Translate

Sunday, October 11, 2015

කේ. බී. ජයසිංහ නැමති බාලදක්ෂයා

මහවැලි පදනමට බාලදක්ෂ පදනමක්

ආයතන කිහිපයක තනතුරු රැසක් හෙබවූ කේ. බී. ජයසිංහ හෙවත් කිරිබණ්ඩා ජයසිංහ මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කාලයක් වැඩ කලේය. ආර්. බී. ජයසිංහ සහ අමරාවතී ජයසිංහ යුවළට ලැබුණු කුළුඳුල් දරුවා වූයේ කිරිබණ්ඩා ජයසිංහයි. මහනුවර කුණ්ඩසාලේ හොරේකඩුව ග්‍රාමයේ උපන් ඔහුට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් වූහ. ඔවුන්ගේ පියා වතු ලිපිකරුවකු ලෙස සේවය කළ අතර මව ගෘහණියක ලෙස දරුවන් රැක බලා ගනිමින් නිවසේ කටයුතුවල නිරතව සිටියාය.

පාසල් සමය

ගමේ පිහිටි දම්බරාව මහා විද්‍යාලය ඔහුගේ පළමු ශිල්ප ශාලිකාව විය. ඉන්පසු කටුගස්තොට රාහුල විද්‍යාලයට ඇතුළත් වූ හෙතෙම එහිදී සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා පසුව උසස් පෙළ හැදෑරීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් වුණි. කෘෂිකර්මාන්තයට හා සත්ත්ව පාලනයට ප්‍රසිද්ධියක් ඉසිලූ අපේ ගම් පළාත ඒ කාලේ මහනුවර දිස්ත්‍රික්කයේ තිබුණු දුෂ්කර ප්‍රදේශයක්. රැකියාවට අමතර අපේ තාත්තත් වගා කටයුතු වගේම කිරි හරක් ඇති කළා. ගෙදර ඉඳන් පාරට එන්නත් කිලෝමීටර් දෙකක් පමණ පයින් එන්න ඕනෑ. පාසල් යනකොට සපත්තු දෙක අතේ ගෙනවිත් බස් එකට නැගලා තමයි දාගන්නේ. පාසල් යන අතරෙම මම උදේට කිරිබෝතල් 7, 8ක් පාරේ කඩේට ගෙනියනවා. නැවත පාසල් ඇරී ගෙදර එනකොට තමයි බෝතල් ටික ගේන්නේ. ඒ කාලේ මම ඒ කටයුතු කළේ හරිම ආසාවෙන්. කුඩා කල ඔහු ලැබූ අත්දැකීම් ඔහු සිහිපත් කළේ නැවත වතාවක් එම අත්දැකීම සිතින් අත්විඳිමිනි. පාසල් අධ්‍යාපනයට අමතරව දහම් පාසල් අධ්‍යාපනයට ද ඔහු තුළ විශාල උනන්දුවක් තිබුණි. නිවස සමීපයේ තිබූ හොරේකඩුව විද්‍යාසාර පිරිවෙන ඔහු නිතර ආ ගිය ස්ථානයකි. පන්සල ඇසුරේ තිබූ සමිති සමාගම් සියල්ලෙහිම ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඔහු ගමේ පොදු කටයුතුවලදී මූලිකත්වය ගෙන ක්‍රියා කළේය.

පාසලේදීත් අධ්‍යාපන කටයුතුවලට අමතරව සමාජ සේවා කටයුතු සඳහා දායකත්වය ලබා දුන්නේය. බාලදක්ෂ කණ්ඩායම, ශිෂ්‍යභට කණ්ඩායම යනාදියට සම්බන්ධව සිටි ඔහු ඒවායෙහිද කැපී පෙනෙන චරිතයක් ලෙස කටයුතු කළේය. අධ්‍යාපනයට උපතින්ම උරුම වූ හැකියාවක් තිබුණ ද දෙමවුපියන්ගේ අරමුණ වූයේ ඔහු විද්‍යර්ථියකු කිරීම නොව යහපත් පුරවැසියකු බවට පත්කිරීමය. ක්‍රීඩාවට ද ඔහු අධ්‍යාපනයට සමානවම දක්ෂතා දැක්වීය.  

පාසලේ ක්‍රිඩා තරගවලට සහභාගී වූ ඔහු දිස්ත්‍රික්ක මට්ටමින් ඉහළ කුසලතා දිනා ගත්තේය. එදා පාසලේ සිටි දක්ෂතම 400 x 4 ධාවන කණ්ඩායමේ ජයසිංහයන් ද එක් සාමාජිකයෙකි. තරගවලදී පමණක් නොව ඔහු වැඩි වශයෙන් ගමන් බිමන් ගියේ ආශ්‍රය කළේ එම කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ය. සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ ඔහු උසස් පෙළ හැදෑරීමට සාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් වුණි.

තීරණාත්මක කඩඉමක්

එදා අද වගේ උසස් පෙළ විභාගයට අපිට අවශ්‍ය විෂයයන් තෝරා ගැනීමේ නිදහස තිබුණේ නැහැ. ගුරුවරුන් මාව විද්‍යා විෂයයන් සඳහා තෝරාගත් නිසා මමත් විද්‍යා විෂයය ධාරාව යටතේ අධ්‍යාපනය හැදෑරුවා. එදා අද මෙන් අමතර පන්ති තිබුණේ නැහැ. පාසල් ඇරුණහම හවසට ළමයින් එක්ක සෙල්ලම් කර හැන්දෑ වෙද්දි තමයි අපි ගෙදර යන්නේ. අධ්‍යාපනයට ලොකු කැප කිරීමක් නොතිබුණත් මම හැමදාම පන්තියේ පළමු පස්දෙනා අතර සිටියා.

ඉක්මනින්ම රැකියාවකට යාමේ බලාපොරොත්තුව ඔහු තුළ ඇති වූයේ උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබන අවධියේදීමය. ඒ අනුව කුන්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට ඇතුළත් වූ ඔහු වසර තුනක පමණ කාලයක් එහි අධ්‍යාපනය හැදෑරීය. 71 තරුණ කැරැල්ලේ අත්දැකීම් ඔහුට අත්විඳින්නට සිදු වූයේද මේ අවධියේදීය. තරුණ කැරැල්ලට ඔහුගේ සම්බන්ධයක් නොතිබුණ ද ඔහුගේ හිතවත් සහෝදරයෝ රැසක් ඊට සහභාගී වී සිටියහ. කෘෂිකර්ම විද්‍යාලයේ දී වී වගාව, අතිරේක බෝග වගාව, සත්ත්ව පාලනය යනාදී විෂයයන් හැදෑරූ ඔහුට මහඉලුප්පල්ලම, ගල්නෑව, පොළොන්නරුව යන ප්‍රදේශවල ගොවි පොළවල්වල ප්‍රායෝගික පුහුණුව ලැබීමේ අවස්ථාව ද උදා විය.

මුල්ම පත්වීම

ඒ කාලේ අද වගේ රැකියාවක් සොයා ගැනීම අපහසු නැහැ. අපි කෘෂිකර්ම විද්‍යාලයෙන් පිටවෙද්දීම කම්පැනිවලින් අපිව ඉල්ලුවා. ඒ අනුව මට බදුල්ල ප්‍රදේශයේ වත්තක සහකාර වතු අධිකාරි තනතුරක් ලැබුණා. තාත්තගේ රැකියාවම තෝරාගත් නිසා ඔහු ගොඩාක් සතුටු වුණා. සහකාර වතු අධිකාරිවරයකු ලෙස ඔහු ලද ප්‍රථම රැකියාව ඔහුගේ ජීවිතයට නවමු අත්දැකීම් රැසක් එක් කළේය. රැිකියාවට බැඳුණු අලුත ඔහුට අවුරුද්දක පුහුණුවක් ලැබීමට සිදු විය.

එය හරිම අමාරු පුහුණුවක්. ඒ කාලේ දරුණු පාලනයක් තිබුණේ. උදේ පාන්දර 5.45ට පෙරෙට්ටුවට යන්න ඕනෑ. පෙරෙට්ටුව සටහන් කර කම්කරුවන් එක් එක් ක්ෂේත්‍රවලට යවනවා. ඉන්පසු වතුවල ඇවිදලා වැඩ නිරීක්ෂණය කරන්න ඕනෑ. නැවත කාර්යාලවලට ගොස් මඳ වේලාවක් එහි සිට නැවත ක්ෂේත්‍රයට යනවා. ඉන්පසු හවසට දළු එනවා. ඒවා කිරන්න ඕනෑ. හැමදාම රෑ 10, 11 වෙනතුරු වැඩ තිබෙනවා. නිවාඩු අඩුයි. නමුත් තරුණ වයස නිසා ඒ වැඩ කටයුතු හරිම ආසාවෙන් සිදු කළා. ඉඳහිට ලොකු මහත්වරු සමඟ එකතු වෙලා විනෝද වෙන අවස්ථාවලුත් තිබුණා.

ඒ දවස්වල සන්නිවේදන මාධ්‍යයන් එතරම් දියුණු මට්ටමක නොතිබුණු හෙයින් ලියුම් ගනුදෙනුවක් සිදුවූයේ නැත. තමන්ට අවශ්‍ය දේවල් සහ නිලධාරීන්ගේ උපදෙස් යන සියල්ල අන්තර්ගත කෙරුණේ කාර්යාලයේ තැබූ ඛ්අ පොතේය. පුහුණු කාලයේ දී අත්විඳින්නට වූ සිදුවීම් හේතුවෙන් ජයසිංහටත් ඔහු සමඟ සේවය කළ තවත් මිතුරකුටත් මාස 6ක් ගතවන විට සේවය එපා වී තිබුණි. දිනක් බංගලාවට පැමිණෙන ලෙස පණිවිඩයක් ලැබුණේ ඒ අතරවාරයේදීය. ඔහුට ආරාධනා කර තිබුණේ රාත්‍රි ආහාරයකටයි.

හොඳින් හැඳ පැළඳගෙන එම අවස්ථාවට සහභාගී වූ ජයසිංහට එදා පත්වීම් ලිපිය ලැබීම ඔහුට අදහන්නටත් නොහැකි සිදුවීමක් විය. කෙසේ නමුත් පුහුණු කාලය තුළ සේවයට ඔහුගේ තිබූ කැපවීමත්, උනන්දුවත් අවුරුද්දක පුහුණු කාලය මාස 6කට සීමා කිරීමට සමත්විය. පත්වීම ලිපිය ලද දිනයේ ඔහු බෙහෙවින් සන්තෝස වුණි. ඒ තරමට ඔහුට පුහුණු කාලය නීරස අත්දැකීමක් බවට පත් වී තිබුණේය.

අමතක නොවන මතකයන්

පුහුණු කාලය තුළ අපිට රුපියල් 150ක් පමණ ගෙව්වා. ඒත් වැඩ බොහෝමයි. එක දවසක් මට මතකයි මම තේ ගස් කප්පාදු කරන අවස්ථාවක මගේ කකුල කැපිලා ලේ නවත්තන්න බැරි වුණා. එදා අද වගේ වාහන තිබුණෙත් නැති නිසා හවස් වෙනතුරු ඉවසගෙන වැඩ කරන්න වුණා. මිනිස්සු තේ දළු පොඩි කර මගේ කකුලට තබා තදකරගෙන ඉඳලා තමයි ලේ ගැලීම නවත්වා ගත්තේ.

නැවත මාස 6කට පසු ඔහුට වෙනත් වත්තකට මාරුවක් ලැබුණි. එහිදී නවාතැන් පහසුකම්, වැඩට සේවකයන් ආදි සුපිරි පහසුකම් මධ්‍යයේ රාජකාරී කටයුතු කරගෙන යාමේ අවස්ථාව උදාවිය. රැකියාව සඳහා තිබූ කැපවීම හේතුවෙන් උසස්වීම් රැසක් ලැබූ ඔහු බගවන්තලාව, පල්ලෙකැලේ සහ ගලහ යන ප්‍රදේශ කිහිපයක සේවය කළේය. ඉන්පසු ඔහුගේ මාරුවීම ලැබුණේ මන්නාරමටයි. එහිදීද ඔහු කජු වගාව, මල්බෙරි වගාව ආදියට විශාල වශයෙන් සම්බන්ධ වූ අතර සිය රාජකාරී කටයුතු සඳහා මුළු කාලයම කැප කර තිබුණේය.

ජීවිතයේ හැරවුම් ලක්ෂය

වසර ගණනාවක් පුරා කම්කරුවන් සමඟ ගත කළ ජයසිංහ 1978දී මහවැලි සංවර්ධන ව්‍යාපාරයට සම්බන්ධ වීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයකි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය අලුතින් මිනිසුන් පදිංචි කරන විශාල සංවර්ධන ව්‍යාපෘතියක් නිසා වතුවල සේවය කරනවාට වඩා ගොඩාක් අත්දැකීම් ලබන්න එහිදී හැකි වුණා. මම මුලින්ම මහවැලි ව්‍යාපාරයට සම්බන්ධ වුණේ කෘෂිකර්ම නිලධාරියෙක් ලෙසයි. පසුව මට එහි කොට්ඨාස භාර නිලධාරී, නේවාසික කළමනාකරු සහ එහි උසස්ම තනතුර වන විධායක අධ්‍යක්ෂ ධුරයත් හොබවන්න ලැබුණා. එය මා ලද භාග්‍යයක් කොට සලකනවා. වතුවල වැඩ කරද්දී ජනතාවගෙන් ටිකක් ඈත් වෙලයි හිටියේ.

සාමාන්‍ය ජනතාව සමඟ ගත කරපු ජීවිතයක් නැහැ. එදා කම්කරුවන් හා පාලකයා හැටියට යන සම්ප්‍රදායක් තිබුණා. නමුත් මහවැලියට සම්බන්ධ වීමත් සමඟ එය සම්පූර්ණයෙන් වෙනස් වුණා. මහවැලි ව්‍යාපාරය ආරම්භ කරනකොට මම හිටියේ ගම්පොල වත්තක. අලුත් ව්‍යාපෘතියක් නිසා ඒකට ගියොත් හොඳයි කියලා මට හිතුණා. ගාමිණී දිසානායක මහතා ඇමැතිවරයෙක් ලෙස ඉන්න කාලේ මට එන්න කිව්වා. ඉන්පසු ගොවීන්ට නියෝග දිදී නොසිට ගොවීන් සමඟ එකට වැඩ කරන්න පුළුවන් වුණා. මහවැලි ජීවිතය ඉතාමත් සන්තෝෂයෙන් ගත කළ කාලයක්. අදත් ඒ ප්‍රදේශවලට යද්දී පුදුමාකාර ආඩම්බරයක් ඇතිවෙනවා.

404 බෙදුම් ඒකකය

මහවැලියේ ඔහුගේ පළමු තනතුර වූයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී තනතුරයි. එවක කෘෂිකර්ම පර්යේෂණ කටයුතු සඳහා විදේශීය සමාගමක් මෙරට පැමිණි අතර එම සමාගම සමඟ වී වගාව, මිරිස් වගාව සහ උක් වගාව වැනි අනෙකුත් අතිරේක භෝග පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා ජයසිංහයෝ සම්බන්ධ වූහ. විශේෂයෙන් 404 බෙදුම් ඒකකයේ පර්යේෂණ කටයුතු සිදුකෙරුණේ ඔහුගේ මූලිකත්වයෙනි. ඒ නිසා ඔහු කා අතරටත් ජනපි‍්‍රය චරිතයක් වූවා පමණක් නොව 404 බෙදුම් ඒකකය ආදර්ශවත් පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට ද එදා පත්ව තිබුණි.

එක් වරක් ලෝක බැංකුවේ සභාපතිවරයා ද 404 බෙදුම් ඒකකයට පැමිණීම විශේෂත්වයකි. ගොවි මහතුන්ගේ ද සහයෝගය යටතේ 404 ආදර්ශමත් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම හේතුවෙන් ජයසිංහට නියෝජ්‍ය නේවාසික කළමනාකාර ලෙස උසස් වීමක් ද ලැබුණි. උසස් වීමෙන් පසු 1984 සිට ඔහුගේ සේවා ස්ථානය වූයේ වැලිකන්ද ප්‍රදේශයයි. එම අවධිය වනවිට ත්‍රස්තවාදය හිස ඔසවමින් තිබුණ ද ගොවීන් පදිංචි කරවීම, නිවාස ඉදි කිරීම ආදී කාර්යයන් ඔහුගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

ඒ කාලේ හරිම අමාරු කාලයක්. ත්‍රස්තවාදී කලබල නිසා ගොඩාක් මිනිස්සු එහේ පදිංචි වෙන්න කැමති වුණේ නැහැ. පිරිමි පාර්ශ්වය පමණයි පදිංචියට ආවේ. කොහොම නමුත් අපි ඔවුන්ට නිවාස ආධාර ලබාදී පදිංචි කිරීමේ කටයුතු සිදු කළා. එවගේම ඔවුන්ට අවශ්‍ය පානීය ජලය සහ වැසිකිළි පහසුකම් පවා ලබාදුන්නේ අපි. එම අවධියේ ලෙඩ රෝග පැතිරීමත් ශීඝ්‍රයෙන් සිදු වුණා. ආරෝග්‍ය ශාලාවක් තිබුණේ පොළොන්නරුවේ පමණයි. මේ දුෂ්කරතා මධ්‍යයේ වූවත් අපි කුඹුරුවලට වතුර ලබා දෙන්න ඇළවල් කපලා, බිත්තර වී බෙදාදීම වැනි වැඩසටහන් තුළින් ගොවීන් දිරිමත් කළා.

වසර පහක පමණ කාලයක් වැලිකන්ද ප්‍රදේශයේ සේවය කළ ජයසිංහ පසුව මහවැලි H කලාපයට පැමිණෙන්නේ නේවාසික කළමනාකාර තනතුර ලැබීමෙන් අනතුරුවය. මහවැලි H කලාපයට අයත් කලාවැව ප්‍රදේශයේ ඔහුගේ සේවා කාලය වසර 6කි. එම අවධියේ දී ඉඩම් බෙදාදීම, කෘෂිකර්ම ව්‍යාපෘති, ජල කළමනාකරණ ව්‍යාපෘති ආදී නොයෙක් ව්‍යාපෘති සඳහා දායක වූ ඔහු දිසාපති කෙනෙකු මෙන් එම ප්‍රදේශයම බාරව කටයුතු කළේය.

මම කලා වැව ප්‍රදේශයට යනකොට එම ප්‍රදේශයේ තිබුණේ ඝන කැලෑවක්. නමුත් ඉතාමත් කෙටි කාලයක් තුළ එම ප්‍රදේශ එළිපෙහෙළි කර වගා කටයුතුවලට සුදුසු භූමියක් බවට පත් කරන්න හැකි වුණා. මහවැලි කලාපයේ පදිංචියට ආවේ කොත්මලේ ජලාශයට යටවුණු ගොවි මහත්වරු. ඒ අය දක්ෂ ගොවීන්. එම නිසා වැඩි කාලයක් නොගොස් එම ප්‍රදේශවල වගා කටයුතු සිදු කර වැඩි අස්වැන්නක් ලබා ගන්නත් හැකි වුණා. කලා වැවෙන් පසු මම මාරුවීම් ලබා අනුරාධපුර, දඹුල්ල සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවලත් සේවය කළා.

අදත් මම එම ප්‍රදේශවල ගොවි ජනපදවලට නිතර යනවා. අද එම ප්‍රදේශවල විශාල දියුණුවක් දකින්න ලැබෙනවා. අපි එම ප්‍රදේශවලට යද්දී වල් අලි සිටින ඝන කැලෑ තිබුණේ. පසුව අපි එම ප්‍රදේශ එළි කර විශාල කුඹුරු යායවල් සකස් කළා. අදත් ඒවා දකිද්දි පුදුමාකාර සතුටක් සිතට එනවා. ඒ වගේම අද ඒ ප්‍රදේශවල වී නිෂ්පාදනයත් ඉහළ ගොස් තිබෙනවා.

මහවැලි ජීවිතයේ ආරම්භය

මහවැලි ජීවිතය ඔහුගේ ජීවිතයට එක් කළ අත්දැකීම් බොහෝය. මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භයේ දී නිලධාරීන් වුවද ඔවුනට ද පහසුකම් තිබුණේ නැත. තහඩුවලින් ආවරණය කරගත් කුඩා මඩුවක ලාම්පු එළියෙන් ගත කළ එම ජීවිතය ඔහුට එපා වූයේ නැත. ගොවි ජනතාව සමඟ දුක සැප බෙදා ගනිමින් එම ප්‍රදේශ සංවර්ධනය කිරීමට ඔවුන් ගත් වෙහෙස අපමණය. අද ගොවීහු ඒවායෙහි වාසි අත්විඳිමින් සිටිති. මහවැලි ව්‍යාපාරයේ කැපි පෙනෙන කාර්යභාරයක් සිදු කළ නිසා ඔහුට එහි විධායක අධ්‍යක්ෂ ධුරයද හිමි විය. 2003 වසරේ සිට 2008 වසර දක්වා ඔහු එම තනතුර හෙබවීය. ඉන්පසු එළැඹියේ ඔහුගේ විශ්‍රාම ජීවිතයයි.

වත්මන් භූමිකාව

නමුත් විශ්‍රාම යන්නට ඔහුට ඉඩක් ලැබුණේ නැත. 2008 වසරේ දී වී අලෙවි මණ්ඩලය නැවත පිහිටුවීමත් සමඟ ඔහු එහි සභාපතිවරයා ලෙස පත් කෙරුණි. වී අලෙවි මණ්ඩලය කියන්නේ 1971 ක්‍රියාත්මක කර 2000 වසරේ දී සේවකයන්ට වන්දි ගෙවා වසා දැමුණු ආයතනයක්. එය නැවත 2008 දී ආරම්භ කෙරුණේ මහින්ද චින්තනය අනුවයි. මෙහි තිබුණු බොහෝ සම්පත් තවමත් සොයාගන්න අපහසුයි. ඇතැම් ඒවා විකුණලා නැතිනම් බදු දීලා දැන් අපි ඒවා සොයන්න කටයුතු කරනවා. ඒ අතරම වී මිලදී ගැනීමත් සිදු කරනවා. ගොවියාට වී සඳහා සහතික මිලක් ලබා දීම අපේ පළමු පරමාර්ථයයි. ඒ වගේම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වසරේ සහල් මිල ඉහළ යාම වළක්වා ගැනීමටත් අපිට හැකි වුණා.

සමාජ සේවා කටයුතු සඳහා ජයසිංහයන් උනන්දුවක් දැක්වූයේ කුඩා කල පටන්ය. මහවැලි කාලයේදී ද ඒ කැපවීම, උනන්දුව ඔහු තුළ ඒ ආකාරයෙන්ම තිබුණි. එදා වඩාත් ජනපි‍්‍රය වූ මහවැලි ක්‍රීඩා ආරම්භ වූයේ ද ඔහුගේ මූලිකත්වයෙනි. “මහවැලි පදනම” එදා ඔහු ආරම්භ කළ තවත් සමාජ සේවා කටයුත්තකි. මහවැලි පදනම අපි ගොඩනැගුවේ වී බුසල බුසල එකතු කරලා අරමුදලක් පිහිටුවා ගැනීමෙනුයි. අද විශාල මුදලක් එහි තැන්පත් කර තිබෙනවා. එම අරමුදල හරහා අපි සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා උදව් කළා. එය එදා මහවැලි ගොවීන්ට විශාල සහනයක් වුණා.
කේ. බී. ජයසිංහයන්ගේ ජීවිතයට 1977 වසර ද තවත් සුවිශේෂී වසරක් විය. ඔහුගේ විවාහය එම වසරේදීය. ඇවැස්ස නෑනන්ඩිය සමඟ විවාහ දිවියට එළඹුන ද ඔවුනට මවුපියන්ගේ ආශිර්වාදය හිමි වුණි. ඇය නමින් ශ්‍යාමලී ජයසිංහයය. ඔවුහු අද දරු දෙදෙනෙකුගේ මවුපියෝය. වතු ක්ෂේත්‍රයේදීත්, මහවැලි ව්‍යාපාරයේ දී ජයසිංහයන් ගත කළේ අතිශය කාර්යබහුල ජීවිතයකි. පෞද්ගලික ජිවිතය වෙනුවෙන් ඔහුට වෙන් කළ හැකි වූයේ සුළු කාලසීමාවකි. ඔහුට සිය රාජකාරී කටයුතු සඳහා උපරිම නිදහසක් ලැබුණේ සිය බිරිඳගෙන් ලැබුණු සහයෝගය හේතුවෙනි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත්, පවුලේ අනෙකුත් සියලුම කාර්යයන්ගේ වගකීමත් ඇය සියතට ගත්තාය. කේ. බී. ජයසිංහ යනු විවිධ තනතුරු හෙබ වූ දක්ෂ රාජ්‍ය නිලධාරියෙකි. ඔහුගේ සාර්ථකත්වය පිටුපස යම් කෙනෙක් හිඳීනම් ඒ ඔහුගේ දයාබර බිරිඳයි.

No comments:

Post a Comment