Translate

Tuesday, September 15, 2015

මීරිගම විත්ති - 03

බිබිලේ වලව්ව 

මහාචාර්ය සේනක බිබිලේ කියූ පමණින් ලංකාවේ ඕනෑම  කෙනෙකු ඔහුව හඳුනයි. ඒ ඔහු උපන් දේශය වෙනුවෙන් ඉටුකළ අමිල මෙහෙවර නිසාය. සබුද්ධික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමට ඔහු දිවා රෑ නොබලා කටයුතු කළ උතුම් මිනිසෙකි. ඔහු හඳුන්වාදුන් එම වටිනා ප්‍රතිපත්තිය අද ලෝකයේ රටවල් ගණනාවක ක්‍රියාත්මක වෙයි. ලංකාවේ පමණක් නොව විදේශීය රටවල් ගණනාවකම ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නිර්මාතෘවරයා මෙන්ම දූරදර්ශී වෛද්‍ය චින්තකයා මෙලොව එළිය දුටුවේ වර්ෂ 1920 පෙබරවාරි මස 13 වෙනිදින බිබිල වලව්වේදීය. ඒ මහාචාර්ය සේනක බිබිලේ නම් වූ ලෝක පූජිත ලාංකික යුග පුරුෂයාය.

බිබිලේ රටේ මහත්තයා වූ චාල්ස් විලියම් බිබිලේ මහාචාර්යවරයාගේ පියාය. චාල්ස් විලියම්ගේ පියා වන විලියම් රෙජිනෝල්ඩ් බිබිලේ රටේ මහත්තයා හෙවත් සේනක මහතාගේ මුත්තා 1860 වසරේදී ඉදිකළ වළව්ව අද වනවිට ගරාවැටෙමින් පවතී. පරම්පරා තුනකට සෙවණ දුන් බිබිලේ වලව්ව දුටුවන් මවිත කරවන ගෘහයකි. බිබිල නගරයේ මොනරාගල මංසන්ධිය අසල තිබෙන වලව්පිටිය මාර්ගයේ ටික දුරක් ගිය තැන මෙය හමුවෙයි. මෙරට වලව් පිළිබඳ ඉතිහාසය මහනුවර යුගය දක්වා ඈතට දිවයන්නකි. සාමාන්‍ය ජනතාවගෙන් දුරස්ව, ජන සමාජයේ සුවිශේෂී ප්‍රභූ පිරිසක් වශයෙන් එම පවුල් අතර ගොඩනගාගත් උප සංස්කෘතියක් ඇතිව ඔවුන්ට ජීවත්වීමට හැකි වූයේ රාජ්‍ය පාලනයේ විවිධ තනතුරු ලැබීමේ වාසනාව නිසාය. එහිදී ගොඩනගාගත් ආධිපත්‍යය මගින් ඔවුන් තම ප්‍රදේශවල විශාල වශයෙන් වතුපිටි දේපළ හිමිකරුවෝ බවට පත්වූහ.

තමන්ගේ වත්පොහොසත්කමේ අභිමානය සමාජගත කිරීම සඳහා ඔවුහු නිවාස ඉදිකිරීමේදී එවක සමාජයේ සාමාන්‍ය ජනතාව විසූ නිවාස අතර කැපී පෙනෙන වෙනස්කම් මෙන්ම, කාමරද විසි තිස් ගණන් සහිත විශාල අලංකාර නිවාස ඉදි කළහ. 1848 දී මෙරට ඉංග්‍රීසි පාලනය අහෝසිවීමත්, තම රාජකාරි කටයුතු අහිමිවීමත් සමගම වලව්කරැවන්ට තම විශාල වලව් නඩත්තු කිරීමට අසීරුවීමෙන් ඒවා ක්‍රමයෙන් ගරාවැටෙන්නට විය. නාමික වශයෙන් සීමිත වලව් සංඛ්‍යාවක් අදත් රට තුළ පැවතුණත්, ඔවුන් දේශපාලන කටයුතුවල නිරතවීම නිසා සාමාන්‍ය ජනයා සමග මහා සබඳතා පවත්වමින් ජීවත්වෙති. මෙම වලව් අතරින් බිහි වූ විශිෂ්ට පුද්ගලයන්ට සෙවණ දුන් වලව් කිහිපයක් අද රට තුළ ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති වූ ඩී.ඇස්. සේනානායක මහතා උපන් මීරිගම බෝතලේ වලව්ව, ඇස්. ඩබිලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා උපන් හොරගොල්ල වලව්ව, ලොව ප්‍රථම  අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය උපන් රත්වත්තේ වලව්ව මෙන්ම බහුජාතික සමාගම් රට තුළ පවත්වාගෙන ගිය ඖෂධ මාෆියාව පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ මහාචාර්ය සේනක බිබිලේ මහතා උපන් 'බිබිලේ වලව්ව'ද ඒ අතර වෙයි.

බිබිලේ වලව්වේදී උපත ලද සේනක බිබිලේ මහතා පසුව මහනුවර ත්‍රිත්ව විදුහලට ඇතුළත්ව අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබාගත්තේය. එහතේ ඔහුගේ පියා ඊට වැඩි කැමැත්තක් නොදැක්වීය, පියාට ඕනෑකම තිබුණේ තමාගෙන් පසු තමාට හිමිව තිබු රටේ මහත්මා තනතුර පුතාට උරුම කර දීමටය. එදා එම තනතුර  හැමවිටම ලැබුණේ පිය පුතු උරුමයට වන බැවිනි.

එහෙත් පියාගේ ඉල්ලීමට එකඟ නොවු සේනක බිබිලේ සිසුවා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයේ ඉගෙනුම ලබා වෛද්‍යවරයෙකු වශයෙන් සිය වෘත්තීමය ජීවිතය ආරම්භ කළේය. එදා බිබිලට රෝහලක් නොතිබූ නිසා මැදගම රෝහලේ තම ප්‍රථම රාජකාරිය ආරම්භ කළේය. පසුව පස්සර හා කුරුණෑගල රෝහල්වල සේවය කරමින් සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කරමින් 1950 ආචාර්ය උපාධිය ලබාගනිමින් මහාචාර්යවරයෙකු වශයෙන් තම සේවය ආරම්භ කළේය.

මෙසේ කටයුතු කරමින් සිටින අතරතුර මෙරටදී බහුජාතික සමාගම් මගින් ගෙනයන ඖෂධ ජාවාරම පිළිබඳව කරන ලද හෙළිදරව්වක් නිසා එතුමාට එම ජාවාරම්කරුවන්ගේ විවිධ බලපෑම්වලට ලක්වීමට සිදුවිය. විවිධ නම්වලින් මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ මගින් රජයට සිදුවන කෝටි ගණනක පාඩුව පිරිමසාගැනීම සඳහා ජාතික ඖෂධ ප්‍රතිපත්තියක අවශ්‍යතාව එතුමා රජයට පෙන්වාදුන්නේය. මෙය ඖෂධ ජාවාරම්කරුවන්ට වැදුණු කනේ පහරක් විය. ඔවුන් එතුමාට විරුද්ධව තම අවි අමෝරා ගත්හ. විවිධ බලවේග එතුමාට විරැද්ධව ක්‍රියාත්මක වීමට පටන්ගැණින. තම තමන්ට ලැබෙන කොමිස් මුදල් හා වරප්‍රසාදවලට යට වූ දේශපාලකයන් මෙන්ම නිලධාරීන්ද එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එතරම් කැමැත්තක් නොදැක් වූ අතර, එදා මෙදාතුර ඒ සඳහා කිසිම පැහැදිලි පිළිවෙතක් අනුගමනය කිරීමට කිසිදු රජයක් අපොහොසත් විය. මහාචාර්ය සේනක බිබිලේ මහතා හඳුන්වාදුන් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව සැකසූ කෙටුම්පතද අස්ථානගත වී ඇතැයි පසුගිය කාලයේ මාධ්‍ය මගින් හෙළි විය. එයින් හෙළිවන්නේ ඖෂධ ජාවාරම්කරුවන්ට රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයන් දක්වන දායකත්වය නොවේද?

කෙසේවෙතත් එතුමා රටට කරන ලද විශිෂ්ට මෙහෙවර නිසාම අද ඔහු උපන් වලව්වට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ලැබී තිබේ. 1860 වසරේදී ඉදිකළ වලව්වේ එදා කාමර තිස් ගණනක් තිබූ බව සඳහන්ය. එහෙත් අද දක්නට ඇත්තේ කාමර දොළහක් පමණි. ඉතිරි සියල්ල විනාශ වී ගොසිනි. අතීතයේ අක්කර පනහක භූමියක් වලව්වට තිබුණත් අද ඉතිරිව ඇත්තේ පර්චස් 70 ක බිම්කඩකි. වහලයේ ජනෙල් දොරවල් අලංකාර පුරාණ කැටයම්වලින් හා ලියවැල්වලින් නෙළා ඇත. වහලයේ දැව හා රීප්ප අපූරැ රටා මවයි. වලව්වේ එදා තිබූ කාමර තිස් ගණන අද නඩත්තු කරගැනීමට නොහැකි නිසා පිටුපසට වන්නට තිබූ මුළුතැන්ගෙය මැද මිදුල සමග කාමර අටක් කඩා ඉවත්කර තිබේ. දැනට ඇත්තේ කාමර 12 ක් පමණි. එය විශාල ප්‍රමාණයේ කාමර වන අතර නිදන කාමර, කෑම කාමර, කියවීමේ කාමර, කාර්යාල කාමර, වී කොටන, නාන කාමර ඇතුළු කාමර බොහෝ ප්‍රමාණයක් දක්නට ලැබේ.

පරපුරේ උරැමයෙන් ගිලිහී ගිය වලව්ව අද අයිතිව ඇත්තේ ජී.කේ. සෝමාවතී මහත්මියටය, ඇය පවසන පරිදි තමන් මීට වසර 35කට පමණ පෙර වලව්ව මිලදීගන්නා විට එහි මුල් උරුමකරැවන් පරිහරණය කරන ලද කිසිදු බඩු භාණ්ඩයක් එහි තිබී නැත. තමාට කලින් එම වලව්ව බදුගෙන තිබූ පුද්ගලයෙකු විසින් ඒ සියල්ල ගෙනගිය බව දැනගන්නට ඇති බවද ඇය කීවාය. දැඩි අබලන් තත්ත්වයක පවතින වලව්ව වැස්සට තෙමීම  නිසා වහලයේ මුදුන ඉටිරෙදිවලින් ආවරණය කර ඇත. ආලින්දයට ගිය විට වහලේ ඇති සිංහල උළු කැට තුළින් අහස දැකගත හැකිය.

එහෙත් දැන් එහි හිමිකාරියට එහි කිසිදු අලුත්වැඩියාවක් කළ නොහැක්කේ එය ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය යටතේ ආරක්ෂිත ස්ථානයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන බැවිනි. සෝමාවතී මහත්මිය පවසන්නේ මෙම නිවස මිලදීගන්නා විට මෙවැනි විත්තියක් නොදැන සිටි බවයි. එහෙත් නිවස රජයට පවරාදීමට ඇය කැමතිය. නමුත් තමන්ට ලැබිය යුතු මුදල් ලැබුණ වහාම තමන් එම දේපළ භාරදීමට සූදානම් බව කීවාය. "වලව්ව ඕනෑම වෙලාවක මිලදීගන්න කට්ටිය ඉන්නවා. සුදු ජාතික මහත්තයෙකුත් මිලදීගන්න ආවා. කොළඹින් මහත්තුරු කට්ටියකුත් ඇවිත් වලව්ව ගැන තොරතුරු ඇසුවා. ඒ අයත් කිව්වෙ මේක ආවාට ගියාට විකුණන්න එපා කියලයි. නමුත් මෙය ගැසට් පත්‍රයට පමණක්  සීමා වී තිබීම නිසා අපි දැඩි අසීරුතාවට පත්වයි ඉන්නෙ". අදාළ බලධාරීන් හැකි පමණ ඉක්මනට මෙම වලව්ව පවරාගැනීමට කටයුතු කළ යුතු බව ඇය කියයි.

එහෙම නොවුණොත් වලව්වේ තිබූ කාමර තිස් ගණන දොළහකට අඩු වුණා සේම අනාගතයේදී කාමර දෙක තුනකටත් වලව්ව සීමා විය හැකි බව ඇය කීවාය. වලව්වේ තොරතුරැ සොයාගිය ගමනේදී මෙම පරපුරේ දැනට බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටින සේනක බිබිලේ මහතාගේ සොහොයුරෙකු වන ආනන්ද බිබිලේ මහතා හමුවිය. අනූ එක් හැවිරිදි ආනන්ද බිබිලේ මහතා අද පදිංචිව සිටින්නේ වලව්වට මීටර් 300ක් පමණ දුරකින් පිහිටි නිවහනකය. නිදහස් පරිසරයක පිහිටි මේ නිවහනද ඉතා දැකුම්කලුය.

ඉතා චාම් දිවි පෙවෙතක් ගතකරන ආනන්ද බිබිලේ මහතා චාල්ස් විලියම් බිබිලේ මහතාගේ පිරිමි දරැවන්ගෙන් දෙවැනි පුත්‍රයාය, සේනක විලියම් බිබිලේ, සුජාතා රණවක, සිල්වෙස්ටර් චිත්‍රා බිබිලේ, චාල්ස් විමල බිබිලේ හා කුඩා බණ්ඩාර බිබිලේ යන අය ආනන්ද මහතාගේ සොයුරැ සොයුරියෝය. “මගේ තාත්තාත්, අයියාත් මමත් ඉගෙනගත්තෙ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනුයි. අයියා විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සෙ අප්පච්චි කිවුවා ඔය වැඩේ නතර කරලා, ගමට ඇවිල්ලා රටේ මහත්තයාකම භාරගන්න කියලා. නමුත් අයියා වෛද්‍ය විද්‍යාව තෝරාගෙන අවසානයේදී මහාචාර්යවරයෙක් වෙලා, ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නිර්මාතෘවරයා බවට පත්වුණා.

ඒ නිසාම විදේශීය රටකදී මියයන්නටත් සිදුවුණා. අයියගෙ නම කවදාවත් අතීතයෙන් මැකෙන්නෙ නැහැ. අපිටත් හරි ආඩම්බරයි* වලව්ව අන්සතු වුණේ කෙසේදැයි විමසු විට මොහොතක් හැගුම්බරව  සිටි ආනන්ද බිබිලේ මහතා පැවසුවේ, “මෙම වලව්ව අපේ අක්කා නමට ලියා තිබුණා. අක්කා මේක විකුණලා අම්මත් ගෙන්වාගෙන මහනුවර ප්‍රදේශයට ගියා. එදායින් පසුව මෙය අපේ පරපුරෙන් ගිලිහී ගියා. නමුත් අපිට මේ ගැන හරිම කනගාටුයි. එදා මේ රට පාලනය කරපු රටේ මහත්තුරු හැමකෙනාම මෙහ නවාතැන් ගෙන තිබෙනවා. අපි හැදුණෙ වැඩුණෙ මේ වලව්වෙ.

එදා අගමැති වුණ දහනායක මහත්තයා ඡන්දය ඉල්ලන්න බිබිලට ඇවිත් නතර වුණේ අපේ වලව්වෙ. එතුමා එදා වෙල්ලස්ස, බින්තැන්න, වියලුව කියන හැම ගමකම පයින් ඇවිද්දා, උදේට ගෙදරින් ගියාම ඇවිදලා එන්නෙ හවස. අපිත් උදව් කළා. වලව්ව ආරක්ෂා කරලා ඉදිරි පරම්පරාවට දායාද කරනවා නම් හොඳයි"යනුවෙන් ඒ මහතා මතකය අවදි කරයි.

ප්‍රෞඪ ඉතිහාසයක් ඇති මෙම වලව්ව අනුස්මරණීය ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීම දැයේ වගකීමක් සහ යුතුකම් බව වෙල්ලස්සේ ජනතාව අවධානය කරති. සේනක බිබිලේ නම් වූ ඒ යුග පුරැෂයා අද මියගොසිනි. ඔහු දිවි හිමියෙන් තැනූ ඖෂධ ප්‍රතිපත්තියද ලංකාවේ භූමිය තුල මියගොසිනි. ඔහුට සෙවණ දුන් ඒ ඓතිහාසික වලව්වද මිය යාමට ආසන්නව පවතී.

https://www.facebook.com/Lee-Dasanayaka-Scout-Training-Center-332291620169247

1 comment:

  1. ඔබේ බ්ලොග්/වෙබ් අඩවිය බ්ලොග්පවර් එකට ඇතුලත් කලා

    ReplyDelete