Translate

Thursday, September 5, 2024

සිඟිති ලොව එකලු කරනා 2වැනි ජාතික කිඩෝරිය හෙටයි!

බාලදක්ෂ ශබ්ධකෝෂයට අලුත් වචනයක්

මෙරට බාලදක්ෂ පාරිභාෂිත වදන් මාලාව අලුත් කරමින් බාලදක්ෂයන් වෙනුවෙන් ‘‘ජම්බෝරිය‘‘ ද, පෝතක බාලදක්ෂයන් වෙනුවෙන් ‘‘කබෝරිය‘‘ ද පවත්වනු ලැබූ අතර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කුඩාම සාමාජිකයන් වන මෙම සිඟිති බාලදක්ෂ දරු දැරියන් වෙනුවෙන්ගේ ජාතික මට්ටමින් ඒකරාශී වීම ‘‘කිඩෝරිය‘‘ නමින් නම්කර තිබේ. ඒ අනුව මෙලෙසින් නව බාලදක්ෂ වදනක් නිර්මාණය වී ඇති අතර මේ එලෙස පැවැත්වෙන මහා සිඟිති රැළිය වසර දෙකකට වරක් පැවැත්වීමට නියමිතය. 2024.09.07- 08 දෙදින තුළදී පැවැත්වෙන ජාතික කිඩෝරිය ඒ අනුව මෙම මහා සැමරුමේ දෙවැනි පියවර වේ.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිඟිති අංශය තවදුරටත් ව්‍යාප්ත කරමින් සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය විසින් දැඩි කැපවීමෙන් යුක්තව සිදුකරනු ලබන අතර වසර දෙකකින් පසු නැවත වරක් 02වැනි ජාතික කිඩෝරියක් පැවැත්වීමේ යෝජනාව පසුගිය දා මල් පල ගන්වනු ලැබිණ. ඒ අනුව දෙවැනි ජාතික කිඩෝරිය සැප්තැම්බර් මස 07 සහ 08 යන දිනයන්හි කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වෙන අතර, ඒ සඳහා සිඟිති බාලදක්ෂයන් එක් දිනයකට 5000 බැගින් දෙදින තුළ 10,000ක් පමණ සහභාගි වීමට නියමිත ය. 

සහය ප්‍රධාන කොමසාරිස් කිඩෝරි කඳවුරු නායිකා චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය විසින් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය වෙතින් 02වැනි ජාතික කිඩෝරිය පැවැත්වීම සඳහා නිල අවසරය ලබා ගනු ලැබූ අතර එහි දී ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් කිඩෝරි නායක නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත ජාතික කිඩෝරි නිල ලාංඡනය පිරිනැමීම සිදුකරනු ලැබීය. හිටපු පෝතක අංශය භාර සහය ප්‍රධාන කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්මියගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය සිඟිති බාලදක්ෂයන් විසින් දෙවැනි ජාතික කිඩෝරි ගීතය ගායනා කරන ලද්දේය. දිවයින පුරා විසිරී සිටින සුවහසක් සිඟිති බාලදක්ෂයින්ට මෙම දැවැන්ත රැළිය අසිරිමත් සිහිවටනයක් වනු නොඅනුමානය. ඒ අනුව Scouting සඟරාවේ අපි, 02වැනි ජාතික කිඩෝරිය උණුසුම් සුබපැතුම් මෙලෙසින් එක්කරන්නෙමු.



පළමු ජාතික බාලදක්‍ෂ කිඩෝරි මතකය

ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ ඵෙතිහාසික පියවරක් තබමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ වකවානුවේදී එනම් 2022 වසරේ නොවැම්බර් මස 13 වැනිදා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරමින් ස්වකීය සාමාජිකත්වය ලක්ෂයේ සීමාව ඉක්මවීම උදෙසා නව දොරටුවක් විවෘත කරනු ලැබීය. අලුතින්  හඳුන්වා දෙනු ලැබූ මෙම නව බාලදක්ෂ අංශයට නම යෝජනා කරනු ලැබුවේද හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමා විසිනි. මෙලෙස ආරම්භ වූ සිඟිති බාලදක්ෂ අංශය සඳහා වයස අවුරුදු 5-7 අතර පසුවන දරු දැරියන් සිඟිති බාලදක්ෂ අංශයට ඇතුළත් කරගනු ලැබිණ. මෙම නව අංශයෙහි දැවැන්ත කාර්ය භාරය සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය වෙත පැවරිණ. 


ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් සිරිලක පුරා පැතිර ගිය සිඟිති බාලදක්ෂ අංශයෙහි ස්වර්ණමය සංධිස්ථානයක් සිහිපත් කරමින් ‘‘සිඟිති ලොවට හෙට දවසක්‘‘ යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික කිඩෝරිය සඳහා සිඟිති බාලදක්ෂ දරු දැරියන් 6000කට අධික පිරිසක් සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතාගේ ප්‍රදානත්වයෙන් 2022 නොවැම්බර් 26 වැනිදා කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවති අතර ක්‍රියාකාරකම් විහාර මහාදේවි උද්‍යානයේ පුරා අසිරිමත් ආකාරයෙන් පවත්වනු ලැබිණ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය ඇතුළු සංවිධායක මණ්ඩලය විසින් මෙය මෙහෙය විය.

කිඩෝරි නායිකා සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය පළමු කිඩෝරිය විවෘත කරමින්

සිඟිති ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම් හා විනෝදාත්මක වැඩසටහන් රැසක් මෙහිදි ක්‍රියාත්මක කෙරිණ. සිඟිති දරුවන්ගේ හැකියාවන් පෙන්නුම් කරලීමට මෙය මහඟු අවස්ථාවක් උදා කෙරිණ.