Translate

Sunday, September 6, 2015

Facebook බාලදක්ෂයාේ

Facebook නිර්මාතෘ Mark Zuckerberg නම් බාලදක්ෂයා

මොකක්ද මේ ෆේස් බුක් කියන්නේ? ඔබත් ෆේස් බුක් එකේ ඉන්නවා ද?  ඔය මොන කතා කිව්වත් ෆේස් බුක් තියන එක හොඳයි.

ෆේස් බුක් නම් තහනම් කරන්න ඕන. ඔයා ෆේස් බුක් එකට ෆොටෝ දැම්ම ද? අපේ කාර්යාලයේ නම් ෆේස් බුක් යන එක බ්ලොක් කරලා තියෙන්නේ.

මීට අවුරුදු දෙක තුනකට කලින් ඉඳලා ෆේස් බුක් සම්බන්ධ විවිධ කතා නිතර නිතර අපිට අහන්න ලැබෙනවා. තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කිහිපදෙනෙක්ගේ හිතුවක්කාරකමකින් බිහිවුණ විශිෂ්ට නිර්මාණයක් වෙන ෆේස් බුක් සමාජ සම්බන්ධතා වෙබ් අඩවිය ලෝකයේ බිලියන එකක් මිනිසුන්ගේ ජීවිත වෙනස් කළා කීවොත් එක පාරට ම විශ්වාස කරන එකක් නෑ. නමුත් මිත්‍රත්වයට, ආදරයට, විනෝදයට, දැනුමට සහ අලෙවිකරණයට මෙන්ම එකී මෙකී නොකී ගොඩක් දේවලට සයිබර් අවකාශය තුළ ඉඩක් වෙන්කර දුන් 'ෆේස් බුක්' සම නිර්මාතෘ මාක්ර්ස් එලියට් සකර්බර් බාලදක්ෂයෙක් බව දන්නේ බොහොම සුලු පිරිසක්.

වසරේ මිනිසා

Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) ගැන නොදන්න කෙනෙක් නැති තරම්. 1984 මැයි 14 දින ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙලොව එළිය දකින මාර්ක් සකර්බර්ග් යුදෙව් සම්භවයක් තියෙන පුද්ගලයෙක්. දන්ත වෛද්‍යවරයෙක් වෙන පියාත් මනෝ වෛද්‍යවරියක් වන මවත්, සැලකිය යුතු උසස් වෘත්තීයවල යෙදෙන නිසා මනා අධ්‍යාපනික පසුබිමක් සහිත පවුලක උප්පත්තිය ලැබීමට වාසනාවන්ත වන මාර්ක්ට තවත් සහෝදර සහෝදරියන් තුන් දෙනෙක් සිටිනවා.

සමාජයේ වෙසෙන බොහොමයක් දෙනෙක්ට තමාට වඩාත් දක්‍ෂකම් පෙන්වලා ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ක්ෂේත්‍රය හඳුනා ගන්න ගොඩක් කල් ගතවෙනවා. සමහර වෙලාවට මැරෙන තුරුම ඔවුන්ගේ ඇඟ ඇතුළේ තියෙන දක්‍ෂකම හඳුනාගන්න ඒ අයට අවස්ථාව ලැබෙන්නේ නැහැ. 2%ක් තරම් ඉතා සුළු පිරිසක් තමයි ඒ අය හදවතින්ම දක්‍ෂතා දක්වන්න කැමැති ක්ෂේත්‍රය ආදරයෙන් වැලඳගෙන ඒ තුළින් ලෝකයම වෙනස් කරන්න උත්සාහ කරන්නේ. මාර්ක් ගේ පියාගේ කාර්යාලයීය කටයුතු පහසු කරගන්න ඔහු වයස ‍දොළහේදී Zucket නම් පරිගණක වැඩසටහන නිර්මාණය කරනවා. ඒ වගේ ම මාර්ක්ගේ ඒ පරිගණක වැඩසටහන ඔවුන්ගේ ගෙදරදොර සන්නිවේදන කටයුතුත් පහසු කරනවා.

'මගේ සමහර යහළුවන් චිත්‍ර අඳින්න ගොඩක් දක්‍ෂයි. ඉතින් ඒ අයගේ එම හැකියාවත් උපයෝගී කරගෙන නිකන් ඉන්න වෙලාවට අපි පරිගණක ක්‍රීඩා නිර්මාණය කරනවා. ඔහු පුංචි කාලේ අත්දැකීම් ගැන අද දවසේදී කියන්නේ එහෙමයි.' 

දවස තිස්සෙම පරිගණකයේ එල්ලිලා ඉන්න මාර්ක්ට බැනලා පොත ගන්නවා කියනවා වෙනුවට මාර්ක්ගේ දක්‍ෂතාව හඳුනාගත් ඔහුගේ බුද්ධිමත් මවුපියන්, සකර්බර්ග්ට හොඳ පරිගණක අධ්‍යාපනයක් ලබාදෙන්න හිතලා පරිගණක ගුරුවරයෙක් වන ඩේවිඩ් නිව්මන් (David Newman) ගෙදරටම ගෙන්වනවා. පුංචි කාලෙ ඉදන්ම පරිගණකවලට පමණක් සීමා නොවන මාර්ක් සාහිත්‍යයට සහ ක්‍රීඩාවටත් මනා දක්‍ෂතාවක් පෙන්වනවා. පරිගණක විද්‍යාව සහ මනෝ විද්‍යාව හැදෑරීම සඳහා 2002 වසරේදී ලොව විශිෂ්ටතම හාවර්ඩ් සරසවියට ඇතුළුවීමේ වාසනාව මාර්ක්ට හිමිවෙනවා. ප්‍රථම වසරේදීම වැඩසටහන් නිර්මාණය සම්බන්ධයෙන් දක්වන දක්‍ෂතා නිසා විශ්වවිද්‍යාලය තුළ පරිගණක වැඩසටහන් නිර්මාණකරුවෙක් විදියට යම්කිසි ප්‍රසිද්ධියක් මේ කාලයේදී ඔහු ලබනවා. ඔහු ෆේස් බුක් නිර්මාණය කරන්න පෙර නිර්මාණය කරන ෆේස්මෑෂ් (Facemash) වෙබ් අඩවියද සැලකිය යුතු ජනප්‍රියතාවක් ලබන්නේ ඒ හරහා සරසවියේ මිතුරන් දෙදෙනකුගේ ඡායාරූප දෙකක් සසදා එහි ගැළපීමට අදාළ කැමැත්ත ඡන්දය ඔස්සේ ප්‍රකාශ කරන්න අනෙක් මිතුරන්ට අවස්ථාව ලැබෙන නිසා. නමුත් විශ්වවිද්‍යාල පරිපාලනය එම වැඩසටහන විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කරවීම තහනම් කර එය නවතා දමන්න තීරණය කරනවා. ඔහුත් සාමාන්‍ය ශිෂ්‍යයෙක් වුණා නම් විශ්වවිද්‍යාල බලධාරීන් තහනම් කළ වැඩසටහනක් අලුත් මුහුණුවරකින් යළිත් කරළියට ගේන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. නමුත් නිශ්චිත අරමුණක් හඹාගිය මාර්ක් සකර්බර්ග් සාමාන්‍යයෙන් අසාමාන්‍ය තරුණයෙක් වුණ නිසා ෆේස්මෑෂ් ඔස්සේ තව තවත් අලුත් දේ හිතන්න පටන් ගත්තා. ඔහු ෆේස්මෑෂ් තහනම තර්ජනයක් විදියට දැක්කේ නැහැ. ඔහු ඒක අලුත් දේ තව තවත් හොයන්න ලැබුණ අවස්ථාවක් කියලා හිතුවා. මාර්ක්ගේ ක්‍රමයට කැමැති අය ඔහු වටා එක් රොක් වුණේ සමාජයට දැනෙන යමක් දෙන්න හිතාගෙන. මෙහෙම එකතු වුණ මහ මොළකාරයන් පස් දෙනෙක්ගේ දක්‍ෂතාවයේ සහ බුද්ධියේ ප්‍රතිඵලයක් විදියට තමයි ෆේස් සමාජ සම්බන්ධතා ජාලය නිර්මාණය වෙන්නේ. ඔවුන් සියලු දෙනා හාවර්ඩ් සරසවියේ දෙවැනි අවුරුද්දේ ඉන්න සමයේදී ඒ අනුව ෆේස් බුක් සම නිර්මාතෘවරුන් විදියට Eduardo Saverin, Andrew McCollum,   Dustin Moskovitz සහ Chris Hughes ඉතිහාසගත වෙනවා.

මුහුණු පොත නිර්මාණය වේ.

2004 වසරේ පෙබරවාරි මාසයේදී ෆේස් බුක් (The Fecebook) නමින් අරඹන මෙම ජාලය ටික කාලයක් යද්දී ඔවුන් එය ෆේස් බුක් (Facebook)  විධියට සන්නම පවත්වාගෙන යන්න තීරණය කරනවා. ෆේස් බුක් වෙනුවෙන්ම කැපවෙන්න හිතන මාර්ක් දෙවැනි වසරේදී හාවර්ඩ් සරසවියෙන් ඉවත් වෙනවා. අනාගතය පිළිබඳ දිගු කාලීන දැක්මක් හිතේ තියාගෙන අතරමඟ දී සරසවි අධ්‍යාපනය නතර කිරීම ඉතා අවදානම් තීරණයක් වෙනවා.

නොසිතූ විදියට 2004 අවසාන වනවිට ෆේස් බුක් ජාලයේ සාමාජිකයන් සංඛ්‍යාව මිලියනයක් දක්වා ඉහළ යනවා. 2005 වසර වන විට ෆේස් බුක් සමාජ සම්බන්ධතා ජාලයේ දියුණුව වටහාගත් ACCEL සමාගම ඩොලර් මිලියන 12.7ක් ෆේස් බුක් සමාගමේ ආයෝජනය කිරීම නිසා දැවැන්ත පෙරළියක් බවට පත් වෙනවා. 2005 වසර අවසාන වෙන විට සාමාජික සංඛ්‍යාව මිලියන 05ක වර්ධනයක් කරා යන්න අවස්ථාව ලැබුණේ පාසල් ශිෂ්‍යයන් සහ සරසවි සිසුන් ෆේස් බුක් වෙත ඉතා ඉක්මනින් ඇබ්බැහිවීමෙන්.

ෆේස් බුකිය

Facebook වෙබ් අඩවිය යනු මේ වන විට ලොව වැඩියෙන්ම ජනප්‍රිය වෙබ් අඩවිය කිවහොත් නිවරැදිය. සංඛ්‍යා දත්ත අනුව එය දෙවැනි වන්නේ ගූගුල් වෙබ් අඩවියට (සෙවුම් යන්ත්‍රය) පමණි. ෆේස් බුක් වෙබ් අඩවිය දක්වන ආකාරයට ඔවුන් සතුව මිලියන 500 ක සාමාජියකින් ප්‍රමාණයක් සිටින අතර ඔවුන්ගෙන් අඩක් සෑම දිනකම සිය අඩවිය වෙත පිවිසෙති. එක් සාමාජිකයෙකුට සාමාන්‍ය වශයෙන් 130ක පමණ මිතුරන් ප්‍රමාණයක් සිටින අතර මාසයකට විනාඩි බිලියන 700 ක කාලයක් සිය සාමාජිකයින් පිරිස එහි රැ‍ඳෙති.  C++ ~ƒ PHP කියන පරිගණක භාෂාවලින් ලියැවුණු ෆේස් බුක් සමාජ සම්බන්ධතා වෙබ් අඩවිය ලෝකය පුරාම ව්‍යාප්ත වී අවසානයි. බොහෝ දෙනාගේ ජීවිතයේ පිටු අලුතෙන් ලියන්න තරම් සමත්කමක් ඒම නිර්මාණය සතු වුණා. මේ නිසාම, ලෝක ප්‍රකට ටයිම්ස් සඟරාව 2010 වසරේදී වසරේ මිනිසා (The Person of the Year) ලෙසට මාර්ක් සකර්බර්ග් නම් කරනු ලැබුවා. වයස විසිහයක් තරම් අයෙක් මෙතරම් සමත් කමක් දක්වාවි යයි  කිසිවෙකුත් නොසිතන්නට අැති.

දැවැන්ත චෝදනා රැසක්

මේ කාලයේදීම සකර්බර්ග්ට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවුණා. ෆේස් බුක් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු අනිසි විධියට භාවිත කරනවා කියන ප්‍රධාන චෝදනාව වුණේ දැඩිව එල්ල වුණා. ඔබත් ෆේස් බුක් සාමාජිකයෙක් නම් ඔබට මම කියන දේ වැටහෙයි. අපි ඇතුළත් කළ ඡායාරූප පණිවුඩ හා වෙනත් තොරතුරු මකා දැම්මත් ඒවා ඇත්තටම මැකෙනවාද නැත්නම් ෆේස් බුක් ආයතනය ඒවා වෙනම තැනක ගබඩාකර තබනවාද කියලා ගැටලුවක් තියෙනවා. මාධ්‍යවේදීන්, මානව හිමිකම් සංවිධාන, සරසවි ඇදුරන් ආදී බොහොමයක් දෙනා සකර්බර්ග්ට මේ සම්බන්ධව චෝදනා රැසක් එල්ල කළා. ඒ වගේම ඔහුට එල්ල වුණ තවත් දැවැන්ත චෝදනාවක් වෙන්නේ සකර්බර්ග් ඇතුළු පිරිස Harvard Connection සමාජ සම්බන්ධතා ජාලයේ සංකල්ප හොරකම් කරලා ෆේස් බුක් නිර්මාණය කරලා තියෙනවා කියලා. හාවර්ඩ් කනෙක්ෂන් කියන්නෙත් සකර්බර්ග් වගේම හාවර්ඩ් සරසවියේ සිසුන් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරපු සමාජ සම්බන්ධතා ජාලයක්. එම ජාලය නිර්මාණය කරන මුල් අවධියේදී මාර්ක් සකර්බර්ග්ද එම පිරිස සමඟ එකතු වෙලා වැඩකරලා පසුව එම කණ්ඩායමෙන් ඉවත් වෙලා හාවර්ඩ් කනෙක්ෂන් නිර්මාණය කරන්න මූලික වුණ සංකල්පයන් ඔස්සේ ෆේස් බුක් නිර්මාණය කළ බවට දැවැන්ත චෝදනාව දිගින් දිගටම ඔහුට එල්ල වුණා.

කෙසේ වෙතත් අදාළ නඩු විභාගය අවසානයේ දී මාර්ක් සකර්බර්ග් හාවර්ඩ් කනෙක්ෂන් වෙබ් අඩවියේ බුද්ධිමය දේපොළ යම් තරමකට හොරකම් කරලා තියෙන බව තීරණය කෙරෙනවා. ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන්නත් ඔහුට සිදු වුණා. ඒ වගේම ඔහු ෆේස් බුක් සාමාජිකයන්ගේ පෞද්ගලික පණිවුඩවලට රහසිගත බව යම් තරමකට පිටතට කාන්දු කර ඇති බවටත් හෙළි වුණා. තමා දැන් අත්දැකීමෙන් පරිණත වෙමින් යන බවත් නැවත ඒ වගේ දේවල් සිදු නොවන බවත් කියමින් අදාළ දෙවැනි චෝදනාව සම්බන්ධව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින සකර්බර්ග් ෆේස් බුක් සමාගමේ දිගු කාලීන දැක්ම වන "මුළු ලෝකයටම විවෘත ජාලයක් බවට කිරීම" විනා මිනිසුන්ගේ පෞද්ගලිකත්වය විකුණීම නොවන බව පැවසෙනවා.


තරුණ ව්‍යාපාරිකයා

ෆේස් බුක් ඔස්සේ ප්‍රකෝටිපතියෙක් දක්වා ගිය ගමන පහසු එකක් නාෙවුණ බව පැහැදිලිවනුයේ විවිධ හේතු නිසා නඩු පිට නඩුවලට මුහුණ දීමට සිදුවීමෙන්. මේ හේතුවෙන් ඉතාම කෙටි කාලයකදී මාර්ක් ලෝකයේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වුණ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. සකර්බර්ග්ගේ ජීවන කතාව ඇතුළත් කර ලියූ The Accidental Billionaires කෘතිය ඔස්සේ බෙන් මෙස්රිච් (Ben Mezrich) ගේ  The Social Network සිනමාපටය නිර්මාණය වෙනුවෙන් ඇකඩමි සම්මාන අටක් දිනාගත් ගන්නවා.

Scout Spirit Award, and this time it's going to Facebook founder Mark Zuckerberg who has donated $25 million to help combat the Ebola virus in West Africa
ලෝකයේ ප්‍රබල ව්‍යාපාරිකයන් රැසක් බිහිකළ සිලිකන් නිම්නයෙන් බිහිවුණ මෙම තරුණ ව්‍යාපාරිකයා සරසවි සමයේ සිට ඇතිකරගත් දිගු කාලීන ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදී ප්‍රිස්සිලා චෑන් සමඟ විවාහ වෙනවා. වයස සහ අඩු අත්දැකීම දැවැන්ත ව්‍යාපාරයක් පටන්ගන්න ගැටලුවක් නෙවෙයි කියන කාරණය ඔස්සේ තවමත් තුරුණු වියේ පසුවෙන මාර්ක් සකර්බර්ග් තරුණ ව්‍යාපාරිකයන්ට හොඳ පාඩමක් උගන්වන්වා තිබෙනවා. ඔහු ජාත්‍යන්තර ව්‍යාපාරික ලෝකයට පිවිසෙන විට බොහොමයක් දෙනා පැවැසුවේ ඔහුට ව්‍යාපාර කටයුතු සම්බන්ධ ප්‍රමාණවත් දැනුමක් නොමැති නිසා අනිවාර්යෙන්ම වැඩිකාලයක් නොමැති බව පැවසුවත් සකර්බර්ග් වැටි වැටී අත්දැකීම් ලබා ඉදිරියටම යනවා. ඒ නිසාම වසර කීපයක් ඇතුළත ෆෝර්බ්ස් සඟරාවට අනුව ලෝකයේ බලවත්ම පිරිමින්ගේ ලැයිස්තුවේ නව වැනි තැනටත් ඇමෙරිකාවේ ධනවත්ම පිරිමින්ගේ ලැයිස්තුවේ 36 වැනි තැනටත් පත්වෙනවා.

සයිබර් විජිතය

බිලියන එකක් සාමාජිකයන්ට තත්පරයක් යන්න කලින් පණිවුඩ, මතයන් සහ තොරතුරු ගෙනියන්න තියෙන බලය නිසා ෆේස් බුක් වෙබ් අඩවිය ඔස්සේ මාර්ක්ට ලැබුණේ සීමිත සිවිල් බලයක්. සමහර රටවල දේශපාලන මතයන් ගෙනයෑමේ ප්‍රධාන මාධ්‍යය විධියට ක්‍රියා කළේ ෆේස් බුක් සම්බන්ධතා ජාලය. අරාබි වසන්තය ෆේස් බුක්වලට යටින් දිවෙන අසීමිත බලය පෙන්නපු හොඳ අවස්ථාවක්. දේශපාලනික වෙනස්කම් කරන්න ෆේස් බුක් අවියක් විධියට භාවිත කරන බව පෙන්වීම නිසා චීනය, පාකිස්තානය, උස්බෙකිස්තානය, සිරියාව වගේ රටවල ෆේස් බුක් සම්පූර්ණයෙන්ම තහනම් කර අවසානයි.

ෆේස් බුක් සමාගමේ සභාපති සේම ප්‍රධාන විධායක නිලධාරියා වෙන මාර්ක් තාමත් කාර්යාලයට එන්නේ සරසවි සමයේදී ඔහු අඳින්න වඩාත් ප්‍රිය කළ ඩෙනිම් කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසිලා ඉතාම සරල සහ සැහැල්ලු ආකාරයටමයි. ෆේස් බුක් සමාගමේ සාර්ථකත්වයට අවශ්‍ය දක්‍ෂ මානව සම්පතක් රැස්කරගෙන නොතිබෙන්නටත් එහි අලෙවිකරණ සහ මෙහෙයුම් කටයුතු සඳහා සහ නම් දැරූ දක්‍ෂ කළමනාකරුවන් යොදා ගැනීමටත් ඔහු බුද්ධිමත් වුණා. ඒ ඔස්සේ ඔහුගේ නොමේරූ ගතිය තවදුරටත් අඩුකර ගනිමින් සෙමෙන් සෙමෙන් පරිණත වෙන්න හැකියාවද ලැබුණා.

සයිබර් අවකාශයේ ව්‍යාපාර විජිතයක් බවට පත්කළ සකර්බර්ග් 21 වැනි සියවසේ ජීවත්වන නවීන මිනිසාගේ අවශ්‍යතාවන් සහ වුවමනාවන්ට ගැළපෙන සේවාවන් දුන්න නිසා ෆේස් බුක් ජාලය ලෝකය පුරා උන්මාදයක් කළ බව නිසැකයි.  වොරන් බෆට් වගේම මාර්ක් සකර්බර්ග්ද සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් මිලියන ගණනින් වියදම් කරන ව්‍යාපාරිකයෙක් විදියටත් ප්‍රසිද්ධයි. තවදුරටත් අනාගතයේදී ඔහුගේ ධනයෙන් 50%ක් සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් යොදන්න ඔහු සූදානම් බව ප්‍රසිද්ධ පොරොන්දුවක් දෙමින්ද කියලා තියෙනවා. බිල් ගේට්ස්, ස්ටිව් ජොබ්ස් පරම්පරාවේ තවත් පුරුකක් වෙන මාර්ක් සකර්බර්ග් ලෝක ඉතිහාසයට අරුතක් දුන් බාලදක්ෂයෙක් කියලා කට ඇරලා කාටත් කියන්න පුළුවන්.

විශේෂ ස්තූතිය කැළුම් වැලිගම

No comments:

Post a Comment