Translate

Sunday, August 30, 2015

ගස් වර්ග 15 - 14. හඳුන් ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

14. හඳුන් ශාකය

රත්හඳුන් (Pterocarpus santalinus)


රත් හඳුන් රත්රන්වලටත් වඩා මිල අධික ද්‍රව්‍යයකි. දුලබ බවත්, අධික ඉල්ලුමත් ඊට හේතුවයි. රත්හඳුන් යනු අප කවුරුත් දන්නා පරිදි දකුණු ආසියානු කලාපයේ වැවෙන දැඩි සේ සීමාසහිත, වඳවී යැමේ තර්ජනයට ලක්‌වූ ශාකයකි. ඉන්දියාවේ (දකුණු) කලාප කිහිපයකත්, පකිස්‌තානය හා නේපාලයේත් ස්‌වභාවික වනාන්තරවල හමුවන රත්හඳුන් ශ්‍රී ලංකාවේ ද වැවේ. විද්‍යාත්මකව ටෙරොකාපස්‌ සැන්ටාලිනස්‌ (Pteroscarpum santalinus) ලෙස හඳුන්වන රත් හඳුන් ශාකය අඳුරු රත් පැහැතිs කඳක්‌ සහිත, සුවඳවත්, ඖෂධීයමය වශයෙන් වටිනා ශාකයකි. සාමාන්‍යයෙන් මීටර් 8 ක්‌ පමණ (අඩි 25) උසට වැඩෙන රත් හඳුන් මේරූ කඳක්‌ සෙන්ටිමීටර් 50-150 ක්‌ පමණ වට ප්‍රමාණයකින් යුක්‌තව වැඩේ. වසර තුනකදී මීටර් 5 ක්‌ පමණ දක්‌වා උසට වැඩෙන රත් හඳුන් ශාකය මෙම කාලසීමාවෙන් පසු දැව නෙළාගැනීම සඳහා වාණිජ ලෙස යොදා ගැනේ.
 
රත් හඳුන් ශාකය
මෙය දේශිය වෛද්‍ය කර්මයෙහි භාවිතා වන ඉතා වැදගත් ඖෂධයක් ලෙස සැලකිය හැකිය. පුරාතනයේ සිටම රත්හඳුන් එදිනෙදා භාවිතයට ගන්නා අත් බෙහෙතක් ලෙස ද බොහෝ ජනප්‍රියව පවතී. අතීතයේ විසූ කුමාරිකාවන්, රජ බිසෝවරුන් ප්‍රමුඛ කාන්තාවන් සිය ශරීරයේ රෑ සොභාව වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම සම පවිත්‍ර කාරකයක් ලෙස ද සලකා ස්නානයේදී සඳුන් ගලගා ශරීරයේ ගල්වනු ලැබූ බව ජනප්‍රවාදයන්හි සඳහන් වේ. රත්හඳුන් මීටර් 7-8 පමණ උසට වැඩෙන ශාකයකි. පත්‍ර ඒකාන්තරයි, ත්‍රිපත්‍රිකයි, උපපත්‍ර රහිතයි. පුෂ්ප මංජරියක හට ගන්නා දිවීලිංගික පුෂ්ප කහ පාටය. ඵලය බීජ දෙකක් සහිත කරලකි. ඉන්දියාවේ ස්භාවිකව වැවෙන අතර ලංකාවේ වගා කර ඇත.

ඉදිමීම්, වමනය, දැවිල්ල, අක්ෂි රෝග, අධික පිපාසය, හිසරදය, අතීසාරය, උණ, රක්ත අර්ශස්, චර්ම රෝග, පණු රෝග, රක්තපිත්ත, වාතආබාධ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා රත්හඳුන් ශාකයේ ඵලය සහ අරටුව භාවිතා කරයි. පාචනයට රත්හඳුන් ඵලයේ යුෂ ඖෂධීය පානයක් ලෙස ලබාදීම, රක්තාර්ශස්වලට රත්හඳුන් එළකිරෙන් ගලගා බීම හෝ ජලයෙන් ගලගා ආලේප කිරීම, ගඩු සහ බිබිලිවලට රත්හඳුන් කුඩු පැණි හෝ තෙල් සමග මුසු කර ආලේප කිරීම ප්‍රතිකාර කිහිපයකි. බුද්ධරාජ කල්කය, දෙ සඳුන් කල්කය, රත්හඳුන් කල්කය යනාදිය රත්හඳුන් යොදාගෙන නිපදවන ඖෂධයන්ය.



සුදු හඳුන් (Santalum album)


මෙය අඩි 20-25 ක් පමණ උසැති මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. අතු දර්ශනීය ලෙස පහතට නමා වැටී පවතී. කඳේ පිට පොත්ත තදයි. රළු ගතියෙන් යුතුය. අරටුව කහ පැහැයෙන් යුක්තය. පත්‍රයක පත්‍රිකා ප්‍රමුඛව පිහිටා ඇත. පත්‍රිකා මතුපිට දිලිසෙන සුලුය. පුෂ්ප රවුම් පොකුරු ආකාර ගනී. ඵලය කුඩා වන අතර දම්-කළු පැහැතිය. ලංකාවේ විවිධ ප්‍රදේශවල සුළු වශයෙන් වැවේ. ඉන්දියාවේ මලය පර්වත පෙදෙස හා වෙටිට පර්වතය අවට පෙදෙස විශේෂ සුදු හඳුන් වර්ගයක් වැවෙන ප්‍රසිද්ධ ප්‍රදේශ වන අතර එරට බොහෝ පළාත්වල සාමාන්‍ය සුදු හඳුන් ප්‍රභේදය වැවේ. සුදු හඳුන් සන්ටලාසේ කුලයට අයත්ය.

සුදු හඳුන් ශාකය
මෙම ශාකය කැපීම හා ප්‍රවාහනය තහනම් කර තිබුණ ද මෙහි අරටුව තෙල් සිඳීමට යොදා ගන්නා බැවින් ගෙවතු, පාසල් භූමි පමණක් නො ව පූජා භූමිවල පවා ඇති සුදු හඳුන් ශාක රහසිගතව කපා දැමීම සිදුකෙරෙන බව වාර්තා වී ඇත. විශේ‍ෂයෙන් ම සුදු හඳුන් ශාකය අර්ධ පරපෝෂිත ශාකයක් මෙන් ම ධාරක ශාකයකි. එනම් මෙම ශාකය වර්ධනය වීම සඳහා එය සමඟ අවට ක්ෂේත්‍රය තුළ දිගුකාලීන ව පවතින තවත් ශාක පැවතීම අවශ්‍යය. මේ නිසා මෙම ශාකය වගාකිරීමේදී එහි වගා තාක්ෂණය පිළිබඳ අවබෝධය අනිවාර්යය. නොඑසේ නම් මෙම ශාකය නිසි පරිදි වගා කරගැනීම අපහසුය.

සුදු හඳුන් ශාකය ගෙවතු සඳහා ඉතා යෝග්‍ය ශාකයක් වන අතර එය සමඟ මලිත, නික වැනි ශාක වගාකිරීම වඩාත් යෝග්‍ය වේ. සුදු හඳුන් වැවීම පාරිසරික ව ද ඉතා සුදුසු කර්තව්‍යයකි. විශේෂයෙන් ම පල්ලේකැලේ ආයුර්වේද ඖෂධ උද්‍යානය මගින් මෙන් ම හල්දුම්මුල්ලේ ජාතික ඖෂධ උද්‍යානය මගින් ද මෙහි පැළ මෙන් ම වගා තාක්ෂණය ද ලබාගැනීමේ පහසුකම් පවතී. හඳුන් ශාකයේ පිට සුඹුල, අරටුව, හඳුන් තෙල් හා අරටුව දැවූ අළු ඖෂධ වශයෙන් ගනු ලැබේ. සුදු හඳුන්වල ඇති රුධිරය පිරිසිදු කරන ගුණය, ඔසප් රෝගවලට සුවය ගෙනේ. විෂ නැසීමේ ගුණය අතින්ද සුදු හඳුන් ඉතා ප්‍රකටය. කුෂ්ටවල සඳුන් තෙල් ආලේප කිරීමෙන් මහත් සහනයක් ලැබේ. නාසයේ හා කම්මුල්වල මතුවන කුරුලෑ සහ විසර ගෙඩිවල සුදු හඳුන් තෙල් හා අබ තෙල් පිළිවෙළින් එකට-දෙක අනුපාතයෙන් මිශ්‍ර කොට ආලේප කිරීමෙන් සුවය ලැබේ. පිපාසයට සුදු හඳුන්, කළාඳුරු අල, පත්පාඩගම්, සැවැන්දරා සහ අමු ඉඟුරු යුෂ මිශ්‍ර කොට පානය කිරීමෙන් සුවය ලැබේ. සුදු හඳුන් සුවඳ විලවුන්, සඳුන් සුවඳ සබන් හා රූපාලංකාර ආලේපන තැනීමට ගන්නා ප්‍රධාන අමු ද්‍රව්‍යයකි. කැපුම්, තුළුම්, සීරීම් හා ඉදිමුම් ආදියේ සුදු හඳුන් ගල ගා ආලේප කිරීම ආදියේ සිටම පැවති ප්‍රතිකර්මයකි.


හඳුන් ජාවාරම

ලොව ප්‍රධාන පෙළේ ජාවාරම් අතර රත් හඳුන් ජාවාරම ද නමක්‌ දිනාගෙන සිටීමයි. මෙම ශාකය ඉතා දුලබ වීම නිසාම එයට ඇති ඉල්ලුම ඉතා අධික වී තිබේ. දුලබ වූ පමණින්ම ඊට ඇති ඉල්ලුම ඉහළ යැම සිදු නොවෙතත්, රත් හඳුන්වල පවතින ඖෂධීයමය ගුණ හේතුවෙන් හා දැවමය වශයෙන් පවතින වටිනාකම අනුවත් එහි ඉල්ලුම තීරණය වී තිබේ. සරල නිදසුනක්‌ ඒ සඳහා ගතහොත් ශ්‍රී ලංකාවේ වැවෙන කළුවර ශාකයට ද ඇත්තේ එවන් දැවමය වටිනාකමකි. රත් හඳුන්වලට වැඩිම ඉල්ලුම ඇත්තේ චීනයෙනි. ධන කුවේරයන්ගේ නිබඳ ස්‌පර්ශයට ගැනීම සඳහා බහුල වශයෙන් රත්හඳුන් භාවිත කෙරේ. ඒ අනුව ගෘහ භාණ්‌ඩ මෙන්ම අත්කම් භාණ්‌ඩ නිපදවීම සඳහා ඉතා ඈත කාලයේ සිට චීන ජනයා රත්හඳුන් භාවිත කළහ. ඒ ඉන්දියාවේ රත්හඳුන් ඉල්ලුමට අමතරවය. මෑත කාලයේ සිට ඩුබායි හා සිංගප්පූරුව වැනි රටවලින් ද රත් හඳුන්වලට ඉහළ වටිනාකමක්‌ ලැබී තිබේ. රත්හඳුන්වලට මෙවන් වටිනාකමක්‌ ලැබී ඇත්තේ සුදුහඳුන් දැවයට ඇති වටිනාකමට අමතරව බවද මෙහිදී සිහිපත් කරනු වටී. 

සුදු හඳුන් ලෙස වරදවා ගන්නා කෙකේන් ශාකය
ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය ඇතුළු රටවල් කිහිපයක වැවෙන සුදු හඳුන් ශාකය (සැන්ටාලම් ඇල්බම්) ද ආර්ථික වශයෙන් ඉහළ දැවමය ශාකයක්‌ වන අතර, එය බහුල වශයෙන් යොදා ගන්නේ සඳුන් තෙල් නිදපවීම සඳහාය. කෙසේ හෝ රතු ද සුදු ද යන්න නොව, අද හඳුන් වෙළදාම ජාවාරමක්‌ බවට ද පත්ව තිබේ. ඒ අතරතුර, සුදු හඳුන් ශාකය ආර්ථික වැවිල්ලක්‌ ලෙස වවා අපනයනය කරන ආයතන ද නැත්තේ නොවේ.

මෙසේ හඳුන් දැව අපනයනයේදී සුදුහඳුන් කැබලි කර (තෙල් නිස්‌සාරණය සඳහා) අපනයනය සිදු වන අතර, රත්හඳුන් අපනයනය සිදු වන්නේ දැව කඳන් ලෙසිනි. ඒ කෙසේ අපනයනය කෙරුණ ද, රත්හඳුන් ශාක කපා රට තුළ භාවිතයට ගැනුණ ද ඒ සමස්‌තයම පාහේ නීති විරෝධී දැව නෙළීම්වලින් ලබාගත් ඒවා බවට තීන්දු වන්නේ ඉන්දියාව තුළ ද රත්හඳුන් ගස්‌ කැපීම හා අපනයනය තහනමට ලක්‌ කර ඇති නිසාය.

නීති විරෝධී දැව ජාවාරම

වඳවී යැමේ දැඩි තර්ජනයට ලක්‌ව ඇති ශාක හා සතුන්ගේ වෙළදාම පාලනය කිරීම සඳහා පනවා ඇති සයිටීස්‌ සම්මුතිය ප්‍රකාරව, රත් හඳුන් අපනයනය සඳහා අනිවාර්යයෙන්ම සයිටීස්‌ බලපත්‍රයක්‌ තිබිය යුතු අතර, එක්‌ එක්‌ රටවල වන හා තුරුලතාවලට අදාළ අණපනත් මගින් ද රැකවරණය හා නීති ප්‍රතිපාදන සලසා ඇත. මේ අනුව රත් හඳුන් වෙළදාම දැඩි ලෙස සීමාවට ලක්‌ කර ඇති ශාකයක්‌ ලෙස නම් කර තිබේ.

No comments:

Post a Comment