Translate

Saturday, September 9, 2017

බාලදක්ෂ හඬ

ශ්‍රී ලංකාව ලෝක ගුවන් විදුලි සම්ප්‍රේෂණ ඉතිහාසයෙහි පෙරමුණෙහි රැදෙන නාමයන් අතර එකකි. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සම්ප්‍රේෂණ සම්ප්‍රාප්තිය මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය යන රටවල් සමඟ මෙරට සමතත්ත්වයෙහි ලා සලකනු ලැබේ. රේඩියෝ සිලෝන් ලෙස මුල් කාලයේදී හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දකුණු ආසියාවේ ඇති පැරණිම ගුවන් විදුලි ආයතනය වේ. 1925 දී කොළඹ ගුවන්විදුලිය නමින් පර්යේෂණ පදනමින් ආරම්භ කරන ලද අතර ප්‍රථම සම්ප්‍රේෂණය 1923 දී සිදු විය. මුල් කාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් විකාශනය සිදු කෙරිණ. 'ලංකාවෙහි‍ ‍ගුවන්විදුලි සම්ප්‍රේෂණයෙහි පියා' ලෙස හැඳින්වෙන එඩ්වර්ඩ් හාපර්, ඉංග්‍රීසි හා සිංහල ගුවන් විදුලි ලෝලීන් සමග එක්වී සිලෝන් වයර්ලස් ක්ලබ් ලෙස සමාජයක් නිර්මාණය කලේය. ශ්‍රි ලංකා රජයේ නිල ගුවන් විදුලි විකාශන ආයතනය ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව වේ.


රේඩියෝ සිඇක්

ප්‍රථමයෙන් යුරෝපා රටවල ආරම්භ වී පසුව ක්‍රි.ව. 1941 නොවැම්බර් මස 07 දින ජපානය සහභාගී වීමත් සමඟ ලෝක මහා සංග්‍රාමයක් බවට පත් වූ WWII ලෝකයේ බෙහෝ වෙනස් කම් සිදු කලේය. දෙවන ලෝක යුද්ධය ක්‍රි.ව. 1939 සැප්තැම්බර් මස සිට ක්‍රි.ව. 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක් පුරා පැවැතුණි. බ්‍රිතාන්‍ය කිරීටයේ කොළනියක් ලෙසින් ලංකා රාජ්‍යයට ද යුද්ධය සඳහා පාර්ශවයක් ගෙන කටයුතු කරන්නට සිදුවූයේය.

දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර හමුදා කොළඹදී ගුවන් විදුලි මෙහෙයුම් සිදු කරන ලද අතර එමඟින් රේඩියෝ සිඇක් හි ආරම්භය සිදුවිය. අග්නි දිග ආසියාව හරහා මිත්‍ර හමුදා වෙත පුවත් සහ ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කල නිවේදකයින් අතර කොළඹ පදනම් කරගත් බ්‍රිතාන්‍ය නිවේදකයින් වන ඩේවිඩ් ජේකොබ්ස් සහ ඩෙස්මන්ඩ් කැරිංග්ටන් (මොවුහූ යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව (බී. බී. සී) ට බැඳුනි) වැනි අය වූහ.
දෙවන ලෝක යුද්ධ සමයේදී බාලදක්ෂයන් ද යුධ සේවයට කැඳවා තිබූ අතර ඒ සඳහා පසුව යුධ සේවා පදක්කම් ද ලබා දී ඇති බව වාර්තා වේ. මෙසේ සේවයේ යෙදී සිටි බාලදක්ෂයන් රේඩියෝ සිඇක් හි විශේෂ ගුවන් විදුලි සම්පේෂණ කටයුතුවල යෙදී සිටි බව ද සඳහන් වේ.

යුද්ධය අවසන් වූ පසු රේඩියෝ සිඇක් නැවතත් ලංකා ආණ්ඩුවට ලබා දෙන ලද අතර, එහිදී රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) ලෙස එහි නාමය වෙනස් කරන ලදී. මෙම නමෙහි සිදු වූ වෙනස, දකුනු ආසියාවේ ගුවන් විදුලි විකාශනයේ නව පිටුවක් පෙරලීමෙහි පෙර මග සලකුණු කළේය. ආයතනය ඉතා ඉක්මණින් දකුනු ආසියානු වෙළෙඳපොල ප්‍රමුඛයා බවට පත්විය.

 

ලංකා ගුවන් විදුලි සේවය (රේඩියෝ සිලෝන්)

රේඩියෝ සිලෝන්හි ස්වර්ණමය යුගය 1950 සහ 60 දශක වේ. හැට දශකය දක්වාම ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව 1966 අංක 17 දරණ පාර්ලිමේන්තු පනතින් ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වූයේය. මිලියන ගණනක් ශ්‍රාවකයෝ එහි වැඩසටහන්වලට සවන් දුන් අතර දකුණු ආසියානු ගුවන් විදුලි ආධිපත්‍යය දරමින් ඉහළින් වැජඹුණේය.  කොළඹ ක්‍රමය යටතේ වෙලඳ සේවය ආරම්භ කරන ලද අතර එමගින් මිලියන ගණනක ආදායමක් ලැබූ බව ද පැවසේ. ලෝකයේ බිහිවූ හොඳම නීවේදකයන් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නවුන් පිරිසක් ද බිහි වූ අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ගුවන්විදුලි සේවා පවත්වාගෙන යනු ලැබේ. අපේ ගුවන් විදුලිය අපේ රටටම සීමා වූවක් නොවේ. ලොව පුරා ගුවන් විදුලියේ රසිකයෝ පැතිර සිටිති. හින්දි, ඉංග්‍රිසි, මලයාලම් ඇතුළු භාෂා රැසකින් ගුවන් විදුලිය ලොව පුරා විකාශන කටයුතු සිදු කරනු ලබන අතර දකුණු ඉන්දියාවේ පවා ලංකා ගුවන් විදුලියට විශාල ජනප්‍රියත්වයක් වර්තමානය දක්වාම නොනැසී පැවැතීම සුවිශේෂී වේ.

ගුවන්විදුලි ළමා වැඩසටහන්

ගුවන් විදුලිය ආරම්භ වී වසර දහයකට පසු ළමයින් වෙනුවෙන් ළමා වැඩසටහන් ආරම්භ කරනු ලැබිණ. "ආන්ටි කර්ක්" නමින් මේ පළමු ළමා රේඩියෝ වැඩසටහන 1935 මැයි 15 වෙනිදා සිට විකාශය කළ අතර මේ වැඩසටහන මෙහෙව්වේ කර්ක් නැන්දා විසින්. සෑම බදාදා දවසකම හවස 6.30 ඉදන් 7.30 දක්වා පැයක් ඉංග‍්‍රීසියෙන් මේක ප‍්‍රචාරය විය. "ආන්ටි කර්ක්" ගෙන් පස්සේ "ආන්ටි ජෙනිට" මේ වැඩසටහන මාරු විය. ආන්ටි ජෙනිට "අන්කල් පීටර් ද" එකතු වූ අතර මේ වැඩසටහන බදාදා දිනයෙන් බ‍්‍රහස්පතින්දා ට මාරුවෙලා වූයේය. "ආන්ටි ජෝයි" එක්ක "අන්කල් නික්" ළමා පැයට එකතුවුනේ 1941 අවුරුද්දේදෙී ය. ළමයින් සඳහා පැයක වැඩසටහනක් ලෙස බ‍්‍රහස්පතින්දා හවස 6 ඉදන් 7 වනතුරු වටිනා ගුවන්කාලයක් වෙන් කිරීම මෙම වකවානුවට සාපේක්ෂව සුවිශේෂී ජයග්‍රහණයකි. පළමු දෙමළ ළමා වැඩසටහන් ද 1936 අවුරුද්දේම පටන් අරන් සෙනසුරාදා දවස්වල හවස 6 ඉදන් 6.25 වෙනකම් පැය කාලක් ද වෙන්කරනු ලැබිණ.

1936 අවුරුද්දේ දී "සිරියලතා නැන්දා" නමින් කැතරින් හපුගල මහත්මිය විසින් සිංහල ළමා වැඩසටහනක් සෑම සිකුරාදා දවසකම හවස 6 ඉදන් 6.25 වෙනකම් එ් කියන්නේ පැය කාලක් ප‍්‍රචාරයවුනා. 1939 නොවැම්බර් මාසේ වෙනකොට පි.ජි. ආරියරත්න මහතා "ආරියරත්න මාමා" නමින් ළමා වැඩසටහන කරගෙන ගිය අතර "දමයන්ති අක්කා" නමින් චන්ද්‍රා රන්හොටි මෙනවිය මේ වැඩසටහනට දායකත්වය සැපයූ බව සඳහන්. 1941 අවුරුද්දේ මෙම සිංහල ළමා වැඩසටහනේ විකාශ කාලය විනාඩි 40 දක්වා දීර්ඝ කර ඇත.

එකාකාරි ළමා වැඩසටහන් වල ආකෘතිය වෙනස්කරන්නට ගුවන් විදුලි අධිකාරි විදිහට ආපු ෂර්ලි ද සිල්වා පියවර ගත් අතර නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකුවු යු. එ්. එස්. පෙරේරා මහතා "සිරි අයියා" නමින් ළමා පිටියේ ප‍්‍රසිද්ධ වීමත් එයට හේතු සාධකය විය. දමයන්ති අක්කා කරගෙන ගිය වැඩසටහනට කවි විරිදු ගායනා කිරීමට මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා විසින් සිරි අයියාව ළමා පිටියට එකතුකර ගන්නා අතර දමයන්ති අක්කාගෙන් පසු සිරි අයියාට ළමා පිටිය භාර විය. දමයන්ති අක්කාගේ අඩුව පිරවීමට හදුන්වා දුන් "සොමි අක්කා" වැඩසටහනට ඊවා ජයසේකර සාර්ථකව ඉදිරිපත් කළ අතර පසුව නන්දා කෙවිටියගල, සිරිමා ප‍්‍රනාන්දු, ධනවති මුණසිංහ සහ පස්සේ කාලෙක ප‍්‍රවිණ නිලියක්වු ටි‍්‍රලිෂියා අබේකෝන් (ගුණවර්ධන) සොමි අක්කාගේ චරිතය මාරු විය. ළමා තීරය අසන ළමයින් චන්ද්‍ර, සුර්ය, නන්ද, මෞර්ය නමින් නිවාස හතරකට බෙදා වැඩසටහනට දායක කරගත් අතර ළමා තීරයට ලංකාවේ විවිධ පළාත් වලින් එකතුවු ළමයින් අතර කරුණාරත්න අබේසේකර, රිජ්වේ තිලකරත්න, චිත‍්‍රානන්ද අබේසේකර, තලංගම පේ‍්‍රමදාස, වින්සන්ට් පන්ඩිත, ඩෝල්ටන් ද සිල්වා, රවින්ද්‍ර රූපසිංහ, පි.වි. නන්දසිරි, හෙන්රි ජයසේන, ටි‍්‍රලිෂියා අබේකෝන් (ගුණවර්ධන), දොස්තර උපුල් ජයවර්ධන, දොස්තර හඞ්සන් ද සිල්වා ආදින් ළමා තීරයෙන් රටම හඳුනාවා දුන් පිරිසෙන් කිහිප දෙනෙක්. 1953 අවුරුද්දේ මේ ළමා තීරය අවසන් විය.

සිරි අයියාගෙන් පසු ළමා වැඩසටහන් නැවත ආරම්භ වූයේ කරුණාරත්න අබේසේකර මහතා ළමා හා කාන්තා වැඩසටහන් බාරගැනිමෙන් පසුවය. කරුණාරත්න අබේසේකර මහත්තයාගේ කාලේ තමයි ළමා පිටියේ ස්වර්ණමය කාලේ උදාවූ බව පැවසේ. "කරු අයියා" නමින් ළමා තීරය තුලින් ළමා ගීත රැසක් නිර්මාණය කරලා ඉදිරිපත් කළ අතර සෑම වැඩසටහනකදිම අළුත් ගීතයක් වැඩසටහන ආරම්භයේදී ම ලියා තනු යොදා පුහුණු කරවා ඉදිරිපත් කිරීමට ඔවුහු සමත් වීම එහි කූටප්‍රාප්තිය විය. මෙකල ආරම්භ වූ "ළමා රංග පීඨය" නම් වැඩසටහන සඳහා අගහරුවාදා පැයභාගයක් වෙන් කෙරුණු අතර මේ නාට්‍යවලට අවුරුදු 16 න් පහළ ළමයි යොදා නාට්‍ය ඉදිරිපත් කෙරිණ. මඩවල එස්. රත්නායක මහතා විසින් "ටිකිරි සිනා රැලි" නමින් බදාදා වැඩසටහනක් ඉදිරිපත්කළ අතර මේ වැඩසටහන සාහිත්‍යට බර නව රචකයින් සඳහා වෙන් වූවකි. කරුණාරත්න අබේසේකර විසින් වයස අවුරුදු 3 ත් 6ත් අතර ළමයින් ඉලක්ක කරගත් තවත් නවමු වැඩසටහනක් වු "මා වැනි බිලින්දා" බ‍්‍රහස්පතින්දා දිනවල ප‍්‍රචාරය විය. සෙනසුරාදා දිනවල "ශනිදා හමුව" ලෙසින් සුදර්මන් සිල්වා සම්පාදක ලෙස කටයුතු කලේය.
 
ඉරිදා දිනවල ප‍්‍රචාරය වූ "සරස්වතී මණ්ඩපය" ළමාතීරයේ ජනප‍්‍රියතම වැඩසටහන විය. විනාඩි 45ක ගුවන් කාලයක් වෙන් වූ අතර සම්පාදක ලෙස කරුණාරත්න අබේසේකර මහතාත් සංගීතය ඩි.ඩි.ඩැනි මහතාත් ලබාදුන්නේය. මෙම වැඩසහෙනෙහි ද බොහෝ ගී කරුඅයියා විසින් ම රචනා කළ අතර ළමා ශිල්පියෙකු වු හේම ශ‍්‍රී අල්විස් ගීත ලිවීමට සරස්වතී මණ්ඩපයට එක්වුනු අයෙක් බව පැවසෙනවා. ශාන්ති දිසානායක, තිලකසිරි ප‍්‍රනාන්දු, එස්.ලියනගේ, නන්දා මාලනි, ඇන්ජලින් ද ලැනරෝල්, අමිතා වැදිසිංහ, මල්ලිකා කහවිට, බුද්ධදාස බෝධිනාගොඩ, ලීලාරත්න කංකානම්ගේ, එමර්සන් හිප්පොල සරස්වතී මණ්ඩපයට එක්වුණු පසුකාලීන ව ජනප්‍රිය වූ ළමා ශීලිපීන් අතර වේ. ළමා මණ්ඩපයෙන් දොරට වැඩි වර්තමානයේ සුප‍්‍රකට ගායක ගායිකාවන් අතර නන්දා මාලනි, සනත් නන්දසිරි, නලිණී රණසිංහ, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, නීලා වික‍්‍රමසිංහ, සුජාතා අත්තනායක, ශීලා පරණමානගේ, පුණ්‍යා කත‍්‍රීආරච්චි, දයා හේමන්තා අබේසේකර, චන්ද්‍රා කබ්රාල් හා රූපා ඉන්දුමති ආදි නම් අමතක කළ නොහැකියි. මේ වැඩසටහන් වල විශේෂත්වුයේ ළමා වැඩසටහන් එසැණින් ඉදිරිපත් කිරිමයි. හොඳ ළමා ගීත පස්සේ තැටිවලට තැටිගත කරගත්තා. මේ වැඩසටහන් වලට පිටපත් රචනයට තලංගම පේ‍්‍රමදාස, ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාර, විමල් දිසානායක, බුද්ධදාස බෝධිනාගොඩ ආදි අය සහභාගි වී තිබුණා.
 
සිංහල වෙළෙඳ සේවයෙන් "හඳමාමා ළමා" වැඩසටහන ආරම්භ කර ඇත්තේ 1963.12.14 දී යි. 1962 වෙළඳ සේවා අධ්‍යක්ෂ ලෙස ගුවන් විදුලියට පත් වූ පසුව ගුවන් විදුලියේ සභාපති ධුරය දැරු ලිව් ආර්. විජේමාන්න මහතා සිංහල වෙළඳ සේවය ඔස්සේ නැවතත් ළමා වැඩසටහනක් ඇරඹිමට අදහස් කළ අතර ඒවනවිටත් ගුවන්විදුලියේ ගද්‍ය ගායනා ඉදිරිපත් කළ සුමනා ජයතිලක මහත්මිය "හඳමාමා" ළමා වැඩසටහන භාර දෙනු ලැබීය. හඳමාමා වැඩසටහනේ මුල්ම නිෂ්පාදක ලෙස චිත‍්‍රපට අධක්ෂක කේ. එ්. ඩබ්ලිව්. පෙරේරා මහතා කටයුතු කලේය. එතැන් සිට වර්තමානය දක්වාම නොකඩවා ප‍්‍රචාරයවන එකම ළමා වැඩසටහන "හඳ නැන්දා" ලෙසින් අදටත් සුමනා ජයතිලක මහත්මිය හඳමාමා ඉදිරිපත් කරනු ලැබේ. මේ සඳහා සුමනා මහත්මියට ආරියරත්න මිල්ලවිතානාච්චි සහ ලැම්බට් පෙම්මාවඩු වැනි නිවේදකයින් වරින් වර සහාය වී ඇත.
 
බොහෝ විට එයට සමගාමී කාලයක බාලදක්ෂ හඩ ආරම්භ වූවා විය හැකි යයි දැනට අපගේ අනුමානය. හඳමාමා, ළමා පිටිය, සරස්වතී මණ්ඩපයේ ආලෝකය බාලදක්ෂ හඬට ලැබූ බව නිසැකයි. ළමා රංග පීඨය, කනිටු සරසවිය, ළමා සංග‍්‍රහය වැනි විවිධ නම් වලින් මේ ළමා පිටිය සතිය පුරාවට ම විවිධ වැඩසටහන් විකාශනය වූ අතර බාලදක්ෂ හඬත් ඒ අතර වූ බව සොයා බැලිය යුතුමයි. 1965 අවුරුද්දේ ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වූ පසු කරුණාරත්න අබේසේකර මහතා ස්ථිර සේවයෙන් ඉවත් වූ අතර එතෙක් පැවති වැඩසටහන් සම්පාදක තනතුර නිෂ්පාදක තනතුර ලෙස වෙනස් විය. අබේසේකර මහතාගෙන් පසු ළමා හා කාන්තා වැඩසටන් භාර නිෂ්පාදකයන් වරින් වර වෙනස් විය. ප‍්‍රභා රණතුංග, නන්දා ජයමාන්න, ඇග්නස් සිරිසේන, හඞ්සන් සමරසිංහ, පේ‍්‍රමකීර්ති ද අල්විස්, සුනන්දා ධර්මපාල, මහින්ද අල්ගම යන අය නිෂ්පාදකයන් විය.

බාලදක්ෂ හඬ

60-80 දශක දෙක තුළදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා එක්ව ක්‍රියාත්මක වූ 'බාලදක්ෂ හඬ' වැඩසටහනක් ක්‍රියාත්මක වූ බව බාලදක්ෂ ඉතිහාසයෙහි සඳහන්වේ. එම වැඩසටහන 1965 වර්ෂයේ ආරම්භ වූ බව P.S.R.රාජමනි මහතා විසින් පස්වන බාලදක්ෂ ජම්බෝරියේ සමරු පොතට එක් කල ‘LOOKING BACK OVER THE YEARS’ ලිපියෙහි පිටු අංක 41හි සඳහන්වේ. කරුණාරත්න අබේසේකර මහතාගේ පූර්ණ මෙහෙයවීම හා සහයෝගය යටතේ R.S.L.සුමනසේකර මහතා විසින් නිෂ්පාදනය කරනු ලැබූ මෙම 'බාලදක්ෂ හඬ' වැඩසටහන මසකට එක් වරක් පැය භාගය බැගින් විකාශනය වූ බව පැවසේ. 1967 ඔක්තෝම්බර් 1දා සිට 1968 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පැය භාගය බැගින් වූ වැඩසටහන් 13ක් විකාශනය කළ බව 1968 බාලදක්ෂ මූලස්ථානය විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ. කුලියාපිටිය මහා විදයාලයේ බාලදක්ෂ නායක ගොඩ්ෆ්‍රි වර්ණකුලසූරිය විසින් පළමුවරට ඉදිරිපත් කල ඔපෙරා ශෛලියේ වැඩසටහන එම වර්ෂයේ විකාශය වූ වැඩසටන් අතරින් අතරින් කැපී පෙණුන බව එම වාර්තාවෙහි දැක්වේ. එසේම පානදුර හොරණ දිසාවේ ශ්‍රී පාලි මහා විද්‍යාලය, තක්ෂිලා මහා විද්‍යාලය, විද්‍යාරත්න මහා විද්‍යාලය, ශ්‍රී මේධංකර මහා විද්‍යාලය ආදී විදුහල්වල බාලදක්ෂයන්ගේත් පානදුර ශා.අන්තෝනි විද්‍යාලය, 65 කොළඹ, මීගමුව ශා. පීතර මහා විද්‍යාලය, බෝලවලාන පුහුණු විද්‍යාලය, කුලියාපිටිය මහා විද්‍යාලය සහ ජාතික මූලස්ථානයේ විශේෂ වැඩසටහන් දෙකක් ද පටිගත කිරීම් සිදුකල බව ම සඳහන් වේ. 

රේඩියෝ සිලෝන්හි දැවැන්ත චරිත අතර වූ වර්නන් කොරයා ද බාලදක්ෂ කටයුතු වෙනුවෙන් වැඩි සැලකිල්ලක් දැක් වූ අයෙකු ලෙස සඳහන් වේ. 1921දී බී.පී.තුමාගේ ලෝක සංචාරය පිලිබද ඒ මහතාගේ බ්ලොග් අඩවියෙහි වාර්තා කර ඇත්තෙ මේ ලෙසිනි. 


Lord Baden Powell founder of the worldwide Scout Movement visited Ceylon in 1921 when Edward Harper was in Colombo. The picture shows Lord Baden Powell in Kandy.
බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ පුවත්, කඳවුරු කතාන්දර සදහා වෙන්ව තිබුණු මෙම ඉඩකඩ පූර්ව පටිගත කිරීමක් ලෙස සකස් වූ බව පැවසේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් (ශ්‍රී. ලං. ගු. වි. සං.) සුමනසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ජෝර්ජ් වීදාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතර ඩයස් ගුණ‍රත්න මහතා එහි පූරක විය. සමකාලීන ජම්බෝරි හා කඳවුරු පුරා ඇසුණු ශබ්ද විකාශන හ‍ඬෙහි ඩයස් ගුණ‍රත්නගේ චතුර වාග් විලාශය කිසිවෙකුටත් අමතක නොවේ. 

1972දී විහාරමහාදේවි උද්‍යානයේ පැවැත් වු  කොළඹ දියමන්ති ජුබිලි කැම්පෝරියේදී ගුණ‍රත්න මහතා සමග හිටපු කොමසාරිස්වරයෙකු වන නන්දා අබේනායක මහතා විසින් විශේෂ 'බාලදක්ෂ හඬ' වැඩසටහනක් ඉදිරිපත් කලේය. ජෝර්ජ් වීදාගම මහතා විසින් SLBCහි 6වන මැදිරියට පැමිණ උපදෙස් ලබාදෙමින් එය පටිගත කල අතර එයට නාලන්දා බාලදක්ෂයෙකු ලෙස ධර්මලාල් ගුණවර්ධන මහතා ද සහභාගී වූ බව scouting සඟරාවේ අප වෙත දන්වන ලද්දේ ය. 

1973-74 වකවානුවේ දී මූලස්ථාන කොමසාරිස් ශ්‍රීලත් ද සිල්වා මහතා ද වැඩසටහන් කීපයකට ම සහභාගී වූ බව scouting සඟරාවට දන්වා ඇති අතර එම වකවානුවෙහි ද එවකට මූලස්ථාන කොමසාරිස්වරුන් ලෙස කටයුතු කළ ඩයස් ගුණ‍රත්න , සහ ටී.සී.එල්.ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කළ බවත් පවසා තිබේ.

මෙම වැඩසටහන 1987 වන විටත් විකාශය වූ බව බදුල්ල දිසාවේ හිටපු දිසා කොමසාරිස් විජිත දැරණියගල මහතා ද කරුණු එවා තිබුණා. ඔහුගේ මතකයට අනුව එවකට ඩයස් ගුණරත්න මහතා  'බාලදක්ෂ හඬ' සංස්කරණය කළ බවත් පැවසෙනවා.

බොහෝ කාලයක් නිහඬව තිබී 1990 පමණ මෑත ඉතිහාසයේ දී නැවතත් අබේරත්න, වල්ගම්පාය, ශාන්ත මදුරාවේ, බී.එන් කුරේ මහතා විසින් ද මෙම  'බාලදක්ෂ හඬ' සඳහා දායකත්වය දැක් වූ බව වර්තමාන Scouting සඟරාවේ ප්‍රධාන කර්තෘ චමින්ද වාරියප්පෙරුම මහතා අප වෙත දන්වා සිටි අතර එතුමා ද කීප අවස්ථාවක ඒ සඳහා සහභාගී වූ බව දන්වන ලැබීය.

කඳුරට ගුවන් විදුලියේ 'බාලදක්ෂ හඬ'

ශ්‍රී ලංකාවේ පළමු ප්‍රජා ගුවන්විදුලි සේවය “මහවැලි ප්‍රජා ගුවන්විදුලිය” නමින් ආරම්භ කිරීමෙන් අනතුරුව 1983.04.13 දී තෙවන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය ලෙස මහනුවර දී “කඳුරට සේවය” නමින් ආරම්භ කිරීම සිදුවිය. කඳුරට ගුවන් විදුලිය මහනුවර පටන්ගත් වකවානුවේදී ම මහනුවර බාලදක්ෂයන් විසින් සහභාගී වූ  'බාලදක්ෂ හඬ' වැඩසටහන් සති දෙකකට වරක් එම සේවයෙහි විකාශය වූ බවත් සදහන්. එහි පළමු සංස්කාරක ලෙස විජිත දැරණියගල මහතාත් එතුමාගෙන් පසු එවකට ජත්‍යන්තර කොමසාරිස් සී.එම්.පි.වනිගතුංග මහතාගේ නියමයෙන් සංචාරය කොමසාරිස් සාලිය රාජකරුණා මහතා විසින් ද මෙහෙයවනු ලැබූ අතර පසුකාලයක දී මහනුවර කිංස්වුඩ්  විද්‍යාලයේ ආචාර්ය පෝතක බාලදක්ෂ නායිකා කොඩිකාර මහත්මිය විසින් ද පසුව කිංස්වුඩ් විද්‍යාලයේ ආචාර්ය බාලදක්ෂ නායිකා නීටා ඇල්ලේපොල මහත්මිය විසින් ද කාලයක් 'බාලදක්ෂ හඬ' සංස්කරණය කරනු ලැබ තිබේ. 

ශ්‍රී ලංකාවෙහි ගම්දනව් සිසාරා විසිර යන ලෙස ගුවන් විදුලිය ඔස්සේ බාලදක්ෂ ව්‍යාපාරය සමාජගත කිරීමේ ප්‍රමුඛතමයෙක් ලෙස ඩයස් ගුණ‍රත්න හා ජෝර්ජ් වීදාගම විසින් සිදුකළ මෙහෙවර මේ දක්වාත් කිසිවෙකු විසින් ඇගෙයුමට පවා ලක්කර නොතිබීම කණගාටුවට කරුණකි. ලංකාව පුරා සිටි පෝතකයින් බාලදක්ෂයන් රටට හදුන්වාදෙමින් විකාශනය කොට පවත්වාගෙන යනු ලැබූ මෙම වැඩ සටහනෙහි ආලෝකය ලැබූ බොහෝ දක්ෂ දරුවන් වර්තමානයෙහි ද බාලදක්ෂ ව්‍යාපාරයෙහි සේවය කරනු දැකිය හැකිය.

ලංකාවෙහි ගරු අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක විසින්, අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස විසින් උත්සවාකාරයෙන් 1967 වර්ෂයේ දෙසැම්බර් 5 වැනිදා  පසු ලංකා ගුවන් විදුලි සංස්ථාව විවෘත කරන ලද්දේය. 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස නම් කෙරුණු අතර 2007 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මහජන විකාශන සංස්ථාවක් ලෙස නම් කළේය.


No comments:

Post a Comment