Translate

Saturday, April 25, 2020

අශ්වාරෝහක බාලදක්ෂයෝ - 1 කොටස

 කුරුඳුවත්ත පොලිසියත් තුම්මුල්ල හන්දියත් අතර මාර්ගය අද තනි අතට යන හෙවත් සිංහලයෙන් ‘වන්වේ’ One Way පාරකි. සොලමන් බණ්ඩාරනායක පිළිරුව තියෙන හරියේ බස්රථයකින් බහින කට්ටියකට කොන්දොස්තර ගැටයා ‘ඕං පරණ පිස්සන් කොටුව බහින්න’ යැයි කිවහොත් කීදෙනෙක් අන්ද මන්ද වනු ඇතිද? අද නම් බොහෝ දෙනෙකු සිතනු ඇත්තේ කොන්දොස්තර කොලුවාට ‘පිස්සු’ හැදිලා කියාය. එහෙත් ‘රේස් කෝස්’ බහින්න යැයි කියූ විට නම් කවුරුත් දඩිබිඩිගා බසයෙන් බැස යනු නියතය. 
The Colombo - Kandy Mail Coach outside the Royal Hotel Colombo ...

ඉතිහාසය හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ සංවිධානාත්මක ලෙස අශ්ව රේස් ආරම්භ වී ඇත්තේ 1664 දී බව ය. එහි ආරම්භකයා ලෙස පෙනෙන්නේ ඉංග්‍රීසි හමුදාවේ රිචඩ් නිකොලස් නම් සෙනෙවියෙකි. එම අශ්ව රේස් ඔහු අරඹා ඇත්තේ ‘ලෝං’ නම් දිවයිනේ සෝල්බරි තැන්නේ රේස් පිටියක් ඉදිකිරීමෙනි. ‘අශ්ව රේස්’ ලෙඩේ ටික කලක් යන විට ඇමරිකාවට ද වැලඳී ඇත. 

අශ්වයා කියූ සැණින් අපේ මතකයට එන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ කන්ථක අශ්වයා ය. එහෙත් සිද්ධාර්ථ චිත්‍රපටයේ ඉන්න අශ්වයා නම් ඉන්නේ නුගේගොඩ මෙල්ඩර් පෙදෙසේ ප්‍රේමදාස රයිඩින් ස්කූල් එකේ ය. මේ සුදෝ සුදු අශ්වයාගේ නම සුදු කෙල්ල ය. 

ශ්‍රී ලංකාවේ අශ්වයින්ගේ ඉතිහාසය ප්‍රෝටෝ (Proto History) යුගය​ තෙක් විහිදී යන්නකි. අනුරාධපුරයේ කළ කැණීම්වල දී ප්‍රෝටෝ යුගයට අයත් පස් ස්ථරයන්හි තිබී අශ්ව දතක් හමුවූ බව ලේඛනවල ඇත. අනුරාධපුර ගෙඩිගේ ප්‍රදේශයේ කැණීම්වල දී අශ්වයින්ට අයත් කොටස් සොයාගත් බව දැරණියගල 1958 වාර්තාවේ සඳහන් වේ.

Sculpture of Man and Horse at Isurumuniya - The Archaeology News ... 
Ornate Carvings Of Horses And Elephants In Steps Sacred Quadrangle ...

ලංකාවේ අශ්ව රේස් ආරම්භයේ ඉතිහාසය සෙවීමේ දී පෙනී යන්නේ බ්‍රිතාන්‍ය සොල්ද‌ාදුවන් එහි ආරම්භකයන් බවය. ඇතිකිරීමට හා තරග කිරීමට අධිරාජ්‍යවාදී යුගයේ දී අශ්වයන් ගෙන්වා ඇත්තේ ‘ජෝන් බේකර්’ නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසිනි. ජෝන් බේකර් ජීවත් වී ඇත්තේ නුවරඑළියේය. තම නිවස අසල කන්දක් වටා අශ්ව රේස් සඳහා පථයක් තැනූ බේකර් ඒ මාර්ගය යොදාගෙන තරග සඳහා අශ්වයන් පුරුදු කොට ඇත.


ලංකාවේ අශ්ව රේස් සඳහා මුලින්ම ද‌ායක වී ඇත්තේ ඉංග්‍රීසි හමුදාවේ යුද භටයන් හා සීමිත වූ දේශීය වැවිලිකරුවන් පිරිසකි. නමින් දේශීය වුවත් මොවුන් සුද්දන්ටත් වඩා සුද්දන් ලෙස කටයුතු කළ කල්ලන් විය.
මීට වසර 170 කට පෙර ලංකාවේ 1848 සැප්තැම්බර් 15 වැනිදාවක මේ අශ්වයන්ට ආදරය කළ ඇත්තන් එක්වී ‘ලංකා තුරඟ සමාජය’ නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඇත. නමුත් මුලින් අශ්ව රේස් පවත්වා ඇත්තේ ගාලු මුවදොර රේස් පිටියේ දීය. මේ වකවානුව ලේඛනගතව ඇත්තේ 1846 - 1892 දක්වා 46 වසරක් තුළ ය. 


අද කුරුඳුවත්තේ දක්නට ලැබෙන ‘හැව්ලොක් රේස් පිටිය’ ආරම්භය සඳහන් වන්නේ 1893 ලෙස ය. එය විවෘත කොට ඇත්තේ මෙයින් වසර 125 කට පෙර 1893 ජූනි 22 දා ය. හැව්ලොක් යන නම ලැබී ඇත්තේ සර් ඒ.ඊ. හැව්ලොක් නිසා නමුත් ලංකාවේ තුරඟ තරගවලට දැවැන්ත සේවයක් කළ ආණ්ඩුකාරයා ලෙස සැලකෙන්නේ ටොරිංටන් සාමිවරයා ය. එතුමාගේ යුගයේ ‘ආණ්ඩුකාර කුසලානය’ සඳහා පැවැත්වූ අශ්ව තරගවලට බොහෝ දෙනා ලංසු තැබුවේ අශ්වයන්ගේ වලිගය අතගා හුරතල් කිරීමෙන් පසුව ය. 

එහෙත් අද අශ්ව ඔට්ටු අල්ලන්නේ රූපවාහිනියේ අන්තර්ජාලය මගින් පෙන්වන ‘බුකි’වලය. නොදන්නා රටවල අශ්වයන්ට පමණක් නොව ‘බල්ලන්ට ද’ ඔට්ටු අල්ලන තත්ත්වයට අද සූදු අන්තුවන් දියුණු වී ඇත.
ලංකාවේ අශ්ව රේස් නැවැත්වූ පසු රේස් කෝස් ගොඩනැගිලි ද සලකන ලද්​ෙද් අතහැර දමන ලද දේපළක් ලෙස කිවහොත් වඩාත් නිවැරදි ය. කලක් පැවැති රජයන් මෙම රේස්කෝස් ගොඩනැගිල්ල කඩා බිම හෙළීමට කරන ලද සැලසුමක් ද විය. මෙම ගොඩනැගිල්ල නැවත පණ ගැහී එන්නේ ගෝඨාභය රාජපක්ෂ යුගයේදීය. 

මේ ගොඩනැගිල්ලේ ඇති භූමිය ගැන ලේඛන පිරික්සීමේ දී පෙනී යන්නේ බ්‍රිතාන්‍යයන් මුලින්ම මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ මානසික රෝහලක් ලෙස බවය. මේ ප්‍රදේශය අතීතයේ ‘කූඹි කැලේ’ ලෙස ප්‍රකටව තිබුණි.
එදා කූඹි කැලේ ප්‍රදේශයට වත්මන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිලි භූමිය පවා අයත්ය. එද‌ා රේස් කෝස් භූමියේ අක්කර 100 ක් වපසරියට අද රාජ්‍ය ලේඛණාගාරය, කොළඹ විශ්ව විද්‍යාලයේ භූමියෙන් මෙන්ම රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණය මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය ද අයත් ය. රේස් කෝස් එක පිහිටි භූමිය දෙස බලා සිටින්නේ සර් සොලමන් බණ්ඩාරනායක පිළිරුවයි. එය බ්‍රිතාන්‍ය රජය ඔහු ජීවතුන් අතර සිටියදීම ගොඩනගන ලද්දේ ඔහුට උපහාර පිණිස ය. සර් සොලමන් කවදත් අශ්ව ලෝලියකු විය. ඔහු ගමන්කොට ඇත්තේ අශ්වයකු පිට ය. 

සොයිසා පරම්පරාව සතු දේපළක් වූ එද‌ා Morning Leader පුවත්පතේ වූ එක් ලිපියක් අනුව පෙනී යන්නේ අධිරාජ්‍යවාදී යුගයේ ආසියාවේ ජනප්‍රියතම තුරඟ තරග පිටිය වී ඇත්තේ මේ කුරුඳුවත්තේ රේස් කෝස් පිටිය බව ය. එය ආසියාවේ ඔට්ටු ඇල්ලීම් පුවරුවක් නොහොත් ‘ස්කොර් බෝඩ්’ එකක් සහිත එකම තුරඟ තරග පිටිය වී ඇත. 

1893 ජූනි 23 වැනිදා මෙම රේස්කෝස් ගොඩනැගිල්ල විවෘත වූ බවට ලේඛනගතව ඇතත් ඊට වඩා ඉතිහාසයක් මෙම ගොඩනැගිල්ලට ඇත. මෙම ගොඩනැගිල්ල දුටු සැණින් ප්‍රතාපවත් බ්‍රිතාන්‍ය යුගය සිහිපත් නොවිණි නම් එය පුදුමයකි. මෙහි මුල් සැලසුම 1875 තෙක් ඈතට දිව යන අතර මෙම ගොඩනැගිල්ල ඉදිකොට ඇත්තේ ඇඳන් 400 කින් යුතු මානසික රෝහලක් ලෙස ය. ලේඛනවල ඇත්තේ බොරැල්ලේ ඒ වන විටත් පැවැති මානසික රෝහල පිරී ඉතිරී යාම නිසා මෙම රෝහල ඉදිකළ බව ය. 

කුරුඳුවත්තේ පිස්සන් සඳහා හැදූ රෝහලත් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට අදත් දක්නට හැකි ඕලන්ද රෝහලත් පටලවා ගන්නට එපා. මේ දෙක දෙකක්. රේස් කෝස් පිටියට ඕලන්ද රෝහල තරම් ඉතිහාසයේ ස්ථානයක් හිමිවෙන්නේ නැත. ඉතිහාසය සඳහන් කරන්නේ පෘතුගීසි බලය බිඳ කොළඹ කොටුව රාජධානිය නැවත රාජසිංහ රජ්ජුරුවන්ට ලබා දෙන්නට පෙරමුණ ගත් ලන්දේසි හමුද‌ාවේ නම් දරාපු අද්මිරාල් ජෙරාඩ් හල්ෆ්ට් මේ ඕලන්ද රෝහලට ගෙන එනකොටත් පරලොව ගොස් හමාර බව ය. 

කලක් මේ පුරාවිද්‍යා ස්ථාන පැවතියේ අධි ආරක්ෂක කලාපයක ය. ඕලන්ද රෝහල ඇත්තේ ජනපති මන්දිරය පෙනෙන දුරිනි. රාජසිංහ රජ්ජුරුවන් රඳවා සිටි කුටිය ඇත්තේ ද ඊට ඉතා සමීපව ය.

Natural Heritage Conservation - Delft Island, Sri Lanka - Dilmah ...

 රේස්කෝස් ඉතිහාසය තුළ වූ ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නේ නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයාගේ බෑනා කෙනෙකුට අයිති ‘ප්‍රින්ස් ඉම්පෙරියල්’ නම් අශ්වයා ලංකාවට ගෙන ඒමට වූ සූද‌ානමයි. නැපෝලියන්ගේ බෑනා වූයේ III චාල්ස් ලුවිස් නැපෝලියන් බොනපාට් ය. මෙම අශ්වයා සැලකෙන්නේ ලොව දිගම කේෂර සහිතව සිටි අශ්වයා ලෙස ය. ප්‍රින්ස් ඉම්පිරියල් අශ්වයාගේ වල්ගයේ දිග අඩි ද‌ාහතරකුත් අඟල් තුනකි. එම අශ්වයාගේ කේෂර කලාපය අඩි නවයකුත් අඟල් දහයකි. 

ප්‍රින්ස් ඉම්පෙරියල් අශ්වයාගේ උප්පත්තියත් අභාවයත් ආදී දින වකවානු පිරික්සීමේදී පෙනී යන්නේ එම අශ්වයා ලංකාවට ගෙනැවිත් ප්‍රදර්ශනයට සූදානම් වී ඇත්තේ ගෝල්ස්ෆේස් හි රේස් පිටියට විය යුතු බවය. එහෙත් මෙම අශ්වයාගේ හිමිකාරිත්වය පශු සම්පත් හිමිකරුවකු වූ ‘ජේකබ් හව්සර්’ විසින් මිලදී ගැනීමත් සමග ලංකා ගමන ගැන නම් ඉන්පසු සටහනක් නැත. එවකට ඇමරිකාව පුරා සර්කස් සංදර්ශන, සැණකෙළි ආදියෙහි මෙම ප්‍රින්ස් ඉම්පෙරියල් අශ්වයා බලන්නට ඇමරිකන් සුද්දන් පවා පොරකා ඇත. 

ඉම්පෙරියල් ප්‍රින්ස් අශ්වයා ලංකාවේ රේස්කෝස් එකට ගෙන ආවා නම් එය එදා කදිම ප්‍රවෘත්තියක් ලෙස ලොව පුරා ප්‍රචාරය වනු නියත ය. රේස් ඔට්ටු තැබීම සඳහා ලොව පුරා සූදු අන්තුවන් ලංකාවට අද්දවා ගැනීම මෙම ප්‍රචාරක උපක්‍රමය විය. මෙම අශ්වයාගේ අභාවය එක්දහස් අටසිය ගණන් නිමවන්නටත් පෙර සිදුවී ඇති අතර එම අශ්ව සිරුර පුරවා සංරක්ෂණය කරන්නට ඉන්පසු පියවර ගෙන ඇති අතර එය මුදල් මවන යන්ත්‍රයක් බවට පත්වී ඇත. ලංකාවට ඒමට පෙරුම් පිරූ මේ ප්‍රින්ස් ඉම්පෙරියල් අශ්වයා අද වුවද ලංකාවට​ ගෙන ඒමට හැකියාවක් ඇත. ඊට හේතුව වසර දෙසීයක් ඉක්මවාත් මෙම පුළුන් පුරවා සංරක්ෂණය කළ අශ්ව සිරුර හෙරිටේජ් හෝල් (Heritage Hall) ප්‍රදර්ශනයට ඇති බව අන්තර්ජාලයේ දැකගත හැකිය. 

දෙවන ලෝක යුද සමය වන විට කුරුඳුවත්තේ තුරඟ තරග පිටිය තුළ ගුවන් පථයක් ගොඩනගන්නට අධිරාජ්‍යවාදීන් පියවර ගෙන ඇත්තේ හොර රහසේ ය. කොළඹින් කතා කරන රේඩියෝ සිලෝන් එකේ ඩී.ඇම්. කොළඹගේ පුවත්පත් සාකච්ඡාවක දී සඳහන් කොට ඇත්තේ රේඩියෝ සිලෝන් එක මේ කියන රේස්කෝස් පිටියේ තිබූ සන්දියේ තමන් ‘කොළඹින් කතා කළ’ බව ය. 


 ජපන් බෝම්බයට රත්මලානේ ගුවන්තොටුපල නතු වූයේ එය බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ගුවන් හමුද‌ා මූලස්ථානයක් වූ බැවිනි. ජපන් ගුවන් යානා පසුපස හඹාගොස් පහරදීමට බ්‍රිතාන්‍යයන් යොදාගෙන ඇත්තේ මේ රේස් කෝස් පිටියේ නවතා තිබූ ගුවන්යානා ය. 

මෙහි මුල් කාලයේ අශ්ව රේස් තරගවලට අතරමැද කඩා වැදී ඇති ප්‍රධාන පිරිසක් වී ඇත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කට්ටඩින් ය. ඊට හේතු වී ඇත්තේ දුවන අසුන්ගෙන් ගිලිහෙන අශ්ව ලාඩමක් දුටු සැණින් ඔවුන් එයට පොරකෑමය. අශ්ව ලාඩම සැලකෙන්නේ සෞභාග්‍යයේ සංඛේතයක් ලෙස ය. ඇස්වහ කටවහවලින් මිදීමටත් සතුරන්ගෙන් ආරක්ෂාවටත් නිවෙස ඉදිරිපිට ලාඩමක් එල්ලා තැබීම දැනුත් සුභ කටයුත්තක් ලෙස සලකනු ලැබේ. 

 මේ තුරඟ තරග පිටියේ සුදු අශ්වයන්ට තිබී ඇත්තේ විශේෂ පිළිගැන්මකි. සූනියම් දෙවියන් ගමන් බිමන් යාමට යොදාගෙන ඇත්තේ සුදු අශ්වයෙකි. සූනියම් දෙවියන් අදහන පුද්ගලයන් සුදු අශ්වයන් සලකන ලද්දේ සූනියම් දෙවියන්ගෙන් විශේෂ බැල්ම ඇති සත්වයකු ලෙස ය. ඔවුන් බොහෝ දෙනාගේ තෝරා ගැනීම වූයේ සුදු අශ්වයන්ට ඔට්ටු ඇල්ලීම ය. තමන් ඔට්ටු ඇල්ලූ අශ්වයා පරාද වුණත් තමන්ට සූනියම් දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බව ඔට්ටු ඇල්ලූ පුද්ගලයාගේ විශ්වාසයයි. එවැනි අශ්වයකුගේ ලාඩමක් ලැබුණහොත් ඔට්ටු හිමියා සිතන්නේ එය තමන්ට සූනියම් දෙවියන් දුන් වරප්‍රසාදයක් බව ය. 

 මෙවැනි ලාඩමක් වරු තුනක් කහ වතුරෙන් සෝදනු ලබන අතර දක්ෂ කට්ටඩියකු ලවා වරු 7ක් ජීවම් කිරීම ඊළඟ කාරියයි. ඉන්පසු ගෙදර ප්‍රධානියාගේ මාපට ඇඟිල්ලේ ලේ බිඳුවක් ගෙන එම ලාඩමේ තබන අතර නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ සෞභාග්‍යය ලැබෙන ලෙස ඉදිරිපස එල්ලන්නේ ඉන්පසුව ය. 

අද ඉතිං රේස්කෝස් බහින්නැයි බස්රථයේ කොන්දොස්තර කොලුවා කෑගැසුව ද ඔය කියන හරියේ අශ්වයකු තබා පෝනියකු වත් දැකගන්නට නැත. අද එය ඉතිහාසයට එක්වූ තවත් නමක් පමණක් වී තිබේ. සියවසකට අධික කාලයක් පුරා නොනැසී ඇති කොළඹ රේස් කෝස් පිටියේ ඒ සුන්දර මතකය තවත් සියවස් ගණනාවක් රැකෙනු නියත ය. 


විශේෂ ස්තූතිය
වජිර ලියනගේ

No comments:

Post a Comment