙනස් චරිත. ඒ නිසා ඒ හැම පැතිකඩක්ම අධ්‍යනය කරලා, හොද නිර්මාණයකට සහයෝගය දක්වන්න මට පුළුවන් උනා. ඒ වගේම ඒ හැම චරිතයකම මම සාමාන්‍ය ජිවිතේ ජිවත් වන සුපුරුදු චරිතෙත් ඇතුලත් උනා. ඉතින් ඒ වගේ චරිතයකට දායකත්වය දෙන එක ලොකු පහසුවක් උනා. මොකද ආයාසයෙන් චරිතෙට හැඩ ගැහෙන්න අවශ්‍යතාවයක් නොතිබුන නිසා. වඩාත්ම අසා කරපු චරිතය තමයි “Mega ටෙලිනාට්‍ය“ නාට්‍යයේ Directorගේ චරිතය. මොකද ඒ චරිතයේ තරහ, හාස්‍ය, සතුට, දුක මේ හැම දෙයක්ම තිබ්බ හරිම සතුටින් භාරගෙන කරපු චරිතයක් .
21. රංගන ක්ෂේත්‍රයේදී මොන වගේ අභියෝග වලටද මුහුණ දීලා තියෙන්නේ? කොහොමද ඒ අභියෝග ජයග්‍රහණය කළේ?
** රංගන ක්ෂේත්‍රයේදී හැම මොහොතක්ම අභියෝගයක්. ඉතින් ඒ හැම දෙයකදීම ඉතාම ඉවසිලිවන්තව කටයුතු කරන්න ඕන. මොකද හදිස්සි වෙලා මේ දේවල් කරන්න ගියොත් රංගනයේ ගුණාත්මක තත්වය මෙන්ම නාට්‍යයේ ගුණාත්මක තත්වයත් නැති වෙනවා. ඉතින් මම හැම නාට්‍යකටම පෙර හොදට පුහුණුවීම් කරලා ඒ චරිතේ ජිවත් වෙන්න උත්සහ කරනවා. රගපෑමේදී මෙම චරිතය තුළ ජිවත්වීම ගොඩක් වැදගත්. ඉතින් මේ සියලු දේත් එක්ක ලොකු කැපවීමක් මහන්සියක් වුනාම, අභියෝග කියන දේවල් අභියෝගයක් වෙන්නේ නැහැ. තමන් ගැන හොද විශ්වාසයක් තියා ගන්න. එතකොට අභියෝග ජයගන්න පහසුයි.

22. කවුද ප්‍රියතම රංගන ශිල්පියා සහ ශිල්පිනිය?
** වේදිකා නාට්‍ය පැත්තෙන් ගත්තොත් නම් ජයලත් මනොරත්නයන්ට ගොඩක් ආසා කරනවා සහ ගරු කරනවා. මොකද ඔහුගේ රංගනය ගොඩක් තාත්විකයි. ඒ වගේම නාට්‍ය තුළ හැගීම් ඉස්මතු කරන ආකාරය ලස්සනයි. ප්‍රියතම රංගන ශිල්පිනියක් ලෙස දුලීකා මාරපනට ආසයි. ඇගේ රගපෑමේ තියෙන තාත්වික බවට සහ සරල බවට ආසයි.

23. වේදිකා නාට්‍යවලට අවතීර්ණ වෙන්න බලාගෙන ඉන්න අයට, මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ?
** තමන්ට වේදිකාවට යන්න ලැබෙන හැම අවස්ථාවක්ම අරගන්න. මොකද ඒ හැම දේකින්ම මොනවා හරි අලුත් දෙයක් ඉගෙනගන්න පුළුවන් වෙනවා. අලුත් අත්දැකීම් ලැබෙනවා. හැම වෙලාවේම ජ්‍යේෂ්ඨයින්ට ගරු කරන්න. ඒගොල්ලන්ගෙන් අපිට ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දේවල් ඉගෙනගන්න හදිස්සි වෙන්නත් ඕන නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මොකද කාලයක් හොදට මේ දේ අධ්‍යනය කළොත් අපිට හොද දෙයක් සමාජයට දෙන්න පුළුවන් වගේම, අනික් අයගෙත් ගරුත්වය ආකර්ෂණය ලැබෙයි. තමන්ට ලැබෙන චරිතයට තමන්ට උපරිම ආකාරයෙන් සාධාරණයක් කරන්න බලන්න. එතකොට හොද දිගු ගමනක් යන්න පුළුවන් වෙයි.
24. රංගන ක්ෂේත්‍රයේ මෙතෙක් ආපු ගමන ගැන තෘප්තිමත්ද?
** ඔව්. මොකද කියනවා නම් මට මේ ටික කාලය තුළ විවිධාකර තේමාවන් රැගත් විදිධ ශෛලීන්වල නාට්‍යවලට රංගනයෙන් දායකත්වය දෙන්න පුළුවන් උනා. එත් මේ ක්ෂේස්ත්‍රය ගොඩක් පුළුල් ලෙස විහිදිලා ගිය එකක්. ඉතින් ඒකේ රස මුසු තැන්, අභියෝග, කටුක අත්දැකීම් බොහොමයි. ඉතින් මේ ටික කාලෙට ලබාගත්ත දේවල් ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද ඒවා ලබා ගන්න ගොඩක් කැපකිරීම් කළා.

25. කවුරු හරි කිව්වොත් "තාරක වේදිකා නාට්‍යවල රගපාන්නේ පොරක් වෙන්න හිතාගෙන" කියලා?
** කලිනුත් කිව්වා වගේ රගපෑම මම කරන්නේ මගේ සතුට වෙනුවෙන්. ඉතින් මට රගපැමෙන් පොරක් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි කරන රංගනයෙන් තවත් කවුරු හරි සතුටු වෙනවා නම්, ජීවිතේට දෙයක් ලබාගන්නවා නම්, සමාජෙට හොද පණිවිඩයක් ලැබෙනවා නම් ඊට වඩා තෘප්තියක් තවත් නැහැ. කෙනෙක්ට පොරක් වෙන්න ඕන නම් වේදිකා නාට්‍ය රංගනය කියන්නේ ගොඩක් අමාරු වැඩක්. මොකද අද වෙනකොට වේදිකා නාට්‍ය බලන පිරිසත් ටික ටික අඩු වේගෙන යනවා. එත් මේ රගපෑම කියන දේ හොදින්ම කළොත් ප්‍රේක්ෂකයම අපිව පොරක් තත්වෙට ගෙනෙයි. ඉතින් මේ පොරක් වෙන්න රගපැම යොදා ගන්නවා නම් ඇත්තටම ඒක ලජ්ජා විය යුතු කරුණක්. මොකද කලාවට ආදරය කරන පුද්ගලයා කවදාවත් ඒකෙන් තමන්ව ඉහළට උලුප්පලා පෙන්නන්න හදන්නේ නැහැ. මොකද ඒ කරන වැඩේ කිසිම ගරුත්වයක් නැති වෙනවා. තමන් හොද දෙයක් හොද විදිහට කළොත් සමාජෙන් ඔහුව පොරක් තත්වෙට ගෙනේවි.

26. ටෙලිනාට්‍ය සහ සිනමාව පැත්තට පියමනින්න අදහසක් නැද්ද?
** ලොකු ආසාවක් තියෙනවා. ඒත් ඊට කලින් තව ටිකක් මේ කලාව පැත්තෙන් අධ්‍යන කරලම හොද නිර්මාණයකට දායක වෙනවා. ඉස්සරහට බලමු ඉතින්.

27. කොහොමද මේ වෙනකොට ලැබිලා තියෙන ප්‍රතිචාර?
** ප්‍රතිචාර නම් ගොඩක් හොදයි. හැම නාට්‍යකට පස්සෙම හොද ප්‍රතිචාර වගේම තව දියුණු කරගත යුතු තැන් ගැනත් අදහස් ලැබුනා. ප්‍රතිචාර කොච්චර හොදද කියනවා නම් තවමත් සමහර අය මාව අදුනන්නේ නාට්‍යයේ හිටපු චරිතයේ නමින්. සමහර වෙලාවට මුහුණට මුණගැහුනට අදුනන්නේ නැහැ. නාට්‍ය ගැන කිව්වම තමයි මතක් වෙන්නේ. ඒ තරම්ම ප්‍රතිචාර නම් ඉහළින්ම තියෙනවා.
28. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** ඉදිරියේදී වේදිකා නාට්‍ය දෙකකට දායකත්වය දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම පොඩි කෙටි චිත්‍රපටියක් කරන්න අදහස් කරන් ඉන්නවා. ඒකත් ළගදීම බලාගන්න පුළුවන් වෙයි. තව යාළුවන්ගේ නාට්‍යවල රුප රචනා කිහිපයකට උදවු වෙනවා. මේ ක්ෂේත්‍රයේ ලොකුම බලාපොරොත්තුව තමයි හොද වැදගත්, සමාජයට ආදර්ශමත්, හොදින් රසවිදිය හැකි නාට්‍යක් ඉදිරිපත් කිරීම. ඉතින් ඒ වෙනුවෙන් මේ දවස්වල අඩිතාලම දාගෙන යනවා. ඔය අතරෙ ඉතින් කොළඹ විශවවිද්‍යාලයේ පරිගණක අධ්‍යන අංශයේ තොරතුරු පද්ධති උපාධියත් හදාරනවා. ලොකු මහන්සියක් උනා මේකටත් ඇතුල් වෙන්න. ඒක නිසා කොහොම හරි ඒකත් හොදින් කරගන්න බලාපොරොත්තු වෙනවා. කවුරු හරි කෙනෙක් මේ ක්ෂේත්‍රයට එන්න ඉන්නවා නම් ඒ අයටත් පුළුවන් උපරිමයෙන් උදවු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය අතරේ මගේම කියල හොද නිර්මාණ කිහිපයක් කරන්න ලොකු ආසාවක් තියෙනවා. ඉදිරියට බලමු එහෙනම්.

29. ස්තූතියි කරන්න ඕන පිරිසකුත් ඉන්නවා නේද?
** ඔව්. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මගේ අම්මට සහ තාත්තාට. මොකද මේ හැම දෙයක් කරන්නම මට හොද නිදහසක් ඕන. ඒ වගේම මම කරන කියන දේවල් සහ මගේ චරිතය ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන. අම්මයි තාත්තයි මාව හොදින් තේරුම්ගෙන මට මේ හැමදේටම හොද නිදහසක් ලබා දීලා ඉදිරි ගමනට දිරිමත් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕන කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඉන්නකොට බාලදක්ෂ කණ්ඩායම භාරව හිටපු කිර්ති ගුරුපියාණන්, එවකට නාට්‍ය සංගමය භාරව හිටපු සරත් ගුරුපියාණන්. මේ දෙපලට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන මට මේ මාර්ගය විවර කර දුන්නට. කොළඹ ආනන්ද විද්‍යාලයට ආවට පස්සේ අපේ කලා හැකියාවන් අදුනගෙන ඒවා දිරිමත් කරපු කලා අංශ ප්‍රධානි ශ්‍රියා සේනාධිර මහත්මිය ගොඩක් ආදරෙන් මතක් කරනවා සහ කලා අංශයේ සියලුම ගුරු මව්වරුන් සහ පියවරුන් ආදරෙන් මතක් කරන්න සහ ඔවුනට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආනන්ද විද්‍යාලයේ කලා අංශයේ අපිත් එක්ක එකට රගපාපු අලුත් අලුත් දේවල් කරන්න උත්සහ ගත්ත යාළුවන්වත් මතක් කරන්න කැමතියි. නම් සදහන් කරන්න අකමැතියි. කවුරු හරි මග හැරුනොත් හිතට හරි නැහැ. ඒකයි. කොළඹ විශවවිද්‍යාලයේ පරිගණක අධ්‍යන අංශයේ අපේ වසරේ ඉගෙනුම ලබන සියලුම යහළුවන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද ඔවුන් මගේ හැකියාවන් අදුනගෙන මාව දිරිමත් කරනවා. ඉතින් මෙහෙම ස්තුති කරනකොට නම් කියනොවුනු, ජීවිතේට ගොඩක් වැදගත් වුනු පුද්ගලයෝ ඇති. ඉතින් ඒ හැම දෙනාගේම උදව්වෙන් තමයි මේ ගමන ආවේ. ඒ හැම දෙනාටමත් ගොඩක් ස්තුතියි.

ඔන්න ඔහොමයි තාරක එක්ක කරපු "සොදුරු කතා බහ" අවසන් වෙන්නේ. ඉතින් වේදිකා නාට්‍ය සහ රංග කලාව ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට, මේ අංශයන් ගැන උනන්දු අයට අවස්ථාව තියෙනවා 


විශේෂ ස්තූතිය - danulawickramaarachchi
තුන්වෙනි සීනුව - දනාගෙ පලා මල්ල

No comments:

Post a Comment