Translate

Tuesday, June 6, 2017

ලලිත් විලියම් ඇතුලත්මුදලි නැමති බාලදක්ෂයා

ලලිත් විලියම් ඇතුලත්මුදලි (1936 නොවැම්බර් 26 – 1993 අප්‍රේල් 23) ශ්‍රී ලංකාවේ හිටපු ඇමතිවරයෙකි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි, නීතීඥවරයෙකි. කළක් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල කිහිපයකම නීතිය ඉගැන්වීමෙහි යෙදී 1970 දශකයේ දේශපාලනයට පිවිසියේ ය. මුලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඔහු 1992 සිට මිය යනතුරු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළේය. සාහසිකයකුගේ වෙඩි පහරින් 1993 අප්‍රේල් 23 රාත්‍රියේ මිය ගියේය. ඇතුලත්මුදලි වඩාත් ප්‍රකටව සිටින්නේ මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමයෙහි නිර්මාතෘ ලෙස ය.

ඇතුලත්මුදලිගේ පියා හිටපු රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී ඩී. ඩී. ඇතුලත්මුදලි ය. ඔහු 1931 – 36 සමයෙහි රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ අතර 1947 සහ 1952 වසරවලදී එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් ව පරාජය වූයේ ය. 1946 සැප්තැම්බර් 6 වනදා එක්සත් ජාතික පක්ෂය පිහිටුවීම සනිටුහන් කළ රැස්වීමට ද ඔහු සහභාගී විය. ලලිත් ඇතුලත්මුදලි තවත් බාල සහෝදරියකගේ සහ සහෝදරයකුගේ වැඩිමහල් සොහොයුරා විය.

පාසැල් සමය
ලලිත් ඇතුලත්මුදලි සිය පළමු පාසැල් වසර ගත කළේ කොළඹ කාන්තා විද්‍යාලයේ ය. එකළ කොළඹ ප්‍රධාන කාන්තා පාසැල්වල පළමු පන්තිවල පිරිමි ළමුන් කිහිප දෙනෙකුට අවස්ථාව දෙනු ලැබීය. ලලිත් කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ එලෙසිනි.
කෙසේ නමුත් ඉන්පසු, 1942 ජනවාරියේ, ඔහු රාජකීය ප්‍රාථමිකයට ඇතුලත් කෙරුණි. නමුත් ඔහුට එහි වැඩිකල් සිටීමට වූයේ නැත. මාර්තු මාසයේ ඇතුලත්මුදලි පවුල කොළඹින් පිට පදිංචියට ගියේ දෙවන ලෝක යුද්ධයේ උණුසුම ඒ වනවිට ලංකාවට ද දැනෙමින් තිබූ බැවිනි. කෙටි කළකට පසු ඔහු පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයට ඇතුලත් කෙරුණ අතර නැවතත් 1943 ජනවාරියේ සිට කොළඹ රාජකීය ප්‍රාථමික විද්‍යාලයට ඇතුලත් කෙරුණි.

1948 දී ඔහු රාජකීය ප්‍රාථමිය විද්‍යාලයෙන් රාජකීය විද්‍යාලයට ඇතුලත් විය. එකළ රාජකීය විද්‍යාලය සහ රාජකීය ප්‍රාථමික විද්‍යාලය වෙනමම පාසැල් දෙකක් ලෙස පැවතිණ. පාසැල් සමයෙහි ඔහු මළල ක්‍රීඩාවට යොමු වූ අතර බාලදක්ෂ ව්‍යාපාරයට සහ ශිෂ්‍යභට කණ්ඩායමට ද සම්බන්ධ විය. 1954 දී දෙවන එලිසබෙත් රැජිණ ලංකාවට පැමිණි අවස්ථාවේ ආචාර පෙළපාලියකට ද ඔහු සහභාගී වූයේය. මේ අතර 1952 දී අන්තර් පාඨශාලීය කඩුලු මතින් දිවීමේ වයස 16 න් පහල වාර්තාව හිමි කරගැනීමට ද ඔහු සමත් වී ය.

ඔක්ස්ෆර්ඩ් සරසවිය
පාසැලෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුලත් වූ ඇතුලත්මුදලි එහිදී නීතිය හැදෑරීය. මේ අතර ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ (Oxford Union) කනිෂ්ඨ කාරක සභාවට 1956 මැද දී තරඟ කළ ඔහු ඉන් ජය ලැබීය.
1956 නොවැම්බර් 26 වනදා ඔහු එහි ලේකම් ලෙස ද තේරී පත් විය. මේ අතර 1957 දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය බෞද්ධ සංගමයේ ආරම්භක සභාපති වූ ඔහු 1957 ජූනියේදී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික ලෙස තෝරාගනු ලැබීය.
1957 නොවැම්බර් 26 වනදා ඔහුගේ උපන් දිනයදා ම, ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට තරඟ කළ ලලිත් එම ධූරයට තෝරාගන්නා ලදී.
ලලිත් ඇතුලත්මුදලිගේ ඔක්ස්ෆර්ඩ් දිවිය නිම වීමට පෙර ඔහුගේ පියා මිය ගියේය. ඒ 1958 නොවැම්බර් 10 වනදා ය. ඒ සමඟම ඔහුගේ පවුලට ආර්ථික අපහසුතා එල්ලවන්නට විය. මේ අවස්ථාවේ එවක අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඔහුගේ අධ්‍යාපනය සඳහා රජයෙන් ශිෂ්‍යත්වයක් ලබාදීමේ යෝජනාවක් ගෙන ආවේය. එවක අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක විසින් පාර්ලිමේන්තුවට ඉරිදිපත් කළ යෝජනාව සම්මත වූයෙන් ලලිත් ඇතුලත්මුදලිට විශේෂ ශිෂ්‍යත්වයක් හිමි විය.
එම විවාදය පැවතියේ 1959 පෙබරවාරි 24 දා ය. ඇතුලත්මුදලිට දෙවසරක අධ්‍යාපනය සඳහා රුපියල් 5000 කට නොවැඩි මුදලක් වෙන් කරන ලදී.




වෘත්තීය දිවිය
ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය අවසන් කළ පසු ඇතුලත්මුදලිට මලයා විශ්ව විද්‍යාලයේ සිංගප්පූරු සරසවියේ (University of Malaya, Singapore Campus) සහකාර කථිකාචාර්ය තනතුරක් ලැබුණි. මෙම විශ්ව විද්‍යාලය පසුව සිංගප්පූරු විශ්ව විද්‍යාලය බවට පත්ව අද වනවිට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය නමින් සුපතල ආයතනය වේ.
කෙටි කලකින්ම කථිකාචාර්ය තනතුරට උසස්වීමක් ලද ඇතුලත්මුදලි 1962 දී සරසවි නිවාඩු සමයේ ඊශ්‍රායලයේ හීබෲ සරසවියේ ආගන්තුක කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය. පසුව හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති (L.L.M) උපාධිය සම්පූර්ණ කළේය.
නැවත සිංගප්පූරු සරසවියේ වසරක් ගෙවූ ඔහු 1964 ජූනි මාසයේදී ලංකාවේ අධිනීතීඥයකු ලෙස දිවුරුම් දුන්නේය.

දේශපාලන කටයුතු
ලලිත් ඇතුලත්මුදලි එක්සත් ජාතික පක්ෂයේ අගලවත්ත ආසන සංවිධායක ලෙස පත්වීම ලැබූයේ 1973 මැයි 23 වනදා ය. 1976 ජූනි 1 වනදා ඔහු රත්මලාන සංවිධායක ලෙස පත් කෙරුණි. 1977 මහ මැතිවරණයට ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟ කළේය. ඇතුලත්මුදලි මෙහිදී ඡන් ද 19,972 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සී.වී. ගුණරත්න ඡන් ද 12,141 ක් ද, ලංකා සම සමාජ පක්ෂයේ විවියන් ගුණවර්ධන ඡන් ද 3,305 ක් ලබාගත් අතර යූ. ජී. ගුණදාස පෙරේරා ඡන් ද 108 ක් ලබාගත්තේය.
1977 දී වෙළෙඳ ඇමති පදවියට පත් කරන ලද ඇතුලත්මුදලි විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ මූලික කාර් යභාරයක් සිදු කළ බව සඳහන් ය. ඔහු විවෘත ආර්ථිකය යනු නිදහස් ආර්ථිකයක් නොවන බවත් එහි දොරටුවක් ඇති බවත් ඔහු පවසා ඇත. මෙම දොරටුව කෙතරම් විවිර කරන්නේද යන්න විවෘත ආර්ථිකයේදී තීරණය කළ යුතු ය.
ආර්ථිකයේ පදනම තරඟය නම් මිනිසා කැපවීමෙන් වැඩ කරනු ඇතැයි යන්න ද එවිට ඔහුගේ කුසලතා මතුවනු ඇතැයි යන්න ද මෙහි තවත් උපකල්පනයක් විය.
1978 සැප්තැම් බර් 7 වනදා සිට ඇතුලත්මුදලි වෙළෙඳ සහ නාවික ඇමති වූ අතර කොළඹ වරාය කන්ටේනර් වරායක් බවට පත්කිරීම ඔහුගේ නායකත්වය යටතේ සිදු විය.
කෙසේ නමුත් ලලිත් ඇතුලත්මුදලි නාමය ශ්‍රී ලංකාවේ පැළපදියම් වූ හේතුව නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහපොල ශිෂ්‍යාධාර ක්‍රමය ඇති කිරීම ය. එම ක්‍රමය 1980 දී මූලාරම්භය දුටුවේ ය.
1984 මාර්තු 23 වනදා ඇතුලත්මුදලි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය. 1987 දී සුප්‍රසිද්ධ වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුම (Operation Liberation) දියත් වන්නේ ඔහුගේ අධීක්ෂණය යටතේ ය. එම මෙහෙයුමේ දෙවන අදියරේදී ඉන් දියානු බලපෑම මත එය නවතා දමන ලද අතර ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඇතුලත්මුදලි අතර මතභේදයකට ද එය හේතු විය. ඉන් දියාවේ අවශ්‍යතාවට අත්සන් කෙරුණ ඉන් දු ලංකා ගිවිසුමට ඇතුලත්මුදලි තදින්ම විරුද්ධ විය.
කෙසේ නමුත් මෙම විරසකය දරුණු අර්බුදයක් වීමට පෙර 1987 අගෝස්තු 18 වනදා පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය සිදු විය. රජයේ මන්ත්‍රීවරුන් එදින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර 1987 ඉන්දු – ලංකා ගිවිසුමෙන් පසු ඔවුන් එසේ රැස් වූ පළමු අවස්ථාව එය විය. එම කාමරය වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මින් කීර්ති අබේවික්‍රම මන්ත්‍රීවරයා සහ තවත් නිලධාරියෙක් මිය ගියහ. 1987 ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම ප්‍රහාරය දියත් කළ බව සැළකේ. මින් එම ගිවිසුමට එරෙහි වූ ඇතුලත්මුදලි බරපතල තුවාල ලැබීම දෛවෝපගත සිද්ධියකි.
සමානුපාත ක්‍රමය හඳුන්වා දීමෙන් පසු පැවති පළමු පාර්ලිමේන්තු මතිවරණය පවත්වන ලද්දේ 1989 පෙබරවාරි 15 දා ය. එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ඇතුලත්මුදලි මනාප 235,447 ක් ලබා එම මැතිවරණයේ වැඩිම මනාප ලාභියා බවට පත් විය.
මෙම මැතිවරණයෙන් පසු කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර ඇමතිවරයා වූ ඔහු 1990 මාර්තුවේදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ලෙස පත් කරන ලදී.
මෙකළ ජනාධිපති ප්‍රේමදාස හා ගැටුම් වර්ධනය වන සමය විය. මෙහි උච්ච ස්ථානය වූයේ ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් ගෙන ඒම ය. ඒ 1991 අගෝස්තුවේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස විරෝධීන් පිරිසක් මෙම ක්‍රියාවලියෙහි නිරත වූහ. කෙසේ වෙතත්, දෝෂාභියෝහය ඉදිරිපත් කර දින දෙකකට පසු ඇතුලත්මුදලි ඇමතිධූරයෙන් ඉල්ලා අස් විය. ඒ 1991 අගෝස්තු 30 දා ය.
සැප්තැම්බර් 3 වනදා ඔහු ඇතුලු කැරලිකාර එජාප මන්ත්‍රීන් ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරිණ. මන්ත්‍රීන් අට දෙනෙක් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ හ.
මේ අතර නව පක්ෂයක් ලියාපදිංචි කිරීමට ද මෙම පිරිස පියවර ගත්තේ නඩු තීන් දුව කිනම් ආකාර වේදැයි නොදත් බැවිනි. කෙසේ නමුත් නඩු කටයුත්ත හේතුවෙන් ලලිත් ඇතුලු පිරිස නිල වශයෙන් ඊට සම්බන්ධ නොවූහ. මැතිවරණ කොමසාරිස් වෙත අදාල අයදුම්පත යොමු කළේ 1991 නොවැම්බර් 28 වනදා ය. පක්ෂ නායකයා වූයේ රාජනීතීඥ ඒ. සී. ගුණරත්න ය.

අවසන් සමය
දෙසැම්බර් 3 වනදා ඇතුලත්මුදලි ඇතුලු පිරිසට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ තීන් දුව ප්‍රකාශ විය. ඉන්පසු ඔහු නව පක්ෂයේ වැඩකටයුතුවලට සම් බන් ධ වූයේය. 1992 ජනවාරි 20 වනදා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ රාජාලියා ලකුණින් ලියාපදිංචි පක්ෂයක් වෙද්දී ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක එහි උප සභාපතිවරු වූහ.
ප්‍රේමදාස පාර්ශවයෙන් ඇතුලත්මුදලිට 1991 – 1992 වසරවල සිව් වරක් මැර ප්‍රහාර එල්ල විය. 1992 අගෝස්තු 29 වනදා දෙහිවලදී එල්ල වූ ප්‍රහාරයෙන් ඔහුගේ දිවි ගැලවුනේ වාසනාවට ය.
ලලිත් ඇතුලත්මුදලි 1993 අප්‍රේල් 23 වනදා රාත්‍රී 8.30 ට පමණ කිරුලපන පැවති ජන රැළියක් ඇමතීය. ඒ පළාත් සභා මැතිවරණ සමය වූ අතර ඔහු තම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු විය. ඔහුගේ කතාව අවසන් වූ පසු ඔහුට සාහසිකයකු විසින් වෙඩි තබන ලදී. රෝහල්ගත කරන ලද ඇතුලත්මුදලි පසුව මිය ගියේය.
එම ඝාතනයේ වගකීම එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත පැවරීමට රජය උත්සාහ කළ ද ජනාධිපති ප්‍රේමදාස වෙත එහි ඇඟිල්ල දිගු වූයේය. අප්‍රේල් 28 වනදා ඇතුලත්මුදලිගේ අවමඟුල දා අවමඟුල් පෙරහැර අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්තාවයන් සහ කඳුලු ගෑස් ප්‍රහාර ද එම සැකය වැඩි කිරීමට හේතු විය.
ඔහුගේ මරණින් දින කිහිපයකට පසු 1993 මැයි 1 වනදා ජනපති රණසිංහ ප්‍රේමදාස මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ගොදුරක් බවට පත් විය.
ඇතුලත්මුදලිගේ මරණින් පසුවද ඔහු අතිශය ජනප්‍රිය පුද්ගලයකු විය. ඔහුගේ මරණින් පසුව පවත්වන ලද පළාත් සභා මැතිවරණයේදී ඔහුට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණ අතර ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමණී ඇතුලත්මුදලි 1994 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය. කෙසේ නමුත් ප්‍රේමදාසගේ මරණින් පසු ගාමිණී දිසානායක ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් පිරිසක් යළි එජාපයට එක් වූ අතර පක්ෂය දියාරු වී ගියේය.

විශේෂ ස්තූතිය - චාමර
http://worldfu.com/author/chamara/ 
"නොනිමි මෙහෙවර"- ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය - රංජිත් අමරකීර්ති පළිහපිටිය

No comments:

Post a Comment