Translate

Thursday, May 23, 2019

කඳවුරු ගිනිමැලකට අදහසක් - හුලු අත්ත

Related image 
 
සඳ බැස ගියතැන ඝන අඳුර පැතිරෙමින් පවතින රාත්‍රියක තොවිල් කවි ගායනා බෙරහඬ දුම්මලකිිරි විලක්කු මධ්‍යයේ ස්වදේශීය සාම්ප්‍රදායික ස්වරූපයෙන් ගිනිමැලයක් ආරම්භ කිරීමට අදහසක් දිනක් අපේ පැරණි හෝමාගම දිසාවේ බාලදක්ෂ නායකයකු කියනු අසා ඇත්තෙමි. දිනය හරියටම මතකයේ නැතත් නාවින ආයුර්වේද පරිශ්‍රයේ ඇති සකස් කළ ඝන කැලෑව මධ්‍යයේ ඇති භූමියක සති අන්ත කඳවුරක් සූදානම් කර තිබූ අතර මහරගම බෞද්ධ විද්‍යාලයේ බාලදක්ෂ සමූහයේ "වාර්ෂික ඔසු කඳවුර" නමින් එය නම් කර තිබුණි. විවිධ ක්‍රියාකාරකම් අතර කඳවුර අවසානයේ කඳවුරු ගිනිමැලයක් ද සූදානම් කර තිබිණි.

මැලය දල්වා ගැනීමට ඔවුන් සුපුරුදු බාලදක්ෂ ගිනිමැලය සකස්කර තිබූන ද එය දල්වා ගැනීමට තරමක වේලාවක් ගත්තේ වැසි සහිත කාලගුණයත් තෙත් සහිත පරිසරයත් හේතුවෙනි. ගිනිමැලය දල්වා ගැනීමට ඔවුන් එවර ගෙන්වා තිබුණේ නොංචි කෝලමය. අන්ධකාරයේ නොයිවසිල්ලෙන් බලා සිටින බාලදක්ෂ දරුවන්ගේ ඉවසිල්ල වැඩිවනතුරුම සිට බාලදක්ෂ ස්ටන්ට් (stunt) එකක් ලෙස මැලය දල්වාලීමට උපක්‍රමයක් යොදා තිබිණි. 

හුලු අත්තක් දල්වා ගෙන ඈත සිට එන නොංචි කෝලම සභයට පැමිනෙණ අතර කෙටි දැන හැදුනම් කමින් පසු ගිනිමැල නායක විසින් හුලු අත්තෙන් ගින්දර ටික්ක ඉල්ලා සිටියේය. දෙවොල්මඩු ශාන්තිකර්මයට දක්ෂ බාලදක්ෂයෙකු ලවා කවි ගායනා කීපයකින් පසු ගිනි දල්වා ඉවත්ව යන අතර සුපුරුදු පරිදි සම්ප්‍රදායිකි ගිනි මැලය ආරම්භ කරනු ලැබීය.
  • ගිනි දලු නැගයති...
  • පුංචි පුංචි පැල් තනාලා...
  • කැබැල්ලාවා කාණ්ඩයේ නාට්‍ය..
  • ඉස්සන් මගුරන්...
  • බිලිං කොහිල තක්කාලි....
  • ඉත්තෑවා කාණ්ඩයේ ඉදිරිපත් කිරීම..
  • මොකටද මේ සූදානම....
  • ඉදිරිපත් කිරීමක්...
බෙරකරුවකු හා ගුරුන්නාන්සේ කෙනෙකු සබයට පැමිණෙන අතර ගින්දර අඟුරු මතට තෙත පිදුරු දමා සුදු පාට ඝන දුමාරයක් සහිත ගිනිකබලක් පසුබිමින් දල්වා සකස් කරනු ලැබීය. යහමින් නිකුත්වන දුමාරය ඉදිරියෙන් කිසිවෙකුටත් නොයන ලෙස කී ගුරුන්නාන්සේ ඒ දෙසින් දැන් මෝහිණීය පැමිණෙන බවත් සුදු පාට දුමාරය දෙස හැමෝටම බලා සිටින ලෙසත් කීවේය. සියලූ ආලෝක පන්දම් නිවා දැමිණ. වටපිටාවේ දැඩි අඳුර පැතිර ඇත. ගෝලයා බෙර ගසමින් ඈතට ගමන් කළ අතර බෙර හඬ නතර වනවාත් සමගම මෝහිණී පැමිණෙනු ඇතැයි ගුරුන්නාන්සේ කීවේය.

බෙර හඬ නතර විය. ඈතින් ගැහැනු කෙනෙකුගේ විලාපයක් ඇසිණ. ‘‘මගේ දරුවා දීපල්ලා.. විලාපය ටික ටික ළං විය. සියලූම දෙනා බියෙන් ගැහෙන්නට විය. දුමාරය මැද්දෙන් තරුණ ස්ත‍්‍රියක් ඉතා කුඩාවට පෙනිණ. ක‍්‍රමයෙන් ඒ රුව විශාල වී අඩි දහයක් තරම් උස් විය. ‘‘මගේ දරුවා දීපං.. ඇය මහ හඬින් කෑ ගැසීය. ‘‘හරි දරුව දෙන්නං ඊට කලිං මේ ආතුරයගෙ ඇඟට වහපු මෝහිණී දිෂ්ටිය අයින් කොරපන්.. ටිං ටිං ගුරුන්නාන්සේ ඉතා රළු හඬින් කීවේය. ‘‘හරි දැං මගෙ දරුව දිය.. කියූ මෝහිණීය අතුරුදන් විය. ‘‘ආ උඹේ දරුව ඔන්න අල්ල ගනිං. මෝහිණී දෙසට බෝනික්කා විසි කළ අතර ඉන් පසු සිහින් දරු නැළවිලි ගීයක් ඒ දෙසින් ළයාන්විත ස්ත‍්‍රී කටහඬින් ඇසිණ. සියලූදෙනා නිහඬව එම ගීයට සවන් දුන්හ. අවසානයේදී නූලක ගැටගැසූ සුදු සාරි පොටක් උස ගසකට අදින ලැබිණ.

‘‘මගේ පුතා කොතැන ගියේ - මා තනිකර යන්න ගියේ
පුතා මගේ පණ සරියේ - තනි නොකරමි නුඹ ආයේ..

‘‘දැන් සනීපයි නේ ද ගුරුන්නාන්සේ.. ආතුරයා ඉතා සතුටින් කීවේය. බලාසිටන බාලදක්ෂයන්ගේ මුවඟට සිනහවක් නැගිණ. 

(*මෙය රැවටීමකින් හෝ සම්ප්‍රදායට ගැරහීමක් නොවන බව සලකන්න. ජනතාවට සහනයක් දුන් මෙවැනි කාරණා ගැරහීමකට පත් කළ යුතු නොවේ.)

----------------------
සකස් කල විද්‍යාත්මක ක්‍රමය

මැග්නීසියම් පටියක් දැල්වීමේදී ඉතා දීප්තිමත් ආලෝකයක් ලැබේ. අඩියේ අඩියේ පමණ ලී රාමුවක එක පැත්තක සාරියක් ඇඳගත් කාන්තාවකගේ රූපය කපා ඉවත් කර කාඞ්බෝඞ් තහඩුවක් අලවා ඇත. එයට විරුද්ධ පසින් මැග්නීසියම් කැබැල්ලක් දැල්වූ විට එම ආලෝකය ගැහැනු රූපය කපා ඉවත් කළ සිදුරෙන් එළියට ගොස් තෙත පිදුරු හා පොල්කටු අඟුරුවලින් ඇති කරන්නා වූ ජල වාෂ්ප දුමාරය මත රූපයක් මවයි. දැල්වෙන මැග්නීසියම් කැබැල්ල කාඞ්බෝඞ් සිදුර වෙත ඈත් මෑත් කිරීමෙන් ගැහැනු රූපය කුඩා හෝ විශාල කළ හැක. මීට දශක තුනකට පමණ පෙර ඡායාරූප ගැනීමේදී අවශ්‍ය වන අති දීප්ත ආලෝකය (Flash Light) ලබා ගැනීම සඳහා මැග්නීසියම් කෙඳි පිරවූ බල්බයක් විදුලි බලයෙන් දහනය කරනු ලැබීය.
----------------------
  • රම්පෙ නෙලුම...
  • ගිං ගැං ගුලි...
  • සූර්යා බසිනා සැන්දෑවේ...
මහා කලබලයක් නොමැතිවම පැයක් පමණ ගෙවී යද්දී ගිනිමැලයද දුම් දමමින් නිවී යන අතර තුර කදවුරු ගිනි මැලය අවසන් වූ අතර නැරඹීමට පැමිණි සියල්ලෝම රාත්‍රී 8.30 පමණ කෙටි සංග්‍රහයකින් පසු කඳවුරේ රාත්‍රී ආහාරයට ගියහ.

-------------------------

No comments:

Post a Comment