
ලකුණක් ගත්තහම තෑග්ගට දුන්නේ පොතක් - මාතර සුජාතා බාලිකා විදුහලෙන් රන්දි ලක්ප්‍රියා
සිය ජීවිතයේ කෙදිනක හෝ වෛද්‍යවරියක් වීමේ බලාපොරොත්තුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් මාතර සුජාතා බාලිකා විදුහලෙන් රන්දි ලක්ප්‍රියා ලංකාවෙන්ම පළමුවැනියන් අතරට එක්වූයේ ඇය කිසිදා අපේක්ෂා කළ නොකළ ආකාරයෙනි. ඇයගේ අපේක්ෂාව වූයේ සෑම විෂයකටම ‘ඒ‘ සාමාර්ත 9 ක් ලබා ගැනීමට වුවත් එය කිසිදා මෙවැනි ජයග්‍රහණයක් ලෙස සටහන් වේයැයි ඇය අපේක්ෂා නොකළාය.“මම හිතුවා කොහෝම හරි සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ‘ නමයක් ලබා ගන්නවාමයි කියලා. ඒ ගැන ලොකු විශ්වාසයක් පවා තිබුණා. අමතර විෂයන් තුනට මම කළේ දෙමළ, ඉංග්‍රීසි සාහිත්‍ය හා තොරතුරු තාක්ෂණ විෂයය. මේ විෂයයන් ටිකක් අමාරු නිසා පොඩි බයකුත් තිබුණා. ඒත් එදා රෑ අන්තර්ජාලයෙන් ප්‍රතිඵල බලද්දි මම දැනගත්තා මට ‘ඒ‘ 9 ක් ඇති බව. නමුත් ලංකාවෙන්ම පළමුවැනියා කියලා දැනගත්තේ නැහැ. පාසලේ ගුරුවරයෙක් කතා කරලා කිව්වා පළමුවැනියන් වූ තොරතුරු අන්තර්ජාලයේ දමා ඇති බව. මට පුදුම සතුටක් දැනුණා. මමත් පළමු හයදෙනාගෙන් කෙනෙක් අතරට එක්වීම ගැන....“රන්දි පවසන්නී ය.
රන්දිට බාල සහෝදරයෙක් හා සහෝදරියක් සිටින අතර මව මධ්‍යම පරිසර අධිකාරියේ සේවය කරන අතර පියා දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන සම්බන්ධීකාරකවරයෙක් ලෙස සේවය කරන්නේය. දික්වැල්ල විජිත මහා විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178 ක් ලබා ගනිමින් පාසලේ පළමුවැනියා විය.
“දුව සාමාන්‍ය පෙළ විභාගය කළේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එයාට කුඩා කාලයේ පටන්ම හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණා. ශිෂ්‍ය නායක, බාලදක්ෂිකා, දහම් පාසල් තරග විභාගවලින් ඉහළ ජයග්‍රහණ ලබා ගත්තා. දුව ලකුණක් ගත්තොත් අපි එයාට පොතක් තෑගි දෙන පුරුද්දක් තිබුණා. මේ නිසා නිතරම එයාගේ කාමරය පුස්තකාලයක් වගේ. දුව පාඩම් කළේ හරිම විවේකයෙන්. විභාගයට අනවශ්‍ය බරක් ගෙන දුන්නේ නැහැ. එයා එදා දෙන වැඩ එදාම කළා. හැම විෂයයටම පංති ගියා. ඒ වගේම කාල සටහනකට අනුව වැඩ බෙදාගෙන කළා. ...“ පියා පවසන්නේය. අනාගතයේ ජීව විද්‍යාව විෂයය හදාරා වෛද්‍යවරියක් වීම රන්දිගේ එකම බලාපොරොත්තුවයි.
No comments:
Post a Comment