Translate

Sunday, December 19, 2021

නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු

නව ප්‍රධාන බාලදක්ෂ ලෙස නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පසුගිය දා පත්විය. නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ(SLSA) 21වැනි ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත. 


SLSA නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් සිටි ජනප්‍රිත් මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. ඒ, මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා එම තනතුරින් නික්ම යෑමත් සමඟය.

1979 දී පාසලේ කණිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා සිය ගමන ආරම්භ කරමින්,ඔහු මූලික සහ උසස් අධ්‍යාපනය ලැබූවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයකු ලෙස ඔහු සිය බාලදක්ෂ කණ්ඩායමේ, භට කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ අතර,1984 වසරේ දී කීර්තිමත් ජනාධිපති බාලදක්ෂ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ජනප්‍රිත් මහතා වැඩිහිටි නායකයකු ලෙස, කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ ශාඛාවට සම්බන්ධ වූ අතර, දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරයා ලෙසත් පසුව 2005 දී දිස්ත්‍රික් කොමසාරිස්වරයා ලෙසත් පත් විය. 2010 දී SLSA විශේෂ කොමසාරිස්වරයකු ලෙසත් පසුව එම සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස්වරයා බවටත් පත්විය. 2016 දී ඒ මහතා, SLSA නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයා වශයෙන් වැඩ භාර ගත් අතර එතැන් සිට දේශීය බාලදක්ෂ ව්‍යාපාරයට කැපවී සේවය කළේය.‍

ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා 2017 සිට 2021 දක්වා ලෝක බාලදක්ෂ කමිටුවටත්, 2012 සිට 2017 දක්වා ආසියා පැසිෆික් කලාපයේ ප්‍රාදේශීය බාලදක්ෂ කමිටුවටත් තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා විය.ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ යහපාලන කණ්ඩායමේ සභාපතිවරයා ලෙස ද,ලෝක බාලදක්ෂ ක්ෂේත්‍රයේ ඔහු දැරූ වෙනත් බොහෝ නායකත්වයන් අතර කලාපීය ව්‍යාපාරයේ කළමනාකරණ උප කමිටුවේ සභාපති ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

ජනප්‍රිත් මහතා ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට දැක්වූ සුවිශේෂී දායකත්වය මැලේසියා අග්‍රාමාත්‍ය,තායිවාන ජනාධිපති සහ පිලිපීනයේ උප ජනාධිපති ඇතුළු බොහෝ රාජ්‍ය නායකයන්ගේ පවා ඇගැයීමට ලක් වී ඇත. ඊට අමතරව, ආසියා පැසිෆික් කලාපයේ සභාපති පදක්කම ද ජනප්‍රිත් මහතාට පිරිනමා තිබේ. ජනප්‍රිත් මහතා වෘත්තීය නීතිඥයකු පමණක් නොව, ඔහු 'බුක්බ්‍රිජ් ශ්‍රී ලංකා' සමාගමේ සභාපතිවරයා ද වෙයි. ඊට අමතරව 'නායකත්ව හා කුසලතා වර්ධන මධ්‍යස්ථානයේ' සභාපතිවරයා ද වන ඒ මහතා මෙරට බොහෝ පෞද්ගලික හා රාජ්‍ය ආයතන රැසක මාණ්ඩලික සාමාජිකයකු ලෙස ද කටයුතු කර තිබේ.

No comments:

Post a Comment