Translate

Tuesday, October 25, 2016

ශ්‍රීමත් සිරිල් ද සොයිසා නැමති බාලදක්ෂයා

දේශයේ විශිෂ්ට නායකයන් අතරේ විශිෂ්ටත්වය රඳවා ගත් ශ්‍රීමත් සිරිල් ද සොයිසාගේ 120 වැනි ජන්ම සංවත්සරය සමරණ මොහොතේ ඔහු විශිෂ්ටත්වය කරා රැගෙන ගිය සේවා සමහරක් පිළිබඳ සඳහන් කරමින් ලිපියක් සැපයීමට අවස්ථාව හිමිවීම මාගේ භාග්‍යය ලෙස සලකමි. එසේම මා වෙත දක්වන ලද විශිෂ්ට ගෞරවයක් ලෙස ද සලකමි.
බොහෝ ජන නායකයෝ තමන්ගේ ක්ෂේත්‍රයට අදාළව තම සේවාවන් ජාතියට ලබාදීම නිසා ජාතික වීරයන් ලෙස නම් කරනු ලබති. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ගැන සඳහන් කරන විට නිතැතින්ම ඉස්මතු වන්නේ බෞද්ධාගම නඟා සිටුවීම සඳහා එතුමා විසින් ඉටු කරන ලද සේවාවන්ය. එහෙත් එතුමාගේ සේවාව එම ක්ෂේත්‍රයට පමණක් සීමා නොවීය. ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපනික, දේශපාලන, ක්‍රීඩා ආදී විවිධ ක්ෂේත්‍රයන් සඳහා එතුමා ලබාදුන් සේවාව අමතක කළ නොහැකි වන අතර, ඒ කිසිම ක්ෂේත්‍රයකදී එතුමා කිසිවෙකුට දෙවෙනි නොවූ බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

බලපිටිය ප්‍රදේශයේ වැලිතර ග්‍රාමයේදී 1896 ඔක්තෝබර් මස 26 වැනි දින උපන් එතුමාගේ දෙමවුපියන් වූයේ සොලමන් ද සොයිසා නොතාරිස් රාලහාමි සහ හැරියට් ද සොයිසා මැතිනියයි. මාතර ශාන්ත තෝමස් හා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලවල අධ්‍යාපනය ලැබ කේම්බ්‍රිජ් සීනියර් විභාගය සමත්වීමෙන් පසුව නීති විද්‍යාලයට ඇතුළත් වූ එතුමා නීතිඥ වෘත්තියේ යෙදීම සඳහා තෝරාගනු ලැබුවේ කළුතර නගරයයි. එතුමාගේ නාමය අමරණීය වීමට හේතු වූ කළුතර බෝධියේ සංවර්ධනයට, එතුමා කැප වන්නේ ඒ ආගමනයත් සමඟිනි.

1930 ගණන් වලදී කළුගඟට දකුණු දෙසින් පිහිටි භූමියේ ගාලුපාරට නැ‍ඟෙනහිර දෙසින් පිහිටි බිමෙහි දිසාපති නිල නිවාසය හා කළුතර කච්චේරිය ඇතුළු රජයේ ආයතන පිහිටා තිබුණ අතර ගාලුපාරට බටහිර දෙසින් ඇති පහළ මළුව වශයෙන් හැඳින්වෙන ස්ථානයේ අනාරක්ෂිතව පැවති බෝධියට ප්‍රදේශවාසීන් විසින් පුද පූජා පවත්වා ඇත. මෙම ස්ථානයේ වටිනාකම හඳුනාගත් සිරිල් ද සොයිසා මැතිතුමා මෙහි මල් ආසනයක් ඉදිකරවීමෙන් පසුව මෙම භූමියේ සංවර්ධන කටයුතු ආරම්භ වී ඇත. එම සංවර්ධන කටයුතු ඉටු කිරීමේදී එවකට දිසාපති බංගලාවේ පදිංචිව සිටි සුදු ජාතික දිසාපතිවරයාගෙන් ද විටින් විට බාධා එල්ලවී ඇත. එහෙත් නීතිඥයෙකු වූ සිරිල් ද සොයිසා මැතිතුමා ඒ සියල්ල මැඩ පවත්වා ගනිමින් කළුතර බෝධිය අද පවත්නා තත්ත්වයට පත් කරලීමට ඉමහත් වෙහෙසක් දරා ඇත. ‍‍‍

ඔහුගේ සේවා ආර්ථික, අධ්‍යාපනික, දේශපාලනික, ක්‍රීඩා ආදී අමතක කළ නොහැකි විවිධ පරාසයන් දක්වා විහිදෙයි. ඒ සියලු විෂයයන්හිදී ඔහු කිසිවෙකුටත් දෙවැනි නොවූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඔහු උපත ලබන්නේ 1896 වසරේ ඔක්තෝබර් 26 වැනිදා බලපිටියේ වැලිතර ග්‍රාමයේය. ඔහුගේ මවුපියන් වූයේ මහජන නොතාරිස් සොලමන් ද සොයිසා සහ හැරියට් ද සොයිසා මහත්මියයි. ඔහු මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්ද කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබූ අතර ජ්‍යෙෂ්ඨ කේම්බ්‍රිජ් විභාගය සමත්වීමෙන් පසු නීති විද්‍යාලයට ඇතුළු වූයේය.

ඔහුගේ වෘත්තීය සඳහා ඔහු තෝරා ගත්තේ කළුතර නගරයයි. ඔහුගේ නාමය සදාකාලික කරන ලද කළුතර බෝධිය සංවර්ධනය කිරීමට ඔහු තම ජීවිතය කැප කළේය. මෙම ස්ථානයේ පාලනය ගෙනයාම සඳහා “කළුතර බෝධි භාරකාර මණ්ඩලය” පිහිටුවීම එතුමා විසින් ගන්නා ලද ඉතාම දූරදර්ශී පියවරකි. මෙම භාරය පිහිටුවා ලියාපදිංචි කිරීමෙන් ඒ සඳහා නීත්‍යානුකූල භාවයක් ලබාදී ඇති අතර, පාලන කටයුතු ගෙනයාම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එහි මැනවින් සඳහන් කර ඇති බැවින් මෙම ස්ථානයේ පාලනය ඉතාමත් විනිවිද භාවයකින් යුතුව කර ගෙනයාමට අවස්ථාව සැලසී ඇත. එවකට මෙරට තුළ කීර්තිනාමයන් දැරූ, ඊට පිළිගත් විද්වතුන් 8 දෙනෙකු සාමාජිකයින් ලෙස පත් කරමින් බෝධි භාරකාර මණ්ඩලය ස්ථාපනය ‍කොට ඇත. මේ ස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා එතුමාගේ පෞද්ගලික ධනය විශාල වශයෙන් වැය කර ඇති අතර, බැතිමත් ජනතාවටද සහභාගි විය හැකි වන පරිදි “පිංකැට” මඟින් පුණ්‍යාධාර ලබා ගැනීමට කටයුතු කරන ලදී. මෙම පූජනීය ස්ථානය ක්‍රමයෙන් දියුණුවට පත්වන විට යාබද කළුතර නගර සභා කාර්යාලය පිහිටි ඉඩමද මේ සඳහා ලබා ගැනීමට කටයුතු කරන ලදී. ඒ සඳහා දැනට ද කළුතර නගර සභාව පවත්වාගෙන යන ගොඩනැඟිල්ල, නගර සභාවට ඉදිකරදී එම ඉඩමද නිදහස් කර ගෙන සංවර්ධනය කර ඇත.

සැදැහැවත් බෞද්ධයෙක් වූ ශ්‍රීමත් සිරිල් මේ ස්ථානයේ පවිත්‍රතාව වැඩි වන අයුරු තේරුම් ගෙන බැතිමතුන් විසින් පූජා කරන මල් තැබීමට මල් ආසනයක් ඇති කළේය. එතැන් පටන් සංවර්ධන ක්‍රියා ආරම්භ විය. එහෙත් එවකට එම නිල නිවාසවල සිටි රජයේ නියෝජිතයන්ගේ අරියාදුවට ලක්වූ ස්ථානයක් ලෙසට එය ඉලක්ක විය. අද පූජනීය ස්ථානයක් බවට පත්ව ඇත්තේ ශ්‍රීමත් සිරිල් නීතිඥවරයකු ලෙස ඒ සියලු බාධක ජය ගෙන ස්ථාපිත කරන ලද කළුතර බෝධියයි. ශ්‍රිමත් සිරිල් විසින් ඉතා දුර දිග බලා ගන්නා ලද පියවරක් ලෙස මේ ස්ථානයේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා කළුතර බෝධි භාරකාර මණ්ඩලය ස්ථාපනය කරන ලදී. මෙය භාරකාර ව්‍යවස්ථාවක් යටතේ ලියාපදිංචි කිරීම මගින් එයට නීත්‍යානුකූලභාවයක් ඇති විය. කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එහි ඉතා පැහැදිලිව සඳහන් විය. බෝධි භාරකාර මණ්ඩලයේ සාමාජිකයන්ගේ ධෛර්යය සහ බැතිමතුන්ගේද දායකත්වයෙන් මෙහි සංවර්ධන කටයුතු පුළුල් විය. ඒ අනුව වටදාගේ සහ චෛත්‍යයද එක් වූ අතර අද ද කළුතර නගරයේ ප්‍රධාන ආකර්ෂණය එයයි. ඓතිහාසික කිරිවෙහෙර ප්‍රතිසංස්කරණ සංගමයේ සභාපති ධුරය පිළිගත් ශ්‍රීමත් සිරිල් ඒ වෙනුවෙන් ද තම පූර්ණ සහාය ලබා දුන්නේය.

තරුණ බෞද්ධ සංගමයේ සභාපති ලෙස කොළඹ තරුණ බෞද්ධ සංගම් ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට ඔහු ක්‍රියා කළේය. එසේම අලුත්ගම කන්දේ විහාරය, පානදුර පින්වත්ත සධර්මාකාර පිරිවෙන, බම්බලපිටිය වජිරාරාමය, කොළඹ 02 හුණුපිටිය ගංගාරාමය, බෙල්ලන්විල රජමහා විහාරය සහ කොළඹ 10 කුප්පියාවත්ත ජයසේකරාරාමය ආදිය විශාල සංඛ්‍යාවක් සංවර්ධනය කිරීමට දායක විය. එසේම ඔහු ලන්ඩන් බෞද්ධ විහාරය සහ ඉන්දියාවේ සාවස්තියේ ආනන්ද බෝධිය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද එක්විය. මහා බෝධි සංගමය ආදී බෞද්ධ සංගම්වල නිලතල හොබවමින් දිවයින පුරා පිරිවෙන සඳහා විශාල සහයෝගයක් ලබාදීමටද ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ආධාර ලබාදීමටද කටයුතු කළේය. දහම් පාසල් සිසුන් සඳහා පොත් ලබාදෙමින් දහම් පාසල් අධ්‍යාපනය නඟාසිටුවීමටද ඔහු තම දායකත්වය ලබා දුන්නේය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය හා බුද්ධ ශාසනයේ චිරස්ථතිය වෙනුවෙන් එතුමන් විසින් ඉටු කරනු ලබන සේවාවන් වචනයෙන් කියා නිම කළ නොහැකි තරම්ය. කතරගම ඓතිහාසික කිරිවෙහෙර ප්‍රතිසංස්කරණ කටයුතු අඩපණ වී ඇණහිට තිබූ අවස්ථාවේ එතුමා කිරි වෙහෙර ප්‍රතිසංස්කරණ සමිතියේ සභාපතිත්වය භාරගෙන පෞද්ගලිකව එම කටයුතු මෙහෙයවමින් එම කාර්ය නිමකරවා ඇත. 1960 සිට 1978 දක්වා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති වශයෙන් පුරා අවුරුදු 19 තිස්සේ කටයුතු කළ කාලය තුළ කොළඹ කොටුවේ තරුණ බෞද්ධ සමිති ගොඩනැඟිලි සංකීර්ණය හා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිතියේ ප්‍රධාන කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකරවීමට ද කටයුතු කර ඇත.

අලුත්ගම කන්දෙවිහාරය, පාණදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙන, බම්බලපිටිය වජිරාරාමය, හුණුපිටිය ගංගාරාමය, බෙල්ලන්විල රජ මහා විහාරය, කුප්පියාවත්ත ජයශේඛරාරාමය වැනි විහාරස්ථාන රාශියක සංවර්ධන කටයුතු සඳහා ආධාර වශයෙන් ලබා දී ඇත. ලන්ඩන් බෞද්ධ විහාරය සහ සැවැත්නුවර ආනන්ද බෝධියේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද එතුමා මැදිහත් වී ඇත. මහා බෝධි සංගමය, තරුණ බෞද්ධ සංගමය, සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය වැනි බෞද්ධාගමික සංවිධාන වල අනුශාසක / සභාපති වැනි තනතුරු දරමින් ක්‍රියාකාරීව සහභාගී වූ එතුමා දිවයිනේ පිරිවෙන් රැසක තිබූ අඩුපාඩු සොයා බලා ඒවා සපුරාලීමට නොමසුරුව පරිත්‍යාගයන් ලබා දී ඇත.

ශාසනික සේවයට අමතර කළුතර නාගොඩ ප්‍රදේශයේ ප්‍රථම වරට මෝටර් රථ බැටරි සමඟ බයිසිකල් ටයර් සහ ටියුබ් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන ලද්දේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා විසිනි. එම ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කරමින් ටයර් නැවත පිරවීම, විදුලි කේබල් නිෂ්පාදනය සහ ශීතකරණ නිෂ්පාදනය දක්වා විහිදුනි. කර්මාන්ත ශාලා සහ වෙළෙඳ සංකීර්ණ තුළ රැකියා අවස්ථා දහස් ගණනක් උත්පාදනය කළේය. සවුත් වෙස්ටන් බස් සමාගම ලෙස පසුව නම් කරන ලද ස්වර්ණපාලි ‍බස් සමාගම මගින් ද මගීන්ට ප්‍රවාහන පහසුකම් මෙන්ම, රැකියා ලබාදීමට ද ඔහුට හැකි විය. 1957 දී බස් ප්‍රවාහනය ජනසතු කළ විට ශ්‍රීමත් සිරිල්, ඔහුගේ සොහොයුරා වන වී. ටී. ද සොයිසා අමතා දැනුම් දුන්නේ සියලු බස් රථ අලුත්වැඩියා කර ගෙවී ගිය ටයර් වෙනුවට නව ටයර් යොදා රජයට භාර දෙන ලෙසයි. මීට අමතරව ඔහු විසින් තම උපන් ගම වන බලපිටියේ ආරම්භ කරන ලද රෙදි විවීමේ මධ්‍යස්ථානය හරහා ගම්වාසීන් 1500කට පමණ රැකියා අවස්ථා හිමි විය. ශ්‍රීමත් සිරිල් තම සේවකයන්ගෙන් බලාපොරොත්තු වූ අවංක පැය 08 ක සේවය වෙනුවෙන් දිනකට පැය 16 ක් වැඩ කළ අයකු බව ප්‍රකටය.

කළුතර වෙනුවෙන් ඔහු විසින් සිදුකරන ලද අමතක කළ නොහැකි තවත් කර්තව්‍යයක් වනුයේ කළුතර විද්‍යාලය සහ කළුතර බාලිකා විද්‍යාලය ආරම්භ කිරීමයි. මේ වන විට කළුතර නගරයේ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම පාසල් ලෙස පවතින්නේ මේ පාසල් ය. එම පාසල්වල ගෞරවනීය ආදි සිසුන් අද සමාජයේ විවිධ ක්ෂේත්‍ර තුළ විශිෂ්ට මෙහෙයන් ඉටුකරමින් සිටී. එසේම බෝබුවෙල රබර් වතු යායේ පිහිටි ඔහුගේ බංගලාව වැඩිහිටි නිවාසයක් බවට පත් කරන ලද අතර මනාව නඩත්තු කෙරේ.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා සමාජ සේවකයකු ලෙස විවිධ සමිති සංවිධාන තුළ විවිද තනතුරු හා සාමාජිකත්වය හෙබවූයේය. කොළඹ තරුණ බෞද්ධ සංගමය, සමස්ත ලංකා බෞද්ධ කොංග්‍රසය, මහා බෝධි සංගමය, නීති සංගමය, අඳ සහ බිහිරි ජාතික මණ්ඩලය, ළමා ආරක්ෂක සංගමය, ලංකා පිළිකා සංගමය, ක්ෂය රෝගය වැළැක්වීමේ ලංකා ජාතික සංගමය, කළුතර නගර සමාජය, සිංහල ක්‍රීඩා සමාජය, බාලදක්ෂ සංගමය ආදිය ඉන් සමහරකි.

ඔහු සමඟ කටයුතු කළ සියලු දෙනාම ඔහුගේ හැකියාව, දක්ෂතාව සහ නායකත්වය පිළිබඳව කෘතවේදීව සිහිපත් කරයි. මේ ගුණාංග නිසාම ඔහු මේ සංවිධානවල නායකත්වය ලැබීය. සමාජයීය සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් අතර ඔහු වෘත්තිය නීතිඥවරයෙකි. ඔහු කළුතර දක්ෂ අපරාධ නීතිඥවරයකු ලෙස ප්‍රකටය. වසර නවයක් වැනි දිගු කාලයක් ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස ඔහු ඉමහත් මෙහෙයක් සිදු කරනු ලැබීය. කොළඹ අධිකරණ සංකීර්ණය තුළ බොහෝ ගොඩනැඟිලි ඉදිකරනු ලැබුවේ ඔහු නීතිඥ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරන කාලයේ දීය.

ශ්‍රීමත් සිරිල් දේශපාලනයේ ක්‍රියාකාරී පුද්ගලයකු නොවුවද ඔහු සෙනෙට් සාමාජිකයකු ලෙස නම් කරන ලද්දේය. ඔහුගේ හැකියාව වෙනුවෙන් සමාජය දක්වන ලද ගෞරව සම්මාන එය විය. ඔහු සැලකිය යුතු කාලයක් සෙනෙට් සභාවේ නියෝජ්‍ය සභාපති සහ සභාපති ලෙස සේවය කළේය. මෙම ලිපිය තුළින් ශ්‍රීමත් සිරිල් විසින් දේශය සහ ජාතිය වෙනුවෙන් සිදු කරන ලද දැවැන්ත මෙහෙවර පිළිබඳ යම් කිසි වැටහීමක් ලබාගත හැකිය. ඔහු ඉන්දියාවේ උපත ලැබුවේ නම් අනිවාර්යයෙන්ම ඔහු දේවත්වයෙන් සලකනු ඇති අතර ලැබිය යුතු සියලු ගරු බුහුමන් ද ප්‍රශංසා ද හිමිකර ගනු ඇත. ඔහු විසින් ගන්නා ලද වෑයම සාර්ථක ලෙස අනුගමනය කරන බව සහ ඔහුගේ අපේක්ෂාව පරිදි ඵල දරා ඇති බව සඳහන් කිරීම සතුටකි.

එතුමා විසින් දේශය වෙනුවෙන් ඉටු කළ සේවාව පිළිබඳව මෙවැනි කෙටි ලිපියකින් කියා නිම කළ නොහැකි හෙයින් මෙහි සඳහන් කරන ලද්දේ ඉතාම කෙටි විස්තරයක් පමණි. මෙතුමා ඉන්දියාවේ උපත ලද්දේ නම් අද එතුමා දේවත්වයෙන් සලකා ගරු බුහුමන් ලැබීමට සුදුස්සෙකු වනු ඇත. ශ්‍රී ලංකාවට දෙවියෙකු බඳුවූ මේ මානව හිතවාදියා 1978 ජනවාරි මස 02 වැනි දින අභාවප්‍රාප්ත වුවද එතුමන් විසින් ආරම්භ කළ සද්ක්‍රියාවන් රැසක් තවමත් මෙරට තුළ ඉතා කාර්යක්ෂමව එතුමාගේ බලාපොරොත්තු ඉටු කරමින් සාර්ථකව පවත්වාගෙන යනු දක්නට ලැබීම සතුටට කරුණකි. 20 වැනි සිය වසේදී ශ්‍රී ලංකාවට අමරණීය සේවයක් ලබාදුන් මේ ජාතික වීරවරයාට ගෞරවය පුද කරමින් එතුමාට ඉතා ඉක්මනින්ම ධර්මාබෝධය ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

සටහ
කරු ජයසුරිය
කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
විශේෂ ස්තූතිය - http://www.silumina.lk

No comments:

Post a Comment