Translate

Sunday, May 5, 2019

නව තාක්‍ෂණය කෙතරම් දියුණු වුවත් මුදල මත සියලු දේ තීරණය කිරීම යහපත් දෙයක්‌ නොවේ

නව තාක්‍ෂණය කෙතරම් දියුණු වුවත්
මුදල මත සියලු දේ තීරණය කිරීම යහපත් දෙයක්‌ නොවේ
-ජනපති මෛත්‍රීපාල සිරිසේන


මිනිස්‌ ජීවිතවලට වඩා මුදලට වැඩි වටිනාකමක්‌ දෙන තත්ත්වයට අද මුළුමහත් ලෝකයේම සමාජය පිරිහී තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ මූලස්‌ථාන ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමින් එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද කීය.

අපේ රටේ බාලදක්‍ෂ ව්‍යාපාරයට වසර 103 ක්‌ සම්පූර්ණ වීමත්, ඒ වගේම මෙතෙක්‌ කල් තමන්ගේ වූ මූලස්‌ථාන ගොඩනැඟිල්ලක අඩුව සපුරාලමින් අද නව ගොඩනැඟිල්ලක්‌ විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වන ලෙසට මට ආරාධනා කිරීම පිළිබඳව ප්‍රථමයෙන් සතුටට පත්වෙනවා.

ඔබ පැහැදිලි කළ ආකාරයටම පාසල් ජීවිතයේ බාලදක්‍ෂයන් විදියට කටයුතු කර ලබා ඇති අත්දැකීම් සමඟ බාලදක්‍ෂ ව්‍යාපාරයේ උත්සවයකට සහභාගි වෙන්න ලැබීම මා සලකන්නේ ඉමහත් ගෞරවයක්‌ සහ භාග්‍යයක්‌ ලෙසයි. ඒ නිසා මේ අවස්‌ථාව ඔබට වගේම මටත් වැදගත් අවස්‌ථාවක්‌ වනවා.

බාලදක්‍ෂයෙක්‌ විදියට පාසල් ජීවිතයේ කටයුතු කරපු ඒ යුගයට මේ අවස්‌ථාවේ මගේ මතකය දිව යනවා. අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් මානවවාදී ව්‍යාපාරයක්‌ විදියට බේඩ්න් පවල් සාමිවරයා ආරම්භ කළ බාලදක්‍ෂ ව්‍යාපාරය, අද මුළු මහත් ලෝකයේ යහපත් මිනිසුන් හැදීමේ සහ ඒකරාශී කිරීමේ කේන්ද්‍රයක්‌ බවට පත්වී තිබෙනවා.

අපේ ගමේ භාෂාවේ තිබෙනවා කියමනක්‌ "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියලා. යහපත් මිනිසෙක්‌ පිළිබඳව බලාපොරොත්තු තබන්න කුඩා කාලය තමයි වැදගත් වන්නේ. ළමා කාලය තුළ දරුවෙක්‌ හසුරුවන ආකාරය සහ ඒ දරුවාට දෙන මඟ පෙන්වීම දරුවාගේ මුළු ජීවිතයම ගොඩනගාගන්න ඉතාමත් වැදගත් වෙනවා. පරිත්‍යාගශීලී භාවය, කැපවීම, අනුන්ට පිහිටවීම, අනුන්ගේ දුක හඳුනාගැනීම, ළමා කාලය තුළ පුරුදු කරන්නට බාලදක්‍ෂ ව්‍යාපාරය ඓතිහාසික කාර්යභාරයක්‌ ඉටුකරන බව මම විශ්වාස කරනවා.
බෞද්ධ දර්ශනය තුළ, ක්‍රිස්‌තු දර්ශනය තුළ වගේම අනෙකුත් ආගමික දර්ශන තුළත් අන් අයට උදව් උපකාර කිරීම, පිහිටවීම, ඉතාමත් උතුම් දෙයක්‌ විදියටයි සලකන්නේ. බාලදක්‍ෂ ව්‍යාපාරය, අද මුළු ලෝකවාසී ජනතාවටම ආගමික දර්ශන පසුබිම් වූ මානවවාදී සමාජයක්‌ ගොඩනැඟීමේ කාර්යය සඳහා පුළුල් දායකත්වයක්‌ ලබාදී තිබෙනවා.

අපේ රටේ පාසල් සිසුන් අද ලක්‍ෂ 40 කට වැඩි සංඛ්‍යාවක්‌ සිටිනවා. ඉන් 50,000 ක්‌ පමණ බාලදක්‍ෂ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටීම ඉතාමත් සතුටට කාරණයක්‌. ඒ වගේම මම හිතන්නේ උදාවන නව වර්ෂය තුළ ඒ 50,000 ලක්‍ෂයක්‌ දක්‌වා වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඉලක්‌ක සහගත ව්‍යාපාරයක්‌ අවශ්‍යයි කියලා මා ඔබට යෝජනා කරනවා.

දැනට ලබාදෙන සහය වගේම ඊට වඩා වැඩි සහයක්‌ මේ සඳහා ලබාදෙන්න කියල ඉල්ලීම අධ්‍යාපන ඇමැතිතුමා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් පාසල් වලිනුත් මා පෞද්ගලිකව ඉල්ලා සිටිනවා. තාක්‍ෂණික ලෝකයේ මුදල් මත සියල්ල තීන්දු කරන බහුතරයක්‌ ඉන්න සමාජයක යහපත් බව හැදියාව මෙන්ම මිනිසත්කම යටපත් වන කාලයකයි අප දැන් මේ සිටින්නේ.

ඒ නිසා නව තාක්‍ෂණය කෙතරම් දියුණු වුවත් මුදල් වටිනාකම් තුළ සියලු දේ තීරණය කිරීම යහපත් දෙයක්‌ නොවන බව අපි දැඩි සේ විශ්වාස කරනවා. මිනිස්‌ ජීවිත වලට වඩා මුදලට වැඩි වටිනාකමක්‌ දෙන තත්ත්වයට අද මුළු මහත් ලෝකයේම සමාජය පිරිහෙලා තිබෙනවා. ඒ නිසා ජීවිත වලට වැඩි වටිනාකම් ගෙනදෙන්නට, වඩාත් යහපත් මිනිසුන් බිහිකරන්නට, මිනිස්‌කම ගොඩනැගුණ මිනිස්‌කම පදනම් කරගත් සමාජයක්‌ ගොඩනගන්න බාලදක්‍ෂ ව්‍යාපාරය මුළු ලෝකයේම තිබෙන උතුම් ව්‍යාපාරයක්‌ බවට හඳුන්වන්න පුළුවන්.

අපේ දරුවන් නොමගට පෙළඹවීම, තාක්‍ෂණයෙන් ඇතිවන අසුබවාදී දේ වැළඳගැනීම, මාධ්‍ය තුළ තිබෙන අයහපත් දේ පරිශීලනය කිරීම මේ කියන කරුණු පිළිබඳව දෙමවුපියන් සේම අප සෑම කෙනෙක්‌ම දැඩි අවධානයකින් පසුවී ඒවායින් දරුවන් බේරාගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුයි. අනාගතය සඳහා ගුණවත් දරුවන් පිරිසක්‌ බිහිකරන්නට බාලදක්‍ෂ ව්‍යාපාරයට එම මෙහෙය කළ හැකි බව අප විශ්වාස කරනවා.

ඒ උතුම් කාර්යය ඉටුකිරීම සඳහා මෙවැනි මූලස්‌ථාන ගොඩනැඟිල්ලක්‌ ඔබට ලැබීම පිළිබඳ ඔබ සතුටු වෙනවා වගේම ඔබේ ප්‍රධාන බාලදක්‍ෂයා වගේම පාසල් ජීවිතයේ බාලදක්‍ෂයෙක්‌ විදියට කටයුතු කළ මාද ඉතාමත් සතුටු වෙනවා. අපි දන්නවා අපේ සිංහල භාෂාවේ බාල කියන වචනය අංශ කිහිපයකට යෙදෙනවා. වයසින් අඩුවුණාම බාල කියලා කියනවා. ඒ වගේම දැනුමෙන් ප්‍රඥවෙන් බුද්ධියෙන් අඩු වුණාමත් බාල කියලා හඳුන්වනවා. මෙතනදී අපි හඳුන්වන්නේ වයසින් බාල කියන එකයි.

ඒ නිසා දරුවන්ගේ මනසට වඩා යහපත් දේ දෙන්නට බාලදක්‍ෂයන් හෙවත් දක්‍ෂ දරුවන් බිහිකරමින් සමාජයට මෙහෙවරක්‌ කරන්නට අපි සියලු දෙනාම කැපවිය යුතු වෙනවා. බාලදක්‍ෂ ව්‍යාපාරයට ලැබුණු නව ගොඩනැඟිල්ලේ තිබෙන සිසිලස සමඟ ඔබ සමඟ අප මේ මොහොත ගතකරනවා. ඔබ සෑම කෙනෙකුටම මේ රටේ බාලදක්‍ෂ ව්‍යාපාරය අනාගතයේදී අදට වඩා ශක්‌තිමත්ව ගොඩනගන්නට මේ නව ගොඩනැඟිල්ල, නව සෙවන වඩාත් ශක්‌තිමත් පිටිවහලක්‌ වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම මේ වැදගත් අවස්‌ථාවට මා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් සභාපතිතුමාත් කොමසාරිස්‌තුමා ඇතුළු ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්‌තුතිය පළකරන අතරම බාලදක්‍ෂ ව්‍යාපාරය මේ රටෙහි ගොඩනැගීම සඳහා දිය හැකි දියයුතු සෑම සහයෝගයක්‌ම මම මගේ නිල කාලය තුළ මම නොපිරිහෙලා ඔබ වෙත ලබාදෙන බවද අවසන් වශයෙන් ප්‍රකාශ කරන්නට කැමැතියි.

No comments:

Post a Comment