Translate

Thursday, February 26, 2015

මහනුවර  බාලදක්ෂ සංගමයේ අටවන කැන්-කැඩ්සා ශත සංවත්සරය

අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ කතාව අැසුරින්

ජාති, ආගම්, භාෂා කුල ආදී භේදයකින් තොරව සමස්ත ජනයා ශ්‍රේෂ්ඨ ලෙස සලකන  බාලදක්ෂ ව්‍යාපාරය අප සියල්ලෝම ආදර්ශයට ගත යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පැවසීය. සමස්ත මනුෂ්‍ය වර්ගයා වෙත ශ්‍රේෂ්ඨත්වයෙන් සලකන බාලදක්ෂ ව්‍යාපාරය, ලෝකය එක පවුලක් බවට පත් කරන බලවේගයක් බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය. මිනිසා උසස් මිනිසකු වශයෙන් ද, ඔහුගේ උසස් බව මිනිසාගේ යහපතට පරිවර්තනය කරන බාලදක්ෂ ව්‍යාපාරය තුළින් ගුණගරුක යහපත් සමාජයක් බිහි කිරීමේ හැකියාව පවතින බවද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

කැන්-කැඩ්සා ශත සංවත්සරයට අග්‍රාමාත්‍යතුමාගේ පැමිණීම

 



''ජාති, ආගම්, භාෂා කුල ආදී භේදයෙන් තොර 
බාලදක්ෂ ව්‍යාපාරය අප සැමට ආදර්ශයක්''






මහනුවර බාලදක්ෂ සංගමයේ ශත සංවත්සරය වෙනුවෙන් පවත්වන බාලදක්ෂ අටවන කැන්බෝරිය සහ කැඩ්සා ශත සංවත්සර (KADSA – 100)  ජම්බෝරිය විවෘත කිරීම නිමිත්තෙන් 28 දින පස්වරුවේ මහනුවර, පල්ලේකැලේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.

 දිව‍යිනේ පාසල් රැසක පෝතක බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගේ සහභාගිත්වයෙන් මැයි 31 දින දක්වා පැවැත්වෙන මෙම ජම්බෝරිය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ අග්‍රාමාත්‍යතුමා එහිදී මෙසේද පැවසීය.

“මිනිසා උසස් මනුෂ්‍යයකු බවට පත් කර ගත හැකි වන්නේ මානසික දියුණුව ඇතිකර ගැනීම මගිනි. සිත පාලනය කිරීම සහ සිත මගින් ශරීරය පාලනය කර ගැනීම මගින් පුද්ගලයා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකු බවට පත්කර ගත හැකියි. නැත්නම් ඔහු උසස් මිනිසකු බවට පත්වන්නේ නැහැ.

නමුත් වර්තමාන සමාජයේ සිදුවන මිනී මැරුම්, සොරකම් කිරීම් ආදී විවිධ බාල ක්‍රියා සිදු වන්නේ මිනිසා තත්ත්වයෙන් පහළ අයුරින් හැසිරෙන නිසයි. එවැනි පහළ පන්තියේ ක්‍රියාවන් තුළින් පුද්ගල සමාජය විනාශය කරා යනවා. එසේ වුවද, පහළ පන්තියට ආදර්ශයක් ලබාදීමට උසස් ආදර්ශමත් ව්‍යාපාරයක් වන බාලදක්ෂ ව්‍යාපාරයට හැකියාව ලැබෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට මෙන්ම, එය තවදුරටත් පාසල් අතර ප්‍රචලිත කිරීම සඳහා උරදී ක්‍රියා කරනවා.  බාලදක්ෂයකුට ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට හැකියාව ලැබෙන්නේ ඉතාමත් විරල වශයෙනි.  

අද මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන් රැසක් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඉතිහාසයේ ප්‍රථම වතාවට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බාලදක්ෂිකාවන් දෙදෙනෙකු ජනපති සම්මානයෙන් පිදුම් ලැබීම අපට මහත් අභිමානයක් ගෙන දෙන්නක් වශයෙන් හැඳින්විය හැකියි. මේ නිසාම බාලදක්ෂ ව්‍යාපාරය ගුණධර්ම අතින් උසස් විෂයයක් බවට පත්ව තිබෙනවා.

 දැනට වසර සියයකට පමණ ඉහත දී මේ ව්‍යාපාරය ආරම්භ කරන විට විද්‍යාව සහ තාක්ෂණය වර්තමානය තරම් දියුණු වී තිබුණේ නැහැ. නමුත් අද දියුණු තාක්ෂණය නිසා මිනිසා නිවැරදි නොවන මාර්ගයක ගමන් කරන බව පේනවා. අපට සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා තාක්ෂණය අදාළ කරගත යුතු වුවත්, එය විනාශය කරා ගමන් කිරීම උදෙසා උපයෝගී කර ගත යුතු නැහැ. උසස් මානව චින්තනයෙන් තොරව විද්‍යාව සහ තාක්ෂණය භාවිත කිරීම නිසා අද මුළු මහත් ලෝකයම විනාශය කරා යන බවක් දක්නට ලැබෙනවා. විද්‍යාව හා තාක්ෂණයෙන් අප ඉවත් විය යුතු යැයි මා කිසිසේත්ම පවසන්නේ නැහැ. තාක්ෂණයෙන් තොරව අපට පැවැත්මක් නැහැ. නමුත් තාක්ෂණයේ යහපත් අංග මනුෂ්‍යත්වයට උපයෝගී කරගත යුතු අතර, ඊට සමගාමීව ධාර්මික සමාජයක් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතුයි.  අයහපත් අංග වලින් යුතු සමාජයක් නිසා සමස්ත  සමාජය විනාශ වන අතර, අප කළ යුත්තේ උසස් ගුණ ධර්ම වලින් හෙබි ධාර්මික සමාජයක් නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා තාක්ෂණය මෙන්ම, බාලදක්ෂ ව්‍යාපාරය ද උපයෝගී කර ගත හැකි යැයි තරයේ විශ්වාස කරන බව” අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වැඩිදුරටත් පැවසීය.

මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සභාපති, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය, සරත් ඒකනායක, බාලදක්ෂ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, එම්.ඊ.එස්. ජයසිංහ, මහනුවර දිසා කොමසාරිස්, සරත් බණ්ඩාර යන මහත්වරු ඇතුළු බාලදක්ෂ ව්‍යාපාරයේ නියෝජිතයින් ද, පෝතක බාලදක්ෂ හා බාලදක්ෂිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. 
 
 
Scout Media Partner: SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර, විජායි දමිල මාධ්‍ය බාලදක්ෂ කදවුර
 
වැඩි තොරතුරැ https://www.facebook.com/baladaksha.srilanka වෙතින්

No comments:

Post a Comment